මා පසන් කොඩිකාරව හදුනා ගන්නේ ඉතා අසාමාන්‍ය ගති පැවතුම් තිබූ පුද්ගලයකු ලෙසිනි. දැන හදුනා ගත් පලමු දින සිට පසන්ගේ අවසාන කාලය වන තුරුම ඔහු මගේ පීඩාව කැමැත්තෙන් දරා සිටි එක්ම පුද්ගලයාය.පසන් සහ මම අතර තිබූ සබඳතාව අද දින විශ්ලේෂණය කරද්දී මා හට හමු වන්නේ වෙනස්ම ආකාරයේ කියවීමකි.

එකල මා පසු කරමින් සිටියේ උම්මන්තක කාලයකි. punching bag යක් මෙන් පසන් මාගේ සියලු පීඩාවන් දරාගත්තේය.මා දුටු ඔහුගේ ජීව්තයද ගෙවී ගියේ බොහෝ හැල හැප්පීම් මතය. විශේෂය වන්නේ එය පසන් විසින් කැමැත්තෙන් තෝරා ගත් සදා ගත් ජීවිතයක් වීමයි.ඔහු වටා සිටි බොහෝ පුද්ගලයින්ගේ විපරිතකම් ඔහු ඉවසා සිටියේ කැමැත්තෙනි. විශ්වවිද්‍යාලය ශිෂ්‍යාවන් ඔහුට සමීප වී ඔවුන්ගේ නිබන්ධන කටයුතු හා නොයෙක් වැඩ පසන් ලවා සිදු කර ගත් අතර මා දැනුවත්ව එයටත් එහා ගිය බොහෝ උදව් උපකාර ඔහුගෙන් ලබා ගත්තේය. ඔහු විසින් සිදු කරන කිසිදු උපකාරයකට කිසිදු ආකාරයේ ගෙවීමක් එම ගැහැනු ලමයින්ගෙන් ඔහු බලාපොරොත්තු වූයේ නැත. අනෙකාගේ පීඩාවන් ස්ව කැමැත්තෙන් බාර ගත් පසන්ගේ මේ හැසිරීම් ස්ත්‍රීවාදීයෙකු යැයි කියා ගන්නා කේ කේ සමන් කුමාරලා වැනි අයට නොතේරුන නිසා ඔවුන් කරේ ලාබාල තරුනියන්ට ලොල් පුද්ගලයයෙකු ලෙසින් පසන්ට වෙනස් ප්‍රතිරූපයක් නිර්මානය කිරීමයි. සමන් කුමාරලාට පසන්ගේ ජිවිතය වටහා ගත නොහැකි වූ බව මගේ මතයයි. ඔවුන් සිර වී සිටි විපරිත කුටුම්බ ජීවිති නිදහස් ජිවිතයක් පසන් ගත කල හෙයින් ඔවුන්ට පසන්ගේ ජිවිතය පිලිබඳව තිබූයේ ආශාවකි. නමුත් ඔවුන් නොදන්නා කාරනාව වූයේ මේ බොහීමියානුවා විසින් තමන්ට බොහෝ සෙයින් පීඩා ලබා දුන් බවය.

“මා යනු කව්දැයි ” යන මූලික ගැටලුවත් , අහේතුක කෝපවීම්, හැඩීම් , අසනීප වීම් , හුදෙකලා බව, දිගින් දිගට බොරු කීම් , පීඩාවට ආශක්තවීම් යනාදී අද මා හිස්ටීරික රෝගී ලක්ෂණ ලෙස හදුනා ගන්නා මේ සියල්ල එකල මා වෙතින් මතු වී තිබුනු අතර ඒ සියල්ල එකතු වී සුනාමියක් වැනි වූ චරිතයක් වූ මා සහ පසන් කොඩිකාර අතර තිබුනේ ස්වපීඩාවට අවිඥානිකව අශා කරන පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වන ඉතා සමීප මිත්‍රකමකි. ස්වපීඩාව ඒසේත් නැත්නම් ස්වපීඩාකාමුකත්වය යනු තමන් විසින් තමන්ව පීඩාවට ලක් කර ගැනීමයි.එය මානසිකව හා ශාරීරිකව යන දෙආකාරයටම සිදු වේ.

පසන් සිය සහෝදරිය හා සහෝදරයාගෙන් ඈත්ව ජීවත් වූ අතර බොහෝ කාලවල්වල ඔවුන් පසන් සිටිනා තැනක්වත් නොදැන සිටියහ.පසන් යහලුවන්ගේ නිවෙස් වලට සහ කුලී ගෙවල් වලට නිරන්තරයෙන්  මාරු විය.ඒ සෑම තැනකටම ඔහු රැගෙන ගියේ කුඩා ඇඳ, පරිගණකය,පොත් ටික,ඇඳුම් කිහිපය හා වලන් ඇතිලි ටික පමනි .ඉලෙක්ට්‍රික් කේතලය තිබුනු වස්තුවක් විය.මට පසන් හමු වන විට ඔහු සිටියේ පන්නිපිටියේ නිවසකය.පසුව එතනින් කටුබැද්ද, හොරණ, නුගේගොඩ, පිටකෝට්ට, තලාහේන,මහරගම යනාදී ප්‍රදේශ වලට ඔහුගේ පදිංචිය මාරු විය.කටුබැද්ද නිවසට යනවිට එහි හිමි කරුවන්ගෙන් ඔහුට කැඩුනු ශීතකරනයක් හා ගෑස් ලිපක් හමුවිය. එම ගෑස් ලිපට කුඩා ගෑස් සිලින්ඩරයක් ගැනීමට පසන්ට පොත් වලින් එකතු වූ යම් මුදලක් හමු වන තුරු සිටීමට සිදු විය. ශීතකරනය සාදා ගන්නට හැකි වූයේ නැත. එහි නිතරම අසනීප වූ විට ගන්නා බෙහෙත් හා කලින් කලට ලබා ගන්නා vitamin E සහ iron tablets දමා තිබුනි. අයාලේ ගිය බළලුන් ගෙට වද්දා ගත් නිසා නිතරම ක්‍රීම් කැකර් සහ මාමයිට් මිලදී ගැනීමට සිදු විය. කටුබැද්දේදී එහි ආ එක් බැළලියක් පසන්ගෙ ඇදුම් පෙට්ටියේ පැටව් දැමීය.හොරණ ගෙදරදී  ආ තවත් බැළලියක් පැටව් දැම්මේ පසන්ගේ නිදන ඇඳ උඩය.එයින් ඉතුරු වූයේ අතක් ඇද වූ අබ්බගාත බළල් පැටියෙක් පමනි.නිවෙස් වලින් මාරු වෙද්දී පසන් එම සතුන් අත් හැර පැමිනි අතර ඒ සෑම විටම තද වේදනාවකින් පසුතැවිලි විය. සමහරවිට ඔබට යම් සුන්දරත්වයක් හෝ රැඩිකල් බවක් පසන් ගේ මේ ජීවිතයේ හැඩයෙන් දැනෙනවා ඇත.නමුත් නිවෙස් වලින් නිරන්තර මාරු වීම්, අයාලේ ගිය සතුන් වගකීමක් ලෙස බාර ගැනීම්,ආහාර නොගැනීම් යනාදී මේ සියල්ලගේම තිබූයේ මහත් පීඩාවක් පමනි. එහි ඇති රැඩිකල් බවක් නැත.

තමන් ලබා ගන්නා ආදායම ඉතා ඉක්මනින් බීමට සහ වට පිටාවේ සමීපතමයින්ට වියදම් කරන පසන් දන්නා කියන සියල්ලන්ටම ණය විය.එසේ ණය ලබා ගත් පුද්ගලයෙකුගේ බිරිඳක් නිතරම දුරකතනයෙන් පසන්ට කුනුහරුපෙන් බැන වැදුනා මතකය.

පසන් කොඩිකාරට ගැහැනියෙක් කුනුහරුපෙන් බැනීම විය නොහැකි වගේ කාරනාවකි. යතාර්ථමය තලයේ සිට බැලුවහොත් පසන්  පරිවර්තකයෙකි. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකි. බුද්ධිමතෙකි.පසන්ට අප තුල ඇත්තේ ගෞරවයකටත් වඩා සාමාන්‍ය සමාජයේ පුද්ගලයින්ට වඩා පෙනුමෙන් ඇති වෙනස් කමට දක්වන කුහුලක් හා ආශාවක් යැයි මට සිතේ.පසන්ව දුටු මතින් ඇති වන එම කුහුල හා ආශාව පදනම් කරගෙන පසන්ට බොහෝමයක් පුද්ගලයින් ණය ලබා දෙයි. ලංකාවේ මිනිසුන්ට විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් , ලේඛකකයින් කියූ මතින්ම ක්ශනිකව මනසට එන්නේ හොඳ මිනිස්සූ වගේ කියවීමකි. මා මෙයින් කියන්නට යන්නේ පසන් නරක පුද්ගලයෙකු කියා නොවේ. නිදසුනක් ලෙස දොස්තර වරයෙක් බෙහෙත් ලබා දුන් පසු ලංකාවේ බහුතරයක් දෙනා මේ බෙහෙත් මොනවාදැයි දොස්තරගෙන් අසන්නේ නැත.ඒ දොස්තරට වැරදීම් වන්නේ නැති බව මිනිසුන් තදින් විශ්වාස කරන නිසාය.එසේ බලන කල මහාචාර්යවරයෙකුට හෝ ලේඛකකයෙකුට අත මාරුවක් දීමත් ගෞරවයකි .පසන් මිය ගිය පසු උපුල් ශාන්ත පුවත් පතකට පසන් පිලිබඳව ලියූ ලිපියක තැනෙක පසන් ඔහුගෙනුත් ගනුදෙනුවක් කල බවක් සදහන් කර තිබුනි.

පසන්ව තමාගේ ෆැන්ටසියක් බවට පත් කර ගෙන සිටි බොහෝ දෙනාට මේ සැබෑව රිදෙන්නට පුලුවන.ෆ්‍රොයිඩ්ගේ පොත් පරිවර්තනය කල පසන් එහි අන්තර්ගත කරුනු අවබෝධ කර ගත්තා යැයි මට සිතෙන්නේ නැත. එසේ වූ වා නම් ඔහුට තමන්ගේ ආශාව පිලිබඳව හා සමීපතයින් පිලිබදව වඩා සාර්ථක අනුමානයකට යෑමට හැකියාව තිබුනි.එසේම එකල මනෝවිශ්ලේශනය හදාරා තිබුනේ නම් මා පසන් සමග පීඩාකාරී මිත්‍රකමක් තුල මාගේ වියවුල් මානසික ගැටලු සඳහා පිලිතුරු නොසොයා සිටින්නට ඉඩ තිබුනි. පසන් ද මා නමැති පීඩාව හදුනාගන්නට ඉඩ තිබුනි.

අහාර නොගැනීමෙන් ශරීරය හිංසාවට පත් කර ගැනීම රෝගයකි.එය ඇනොරෙක්සියා ( Anorexia ) යනුවෙන් හඳුන්වයි. එයද ස්වපීඩා තත්වයකි.පසන් අහාර ගත්තේ ඉතා අඩුවෙනි.අපිලිවෙලිනි.බළලුන් හාල් මල්ලට සමහර දිනවලදී මළ පහ කල අතර බොහෝ විට ගල් බාගයක් හෝ බියර් කෑන් කිහිපයක් සමග බැදපු සාලයෝ පමනක් පසන්ගේ අහාරය විය.පසන් තම ශරීරයට අවශ්‍ය අහාර, පෝශනය ලබා නොදීමෙන් ලඟා කර ගත්තේ පිඩාවකි.ඔහුගේ අවිඥානික ආශාව එය විය. පසන්ගේ ජීවිතයේ තිබූ පීඩාව එකල මා පැහැදිලි ලෙස දුටුවේ නැත.ඒසේත් නැත්නම් ඒ පිඩාවට මා ඇලුම් කර ඇත.අනෙක් පසෙන් මා තුල තිබූ සියලු විපරිතකම් ඔහුගේ අවිඥානික ආශාව වී ඇත. විවිධ විකාරරූපී හිස්ටීරීක සම්බන්ධතා අතර පැටලී සිටින කෙටි කාලයන් වල මා පසන්ව මඟ හැරි අතර අතුරුදන්ව සිටි ඒ කාල වල පසන් කලේ නැවත මා එන තුරු මා සෙවීමයි. මගේ පීඩාව ඔහුට අවශ්‍ය විය.ඔහු කලේ එකම පීඩාව නැවත නැවත ලඟා කර ගැනීමයි.

පසන් මිය ගිය පසුව බොහෝ කලාකරුවන් , සාහිත්‍යයකරුවන් කතා කලේ ඔහුගේ නිදහස් ජීවිතය, බළලුන්  හා බීම ගැන විනා පසන් තමන්ට ලගා කර ගත් පීඩාව ගැන නොවේ. බොහෝ දෙනෙක් නිදහස යැයි අර්ථ දැක්වූ පසන්ගේ ජීවිතය සම්පූර්ණ විදවීමක් විය .ස්වපීඩාකාමීන් නිරන්තරයෙන් සතුටු වන්නේ අනෙකාගෙන් පීඩාවට පත් වීමෙනි.

පරපීඩාකාමුකත්වය එසේත් නැත්නම් sadism යනු මෙහි අනෙක් පසයි. එනම් අනෙකාව පීඩාවට පත් කිරීමෙන් විනෝදය ලැබීමයි. මෙවැනි පුද්ගලයින් අනෙකා හට ශාරීරිකව පීඩා සිදු කිරීමෙන් ලිංගික සතුටක් ලගා කර ගන්නා අතර මානසික හිරිහැර කිරීමෙන්ද ලගා කර ගන්නේ විනෝදයකි.බොහෝ සිනමා පටවල තේමාව බවට පරපීඩාකාමුකත්වය පාදක කර ගන්නා අතර තරුනියන් නිවසේ බිම් මහල් කාමර වල වසර ගනනාවක් සිර කර තැබීම්, ගැහැනුන්ට පහර දීම්,පිළිස්සීම් යනාදී බොහෝමයක් සිදුවීම් ජීවමාන උදාහරණ ලෙසින් අප අවටින් සොයා ගත හැකිය. මෙම මානසික තත්ත්වය පිරිමින් අතර පමනක් නොව ගැහැනුන් අතරද තිබෙන අතර විශම ලිංගික සම්බන්දතා තුල පිරිමියාව දරුනු ලෙස ශාරීරික හා මානසිකව පීඩාවට පත් කරන ගැහැනුන් ඕනෑ තරම් සිටී.

නිල් චිත්‍රපට නැරඹීමීමේදී මෙම තත්ත්වය වඩාත් සැකෙවින් වටහා ගත හැකිය. නිල් වෙබ් අඩවි වල එහි තිබෙන වීඩියෝ වගුගත කර ඇති ආකාරය බැලීම පමනක් ප්‍රමාණ්වත්‍ ය.

ෆ්‍රොයිඩ් විසින් ඉදිරිපත් කල මනෝවිශ්ලේශන තියරි කියවීමේදි එක්තරා තැනක අපට මෙලන්කොලික් (melancholic) යනුවෙන් හඳුන්වාදුන් මානසික තත්ත්වයක් හමු වේ.මෙලන්කොලික් යන වචනයේ අර්ථය වන්නේ දුක්මුසුව ජීවත් වීමයි. එය වඩාත් සැකෙවින් පැහැදිලි කර ගැනීමෙන් අපට සංකේතිය ලෝකයේ පුද්ගල හැසිරීම් පිලිබදව වඩාත් නිවැරිදි වටහා ගැනීමකට එලඹිය හැකිය.

යම් සමීප වස්තුවක්(object ) අහිමි වීමකදී හඩා වැලපී එම අහිමි වීමේ ශෝකය අවසන් කරයි.එය moaning (ලතෝනිය) ලෙස හැඳින්විය හැකිය.එසේ නැත්නම් දුක්මුසුව,සුසුම් හෙලමින් නැවත නැවතත් එම අහිමි වු වස්තුව සිහි කරමින් ජීවත් වෙයි.මෙම තත්ත්වය මෙලන්කොලික් කියා හඳුන්වයි.නූතන මෙලෙන්කොලික්  ආත්මයන් යම් වස්තුවකට ඇළුම් කරනවාක් මෙන් පෙන්නනවා පමනි.සත්‍ය ලෙසට එයට ඇළුම් කරන්නේ නැත.මෙකී පුද්ගලයින් ආශා කරන්නේ එම වස්තුව හා තමන් අතර යම් පරතරයක් (Distance ) පවත්වාගෙන යාමටය. එයින් ඔවුන්ගේ අවිඥානික ආශාව නොමැරී පවත්වාගෙන යා හැකිය. සරලවම මෙයින් අදහස් වන්නේ “ලගින් හිටියට ලග නෑ වගේ “ අර්ථයකි. එලිපිට සිප වැලද ගමින් පවත්වාගෙන යන සම්බන්ධතා වගේ ඒවා දුටු පමණින් ඒවා තුල නිමල ආදරයක්,එසේත් නැත්නම් හොදට sex ඇති යනාදී විනිශ්චයන් දීමට ඉක්මන් නොවන්න.එවැනි බොහෝ සබඳතා මෙලන්කොලික් සබඳතා වේ.එසේම මතක තබා ගත යුතු කාරණයක් වන්නේ මෙලන්කොලික් පුද්ගලයන් ඕනෑම විෂයක් කියවන්නේ තමන්ගේ ආත්මීය ගති ලක්ෂණත් සමග වීමයි.නිදසුනක් ලෙස මෙවැනි පුද්ගලයින් මනෝවිශ්ලේශනය පිලිබදව කෘතියක් කියවන විට එහි අන්තර්ගත කරුනු ධාරනය කර ගන්නේ තමන් තුල තිබෙන ආත්මීය ගති සමගය. එම කෘතියේ අන්තර්ගත විෂය පිලිබඳව නැවත පිරිසක් සමග කතා කිරීමේදි ඔහු හෝ ඇය වෙතින් එලියට එන්නේ මනෝවිශ්ලේශනය නොවේ. ඔහුගේ හෝ ඇයගේ ආත්ම මූලිකත්වය සමග අලුතින් සකස් වුනු වෙනම විකාරයකි.මෙවැනි පුද්ගලයින් සිනමා විචාර, සමාජ ගැටලු, දේශපාලනය යනාදී ඕනෑම විශයක් කියවන්නේ ඉහත සඳහන් කල ආකාරයටය.

පසන් කොඩිකාර යනු ද මෙලන්කොලික් ආත්මයකි. ඔහුට සමීප කිසිවෙකුටත් ඔහු සමීප නොවීය. ඔහු නිතරම තමන් ආශ්‍රය කල පුද්ගලයින් සමග පරතරයක් පවත්වාගෙන ගිය අතර එයින් ලැබෙන පීඩාව ඔහුගේ ආශාව විය. තමන්ට කෙනෙකු සමීපව සිටියද ඔහු හෝ ඇය සමග යම් පරතරයක් තබා ගැනීමෙන් හිමි වී සිටියද අහිමි බවක් දැනිම මෙලන්කොලික් සබඳතාවල ස්වරූපයයි.

මේ ලිවීම නරුම නැත.නමුත් පසන් කොඩිකාර ගෙවූ පීඩිත ජීවිතය වටහා ගැනීමට නොහැකි වූ එමෙන්ම කිසිදු කියවීමකින් තොරව පසන්ව පිස්සෙක් ලෙස සලකා නොසලකා හැරී නමුත් පසන් මිය ගිය පසු ඔහු වෙනුවෙන් ගුණ කථන කිරීමට පොර කෑම නරුමය.

පසන් මිය ගිය පසුව බොහෝ දෙනා උත්සුක වූයේ ඔහුට තමන්ගේ සමීප බව අනෙකන්ට ඒත්තු ගන්වන්නටය.එහෙත් අවාසනාවකට මෙන් පසන් ඔහුට සමීප කිසිවෙක්ට සමීපව සිටියේ නැත.ඒ පසන්ගේ අප පෙර පැහැදිලි කර ගත චරිත ස්වාභාවයයි. පුද්ගලයින්  මිය ගිය ද ඔවුන් හා පැවති පටලැවිලි සහගත සම්බන්ධතාවයන් හා එම පුද්ගලයින්ගේ ස්වාභාවය පසු  කලක වුවද නිවැරිදි ලෙස කියවා ගැනීම යනු තව දුරටත් අඳුරේ නොසිට ආලෝකය දෙසට ගමන් කිරීමකි.

බොහෝ බුද්ධිමතුන්ට සහ ප්‍රඥාවන්තයින්ට අමතක වන්නේ තමාගේ සත්‍ය පවතින්නේ තමා තුල නොව ඉන් පිටත බවයි.එක් පසෙකින් සත්‍ය රහසක් සහ නොදන්නා දෙයකි.එනිසා කෙනෙකුට තමාගේ සත්‍ය පිළිබඳ දැනුම නොමැති වන්නට හැකිය.එබැවින් සත්‍ය සෑම විටම අවිඥානිකය . මනෝවිශ්ලේශනයට කළ හැක්කේ මෙම අවිඥානය පිලිබඳව දැනුම උත්පාදනය කිරීම පමනි .

Madam k

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. This is a fantastic article. Applied psychoanalysis at its best. In another article on Pasan (after his death, The Nation newspaper website), Deepthi had made the remark (at Pasan’s funeral service I suppose) that “everybody talked about Pasan’s drinking but nobody asked why he drank”. It is a sad thing even the writer of the above article, being a ‘close’ friend of Pasan failed to do this wonderful analysis before it was too late to save what seems to be a valuable life. But that is life I guess – wisdom always comes retrospectively!
    I also like this part of the article very much:
    එසේම මතක තබා ගත යුතු කාරණයක් වන්නේ මෙලන්කොලික් පුද්ගලයන් ඕනෑම විෂයක් කියවන්නේ තමන්ගේ ආත්මීය ගති ලක්ෂණත් සමග වීමයි.නිදසුනක් ලෙස මෙවැනි පුද්ගලයින් මනෝවිශ්ලේශනය පිලිබදව කෘතියක් කියවන විට එහි අන්තර්ගත කරුනු ධාරනය කර ගන්නේ තමන් තුල තිබෙන ආත්මීය ගති සමගය. එම කෘතියේ අන්තර්ගත විෂය පිලිබඳව නැවත පිරිසක් සමග කතා කිරීමේදි ඔහු හෝ ඇය වෙතින් එලියට එන්නේ මනෝවිශ්ලේශනය නොවේ. ඔහුගේ හෝ ඇයගේ ආත්ම මූලිකත්වය සමග අලුතින් සකස් වුනු වෙනම විකාරයකි.මෙවැනි පුද්ගලයින් සිනමා විචාර, සමාජ ගැටලු, දේශපාලනය යනාදී ඕනෑම විශයක් කියවන්නේ ඉහත සඳහන් කල ආකාරයටය.
    Absolutely true!
    Thank you so much for the article.

Comments are closed.