[dropcap color=”red”]මේ[/dropcap] දවස් වල වඩාත් ජනප්‍රිය මාතෘකාව වන්නේ නිළියන් දේශපාලනයට එක්වීමයි. පබා ගේ සිට අනර්කලී හරහා ජින්ජර් දක්වා නිළියන් පළාත් සභා මැතිවරණය සදහා ඉදිරිපත් වීම සම්බනධයෙන් ඇතිවන තිබෙන කතා බහ අපට කොටස් කිහිපයකට වෙන්කරන්න පුලුවන්.

01-මෙවැනි මෝඩ උගත්කමක් නැති අභිසාරිකාවන් රැළක් පළාත් සභාවලට පත් කිරීමට තරම් ජනතාව මෝඩ වන්න එපා යැයි මේ අය ජනතාවගේ ඉල්ලා සිටියි. මේ පිරිස අපට ඉරිදා පත්තර කියවන රූපවාහිනියේ දේශපාලන වැඩ සටහන් නරඹන සිවිල් උගතුන් වශයෙන් හදුන්වන්නට පුලුවන්

02- ‍දෙවන පිරිස යනු අනේ රටකට ගිය කලක් අපිට නම් දේශපාලනය ගැන තියෙන්නේ මහා කලකිරීමක් ඉස්සර දේශපාලනය කලේ කොයිතරම් නම් දැන උගත් අයද ඒ නිසා අපිට නම් දේශපාලන ගැන කිසිම හැගීමක් නැහැ. ඒ නිසා අපි මැතිවරණය වර්ජනය කරනව.

03- තුන්වන පිරිස කියන්නේ කවුරු ඡන්දය ඉල්ලුවහම අපිට මොකද ඡන්දේ දෙන්න වියදමක් යන එකක් යැයි ඒ නිසා ඔන්න ඔහේ කාට හරි ඡන්ද දෙනව පුරුද්දට

ඉහත කාණ්ඩ තුනට අමතරව මේ මැතිවරණ ගැන ඉදිරිගාමිව හිතන බව ලෝකයට පෙන්වන පිරිස තමයි ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වාමාංශික පක්ෂ සහ කණ්ඩායම්. මේ අය හරිම පාරිශුද්ධ දූෂණයට වංචාවට විරුද්ධ නීතියට සහ යහපාලනයට ගරු කරන පිරිසක්. ඒ අය කියන්නට උත්සහ කරන්නේ ලෝකයේ සියල්ල මේ විදිහට සිද්ධ වෙන්නේ නරක මිනිස්සු මේ රට පාලනය කරන නිසා බවයි. ඒ නිසා ඒ අය තමන් හොදයි කියන කුලකයට දා ගන්නව. ඒ නිසා මහින්ද රාජපක්ෂ රට විනාශ කරන්න ආපු රාක්ෂයෙක් බවට පත් වෙනකොට අනුර කුමාර දිසානායක ශාන්තුවරයෙක් යැයි පෙන්වන්නට උත්සහ කරනව. ඒ අනුව මහින්ද රාජපක්ෂ බලයෙන් පහකල වහාම බිහිවන්නට නියමිත ලෝකය කියන්නේ අකනිටා බ්‍රහ්ම ලෝකය වගේ සුන්දර තැනක් වෙනවා කියන එකයි.

වසර 2009 මැයි මාසේ 18 වනදා නන්දිකඩාල් කළපුවෙන් ප්‍රභාකරන් අපායට යැව්වට පස්සේ බිහිවුණ ලෝකය කියන්නේ සිංහල ජන විඥාණය අනුව ප්‍රභාකරන් නම් යක්ෂයා නැති නිදහස් රටක්. යුද්ධයෙන් වසර තුනක් ඇවෑමෙන් පසු අපි අදටත් කල්පනා කරනවා. ඇයි ප්‍රභාකරන් මරා දැම්මට පස්සෙත් අපේ ප්‍රශ්ණ ඉවර නොවන්නේ කියලා. ඇත්තටම අපි මුලින් හිතුවේ රටේ හැම ප්‍රශ්ණයකටම හේතුව ප්‍රභාකරන් කියලයි. ඒත් ප්‍රභාකරන් නැති වෙලා අවුරුදු තුනක් ගියාට පස්සේ තමයි අපට තේරෙන්නේ ඇත්තටම අපේ ප්‍රශ්න සහ ප්‍රභාකරන් අතර කිසිම සම්බන්ධයක් නැහැ කියලා. එහෙම නම් ප්‍රශ්නය තියෙන්නේ කොතැනද? ඒක හිතන්න ටිකක් සංකීර්ණ වැඩියි මේ නිසා අපි ලෙහෙසියෙන් ආයෙමත් පොදු සතුරෙක් අල්ල ගන්නව. මුලදී විග්නේෂවරන් රට විනාශ කරන්න ආපු රාක්ෂයෙක් කියලා දැකපු අය දැන් රාක්ෂියන් විදිහට දකින්නේ ජින්ජර්,අනර්කලී.පබා,නදීෂා වගේ අයවයි. කාලෙන් කාලෙට හාමෝටම මේ විදිහට රාක්ෂයන් අවශ්‍ය කරන්නේ ඇයි? තමන් දෛනිකව මුහුණ දෙන සංකීර්ණ ප්‍රශ්ණ ගැන හිතනවට වඩා මේ නිලියන් ගැන දාර්ශනික කතා කියන එක ලේසි වැඩක්.

මේ යුගයේ තමන් දාර්ශණිකයන් යැයි කියලා හිතන් ඉන්න ඒ බව ලෝකයට පෙන්වන්නට උත්සහ කරන අය කියන්නෙත් මේ වගේම කොටසක් තමයි. ලංකාවත් ඇතුලුව  මනුෂ්‍ය වර්ගයා  මේ වන විටත් ගෝලීය වශයෙන් මුහුණ දී ලා ඉන්න ප්‍රශ්න දිහා බලන කොට ජිජැක් හෝ වෙනත් දාර්ශණිකයෙක් ගේ දාර්ශණික සංවාදයක් පෙන්වලා මෙන්න බලන්න මැජික් යැයි කියන්නට දගලන අයට කියන්න ඕන මහපාරට බැහැලා බලන්න ඇත්තටම රටේ ප්‍රශ්න කියන්නේ මොනවටද කියලා. දැන් ගොඩක් අය වැඩිපුරම ආසා කරන්නේ වචන කතා කරන්න. ඒ වචන වල අර්ථය අපි ඇත්තටම ජීවත් වන සමාජය එක්ක බද්ධ විය යුතු ගැටළු වලට අදාල වචන වෙනවද නැද්ද කියන අදාල නැහැ. ගොඩක් අය ආස තමන් දන්නවා කියලා ලෝකයටම පෙන්වන්නයි. ඒ නිසා තමයි ගොඩක් අය නිළියන් දේශපාලනයට ඒම ගැන තමන් දන්නවා කියලා අගවන්න පතරංග ලිපි ලියන්නේ.

වර්ථමානයේ අපේ රටේ විතරක් නෙවි ලෝකයේ විවිධ ජන වර්ග වලට අයත් මනුෂ්‍යයන් මුහුණ දී ඉන්න අර්බුදයන් ගෝලීය වශයෙන් ජය ගන්නට ලෝක ධනවාදයට හැකියාවක් නැහැ. ඒ නිසා තමයි අර්බුදය දවසින් දවස උග්‍ර වන්නේ. අපි ජීවත් වන ලෝකය කියන්නේ දෛනිකව මිනිස් වාසයට නුසුදුසු තැනක් බවට පත්වන සංකීර්ණ ක්‍රියාදාමයක ප්‍රතිඑලයක්. කොදෙව් මානසිකත්වයක් තියෙන අපි වගේ රටක මිනිස්සුන් ගෙන් අපට අසන්නට වෙන්නේ මෙහෙම දේවල් විතරයි. අප්පෝ අපි නම් දේශපාලනයට කැමති නැහැ. මට නම් ඔය රටේ ප්‍රශ්ණ වැඩක් නැහැ. අපිට කාලා ඇදලා කරදරයක් නැතිව ඉන්න තිබුනා නම් ඒ මදැයි. ජීවත් වෙලා ඉන්න ටික කාලේ මොකටද අනේ රටේ ප්‍රශ්න ගැන හිතන්නේ. අනික මොකා හොරකම් කළාම අපිට මොකද අපි අපේ පාඩුවේ ඉන්නව. ඒ වුනාට ගොඩක් අය නොදන්න කටුක යථාර්ථය තමයි තමන් ගේ බිරිද සමග හැමදාම රෑට ලෝකයම අමතක කරලා ලිංගිකව හැසිරෙන ජෝඩුවක ගේ හෙට දවස තීරණය වෙන්නේ තමන් කවදාවත් නොදන්න රටක ආර්ථික ක්‍රියාදාමය සමතුලිතව තියෙන නිසා කියන එක. අප්‍රිකාවේ පතලක කුසට ආහාරයක් නැති දවසට පැය පහලවක් විතර වැඩ කරන කම්කරුවෙක් ගේ ශ්‍රම ක්‍රියාදාමය නැතිනම් තමන්ට ආඩම්බරයෙන් ඇපල් අයි ‍ෆෝන් එකක් පාවිච්චි කරන ගමන් අමතර විනෝදයක් ලබා ගන්න බැහැ කියන එක පාරිභෝගික භාණ්ඩ නිසා ඇස් ගිණිකණා වැටිලා ඉන්න අය දන්නෙ නැහැ.

ඒ නිසා ඇස් ඇරගෙන මේ පළාත් සභා මැතිවරණය ඉවර වෙනකම් හොදට බලාගෙන ඉන්න කොච්චර නම් ගොන් කතා දාර්ශණික අයිසින් දාලා බුද්ධිමතුන් කියන අය කියනවද කියන එක. මේ ගැන හොදටම කරුණු දැන ගන්න අවශ්‍ය අය මේ දවස් වල වැඩියෙන් රාවය පත්තරේ බලන්න.

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. /** අප්‍රිකාවේ පතලක කුසට ආහාරයක් නැති දවසට පැය පහලවක් විතර වැඩ කරන කම්කරුවෙක් ගේ ශ්‍රම ක්‍රියාදාමය නැතිනම් තමන්ට ආඩම්බරයෙන් ඇපල් අයි ‍ෆෝන් එකක් පාවිච්චි කරන ගමන් අමතර විනෝදයක් ලබා ගන්න බැහැ කියන එක දන්නෙ නැහැ. */

    මේක නිකං විශ්වාසයක් විතරයි නේද? එහෙම නැතුව ආනුභවිකව සත්‍යේක්ෂණය (empirical verification) කළ හැකි ලෙස ඔප්පු කරපු තැනක් තියෙනව ද? තියෙනවා නම් මෙතන ලින්ක් එකක් දාන ද?

  2. මේ වගේ දේවල් සත්‍යෙක්ෂණය කරන්න අනුන්ගෙන් ලින්ක් ඉල්ලන්න ඕනේ නෑ. ටිකක් කියවලා බලන්න. මෝඩ අස්සයින්ට වතුර පොවපු යුගය ඉවරයි.

Comments are closed.