විවිධ ගුරුකුල විසින් විවිධ ආකාරවලින් ප්‍රකාශ කළ මුත් ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනය නිශ්චිත ලෙසම අවසන් වී ඇත. එහි කැඩපත වන්නේ සයිටම් අර්බුදයයි. සයිටම් ප්‍රශ්නය යනු ලංකාවේ වෛද්‍ය, අධ්‍යාපනය පුද්ගලීකරණයට අදාළව ඇතිවූවකි.
1978 වර්ෂයේ ජේ.ආර්.ජයවර්ධනගේ ධර්මිෂ්ඨ දෘෂ්ටිය විසින් එතෙක් පැවති වෘත්තීය සමිති දේශපාලනය මත රඳා පැවති වමේ දේශපාලනයේ සුජාතකරණය අහෝසි කරන ලදී. ඉතාම කෙටි නිර්වචනයකින් කිවහොත් වමේ දේශපාලනය යනු ධනවාදයට එරෙහි දේශපාලනයයි. ලංකාවේ සාම්ප්‍රදායක දේශපාලන පක්ෂ දෙක වනුයේ සමසමාජ පක්ෂය සහ කොමුයුනිස්ට් පක්ෂයයි. මේ වන විට මේ පක්ෂ දෙක කුමක් කරමින් සිටින්නේද යන්න ප්‍රහේළිකාවකි. ඔවුන්ගේ දේශපාලනය මුඛ්‍ය වශයෙන් යූ.එන්.පී විරෝධීය. එය යූ.එන්.පී විරෝධය සමඟ සමපාත කර ඇත.
ලංකාවේ සාම්ප්‍රදායක වම සතුව පැවති වෘත්තීය සමිති දේශපාලනය රාජ්‍ය බලය ග්‍රහණය කර ගන්නා පක්ෂ දෙක (යූ.එන්.පී/ශ්‍රී ලංකා) විසින් අවශෝෂණය කර ගන්නා තත්ත්වය තුළ ලංකාවේ වම පළමුව අතාර්කික විය. එතෙක් කල් රාජ්‍ය බලයට එරෙහි විඥාණයක එල්බගෙන සිටි වෘත්තීය සමිති නායකයන් “ජාතික සේවක සංගමය” හරහා තම ඉල්ලීම් දිනා ගන්නා තත්ත්වයක් තුළ වාමාංශික වෘත්තීය සමිති පළමුව අතාර්කික විය. 
78ට පසු ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන ගෝලීය පරිමාණයේ විෂම ආර්ථික ක්‍රියාවලිය නිසා ප්‍රාග්ධනය සහ ශ්‍රමය අතර ගැටුම සඳහා අලුත් අවස්ථාවන් සම්පාදනය විය. 80 දශකය අග වන විට විදේශ රැකියා මඟින් ප්‍රාග්ධනය හා ශ්‍රමය අතර එතෙක් පැවති පසමිතුරුභාවය සිසිල් වන්නට පටන් ගත්තේය. නිදහස් වෙළඳ කලාප ආශ්‍රිතව ඇති වූ අලුත් තත්ත්වයන් නිසා ග්‍රාමීය ප්‍රදේශවල කාන්තා ශ්‍රමයට ඉල්ලුමක් බිහි විය. මෙම නව විභවයන් නිසා ශ්‍රමයේ කේවල ශක්තිය වමේ ව්‍යාපාරය තුළින්ම වඩා සාම්ප්‍රදායක දේශපාලන පක්ෂ දෙක හරහා වර්ධනය විය. මෙම තත්වාරෝපිතය තුළ තව තවත් සාම්ප්‍රදායක වම අතාර්කික විය. මෙම ඓතිහාසික තත්ත්වය තුළ ජනතා විමුක්ති පෙරමුණේ පෙරටු බලඇණිය බවට විශ්ව විද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය පත් විය. එහි අග්‍ර ඵලය වූයේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයයි. 
ප්‍රාග්ධනය සමඟ කේවල් කිරීමේදී වෘත්තීය සමිති දක්වන ශක්‍යතා ශිෂ්‍යයන් පෙන්නුම් කරන්නෙ නැත. වෘත්තීය සමිති නායකයන්ට වඩා විශ්ව විද්‍යාල ශිෂ්‍ය නායකයන්ගේ විඥාණය සපුරා වෙනස්ය. විප්ලවවාදී පක්ෂයක් විසින් වෘත්තීය සමිති විඥාණයට කළ යුත්තේ කුමක්ද යන්න දනියි. ඒ සඳහා අදාළ වන න්‍යායට අනුව පක්ෂය කළ යුත්තේ කුමක්ද කියා පක්ෂයක් දන්නේ නැත. එවිට සිදු වන්නේ විවිධ උපයෝගීතා තර්ක ඒ සඳහා යොදා ගැනීමයි. අද දවසේ සයිටම් ප්‍රශ්ණයේදී සිදු වී ඇත්තේ එයයි. ශිෂ්‍ය දේශපාලනය හරහා රාජ්‍ය බලය ලබා ගැනීමේ සිහිනය අවදි වන්නේ මෙම මංසන්ධියේදීය.
අද දවසේ සයිටම් සිද්ධියට අදාළ ගැටලුවේ පරාමිතීන් ඉතා සරළය. අද සයිටම් ගැටලුවේදී වෛද්‍ය ශිෂ්‍ය සභාව සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටින්නේ වෛද්‍ය අධ්‍යාපනය පුද්ගලීකරණය නොකරන්න යන සරළ සටන් පාඨයයි. ඊට එහා යන කිසිදු සමාජ-ආර්ථික ගැටලුවක් ඔවුන්ට නැත. දිනෙන් දින වාණිජකරණය වන සෞඛ්‍ය සේවය ගැන කිසිදු කතාවක් ඔවුන්ට නැත. වෛද්‍ය සේවයේ ගුණාත්මක තත්ත්වය වර්ධනය කිරීම සඳහා කිසිදු ඉල්ලීමක් ඔවුන් කරන්නේ නැත. මේ ප්‍රශ්ණයේදී සමස්ථ ශිෂ්‍ය ප්‍රජාව දේශපාලනිකව මෙහෙයවන පෙරටුගාමී සමාජවාදීන්ට ද වෙනත් ඉල්ලීම් අදාළ නැත. ඔවුන්ගේ අදහස වන්නේ ශිෂ්‍යයන් ලවා උත්සන්න කරවන අරගලය අවසාන වශයෙන් රාජ්‍ය බලය ලබා ගැනීමේ ව්‍යාපෘතියක් දක්වා සංවර්ධනය කරවීමේ අභිලාෂයයි.
කිසිවකු අසන්නේ නැති ප්‍රශ්ණය කුමක්ද? රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ තාවකාලික වෛද්‍ය ශිෂ්‍ය සභාව විසින් මරාගෙන මැරෙන ලෙස වෛද්‍ය අධ්‍යාපනය නිදහස් වෙළඳපොළට ඇතුල්වීමට විරුද්ධ වන්නේ මන්ද?  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් විසින් ශිෂ්‍ය දේශපාලනය ඉතා විධිමත්ව රාජ්‍ය යාන්ත්‍රණයට එරෙහිව උත්සන්න කිරීමෙන් ඇතිවන ප්‍රතිඵලයක්ද නැත. ඉතිහාසය අපට උගන්වා ඇති පරිදි ශිෂ්‍ය දේශපාලනය රාජ්‍ය යාන්ත්‍රණයට එරෙහිව යොදාගෙන ඇති අවස්ථා එමටය. නමුත් එවැනි අවස්ථා හරහා ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය හිමිකරගැනීමට හැකි වූයේ නැත. යමක් අසාර්ථක වීමෙන් එම ක්‍රියාමාර්ගය අසාර්ථක වන්නේ නැත. පෙරටුගාමී සමාජවාදීන් උත්සහ කරන්නේ ඉතිහාසයට අලුත් අර්ථයක් දීමටය.
ඉතිහාසයට අලුත් අර්ථයක් දීම යනුවෙන් අදහස් කරන්නෙ කුමක්ද? ඉතිහාසයේ දෙවරක් අසමත් වූ දෙය තවත් වරක් උත්සහ කර ජය ගැනීමට හැකි යැයි ඔවුන් විශ්වාස කරයි. එම විශ්වාසය මායාවක් යැයි කිසිවකුට පැවසිය නොහැක. එල්.ටී.ටී.ඊ සංවිධානය මෙම මාර්ගය ඔස්සේ ගමන් කර අලුත් රාජ්‍යයක් පවා පිහිට වූයේය.
එසේ නම් ගැටලුව කුමක්ද? අප සිතනවාට වඩා ගැඹුරින් මිනිසුන් ධනවාදයට අවශෝෂණය වී ඇත. එවැනි දේ අනාවරණය වන්නේ ධනවාදයට එරෙහි අරගලය වඩ වඩා සංකීර්ණ වන විටය. පාදෙණිය වැනි වෛද්‍යවරයකුට වඩා අවශ්‍ය වන්නේ “සමාජ පිළිගැනීම” බව දෘෂ්‍යමානයදීම ප්‍රකාශමානය. ඔවුන් අරගල කරන්නේ සමාජ පසමිතුරුතාවයන් තුළ වෛද්‍යවරුන්ට හිමි පහසු අනන්‍යතාවය වෙනුවෙනි. තමන්ගේ දරුවන්ට පවා වෛද්‍ය අධ්‍යාපනය ලබා දීමෙදී ඔවුන්ට සම්මුඛ වීමට නියමිත අනාගත අපහසුතාවය ගැන ඔවුන් සංවේදීය. නමුත් වෛද්‍යවරුන්ගේ සමාජ බලය සැබවින්ම ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය බලය හරහාය. එය රාජ්‍යයෙන් නිදහස් කළ වහාම වෛද්‍යවරයා සතු අධිපති භූමිකාවද අහෝසි වන්නේය.
අනෙක් අතින් පෙරටුගාමී සමාජවාදීන් අරගලය උත්සන්න කරන්නේ ජනතාවගේ පසින් ‘සෞඛ්‍ය සේවය’ වෙනුවෙන් නොවේ. ඒ සඳහා ඔවුන් ඔවුන්ගේ අවිඥානික පුරුද්ද ප්‍රයෝජනයට ගෙන ඇත. ශිෂ්‍යයන්ගේ දේශපාලනය විනිව්ද ගොස් අලුත් “ජනතාවක්” නිශ්පාදනය කිරීමට අවශ්‍ය න්‍යායික අවි පෙරටුගාමී සමාජවාදීන්ට නොමැත. ඉතිහාසය අද දවසේ දෝළනය වන්නේ මෙම බලවේග දෙක අතරය. සත්‍යට වඩා මෙතනදී මායාවට ඇති අවකාශය සුවිශාලය.

දීප්ති කුමාර ගුණරත්න

 

 

 

 

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. //ඉතිහාසයට අලුත් අර්ථයක් දීම යනුවෙන් අදහස් කරන්නෙ කුමක්ද? ඉතිහාසයේ දෙවරක් අසමත් වූ දෙය තවත් වරක් උත්සහ කර ජය ගැනීමට හැකි යැයි ඔවුන් විශ්වාස කරයි.// කොච්චර කීවත් අහන්නේ නැහැනේ.

Comments are closed.