බැලූ බැල්මට පරදාරක නවකතාව දෘෂ්ටි කෝණ අර්බුදයක පැටලී සිටී. කතාව කිව යුත්තේ නවකතාවේ පාත්‍රවර්ගයා විසින් ද නැතහොත් පිටස්තර කථකයකු විසින් ද යන්න ගැන නවකතාකරුවාට නිනව්වක් නැත. මේ නිසා පාඨකයාට එකම කරුණු යළි යළිත් කියවීමට සිදුවීමේ කරදරය නවකතාව අවසානය දක්වා ම විඳ දරා ගැනීමට සිදුවී ඇත.

මෙම නවකතාවට ප්‍රස්තුත වන්නේ තමන්ට උපදින අන්ධ දරුවා වෙනස් ස්ත්‍රියකගේ දරුවකු සමඟ මාරු කර ගත් මවුපිය යුවලක් පිළිබඳ කතාවකි. ඔවුහු තමන්ගේ දරුවා අනාථ නිවාසයකට බාර දී අන් දරුවකු තමන‍්ගේ දරුවා ලෙස හදා වඩා ගනී. අන්තිමේදී මානසික අවුලක පැටලෙන ස්වාමි පුරුෂයා පේර ගසක එල්ලී සිය පණ නසා ගනී. නවකතාව ආරම්භ වන්නේ පේර ගසෙහි එල්ලුන මළ මිනියේ දෘෂ්ටි කෝණයෙනි.

අනතුරුව කතාව කියන්නේ ඔහු පසු පසින් පැමිණි බල්ලෙකි. නවකතාකරුවා එම ස්ථානය අවට ගැවසුන වඳුරකු ද මේ මිනිසා දිවි නසා ගත් හැටි තමා දුටු බවට සාක්කි දීමට යොදා ගනී. පාඨකයාගේ වාසනාවට ඒ අවට සිටි ගිරවුන්, ලේනුන්, සැළලිහිනියන් ආදී වූ අනේක වූ කුරා කූඹීන් කතාකරුවාට ඇස ගැසී නැත. පසුව කතාව බිරිඳ වූ මාලනී, ඇගේ නැගණිය සන්ධ්‍යා, මාලනී‍ෙග් මව ආදී වූ පාත්‍ර වර්ගයා මෙම සිදුවීම් එකිනෙකා දකින විලාශය විස්තර කෙ‍ෙර්. එහිදීද මාලනීගේ මාමලා, රෝහලේ හෙදිය, මාරු කරනු ලැබූ දරුවාගේ සැබෑ මව ආදී වූ පාත්‍රයින් නවකතාකරුවාට මග හැරී තිබීම නම් පාඨකයාගේ පැත්තෙන් වාසනාවකි.

නවකතාකරුවාට බරපතළ ලෙස මග හැරී යන චරිතය නම් යුද බිමේදී මිය යන රංජි නම් වූ හමුදා සෙබලාය. මෙහි එන සියළු සිදුවීම් වල මුල් ඔහුගේ ය. ඔහු නිසා මාලනී ගේ කුසට පැමිණි දරුවා නැති කර ගැනිමට ගත් නිෂ්ඵල ප්‍රයත්නය අවසානයේ ඇයගේ පැරණි පෙම්වතා වූ අතුල සමඟ විවාහ වීමෙන් එම අවමානය වළකා ගනී. එහෙත් ඔවුන්ට ලැබෙන්නේ ආබාධිත දරුවෙකි. කතාව කීම සඳහා හමුදා සෙබලා ද කැඳවීමට නවකතාකරුවාට අමතක වේ. එසේ විනි නම් කැඳවිය යුතුව තිබුණේ මිය ගිය සෙබලාගේ අවතාරයයි.

වාගාලංකාරයෙන් තොර නිරුවත් බස් වහරකින් ලියවෙන මෙම නවකතාවේ අවුල් සහගත භාවිතය දෘෂ්ටි කෝණ මීට වඩා ඵලදායී ලෙස යොදා ගැනීමට අවකාශ තිබිනැයි කෙනෙකුට යෝජනා කළ හැක. යථාර්ථවාදී නවකතාවක ප්‍රස්තුත සිදුවීම විවිධ දෘෂ්ටි කෝණයන්ගෙන් විවරණය වන ප්‍රථම අවස්ථාව පරදාරක නොවේ. ඒ පිළිබඳ ඉතාම ජනප්‍රිය නිර්දශනය නම් රෂෝමාන් සිනමා පටයයි. එහිදී ස්වාමි පුරුෂයා මරා දමා ස්ත්‍රියක කෙලසීම පිළිබඳ පුවත එම සිදුවීමට අදාළ චරිත මඟින් කියවේ. මිය ගිය තැනැත්තා පවා අවතාරයක් ලෙසින් නව කතාව කියයි. එහෙත් එකිනෙකාගේ දෘෂ්ටි කෝණය තුළ අප කියවන්නේ එකිනෙකාට වෙනස් කතාවකි. එනයින් කුරසෝවා ජීවිතය චතුර්විධ කෝණයකින් කියවමින් යථාර්ථය යයි අප ගන්නා දෙයට එකම අර්ථයක් සැපයිය නොහැකි බව පෙන්වා දෙයි.

පරදාරක නවකතාව විවිධ දෘෂ්ටි කෝණයන්ගෙන් ලියවුණ ද අප කියවන්නේ ඒක රේඛිය වූ සරල කතාන්දරයමය. ඉන් ජීවිතය විවිධ ඉසව් ඔස්සේ විවරණය කිරීමට තිබූ අවකාශය නවකතාකරුවාට මග හැරෙයි. මරණය හඹා යාම (death drive) පුනරාවර්තනීය බව රෂෝමාන් සිනමා පටයේ කතාව කියවෙන ක්‍රමවේදය තුළම ප්‍රකාශ මානවේ. එහෙත් එකම කතාව යළි යළිත් කියවීමට සැලැස්වීම නිසා පරදාරක නවකතාව අර සම්ප්‍රදායික කියවීම් වලදී අප භාවිතා කරන පුනරුක්තිය නම් වූ රෝගයෙන් පීඩා විඳී.

අප ප්‍රශ්න කළ යුත්තේ නවකතාකරුවා හමුදා සෙබලා තමාගේ කතාව කීම සඳහා කැඳවීම මග හරින්නේ මන්ද? යනුවෙනි. ඩෙරිඩියානු විසංයෝජනය (Derridean deconstruction) හැම විටම තොරොම්බල් කරණ දෙයක් නම් ඕනෑම වියමනක යම් කරුණක් සැඟවීම සඳහා සංදිග්ධ බවක් (ambiguity) නිර්මාණය වී තිබෙන බවයි. මෙම නවකතාවෙ සොල්දාදුවා අනෙක් අය මෙන් තම කතාව කීම සඳහා නොකැඳවන්නේ අමතක වීමකින් විය නොහැක. මෙම ග්‍රන්ථයේ පසු පිටෙහි මෙසේ ලියැවේ.

“කාලයක් තිස්සේ කුරිරු යුද බිමක ජීවත්වීමේ ඍජු ප්‍රතිඵලයක් ලෙස සොල්දාදුවකුට ලැබෙන නොඉවසිලිවන්ත හැසිරීමේ අනියම් ප්‍රතිඵලයක් හේතුවෙන් ජන ජීවිතයේ ස්වභාවික රිද්මය අනපේක්ෂිත ඉසව්වකට ගමන් කිරීම නිසා අනිවාර්ය වංචනික ජීවිතයකට තල්ලු වන අහිංසක පවුලක් සංහිඳියාව විපරීත වී එය ඛේද වාචකයකින් කෙලවර වෙයි.”

හමුදා සෙබලාගේ හැසිරීම නවකතාවේ පෙළ තුළ සාධාරණීකරණය නොකරන කතුවරයා එය ග්‍රන්ථයේ පසු පිට දක්වා ගෙන යයි. වියමනින් පිටස්තර වූ කිසිවක් නැතැයි යන ඩෙරිඩියානු ආපත්ය මෙහිදි අපගේ සිහියට නැගේ. හමුදා සෙබලා වියමන තුළ සඟවා තැබීමෙන් වියමන විසින් ම එය විසංයෝජනය වීමට ඉඩ හැරීම සඳහා පරතරයක් නිර්මාණය කරයි. කතුවරයා අවයානත් කරන්නේ සොල්දාදුවාගේ හැසිරීම යුද බිමක කුරිරු බව විසින් ජනිත කළ ආවේගයක් බවට ඌනනය (reduced) කිරීමය.

මින් විසංයෝජනය වන්නේ තම නවකතාවේ පාත්‍ර වර්ගයාගෙන් තෝරා ගත් කීප දෙනෙකුගේ කතාව (speech) පමණක් මුදා හැරීමෙන් කතුවරයා ගොඩනැඟීමට වෑයම් කරණ නිශ්චිත අර්ථයන්ය. (stable Meaning) ලිවීමේදී අවරෝධනය කරනා දේ එකි ලිවීම විසින් ම එළිදරව් කරයි. සමස්ථ නවකතාවම සොල්දාදුවා නිහඬ කර තැබීම විසින් නිර්මාණය කරන පරතරය වටා භ්‍රමණය වේ. සැබවින් ම නවකතාව තුළ කොතෙක් අය කතා කළත් එම දෘෂ්ටි කෝණ විසින් නව්‍ය අත්දැකීමක් එළිදරව් නොකරන්නේ එබැවිනි.

මෙහි පළමු පරිච්ඡේදය කතුවරයා නම් කරන්නේ “මා මිය ගොස් අතුල” යනුවෙනි. එය ලියවී තිබෙන ප්‍රාථමික ශෛලියත් ඉදිරිපත් කරනා අව්‍යක්ත විලාශයත් සලකා බලා “පෑනක් කතා කරයි” “පොතක් කතා කරයි” ආදී වූ ලෙස මළ සිරුරක් කතා කරයි යනුවෙන් නැවත නම් කළ හැක. ඇත්තට ම නම් එලෙස එල්ලී දිවි නසාගෙන තිබෙන්නේ නවකතාවේ කි‍යවෙන අතුල නම් වූ චරිතය නොවේ. රූපික ලෙස (metaphoracally) එහි එල්ලී සිටින්නේ සිංහල නවකතාව ය.

සමන් වික්‍රමාරච්චි

ඔබේ අදහස කියන්න...