චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේ සිට (1994) ‍ක්‍රම ක්‍රමයෙන් පිරිහෙමින් පැමිණි ‘පක්ෂ දේශපාලනය’ මේ වන විට නිෂ්ටාවට පත්වී ඇත.  මෙම පක්ෂ දේශපාලනයේ අතුරුදහන් වීම මේ මොහොතේ තදින්ම දැනී ඇත්තේ ජාතිවාදීන්ට ය. පක්ෂ දේශපාලනයේ පිරිහීමට විකල්පයක් ලෙස බහුජන සංවිධාන ගොඩනැගීම පටන් ගත්තේ ජනතා විමුක්ති පෙරමුණයි. 80 දශකය අග භාගයේදී දේශප්‍රේමීන් නිර්මාණය කිරීමට ඔවුන් විශ්ව විද්‍යාල ශිෂ්‍ය දේශපාලනය උපයුක්ත කොට ගත්තේය. 1989 වර්ෂයේදී UNPය මරාගෙන මැරෙන සටනක් කොට දේශප්‍රේමි අරගලය පරාජය කළේය. එමඟින් ලංකාවේ නිදහස්  වෙළදාමේ අක්ෂර වින්‍යාසය තහවුරු විය. මිනිසුන් මරන්නේ නැතිව අලුත් සමාජ පිළිවෙල ස්ථාපිත කළ නොහැකිය. නමුත් 1989 ට පසුව UNPයට බලය ලබා ගැනීමට නොහැකි විය. 89 වර්ෂයේ තම දෑත්වල ලේ ගාගත් රනිල් තවම UNP නායකයාය.

                     2009 වර්ෂයේදී, සමස්ත  දිවයිනටම බලපාන පරිදි මහින්ද රාජපක්ෂ ‘නිදහස් වෙළඳපොල’ ආර්ථික ක්‍රමයක් ලෙස තහවුරු කළේය. ඒ සඳහා ඔහු දෙමළ ලේ මුළු ශරීරයේම තවරා ගත්තේය. 2015ට පසුව, ඔහුටද නැවත  දිනීමට නොහැකි වී ඇත. ලංකාවේ නිදහස් ධනවාදය තහවුරු කළ පුද්ගලයන් දෙදෙනාම මේ වන විට මළගිය ප්‍රාණීන්-Living Dead- බවට පත්වී ඇත. 

               පක්ෂ ක්‍රම ක්‍රමයෙන් කඩා වැටී, පන්ති දේශපාලනය අතාර්කික වෙමින්, අරාජක මහජන දේශපාලනය එතැනට ආදේශ වී ඇත. දැන් සියලු දෙනා අන්දමන්ද වී ඇති අතර විකල්ප දේශපාලනය ලෙස 90 දශකයේ මතු වූ විකල්ප පුවත්පත් කලාව සහ සිවිල් සමාජයේ දේශපාලනයත් සරත් විජේසූරියලා මඟින් අභාවයට ගොස් ඇත. ස්විස් තානාපති කාර්යාලයේ සිදු වූ සිදුවීම හරහා තවත් වටයකින් සිවිල් දේශපාලනය බාල්දු විය. 2010 වර්ෂයේදී, අප ව්‍යාපාරය විසින්ද පුද්ගලයෙකු ස්විස් රටට තැපැල් කළ අතර ඉන් පෝෂණය වූයේ ‘පවුල්වාදය’ පමණි. දැන් සියල්ල නැවත ආරම්භ කිරීමට සිදු වී ඇත. පළමුවෙන්ම කළ යුත්තේ කුමක්ද? එනම්, මේ නිදහස් මහජන දේශපාලනය නිර්වචනය කිරීමයි. එය අපට ප්‍රථම වෝල්ටර් බෙන්ජමින් මගින් කළ යුතුය. 

          “වත්මන් මිනිසා එන්ට එන්ටම නිර්ධනීකරණය වීමත්, එන්ට එන්ටම මහජනතාවන් බහුගුණනය වීමත් (Facebook ,You Tube) යන මේවා එකම සන්තතියේ අංශ දෙකකි. ජනප්‍රියවාදයන් මහජනතාව අහෝසි කිරීමට ප්‍රයත්න දරන දේපළ ව්‍යුහයට කිසිදු බලපෑමක් නොකොට අලුතින් බිහි වන නන්නත්තාර පීඩිත පාන්තික ජනතාව අලුතින් බිහි වූ නව මාධ්‍ය-New Social Media- හරහා සංවිධානය කිරීමට තැත්කරයි.

            ජනප්‍රියවාදයන් තම තමන්ගේ ගැලවීම දකින්නේ (උදා:- දිලිත් ජයවීර වැන්නන්) මේ මනස්කාන්ත ඉන්ද්‍රජාලික මහජනතාවට ඔවුන්ගේ උරුමය (දේපළ අයිතිය) දීම තුළින් නොව ඒ වෙනුවට ඔවුන්ට ප්‍රකාශිත වීමට අවස්ථාවක් ලබා දීම තුළිනි”. 

             පන්ති දේශපාලනය සහ පක්ෂ දේශපාලනය අහෝසි කරන්නන් තමන්ගේ ක්‍රියාවන්හී ප්‍රතිඵලය දකින්නේ දේශපාලනය සෞන්දර්යකරණය කිරීම තුළිනි. දේශපාලනය සෞන්දර්යමය කිරීමේ ප්‍රයත්නයන් එක් දෙයක් තුළදී මුදුන්පත් වෙයි. එනම්, යුද්ධය යි. සාම්ප්‍රදායික දේපළ පද්ධතිය (ගම/නගරය අතර භේදය) එලෙසම රඳවා ගනු ලබන අතර මහජන ව්‍යාපාරයන්ට මහා පරිමාණයෙන් අරමුණක් ඉදිරිපත් කළ හැක්කේ යුද්ධයට පමණි. මේ තත්ත්වයට දේශපාලන සූත්‍රය මෙයයි. එනම් මිනිස් වර්ගයා තමන්ගේම විනාශය සෞන්දර්යකරණය කිරීමයි.

             දැන් ගැටලුව වන්නේ, යුද්ධය එන්නෙ කොහෙන්ද යන්නයි. ‘එලායස් කානෙත්ති’ නම් ජර්මානු නවකතාකරුවා ෆැසිස්ට්වාදය නැගගෙන එන සමයේදී මෙවන් ප්‍රකාශයක් කරන ලදී.

               ‘මිනිසාගේ අභ්‍යන්තර ස්වභාවය-Human Nature- අප දන්නේම නැතිව වෙනස් වී ඇත’.

මෙම සූත්‍රය අපගේ සමාජයේ ගතිකත්වයට කදිමට මේ මොහොතේදී ගැලපෙයි. රනිල් සහ මහින්ද තම දෑත්වල කෙතරම් රුධිරය තවරාගෙන තිබේද? එය එතරම්ම ලංකාවේ වාම ව්‍යාපාරයන්ට ද අදාළය. 89 වසරේත්,2009 වසරේත් යුද්ධයට අවශ්‍ය මිනිසුන් පුහුණු කළේ ඔවුන්ය.

ඔබේ අදහස කියන්න...