ජාතිවාදයට විරුද්ධව නිතරම කතා කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ සහෝදරයෙක් මගෙත් එක්ක පසුගිය දා අළුත්ගම සිදුවීම ගැන කතා. ඔහු කතා කලේ මහත් වේදනාවකින්. මුස්ලිම් සහෝදරවරුන්ට සිදුවුන අසාධාරණය ගැන වගේම යුද්ධය දරුණු කාලේ පටන් යුධ විරෝධීන් සහ ජාතිවාදී විරෝධීන් විදිහට කටයුතු කරපු මට මේ සහෝදරයගේ වේදනාව මුලින්ම දැනුනේ  ජාතිවාදයට විරුද්ධව ඇතිවුන මහත් වේදනාත්මක කතාවක මුල පිරීමක් විදිහටයි.

ඔහු මේ සිදුවීම ගැන ඔහුගේ මතය ඉදිරිපත් කළා. ඔහුගේ මූලික තර්කය වුනේ බොදුබල සේනාවේ මේ පහත් ක්‍රියාව ඉතාම වැරදිසහග බවත් මේ නිසා මේ අවස්ථාවේ දී මුස්ලිම් සහෝදරවරුන් වෙනුවෙන් සටන් කළ යුතු බවත්, ඒ සදහා වෙනම සංවිධානයක් ආරම්භ කළ යුතු බවත්ය. මම තවදුරටත් මේ සහෝදරයා සමග කතා කතා කල විට ඔහු පවසා සිටියේ දැන් බලපන් මචං මුස්ලිම් කාන්තාවන් අර අදින ඇදුම ඒ අයට මොන තරම් නම් කරදයක් වෙන්න ඇතිද? ඒ නිසා ඒක තහනම් කරන්න ඕන. මේ කාතාවෙන් නම් මගේ ඔලුව අවුල් වෙලා ගියා. ඇයි හත් දෙයියනේ ඒ අය ඒක කරන්නේ ඒ අයගෙම කැමැත්තෙන් නම් අපට මොකද ඒ ගැන.[ සහෝදරය කියවන්න “විනෝදය” පොත ] මේ නිසා තමයි මට ඒ සහෝදරයට බොහොම සරළව කියන්න සිද්ධ වුනේ මචං උබලා ගොඩක් කිච කලාට ඔතනට තමයි තියර්[Theory] අවශ්‍ය වෙන්නේ කියලා. ඒ වුනාටවත් ඒ සහෝදරයට මම කියන එක හරියට වැටහුනේ නැහැ. ඒයා දෙවනියට කියපු කතාව නිසා මගේ ඔලුව තවත් අවුල් වුණා. ‘දැන් බලපන් මචං මේ විදිහටම තමයි කොටි සංවිධානය පටන් ගත්තේ, උන් මේ රටට මොනතරම් නම් හානියක් කළාද? ජාතිවාදය වැපිරුවාද? ඒ වගේ ත්‍රස්තවාදී කල්ලි හැදෙන්නේ මේ වගේ සිද්ධි නිසා තමයි. ඒ නිසා තමයි තවත් මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධානයක් හැදෙන්නට ඉස්සර වෙලා අපි මේවා නවත්වන්න ඕන.’ මම ඇහුවා ඒ කියන්නේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙක් ද? කියලා . ඌ කිවා පැහැදිලිවම ත්‍රස්තවාදියෙක් විතරක් නෙමෙයි ජාතිවාදියෙක් කියලා. මම ඇහුවා ‘ මචං පීඩිතයගේ ජාතිවාදය සහ පීඩකයගේ ජාතිවාදය ගැන උබ අහලා නැද්ද? ‘ කියලා. ඌ කීවා ඒවා වැඩක් නැහැ. මට නම් ප්‍රභාකරන් කියන්නේ ත්‍රස්තවාදියෙක් විතරයි කියලා.

මම කතාව නවත්තලා ඇහුවා ‘මචං උබ මාක්ස්වාදියෙක් ද කියලා ‘. ඌ මට කීවා ‘මම මාක්ස් ලෙනින්වාදියෙක් කියලා’. මම ඇහුවා ‘උබ බෞද්ධයෙක් ද ‘කියලා. ඌ කීවා කොහොමටවත් මම නම් බෞද්ධයෙක් නෙමෙයි කියලා. මම ඇහුවා ‘මට නම් තවමත් මම බෞද්ධයෙක් කියන එක අමතක කරන්න මාර අමාරුයි කියලා’.’ මම අරගල කරන්නේ ඒකට කියලා’. ඌ කීවා ‘මම නම් ආගම විශ්වාස කරන් නෑ’. ඒ වුනාට නානසාරලාගේ ෆැසිස්ටි බුද්ධාගමට විරුද්ධව පිරිසිදු බුද්ධාගම ඇති කරන්න ඕන කියලා.

අන්තිමට මම කීවා මචං මම නම් තවමත් බෞද්ධයෙක්. ඇත්තටම මම ජාතිවාදියෙක් ද කියලා මම දන්නේ නැහැ. ඒ වුනාට මට මින්ස්සු විදවන හැටි තේරෙනවා කියලා. ඌ කීවා අපි සම්මන්ත්‍රණයක් කරමු ‘මනුස්සකම්’ ගැන කියලා. මම ඇහුවා ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ දිගටම ෆේසුබුක් කැම්පේන් එකක් කරමු කීවා. මම ඇහුවා එතකොට හරි යයිද කියලා. මම ඇහුවා දැන් රතුපස්වල මිනිස්සුන්ට බොන්න පිරිසිදු වතුර තියෙනවද , තුන්තානේ මින්සුන්ට හුස්ම ගන්න පුලුවන් ද, මීතොට මුල්ලේ කුණු කන්ද දැන් ගද නැද්ද කියලා. එතකොට ඒ සහෝදරයා කීවා අපි ඉස්සෙල්ලම මේ අලුත්ගම වැඩෙට බහිමු. අරවා ගැන පස්සේ බලමු කියලා. මට එයා ගෙන් එක දෙයක් අහන්න බැරි වුනා. හදිසියේ හරි හෙට යාපනේ ආයෙමත් මීට වඩා ලොකු සිද්ධියක් වුනොත් අලුත්ගම අතහැරලා යාපනේ යනවද? කියලා. එයා මගෙන් ඇහුවා ‘රැස්වීමට එනවද කියලා’, මම කීවා එනවා කියලා. මට එයාගෙන් අහන්න බැරිවුනා රැස්වීමෙන් පස්සේ මොනවා වෙයිද? මොනව ද කරන්න ඉන්නේ කියලා. ඇත්තටම මට තේරෙන්නෑත්තේ ජාතිවාදියෙක් කියන්නේ කවුද? මාක්වාදියා කියන්නේ කවුද? පෙරටුගාමියා කියන්නේ කාටද? පක්ෂය කියන්නේ මොක්ද? මාධ්‍ය සාකච්ඡා කියන්නේ මොකක්ද? පොදු අපෙක්ෂකයා සුදුද? මම මෝඩයිද? රට ලස්සණයිද? විහාර මහ දේවි පාර්ක් එක ලයිට් දැම්මම රෑට කොච්ච ලස්සණයිද? පොඩ් එකත් එක්ක රෑට එතන ඇවිදින් ගියා නම් ඔක්කොම හරිද? ඒ නිසා මම එහෙම කරන්නද? අලුත්ගම මිනිස්සු අද රෑට කලා ද? යාපනේ මිනිස්සු ඇත්තටම හතලිස් දහසක් මැරුණද? ප්‍රභාකරන් ජාතිවාදියෙක් නම් ඇත්තටම බොදු බල සේනාව ජාතිවාදි සංවිධානයක් නෙමෙයිද?

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.