ලැකාන් තම මහජන සම්මන්ත්‍රණයකදී එක්තරා අපූර්ව සොයා ගැනීමක් කරන ලදී. මනුෂ්‍ය ලිංගිකත්වය අරබයා ඔහු විසින් කරන ලද නිරීක්ෂණය ඔහු මෙලෙස ප්‍රවාදගත කරන ලදී. For the moment. I am not Fucking, I am talking to you. Well! I can have exactly the same Satisfaction as if I were Fucking. මෙම ඉංග්‍රීසි වාක්‍යයේ සිංහල – බෞද්ධ පරිවර්තනය අපට මෙසේ සකස් කළ හැක. මේ මොහොතේ මම ‘අරක’ කරන්නේ නැහැ. මම කරන්නේ ඔබ එක්ක කතා කරන එක විතරයි. හැබැයි මම මේ කතා කරන එකෙන්, අරක කරන තරම්ම තෘප්තියක් ලබනව.

ඉහත උදාහරණය හරහා ලැකාන් පැහැදිලි කිරීමට උත්සාහ කරන දාර්ශනික ප්‍රවිශ්ටය අපට මෙලෙස සාරාංශගත කරන්න පුළුවන්. මර්දනයකින් තොරව උත්කෘෂ්ටත්වය ලබා ගැනීමේදී මිනිස් හඹායාම්වල අර්ථය වන්නේ තෘප්තියයි. බොහෝ විට අප සිතන්නේ උත්කෘෂ්ටභාවය අපට ලබාගත හැකි වන්නේ ආදේශකයක් හරහා පමණක්ය යන්නය. මෙම අදහසට අනුව ‘අර වැඩේ’ කරනවා වෙනුවට මිනිසුන් චිත්‍ර අඳියි, දේශපාලනය කරයි, ලිපි ලියයි, මල් වවයි ආදි වශයෙනි. මෙවැනි ක්‍රියාකාරකම් හරහා ‘අර වැඩේ’ කරනවාට වඩා වෙනත් ආකාරයක තෘප්තියක් අපට හිමි වෙයි. ආදේශක තෘප්තීන්ට ඇත්තේ ලිංගික තෘප්තීන්ට නැති වෙනත් අධ්‍යාත්මික තෘප්තියකි. නමුත් ලැකාන්ගේ ප්‍රවාදය අප සිතනවාට වඩා රැඩිකල්ය. ඔහුට අනුව ක්‍රියාකාරකම වෙනස් වුවත් ‘තෘප්තිය’ සමානය. කල්පනාවෙන් පරීක්ෂා කළ විට වැටහෙන්නේ කතාවේ යොමුව (සුචිය) වන්නේ ලිංගික මූලාශ්‍රයක් නොවන බවය. ඒ වෙනුවට කතා කරන්නා කතා කිරීම මගින්ම තෘප්තියක් ලබයි. මෙමගින් අපට ලිංගිකත්වයේ ස්වභාවය පිළිබඳ නව මානයක් හෙළිදරව් වෙයි. YouTube චැනලයේ ඇති නලීන් ද සිල්වාගේ සිංහල – බෞද්ධ ප්‍රවාද ඇතුලත් වීඩියෝ කල්පනාවෙන් නරඹන්න! ඔහු තමන්ගේ කතාව ආරම්භ කරන විට සහ කතාව නතර කර අලුතින් පටන් ගන්නා බොහෝ තැන්වලදී තලු මරන ශබ්දයක් ඇසේ. ඉලක්කයක්, අරමුණක් හෝ බාහිර භෞතික වස්තුවක් කෙරෙහි යොමු නොවූ ඔහුගේ කතාවේ තෘප්තිය ලිංගික එකකි. ඔහුගේ කතාවෙන් බහිශ්කරණය වන්නේ හුදු සිංහල – බෞද්ධ ප්‍රවාද පමණක් නොවේ. එමගින් ඔහුගේ නිර්ලිංගික ජාතික චින්තනයේ ලිංගික සාරය පිටතට මුක්ත වෙයි. ක්වොන්ටම් සන්දර්භයක දී කිවහොත් අසන්නියකට එකවර ඔහුගේ කතාවේ අර්ථය සහ තෘප්තිය වටහාගත නොහැක. එකක් අල්ලන්නට ගිය විට අනෙක අහිමි වෙයි. (අංශුවල ප්‍රවේගය සහ ස්ථානය එකවර ග්‍රහණය කළ නොහැකි පරිදි) නලීන් ද සිල්වාට අනුව විඥානය යනුවෙන් ඉන්ද්‍රියක් පැවතියත් අවිඥානය යනුවෙන් ඉන්ද්‍රියක් නොමැත. එහි විපාකය වන්නේ ‘අවිඥානක ප්‍රවාද’ යනුවෙන් ප්‍රපංචයක් ඔහුට සම්මුඛ නොවීමයි. ඔහු දිගටම කතා කරන්නේ, ලියන්නේ ඉන් ලිංගික තෘප්තියක් ලබන නිසා මිස බාහිර අර්ථයක් ජනනය වන නිසා නොවේ. ඔහුගේ ආශාව ජාතිය වුවත් හඹා යාම ලිංගිකය. ඔහුගේ මෙම ලිංගික හඹා යාම අධ්‍යාත්මිකය. ඊට ශාරීරික ඉන්ද්‍රියන් අවශ්‍ය නැත. ඔහු අමරණීයයි ඔහුම සිතන්නේ මේ නිසාය.

කතාව සහ භාෂාව මිනිස් ලිංගිකත්වය ව්‍යුහගත කරන බව නිදර්ශනය කිරීමට අපට තවත් සිනමා උදාහරණයක් සලකා බැලිය හැක. එක්තරා චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් විසින් එහි උප භූමිකාවක් රඟන ස්ත්‍රියක් සමග තම මෝටර් රථයෙන් ඇගේ නිවසට යයි. ගමනාන්තයේ දී ඇය ඔහුට මෙසේ පවසයි. “ගේ ඇතුලට එන්න! කෝපි එකක් එහෙම බීලා යන්න පුළුවන්’’ එවිට ඇගේ භාෂාව වැරදියට වටහා ගන්නා ප්‍රධාන භූමිකාව මෙසේ පවසයි. “මම කෝපි බොන්නෙ නැහැ’’ එහිදී නැවත ස්ත්‍රී භූමිකාව මෙසේ පවසයි. “අපේ ගෙදරත් කෝපි නැහැ’’ මෙහිදී කෝපි යනු කෝපි නොවන අතර ඉන් සංඥා වන්නේ රමණයයි. නූතන යුගයේ මිනිසුන් ලිංගිකත්වයට එළඹෙන්නේ ඍජුව නොව වක්‍රාකාරයෙනි. මෙහිදී වටහාගත යුතු වැදගත් හරයාත්මක සාධකයක් ඇත. ඊට අනුව ලිංගිකත්වය අපව කතාවට යොමු නොකරවයි. එහි විලෝමය සත්‍යය. කතාව විසින් අපව ලිංගිකත්වයට යොමු කරයි. අසංග සායක්කාරගේ ‘මම කෙලින් මිනිහෙක්’ නම් නාට්‍යයේ මුඛ්‍ය හරය අපට මෙලෙස සාරාංශගත කළ හැකිය. ජනතා විමුක්ති පෙරමුණ යනු කතාව මගින් ලිංගික තෘප්තිය සහතික කරන පක්ෂයකි. විමල් කැටිපෙආරච්චිගේ කොලොජ් භාෂාව මගින්ද තහවුරු වන්නේ ‘භාෂාව’ යනුම ලිංගික තෘප්තියක් බවයි. ඒ සඳහා ශාරීරික ක්‍රියාකාරකම් අවශ්‍ය නැත. භාෂාව කපා කොටා නැවත සකස් කිරීම යනුද (අජිත් තිලකසේන) ලිංගික තෘප්තියකි. මෙමගින් වියැකී යන්නේ ලිංගික තෘප්තිය සඳහා තහංචිය හෝ මර්දනය අවශ්‍යය යන වික්ටෝරියානු කතිකාවයි. වර්තමාන හඹායාම් සංස්කෘතිය තුළ තෘප්තිය සඳහා බාහිර මර්දනය අවශ්‍යය යන්න යල්පැන ගිය අදහසකි.

සායක්කාරගේ නාට්‍යයේ ප්‍රධාන චරිතය ඍජු වූ ලිංගයක් සහිතව අපට ප්‍රදර්ශනය කෙරෙයි. ඉන් අදහස් වන්නේ ඍජු වූ පුරුෂ ලිංගයකට සමකාලීන යුගයේදී හාස්‍යය හැර අන් යමක් නිෂ්පාදනය කළ නොහැකි බවයි. අප නාට්‍යයෙන් රසය ලබන්නේ එහි චරිත වක්‍රව ලිංගිකත්වය ගැන කතා කරනවා ඇසීමෙනි.

ඇත්ත තත්ත්වය වන්නේ සායක්කාරගේ නාට්‍යය තුළ කතා කරන්නේ කුමන ලිංගිකත්වයක් ගැන ද යන්නය. විවාදයකින් තොරව එමගින් ‘අතිරික්තය’ (Excess) යන අදහස විද්‍යමාන වෙයි. නාට්‍යය පුරුෂාධිපත්‍යයට එරෙහි සටනක් නොවේ. පැහැදිලි ලෙස නාට්‍යය පශ්චාත් – පුරුෂාධිපත්‍යයික කෘතියකි. නාට්‍යයෙන් හෙළිදරව් වන්නේ අප අවිඥානකව සඟවාගෙන සිටින අදහසකි. අප සියලුදෙනා හොඳින් දන්නා පරිදි සමකාලීන ධනවාදී යුගය තුළ ස්ත්‍රී – පුරුෂ ලිංගික සබඳතා යනුවෙන් දෙයක් නොපවතියි. ගැටලුව වන්නේ ඒ සඳහා විකල්ප ලිංගික සංස්කෘතියක් (68 ප්‍රංශ ශිෂ්‍ය අරගලය පරිදි) නාට්‍යය යෝජනා නොකිරීමයි. සායක්කාරගේ යෝජනාව වන්නේ ලිංගික ක්‍රියාකාරකම්වලින් ලබන තෘප්තියම ‘කතාවෙන්’ (කතාව තුළ ලිංගික දේවල් කතා කිරීම නොවේ) ලැබිය හැකි බවයි. නාට්‍යය තුළ බිහි වන එක කතාවකින් මෙම තත්ත්වය ගම්‍යමාන වෙයි. නාට්‍යයේ ප්‍රධාන භූමිකාව මෙසේ පවසයි. “මම තමුසෙගෙ පෙට්ටිය කැඩුවේ ලෙනින්ගේ ලොකු කටවුට් එකක් උඩ තියාගෙන. තමුසෙගෙ කන්‍යා රුධිරය වැටිල තිබුණ‍ෙ ලෙනින්ගේ නළල මත’’ කතකයා ප්‍රමෝද වන්නේ මෙම ක්‍රියාවෙන් නොව මෙම කතා කිරීමෙන්ය. ඔහු පෙට්ටිය කැඩුවාට වඩා තෘප්තිමත් වන්නේ ඒ ගැන කතාව නම් ක්‍රියාකාරකමට යොමු වීමෙනි. එවිට කතානායකයාගේ විනෝදය කේන්ද්‍රගත වන්නේ අනෙක් ශරීරයකට ප්‍රවේශ වීමෙන් නොවේ. ඒ වෙනුවට ඔහුගේ කතාව යනු ස්වයං මෛථුනයකි. මිනිස් ලිංගිකත්වයේ මූලික ස්වරූපය විෂම නැත. එම සමලිංගිකය. එය අනුන් සමග කරන දෙයක් නොව තමන් සමගම කරන දෙයකි. කොටින්ම එය යථාර්ථයට සම්බන්ධ නැත. එය ෆැන්ටසියකි.

Deepthi Kumara Gunarathne

LANKANEWSWEB

 

ඔබේ අදහස කියන්න...