ස්ටැන්ලි කුබිරික් විසින් අධ්‍යක්ෂණය කරන ලද EYES WIDE SHUT චිත්‍රපටියේ කතානායක වෛද්‍යවරයා ( TOM CRUISE) සිය ඒකාකාරී දෛනික ජීවිතයෙන් මහත් වෙහෙසට පත්ව සිටියි. පසුව සිය බිරිද ෆැන්ටසිගත කරන ලද කතාවක් නිසා ඔහු විසින් වෙනත් ෆැන්ටසි ලෝකයක් ගොඩනගා ගනී අවසානයේ ඔහු එම ෆැන්ටසි ලෝකයේ කෙළවරටම ගමන් කරයි. ෆැන්ටසිය යනු කුමක්ද කියන කාරණාය වටහා ගන්න අමාරු නම් මෙම ලිපිය කියවන්න (ෆැන්ටසිය යනු කුමක්ද?) මේ නිසා ඔහු මුහුණ දෙන ගැටලුව ච්ත්‍රපටිය මගින් නිරූපණය වෙයි. එක්තරා අවස්ථාවක සුවිසල් නිවසක ධනවත් පුද්ගලයෙකු ගෙන් ඔහු විමසන්නේ මේ ක්‍රමය පිළිබදව තමන්ට නොවැටහෙන නිසා එය තේරුම් කර දෙන ලෙසයි. ඒ අවස්ථාවේ දී එකී ධනවත් පුද්ගලයා පවසන්නේ ‘‘ මට ඔබට ඒ ගැන කියා දෙන්න පුලුවන් නමුත් ඉන් පසුව ඔබට නිදා ගන්නට පුලුවන් වෙයිද කියා මම දන්නෑ‘‘

 2013 පොදු රාජ්‍ය මණ්ඩලයේ නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ගත් තීරණයේ වෙනසක් නැති බව පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම් කමලේෂ් ශර්මා මහතා පවසයි. ලන්ඩන් නුවර පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මහ ලේකම් කමලේෂ් ශර්මා මහතා මේ බව ප්‍රකාශ කළා .මේ අතර, 2013 පොදු රාජ්‍ය මණ්ඩලයේ නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට විරෝධය පල කිරීම සඳහා සංවිධාන කළ විරෝධතාවක් ද පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වුණා. මේ අතර, ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුව වර්ජනය කරන ලෙසට ඔස්ටේ‍්‍රලියානු රජයට ද බලපෑම් එල්ල වෙමින් පවතිනවා .හිටපු අග‍්‍රාමාත්‍යවරයෙකු වන මැල්කොල්ම් ෆ්‍රෙසර් මහතා ඇතුළු කණ්ඩායමක් වත්මන් රජයට බලකර ඇත්තේ සමුළුවට සහභාගී නොවීමට කැනඩාව ගෙන ඇති තීරණය සමග එක්වන ලෙසයි. මේ අතර පොදුරාජ්‍ය මණ්ඩලයීය අමාත්‍ය සමුළුවක් ද ලන්ඩන් හි පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලයීය ලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා. රටවල් 8ක අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් ඒ සඳහා සහභාගි වී තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු කරන්නේ නම් එය පිළිකුල දනවන ක්‍රියාවක් බව කැනඩාවේ විදේශ අමාත්‍ය ජෝන් බෙයාර්ඩ් (John Baird) ප්‍රකාශ කරනවා.පොදු රාජ්‍ය මණ්ඩලයේ වටිනාකම් වන ප්‍රජාතන්ත්‍රවාදය, යහ පාලනය සහ නීතියේ ආධිපත්‍යය සුරැකීම අතින් ශ්‍රී ලංකාව අසමත් වී සිටින බව ඔහු කියා සිටිනවා. දෙමළ ජනතාව හා සංහිඳියාව ගොඩ නැගීම අතින්ද ප්‍රමාණවත් ප්‍රගතියක් ශ්‍රී ලංකාව පෙන්නුම් කොට නැතැයි කැනඩාවේ විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුඵව ලංකාවේ පැවැත්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ලංකාවේ බුද්ධිමතුන් ද දැඩිව කළබලයට පත්ව සිටිනවා. මේ සම්බන්ධයෙන් Sunday times පුවත් පතට බරසාර ලිපියක් ලියන කිෂාලි පින්ටෝ ජයවර්ධන (Kishali PintoJayawardena) කියන්නේ ‘බුදු අම්මෝ මෙන්න පොදු රාජ්‍ය මණ්ඩල සමුඵව ලංකාවේ තියන්න යනවා. මේ වගේ රටක පොදු රාජ්‍ය මණ්ඩල සමුඵව තියන්න තරම් පොදු රාජ්‍ය මණ්ඩලය පිරිහිලාද? මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, යහ පාලනය, නීතියේ පාලනය සහ මානව අයිතිවාසිකම් උල්ලංඝණය කර තියෙනවා ඉතිං එහෙම රටක කොහොමද මේ සමුඵව පවත්වන්නේ. කිෂාලි මෙයින් මහත් භීතියට පත්ව සිටිනවා.

ධනවාදයේ මේ යුගය වන විට කිෂාලි නොදන්න අපි දන්න රහසක් තියෙනවා. ඒ තමයි මේ වන විටත් එංගලන්තය ඇතුලු බටහිර සමාජයත් පරමාදර්ශ සහ ඇගයුම් පද්ධති වලින් ඉවත්ව ඇති බව. කොටින්ම කියනවා නම් පැරණි ඇගයුම් පද්දති වලින් මේ වන විටත් එංගලන්තය ඉවත්ව සිටිනවා. ඒ කාරණය වඩාත් පැහැදිලි වන්නේ මේ වන විටත් එංගලන්තයේ අගමැති ධූරය දරන්නේ ඩේවිඩ් කැමරන් නිසයි. ඩේවිඩි කැමරන් පිටුපස ඇති රහස කුමක්ද ගොඩක් අය නොදන්නවා වුණාට ඇත්තටම කැමරන් පිටු පස ඉන්නේ රූපට් මර්ඩොක්. මර්ඩොක් කියන්නේ හොද ව්‍යපාරිකයෙක්. ඒ නිසාම ධනවාදී සමාජයක ප්‍රාග්ධන තර්කනය අනුව කැමරන්ව පාලනය කරන්නට මර්ඩොක් ට පුලුවන් වෙලා තියෙනවා. ඒ නිසා මීට පෙර එංගලන්තයේ දේශපාලන සදාචාරය තිබුන තැනට ප්‍රාග්ධනය විතැන් වෙලා තියෙනවා. ඒ නිසා දැන් කිෂාලි හිතන ආකාරයට කැමරන්ට මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, යහ පාලනය වගේ දේවල් වැඩක් නැහැ. ඊට වඩා ඔහුට වෙළෙදපොල තර්කණය වැදගත් බව මේ සමාජ ක්‍රමය විසින්ම ඔහුට පැහැදිලි කර දීලා තියෙනවා.

අපි දැන් ඇත්තටම පොදු රාජ්‍ය මණ්ඩල සමුඵව ලංකාවේ පවත්වන්ට තීරණය කරන්නට හේතුව කියන්නම්. ඒ හේතුව අපිට කිෂාලි ගෙන් වගේම කෙහෙළිය රඹුක්වැල්ල ගෙන් ද දැන ගන්නට ලැබෙන් නෑ. හේතුව අපිට කොටස් තුනකට බෙදන්න පුලුවන්.

01-   මේ වන විටත් ඔස්ට්‍රෙලියාවේ සුවිශල් කැෂිනෝ ව්‍යාපාරිකයෙකු වන ජෙම්ස් පැකර් හට කොළඹ අග නුවර සහ තදාසන්න ප්‍‍ෙද්ශ වල කැෂීනෝ ව්‍යපාරය මුලුමනින්ම පවරා දෙන්නට රජය කැමැත්ත පලකර තියෙනවා.

02-   අනික් අතට රජය එංගලන්තයේ බැංකුවක් සමග  ඩොලර් බිලියන 80ක් සදහා වූ ණය ගණුදෙනුවකට අත්සන් කර තිබෙනවා. ඒ මගින් එයාර් බස් 06 සහ රොල්ස් රොයිස් එංජින් 07ක්  ගෙන්වන්නට සැලසුම් කර තිබෙනවා.

03-   අනික් වැදගත් කාරණය වන්නේ ෂර්මා ඉන්දියාවේ රජිව් ගාන්ධි පවුලේ සමීපතමයෙකු වීමයි.

ඉහත කාරණා තුන පැහැදිලි නම් දැන් අපට වැටහෙන්න ඕන අපි තව දුරටත් ජීවත් වන්නේ සිංහල බෞද්ධ සමාජය නොවන බව. අපි දැන් ජීවත් වන්නේ ධනවාදී සමාජයක ප්‍රාග්ධන තර්කනය මතයි. ඒ අනුව එවැනි සමාජයක සදාචාරාත්මක හර පද්ධතීන් සහ ආචාරධාර්මික මූල ධර්ම තව දුරටත් වලංගු වන්නේ නැහැ. එහි සියල්ල පදනම් වන්නේ වෙළෙද පොළ තර්කනය උඩ ලාභය පදනම් කර ගෙනයි. ඒ අනුව දුමින්ද සිල්වාට ඇප දීම සාධාරණද අසාධාරණ ද, ජුලම් පිටියේ අමරේ නිදැල්ලේ ඉන්නවාද, කොළඹට කුඩු ගෙන්වන්ටනේ කවුද? ලයිටි බිල වැඩි කිරීමට එරෙහිව පන්දම් පත්තු කරනවාද? එළවඵ කණු වන නිසා උපවාස කරනවාද කියන කාරණා වලට එරෙහිව හුදකලා අරගල කරලා වැඩක් තියෙනවද? අපි තේරුම් ගන්න ඕන කාරණය තමයි ලංකාවේ විතරක් නෙමෙයි එංගලන්තයේ පවා මහා වික්ටෝරියානු සම්ප්‍රදාය බිද වැටී ඒ වෙනුවට චූල සම්ප්‍රදායන් සමාජ ක්‍රමයට ආදේශ වෙලා තියෙනවා කියන කාරණයයි. මේක යම් තරමකට තේරුම් ගන්න ඔබට නිවිටන් ගුණසිංහ ගේ චූල සම්ප්‍රදාය සහ මහා සම්ප්‍රදාය කියන ලිපිය මේ සබැදියාවෙන් කියවන්න පුලුවන්.( චූල සම්ප්‍රදාය සහ මහා සම්ප්‍රදාය)

දෘෂ්ටිවාදය කියන්නේ අපි හිතන දේ පිළිබද කාරණාවක් නෙමෙයි. අපි මොනවද කරන්නේ කියන දේ පිළිබද කාරණාවක්. අපි දැන් ජීවත් වෙන සමකාලීන සමාජයේ ජීවත් වෙන කිසිම මිනිහෙක් ධනවාදය කියන්නේ අසාධාරණ සහ බිලියන ගණනක් මිනිසුන් ගේ ජීවිත විනාශ කරන එකක් කියලා දන්නෑ නෙවෙයි. දැන දැනත් නොදන්නවා වගෙයි ඒ අය ජීවත් වන්නේ. කිෂාලිට අනුව මහින්ද රාජපක්ෂ රට පාලනය කරන්නේ නරුමවාදී (cynical) විදිහට. පාලකයන් නරුමවාදී වන තරමටම පාලිතයන් ද මේ යුගයේ නරුමවාදී වන බව කිෂාලි දන්නේ නෑ. යථාර්ථය තුළ ආත්මයක් හැටියට මමත් ඉන්නවා කියන කාරනය තමයි කිෂාලිට තේරුම් ගන්නට බැරි. මේකට එක උදාහරණයක් අපිට කිෂාලිට දෙන්න පුලුවන්. තමන් ලියන පත්තරේ අයිතිකරු කවුද කියන කාරණය කිෂාලි දන්නේ නැද්ද? රංජිත් විජේවර්ධන කියන්නේ ලංකාවේ මුදල් අච්චු ගසන ක්‍රොන්ත්‍රාත් එක ලබා ගෙන තිබෙන පුද්ගලයායි. මේ වගේ තවත් කාරණා අපිට අවශ්‍ය නම් කිෂාලිට කියන්න පුලුවන්. ඒත් එතකොට අපි මුලින් සදහන් කරපු ආකාරයට eyes wide shut ච්ත්‍රපටියේ ධනවත් පුද්ගලයා වෛද්‍යවරයාට දෙන පිළිතුර තමයි අපට කිෂාලි දෙන්න වෙන්නේ මට මේ පවතින ක්‍රමය ගැන ඔබට විග්‍රහ කරලා දෙන්න පුලුවන් ඒත් එතකොට ඔබට රෑට විතරක් නෙවෙයි දවල්ටවත් නිදා ගන්න බැරිවෙයි.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. “දැන් අපට වැටහෙන්න ඕන අපි තව දුරටත් ජීවත් වන්නේ සිංහල බෞද්ධ සමාජය නොවන බව. අපි දැන් ජීවත් වන්නේ ධනවාදී සමාජයක ප්‍රාග්ධන තර්කනය මතයි.”

Comments are closed.