හේගල් දර්ශනයට කාර්යයන් දෙකක් නියම කරන ලදී. එකක් වන්නේ, ඊට හිමි ඓතිහාසික සහ ව්‍යාධිවේදී විශ්ලේෂණය යි. ඉන් අදහස් වූයේ, අප අද ඇද වැටී ඇති ස්ථානය ඓතිහාසිකව නිර්මාණය වූයේ කෙසේ ද යන්නත් එනම්, කාල අනුක්‍රමයත් ; ‘අනෙක් පැත්තෙන්, මේ මොහොතේ මනසට හිමි ව්‍යාධිවේදී විශ්ලේෂණයන් ය. මින් අදහස් වන්නේ, සමකාලීන මිනිස් විඥාණයේ පිහිටුම් ලක්ෂය යි. මනස තමා පිළිබඳවම සාර ගවේෂණයක යෙදී සිටියි. එහිදී, සමකාලීන ඉතිහාසය අවසන්ව ඇති යුගයක දී පශ්චාත්-නූතන නරුමවාදී ආත්මයේ ස්වයං පිහිටුම කුමක්ද යන්න ගවේශණය කිරීම දාර්ශනික න්‍යායේ කර්තවයකි. මේ සන්දර්භය තුළ සමකාලීන මිනිසා යනු, වැසිකිලි වලක බැස රෝස මල් පාත්තියක් ගැන සිහින මවන්නෙකි. සිතුවිල්ල ‘තමාවම’ නිපදවන යුගය ගැන සංකල්පගත කිරීමකට යොමු වී ඇත්නම්, එය දාර්ශනික න්‍යායේ අර්ථය යි.

                   සබුද්ධිකත්වය සමාජ භාවිතාවකි. සමකාලීනත්වය යනුම ගැටලුවක් වුවත් සමකාලීන මිනිසා මහා-ආඛ්‍යාන ගොඩනැඟීම නවත්වා චූල ආඛ්‍යාන සොයමින් සිටිති. ධනවාදය අපට උරුම කර ඇති මානසික ආතතිය අමතක කර සමලිංගික විවාහවලට අවසර ඉල්ලන උද්ඝෝෂණ රැළියකට සහභාගී වීම සිතට සහනයකි.

                   ශ්‍රී ලංකාවේ ‘පොදු සිතීම’ පුද්ගලික තලයක එක්තරා මොහොතක් දක්වා පැමිණ නතර වී ඇත. මේ තැන කුමක්ද? විශ්ලේෂණය කළ යුත්තේ මෙය යි. සොක්‍රටීස් වහ බිව්වේ ඇයි? රාජ්‍යය සමඟ සන්ධානයකට පැමිණ ඔහුට තම දාර්ශනික කාර්යය දිගටම කරගෙන යාමට හැකිව තිබිණි. සොක්‍රටීස්ට අවශ්‍ය වූයේ, සත්‍යය පිළිබඳ පරමාදර්ශයක් බවට තමාව පත්කර ගැනීමට ය. සන්ධානය වෙනුවට පසමිතුරු බව ඔහු තෝරා ගත්තේ ය. නමුත් සමකාලීන සිංහලෙන් පමණක් ලියැවෙන- අපට ප්‍රතික්‍රියාවක් ලෙස බිහි වූ – දාර්ශනික විවාදවල මෙම සොක්‍රටීසියානු හරය ඉවත් කර ඇත. වහ බීම වෙනුවට විතණ්ඩත්වය තෝරාගෙන ඇත. පාක්ෂික සහ පාර්ශවීය සත්‍යයන් තෝරා ගැනීම වෙනුවට තක්කඩින්ගේ අරමුණු වලට කඩේ යාමක් සිදු වෙයි. ”YouTube වඳුරන්” විසින් සයිබර් අවකාශයේ මවන පිල්ලි වලට මතුරමින් සිටින ව්‍යාජ සළුපිළි හැඳගත් ප්‍රතිරූප වන්දනයට මිස වෙනත් බුද්ධිමය කාර්යයකට ලංකාවේ ඉඩක් නැත.

                    ප්‍රශාන්ත රත්නායක යනු, දෙනියාය පැත්තේ වතු අධිකාරීවරයෙකුගේ දරුවෙකි. ඔහු කොළඹ නගරය තුළ එක්වරම ප්‍රාදුර්භූත වීම හරහා සාදෘශ්‍ය වන්නේ, පීටර් හන්කගේ ‘කස්පා’ නම් නාටකයේ ප්‍රධාන චරිතයට ය. නාට්‍යයේ පිටපතට අනුව නගරයේ චතුරස්‍රය මැද එක්වරම රාජකීය ඉතිහාසයක් සහිත තරුණයෙකු හදිසියේ පහළ වී ඇත. මිනිසුන්ට මේ ගැන දැඩි කුතුහලයක් ඇත.

                    චතුරස්‍රය මැද දී හමු වූ මේ ‘අද්භූත මිනිසා’ විසින් සමාජ අවිඥාණයේ එක්තරා හදිසි අවශ්‍යතාවයක් සපුරන ලදී. ඒ අනුව, ‘අද්භූත මිනිසා’ චතුරස්‍රයට පැමිණීම පිළිබඳව අපූර්ව ආඛ්‍යානයක් ගොඩනඟන ලදී. එය මෙසේ ය. එක්තරා රජ පවුලකින් දරුවෙකු අතුරුදහන් විය. දරුවා ඉන්පසු වැඩුණේ, කැලයේ සතුන් සමඟ ය. ඔහුට භාෂාව ගැන කිසිදු අවබෝධයක් නොතිබුණු අතර ඔහු හැසිරුනේ සතෙක් විදිහට ය. දැන් මේ සතා එක්වරම ශිෂ්ටාචාරයට ඇතුල් වී ඇත. මේ සතෙක් වැනි මිනිසා ගැන එකල ජර්මනියේ සියලුම විද්‍යාවන්ට අධිපති චින්තකයන්ට කුතුහලයක් ඇති වී ඇත. එය නාට්‍ය සාහිත්‍යයට පවා උත්තේජනයක් සැපයීය. කෙසේ වෙතත්, ‘කස්ප’ නම් මෙම භූමිකාව හදිසියේ සමාජ යථාර්ථය තුළට කඩා වැදීම නිසා සංකේත යථාර්ථය තුළ හිඩැසක් නිර්මාණය විය. ඊට හේතුව වූයේ, කස්පා පිළිබඳව හේතු-ඵල සම්බන්ධයක් ගොඩ නැගීමට ඇති දුෂ්කරතාවය නිසා ය. දැන්, අප ඔහුට භාෂාව උගන්වා ශිෂ්ට කළ යුතු ය.

                     ඉතාම තාර්කික දෘෂ්ටිකෝණයකින් නැරඹූ විට, මෙවැනි පුද්ගලයෙකුගේ ප්‍රාදුර්භූත වීම තාර්කිකත්වය විසින්ම ඉල්ලා සිටි යථාර්ථයකි. හරියට ඔහු එනතුරු බලා සිටියා වැනි හැඟීමක් අප කාටත් ඇති වීම සාමාන්‍ය තත්ත්වයකි. ආකෘතිවාදී – Formal- දෘෂ්ටි කෝණයකින් නරඹන විට, ‘කස්පා’ වැනි අද්භූත පුද්ගලයෙකු බිහි වීම තාර්කික ඥාණ ව්‍යුහයේම අනිවාර්ය ඵලයකි. ඔහු වැනි පුද්ගලයෙකුව නිෂ්පාදනය කරන ලද්දේ ම තාර්කික ඥණයේ ව්‍යුහයන් විසින්ම ය. ‘දැනුම’ ගොඩනැගීම ආරම්භ කිරීමට එම දැනුම නැති ‘හිස් ආත්මයක්’ (Empty Subject) අප පරිකල්පනය කළ යුතු ය. ‘හිස් ආකෘතිය’ නම් සංකල්පගත කිරීම නැතිව එම හිස් බව පිරවීම නම් අදහසක් (ඩේකාඩ්) ජනනය වීමට අවකාශයක් නැත. හේතුව (Reason) මඟින් ඉෂ්ට කරන්නේ, මෙම කාර්යය යි. ඉතිහාසයේ එක්වරම ‘හිස් ආකෘතිය’ කියන මානව අත්දැකීම හමු වුණාම, ‘අවබෝධය’ පස්ස දොරෙන් පැන යනවා. හේතුව ඉදිරියේ අවබෝධය පසු බසිනවා. ඉතිහාසයේ ‘කස්පා’ මොහොතට පසුව ආකෘතිය බලවත් වෙලා, අන්තර්ගතය ඊට පසුපසින් ගාටනවා. හරියට, විද්‍යාව දෘෂ්ටිවාදය පිටුපසින් ගාටනවා වගේ.

Sinhala Foucault

                    අපි දැන් කස්පාගෙන් ප්‍රශාන්තට එමු. ඔහු 90 දශකය මැද දී කොළඹ ඇවිල්ලා එක්වරම, සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ ප්‍රධාන චරිතයක් වෙනවා. කුමාරි ජයවර්ධන, චාල්ස් අබේසේකර, ජයදේව උයන්ගොඩ වගේ විද්‍යාඥයන් කිසිකෙනෙකුට මේ පහළ වීම ගැන කිසිදු දාර්ශනික හේතුවක් කියන්න බැහැ. එම ආයතනය මඟින් පවත්වන විවිධ සම්මන්ත්‍රණ, ප්‍රකාශන පිටවීම්, වැදගත් සාකච්ඡා ආදි සියල්ලෙහි අනිවාර්ය සාමාජිකයෙක් තමයි ප්‍රශාන්ත. ඔහු ඒ කාලයේ, තිඹිරිගස්යාය, නුගේගොඩ, මහජන පුස්තකාලය, විවිධ X කණ්ඩායමේ රැස්වීම් වලට එන්නේ, මිචෙල් ෆුකෝගේ ‘Power / Knowledge’, ඡාක් ඩෙරීඩාගේ ‘Of Grammatology’, ෆ්‍රෙඩ්රික් ජෙම්සන්ගේ ‘Post-Modernism Or the Cultural Logic Of Late Capitalism’, ජීන් ප්‍රාංශුවා ලියෝතාගේ ‘The Post-Modern Condition’ වගේ පොතක් අතේ තියාගෙනයි. කොළඹ නගරයේ හිටපු මානව සහ මානුෂික විද්‍යාවන්ට අදාළ විද්‍යාඥයන් බහුතරයක් ඔහුගේ කුළුපග මිත්‍රයන් ය. කොටින්ම, ඇකඩමික්/ සාමාන්‍ය ඉර බොඳ කරපු රංජිත් පෙරේරාගේ පවා ප්‍රශාන්ත හොඳ මිත්‍රයෙකි. නමුත් 21 වැනි සියවස මුල් කාර්තුවේ දී, ඔහු මේ බුද්ධිමය අවකාශයෙන් වියැකෙනවා. එහෙම වුණේ ඇයි කියලා කවුරුවත් දන්නේ නැහැ. ඔහුව ඒ කාලයේ හාස්‍යයට ලක් කළේ මම විතරයි. 

                  නමුත් 2004 සිදුවීමට පසුව ඔහුව මට සැබෑවටම හමු වෙනවා. ‘බොරදිය පොකුණ’ කියන චිත්‍රපටය සංවිධාන මූලස්ථානයේ ප්‍රදර්ශනය කිරීම සංවිධානය කළෙත් ඔහු ය. පසුව, අපි ‘මව්බිම’ පුවත්පතේ සේවය කරන විට ඔහු ඒ අසල නිවසක් කුලියට අරගෙන අප නිරන්තරයෙන් හමු වුණා. විවිධ අවන්හල්වලින් ආහාර ගත්තා. සතුටු සාමීචියේ යෙදුනා. 

                         මේ අතරේ, එක්තරා තීරණාත්මක දිනක දී මම ප්‍රශාන්තගෙන් මෙහෙම ඇහුවා.

   “ප්‍රශාන්ත, ඔයා අර පොත් නිකං අරගෙන ගියාට ඒවා එකක්වත් කියවලා නැහැ නේද?” මේ ප්‍රශ්නය හමුවේ ඔහු කිසිදු චකිතයක් ගත්තේ නැහැ. සෘජු ලෙස, ඔහු මට මෙහෙම උත්තර දුන්නා.

    “දීප්ති ඒ පොත්වල අන්තර්ගතය ගැන කිසි කෙනෙකුට අවධානයක් තිබුණේ නැහැ. සුනිල් (විජේසිරිවර්ධන) වගේ කෙනෙක් එක්ක මම නොකියවපු පොත් ගැන පැය ගානක් කතා කරලා තියෙනවා. කියවලා නැති පොත්වල අන්තර්ගතය බුද්ධිමතුන් සමඟ කතාබහ කිරීම හරිම විනෝදාත්මක අත්දැකීමක්. සමහරවිට, ඒ අය දන්නවත් ඇති ඒ පොත් මම කියවලා නැහැ කියලා. නමුත් ඒ අයට ඕන වුණේ, දීප්ති හැර තවත් සාමාන්‍ය අය ඉන්නවා මේ පොත් කියවපු කියන සිද්ධාන්තය සමාජයට ඔප්පු කරන්න විතරයි. මම SSA එකෙන් ගහපු සමහර පොත්වල සංස්කාරකවරයා . හැබැයි ඒවායේ අන්තර්ගතය ගැන මට වැටහීමක් නැහැ”.

 

                          ප්‍රශාන්තගේ ඉහත උදාන වාක්‍ය තුළ ඇත්තේ, හුදු නරුමත්වයක් නොවේ. එතැනදී, ඔහු යම් විද්‍යාවක් අතපත ගානවා. නූතනත්වයේ එක්තරා මොහොතක දී ‘හිස් ආත්මය’ කියලා දෙයක් බිහි වෙනවා. මේ හිස් බව ඉදිරියේ සංස්කෘතිය කියන්නේ, කසළ ගොඩක් විතරයි. ප්‍රශාන්තට අනුව සමාජ බුද්ධියේ ආකෘතිය – Form – විතරයි අපි වැළඳ ගන්න ඕනේ. අන්තර්ගතය ඉතිරි මිනිස්සු පුරවලා දානවා. අපි සරල උදාහරණයක් ගමු. ඔන්න ප්‍රශාන්ත යනවා නුගේගොඩ පැවැත්වෙන දේශපාලන රැස්වීමකට මිචෙල් ෆුකෝගේ ‘History of sexuality’ පොතත් අරගෙන. එතැන ඉන්න මෝඩයෙක් මේ පොත දකිනවා. ඔහු ප්‍රශාන්ත එක්ක මේ පොත ගැන කතා කරන්න පටන් ගන්නවා. ප්‍රශාන්තත් දිගට හරහට කතා කරනවා. ටික වෙලාවකට පස්සේ, අර මෝඩයා ප්‍රශාන්තගෙන් සමුගෙන එවකට පැවැති විභවි කාර්යාලයට යනවා. එතැනදී, ඔහු ප්‍රශාන්තට ෆූකෝ ගැන ඇති අවබෝධය ගැන විභවි ශ්‍යාමා එක්ක කතා කරනවා. ඇය ඒක නලින් සුවාරිස් එක්ක කතා කරනවා. ඊට පස්සේ, සුවාරිස් සහ ප්‍රශාන්ත අතර හමුවක් ඇති වෙනවා. එතැනට, අහම්බයෙන් ඩෙස්මන් මල්ලිකාරච්චි එනවා. ඔවුන් තුන්දෙනාම ෆූකෝ ගැන දීර්ඝ සංවාදයක් කරන අතර දීප්ති ෆූකෝව විකෘති කරන හැටිත් කතා කරනවා. දැන් අවුරුදු 18 කට විතර පස්සේ, තව මෝඩයෙක් මේ ෆූකෝ සංවාද එකතු කරලා පොතකුත් ප්‍රකාශ කරනවා. අපි මෙතන සාකච්ඡා කරන්නේ, යම් කෙනෙක් තව කෙනෙක්ව රැවටුවා කියන එක නොවේ. නූතනත්වය රජ කරන සමාජයක ‘දැනුම’ ව්‍යුහගත වන ආකාරය යි. ඒ කියන්නේ, අපි නූතන වෙනකොටම දැනුම සහ හිස් බව අතර දයලෙක්තික සම්බන්ධයක් බිහි වෙනවා.

                            මතක තරමින්, 2007 වැනි වසරක දී ප්‍රශාන්ත අපගේ සංවාද භූමියෙන් අතුරුදහන් වෙනවා. කාලයක් ගියාට පස්සේ, ඔහු ගැන පුදුම හිතෙන කතාවක් අහන්න ලැබෙනවා. ඔහු ජීවත් වන්නේ, ‘යෝලැන්ඩා ෆොස්ටර්’ එක්ක ලන්ඩනයේ කියන ආරංචිය ඇහිච්ච ගමන් මට යෝලැන්ඩාව තේරුම් ගන්න බැරි වෙනවා. [ඇය ඒ මොහොතේදී, ‘ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ’ ලන්ඩන් ශාඛාවේ කළමනාකාරිය වශයෙන් සේවය කරන ලදී.] තර්කය/අවබෝධය අතර සහසම්බන්ධ ප්‍රතිපක්ෂය බිඳ වැටී වටහා ගැනීමට දුෂ්කර ආකෘතික පැණි මුට්ටියකට යෝලැන්ඩා නම් ආත්මය විනෝදය වෙනුවෙන් ඇද වැටීම ගැන අප පුදුම විය යුතු නැත.[middle class fantasy] ඇය මට 98 වැනි ඈත කාලයක දී, අපගේ පක්ෂ මූලස්ථානයේ දී  කිහිප වරක් හමු වෙනවා. එවකට, ඇය ලංකාවේ දේශපාලන පක්ෂ ගැන සමාජ-විද්‍යාත්මක විග්‍රහයක් සිය ආචාර්ය උපාධිය වෙනුවෙන් කරමින් සිටියේ. ඇය ගින්දර වගේ තාර්කිකත්වයට බර ස්ත්‍රියකි. ආරංචිය නිසා මට දෙවියන් සිහිපත් වුණා. තවත් කාලයක් ගත වුණා. මීට අවුරුදු කිහිපයකට පෙර, ප්‍රශාන්ත හෘදයාබාධයකින් හදිසියේ දී ලන්ඩනයේ දී නැති වූ බවත් ආරංචි වුණා. ඒ වන විට, ඔහු යෝලැන්ඩාගෙන් වෙන් වෙලා හිටි බවත් වාර්තා වුණා.

                          සමාජයක් නූතන (Modern) වෙනකොට, තවදුරටත් අපව ආරක්ෂා කරන සම්ප්‍රදායන් අපගේ පිහිටට එන්නේ නැහැ. නූතනත්වය එක්ක බිහිවෙච්ච බටහිර චින්තකයන්, කලාකාරයන් ගත්තම ප්‍රශාන්ත කියන්නෙත් මිනිස් ජීවියෙක්. හිස් බව ආත්ම කොටගත්, අන්තර්ගතයක් විරහිත මේ මිනිසාට සමාජ ආකර්ෂණයක් පැවතීම අහම්බයක් නොවේ. යුරෝපයේ දී අවුරුදු 200කින් වෙච්ච විපර්යාස ලංකාවේ දී පසුගිය වසර 40 තුළ සිදු වුණා. මගේ ජීවිතය ආරම්භයේ දී මම කියෙව්වේ කුප්පි ලාම්පුවෙනි. අද මගේ නිවසට අන්තර්ජාලය වෙනුවෙන් ප්‍රකාශ විද්‍යුත් කේබල් ඇදලා තියෙනවා.

                        දැන් අපි අපේ මුඛ්‍ය ගැටලුවට එමු. ලිඛිත සංඥාව නිසා කතුවරයා සතු බලය විකේන්ද්‍රීය වුණා. ‘සංඥාව’ (Sign) එය නොවන දෙයට බද්ධ වීම නිසා ‘සංකේත බලය හෝ සිවිල් බලය’ විකේන්ද්‍රීය වුණා. මම මහන්සිවෙලා Power/Knowledge කියෙව්වා. ප්‍රශාන්ත කළේ, ඒ පොත පාරේ යනකොට අතේ තියාගෙන යන එක විතරයි. පරතරය සහ ප්‍රමාදය නිසා බාහිර නිරීක්ෂකයෙකුට අපි දෙදෙනා එකම සංඥාවකි. එසේ නම්, අපගේ ඊළඟ පියවර Facebook යුගයේ දී කුමක් විය යුතු ද? දැනුමෙන් සත්‍යයට අප මාරු විය යුතු ය. ඒ සඳහා, සංඥාව විචාරය කරන දේශපාලන ක්‍රමවේදයක් සොයා ගත යුතු ය. 

Deepthi kumara Gunarathne.

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

අයදුම් කිරීමට මෙතන Click කරන්න

සමබිම පක්ෂය

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. ප්‍රශාන්ත මමත් දන්නවා , නමුත් ඔහු මා සමග කවදාවත් පොත් ගැන කතා කරලා නැහැ ඇම්නෙස්ටි එකේ වැඩ වගයක් කතා කළා , බලාගෙන ගියහම චරිතයක් නේ

Comments are closed.