‘‘සත්හඬ’’ ආරම්භයේ සිට පුරා සති 38ක් පළ වූ ‘ජිජැක් පිළිබඳ’ අධ්යනයක්’ නමැති ලිපි මාලාව අවසන් කිරීමෙන් අනතුරුව අපි ටික කාලයක් නිහඬව සිටියෙමු. නමුත් ඒ නිදාගෙන නොව අවදියෙනි. ඒ, පසුගිය කලාප 38 කියැවූ පාඨක ප්රජාව දක්වන ප්රතිචාර දෙස අවධානය යොමු කරමිනි; ඊළඟට ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක් ද යන්න පිළිබඳව විමසිලිමත් වෙමිනි. මෙම සාකච්ඡාවට සම්බන්ධ වන මහේෂ් හපුගොඩ සොයුරා වෙත ලිඛිත හෝ වාචික ප්රතිචාර එතරම් නොලැබුණ ද මා යනෙ’න හැම තැනක දී ම මා දන්නා හිත මිතුරෝද, පාඨකයෝ ද විමසුවේ ‘ජිජැක් පිළිබඳ අධ්යනය ලිපි පෙළ නවතා දැමුවේ ඇයි ද?’ යන්නය. එහි දී මා ඔවුන්ට පෙරළා පැවසුවේ මූලික කොටස අවසන් වුව ද ජිජැක් පිළිබඳ අධ්යනය අවසන් කර නොමැති බවයි. එහෙත් ඊළඟ පියවර සඳහා සූදානම් වීම දිගින් දිගට ම දෙමසක පමණ කාලයක් ඇදි ගියේ ය. දැන් එම ඇදී යාමට තිත තැබීමට කාලය පැමිණ ඇත.
අද සිට නැවත අපි ඔබ හමුවට පැමිණෙන්නේ ජිජැක් මිනිස් දිවියට අදාළ එක් එක් විෂය කෙරෙහි දැක් වු ආකල්ප ඔබ වෙත ගෙන ඒමේ බලාපොරොත්තුවෙනි. ඒ සඳහා ආරම්භයක් ලෙස ජිජැක් ආගම කෙරෙහි දක්වන ආකල්පය සහ ඔහු එය විග්රහ කරන ආකාරය ඔබ වෙත සමීප කරවන්නට අපි අදහස් කළෙමු. සුපුරුදු පරිදි මෙම ලිපි පෙළ සඳහා වූ සාකච්ඡාව අප වෙත ලබා දෙන්නේ මහේෂ් හපුගොඩ සොහොයුරා ය. එසේ නම් එම ලිපි පෙළ ඇරඹීමට පෙර ඒ පිළිබඳ පෙරවදනක් සපයන්නට අපි උත්සාහ කළෙමු. මේ එහි ඇරුඹුම යි.
කෙටි නිහඬතාවකින් අනතුරුව යළි ඔබ හමුවට එන්නේ ජිජැක් පිළිබඳ අධ්යයනයේ තවත් පියවර කිහිපයක් ඉදිරියට තැබීමේ අරමුණෙනි. පසුගිය සති කිහිපයේ නිහැඬියාවක ගැලී සිටියේ මන්ද යන්න පළමුව පැහැදිලි කළ යුතු ය. ඒ සඳහා හේතු කිහිපයක් බලපෑවේ ය.
අපි මෙතෙක් කාලයක් ජිජැක් ලංකාවට හඳුන්වා දීමට උත්සාහ ගත් මොහොතේ සිට එම සාකච්ඡා මාලාව අවසාන මොහොත දක්වා ලාංකික ජනතාව එය ග්රහණය කරගත්තේ කෙසේ ද යන්න පිළිබඳ විමසීමට එම විවේකය වැදගත් විය. අනෙක් පසින් එහි දී නව සංකල්ප කිහිපයක් ම හඳුන්වා දීමට අපි සමත්වීමු. එම හඳුන්වා දීම ලංකාවේ පාඨකයා තමන්ගේ ජීවන ලෝකය ආලෝකමත් කිරීමට හෝ තමාගේ ජීවන ලෝකය තුළ දේශපාලනය වටහා ගැනීමට ද එම විවේකී කාලය ඉවහල් කර ගත්තෙමු.
පුද්ගලිකව මගේ පාර්ශ්වයෙන් ගත් විට නම් දක්නට ලැබුණේ ආතතිමය ස්වරුපයකි. එනම්, සැබැවින් ම අපි ඉදිරිපත් කළ අදහස සමාජ ගතවූවා ද? සමාජ ගත වූවා නම් ඒ කුමනාකාරයෙන් ද? එම සමාජ ගතවීම ලංකාවේ ජාතිවාදය, ආගම්වාදය මෙන්ම පටු සාම්ප්රදායිකත්වය හෙවත් පූර්ව නූතනත්ව යනාදි සංකල්ප විසංයෝජනය (Deconstruct) කරගැනීමට හෝ ඛණ්ඩනය (Separate) කර ගැනීමට අප ඉදිරිපත් කළ අදහස සැබැවින් ම උපයෝගි කර ගත්තා ද? යන්න පිළිබඳ පුද්ගලිකව අදහසක් ඉදිරිපත් කිරීමට මට නොහැකි ය. යම් කාලයක් නිහඬව සිටිමට මෙම කාරණය ද ඉවහල් විය.
මෙතැන් සිට ඉදිරියට සාකච්ඡා කරමින් යනවිට යම් ආකාරයකින් ජිජැක් හඳුන්වා දුන් තීරණාත්මක සංකල්ප අපගේ ජීවන ලෝකය විදාරණය කර ගැනීම සඳහා මෙන් ම එය තව තවත් වටහා ගැනීම සඳහා හෝ වඩාත් පැහැදිලිව පවසන්නේ නම් අපි ජීවත් වන ලෝකය බාහිරට මෙන්ම අපි අපිට ම සන්නිවේදනය කරගැනීම සඳහා ප්රයෝජනවත් වෙතැයි සිතමි.
ජීවන ලෝකය ගැන හබමසියානු අර්ථයකින් කතා කරන විටම පුර්ව නූතන අපගමනය සඳහා අප සමාජයට මුල්ම දාර්ශනික පූර්වාදර්ශය සැපයූවේ නලින් ද සිල්වා ගේ මගේ ලෝකය කෘතියෙන් බව අප අමතක කළ යුතු නැත. ඒ නිසා අප දැන් කතා කළ යුත්තේ මගේ ලෝකයෙන් පසු ලාංකික ජීවන ලෝකයට සිදුවී තිබෙන ආචාර ධාර්මික නස්පැත්තිය (යථ හි ක්ෂිතිය තුළ නොගැලි සිටීමේ සින්තෝමය තාක්ෂනය) ගැන වීම ඉතාම තාර්කික කොන්දේසියකි.
උදාහරණයක් ලෙස ගතහොත් මෙම සාකච්ඡාව පවත්වන මොහොතේ නුවර සිට කොළඹ දක්වා ගමන් කරන පාද යාත්රාව වටහා ගැනීමට වුව ද මෙය උපයෝගි කර ගත හැකිය. එනම් මෙය පූර්ව-නූතන භාවිතාවක් ද? පසු-නූතන භාවිතාවක් ද? සැබැවින් ම එහි පවතින දේශපාලන හරය කුමක් ද? නැවත නැවතත් අපි අතීතයට කැඳවාගෙන යාම සඳහා පවත්වන අභිනයක් ද? යනාදි සංකල්ප සැබැවින් ම ලාංකිකයා වටහා ගන්නේ ද යන්න පිළිබඳ පවතින කුකුස විසින් මා තුළ කිසියම් ආතතියක් ජනනය කරන බව ආරම්භයේ දීම පැවසිය යුතු ය. මන්ද සමාජයෙන් වුව වාචිකව හෝ ලිඛිතව (ඔබ පුද්ගලිකව ලද ප්රතිචාර හැර) ප්රතිචාර ලැබුණේ වසන්ත සහෝදරයා සහ තවත් කිහිප දෙනකුගෙන් පමණි. එය ඉතාමත් සුළු ප්රමාණයකි. එවන් අනුභූතික තත්ත්වයක් යටතේ අපගේ උත්සාහය වටහා ගන්නේ කෙසේ ද යන්න ඉතා වැදගත් වේ.
ඉදිරියේ දී අපි ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ ආගම සම්බන්ධයෙන් ජිජැක් දැරූ අදහස යි. අපි එය පාද යාත්රාවෙන් ම අරඹමු.
ආගම හේතුවෙන් අපගේ අධ්යාත්මය කෙතරම් විනාශයට පත් වී තිබේ ද? ඒ සඳහා කදිම උදාහරණයක් මෙම පාද යාත්රාව විසින් සපයනු ලබයි. පසුගිය දිනවල එම පාදයාත්රව පිළිබඳ අපි නැරඹූ විඩියෝ පටවලින් අපිට වැටහෙන්නේ: රටේ ජනාධිපතිවරයාට ‘හිටං හුටං’ කීමේ සිට රටේ අගමැතිවරයාට ‘ගොනා බූරුවා’ කීම දක්වා (මෙහි අනෙක් පාර්ශ්වය ද මීට වැඩි වෙනසක් නැත) හෝ ඊටත් වඩා පහත් අන්දමේ දේශපාලන යෙදුම් භාවිතා කිරීම ය. එය ඉතාමත් අශ්ලීල තත්ත්වයට පත්ව ඇත. අපගේ දේශපාලන අධ්යාත්මය පවතින්නේ ඒ අන්දමින් පිරිහී ගිය තත්ත්වයක ය. ආගම සම්බන්ධයෙන් ජිජැක් ඉදිරිපත් කරන ආචාර ධාර්මිකභාවය හඳුන්වා දීම වැදගත් වන්නේ මේ හේතුවෙනි.
එම අවස්ථාවේ දී ජිජැක් ඉතාමත් විශිෂ්ට ලෙස කාන්ට් ඇසුරු කරයි. ඔහුගේ දේශපාලන සංකල්ප වර්ධනය කර ගැනීම සඳහා ඔහුට බරපතළ ලෙස බලපාන්නේ කාන්ට්ගේ දර්ශනය යි. එබැවින් ඒ සම්බන්ධයෙන් සාකච්චා කිරීමට මම මෙවැනි ප්රවේශයකට එළඹෙන්නමි.
මෙම කරුණු අවබෝධ කර ගැනීම සඳහා අපට භාවිතා කළ හැකි හොඳම කෘතිය වන්නේ 1991 වසරේදි ජිජැක් විසින් රචිත (On Belief Thinking in Action: 2001) නමැති කෘතිය යි. ඔහු එම කෘතියේ ආගම සම්බන්ධයෙන් මෙන් ම මේ මොහොතේ ආගම භාවිතා වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් කරුණු කිහිපයක් ම ඉදිරිපත් කරයි.

‘ආගම’ යනුවෙන් පවසද් දී ජිජැක් ඉතාමත් වැදගත් සංකල්පයක් ඉදිරිපත් කරයි. ඒ, යුදෙව් ක්රිස්තියානි දහමට වඩා මේ වන විට ඉස්මතු වෙමින් පවතින බටහිර බුද්ධාගම (Western Buddhism) සම්බන්ධයෙනි. අපි ථේරවාදි බුද්ධාගම අදහන රටක් ලෙස මෙන් ම නිර්මල බුද්ධාගම පවතින්නේ අප රටේ ය යන විශ්වාසය ද හේතු කර ගනිමින් ම ආගම පිළිබඳ ජිජැක්ගේ සංකල්පය සාකච්ඡා කරමු.
සැබැවින් ම මෙහි දී සිදුවන්නේ කුමක් ද? සැබෑ ලෙස ම ධනේශ්වර ලෝකයේ අධෝ ව්යුහය වුයේ පසුගිය දශක පහක පමණ කාලය තුළ තාක්ෂණය සමග මිශ්ර වූ ධනවාදය යි. මෙම අධෝව්යුහය විසින් ඇති කරනු ලබන ආතතියෙන් ගැලවීමට මිනිසුන්ට නොහැකි ය. මන්ද ධනවාදය විසින් මෙතෙක් මිනිසුන් තුළ පැවති සියලූ සම්ප්රදා සහ ක්රමවේද වෙනස් කරමින් පවතී. අද භාවිතා කළ සංකල්පය හෙට දිනයේ අවලංගු වන්නේ ය. ගුරුවරයා සහ ශිෂ්යයා අතර සම්බන්ධය, දේශපාලනඥයා සහ ජනතාව අතර සම්බන්ධය දැන් අවසන් වී තිබේ. එනම් සදාචාරාත්මක දේශපාලනය (Ethico-Political) ද මේ මොහොතේ අවසන් වී තිබේ. දේශපාලනඥයාට මිනිසුන් යනු ගනු-දෙනුකරුවන් පමණි. දේශපාලකයා සහ ජනතාව අතර 60 දශකයේ පැවති සම්බන්ධය මේ වන විට අහෝසි වී ගොස් තිබේ. මේ නව තත්ත්වයට උදාහරණයක් වන්නේ පවතින වසඟකාරි දේශපාලනය ම ය. මෙසේ වේගයෙන් වෙනස් වෙමින් පවතින ලෝකය අපිට සද්භාවිය බව වටහා ගැනීමට අපහසු ය. එසේ වටහා ගැනීමට නොහැකි වීමත් සමග ම වෙනස් වෙමින් පවතින ලෝකයේ ධනවාදය තුළ ජීවත් වන මිනිසා ම ආපස්සට ගොස් ඇත. බටහිරකරණය වු බුද්ධාගම විසින් බලපෑම් කරනු ලබන්නේ එසේ මිනිසා පසුපසට ගොස් ඇති ස්ථානයට ය. අපි එය සරල උදාහරණයකින් වටහා ගනිමු.
ක්ෂතිමය අත් දැකීමෙන් පසුපසට ගමන් කරන අපිට බුද්ධාගම හමු වේ. එය හමුවන්නේ කෙසේද යන්නට රූපකයක් ගෙන බලමු. එනම් නාමල් රාජපක්ෂ මහතා මෑතක රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටිය දී යෝග භාවනා කිරීම ය. ඔහු බන්ධනාගාර ගත වන්නේ මූල්යය වංචා රැසක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හේතුවෙනි. එය ජනතාවට හිමි මුදල් පිළිබඳ ප්රශ්නයකි. එවන් ප්රශ්නයක් පිළිබඳ බන්ධනාගාර ගත වන ඔහුට එය ඥානනය වන්නේ වරදකාරිත්වය පිළිබඳ හැඟීමකට වඩා යෝග භාවනා පිළිබඳ ආකෘතියක් ලෙසිනි. මා එසේ පවසන්නේ ඇයි ද යන්න දැන් ඔබට ගැටලූවක් පැන නැගිය හැකි ය. මා එසේ පවසන්නේ… ඔබ වටා කෙතරම් විනාශයක් සිදුවෙමින් පැවතිය ද එම විනාශය තුළ ම ඉන්ද්රඛීලයක් සේ නොසැලී සිටීමට ඔබට හැකි ය. මෙම වරදකාරිත්වයක් නොදැනෙන මිනිසා යනු එක්තරා පශ්චාත් නූතන සින්තෝමයකි (Sinthome) බන්ධනාගාර ගත වන බොහෝ පිරිස් සිනහමුසු මුහුණින් බන්ධනාගාරය වෙත යන්නේ ද ගොස් නැවතත් සිනහ මුසු මුහුණින් ම පැමිණෙන්නේ ද මේ තත්ත්වය හේතුවෙනි. ඔවුන් තුළ වරදකාරි හැඟීමක් තිබේනම් එසේ හැසිරිය හැකිද? යථාර්ථය නම් නොහැකි ය. අතිතයේ දී පමණක් නොව මේ මොහොතේ ද සාමාන්යය මිනිසකු යම් වරදක් වෙනුවෙන් බන්ධනාගාර ගතවන්නේ නම් ඔවුන්ගේ මනස වියවුල්කාරි ස්වභාවයක් උසුලයි. ඇතැම් පුද්ගලයෝ කිසිඳු වරදක් නොකර ම මෙම තත්ත්වයට පත්වේ. ඔවුන්ගේ මනසේ ශෝකය ද වෛරය ද තැන්පත් වේ. නමුඳු වත්මන් තත්තවය එසේ නොවේ. තමන් වටපිටාවේ කුමක් සිදු වුව ද නිශ්චලව සිටිමේ හැකියාව දැන් පවතී. බටහිර බුද්ධාගම විසින් පුහුණු කරනු ලබන්නේ මෙම තාක්ෂණය යි. එනම් නොසැලී සිටීමේ ගුණය යි. එළියේ කුමක් සිදු වුව ද ඔබට උපේක්ෂා සහගතව කල් ගෙවිය හැකි ය. එය එක් පසෙකින් සාන්දෘෂ්ටිකවාදි අදහසකි. මෙය බටහිර මුහුණ දී ඇති නව තත්ත්වය යැයි ජිජැක් පෙන්වා දෙන්නේ ය. එය එක්තරා අන්දමක හුවමාරුවකි. ජිජැක් එය විග්රහ කරන්නේ මෙසේ ය.
‘‘බටහිරින් අප තාක්ෂණය එවන්නේ ය; ධනවාදය එවන්නේ ය; පාරිභෝගික භාණ්ඩ එවන්නේ ය; විනෝදය එවන්නේ ය; නිල් චිත්රපට එවන්නේ ය. අපි එම රටවලට බුද්ධාගම අපනයනය කරන්නෙමු. බුද්ධාගම සහ ධනවාදය අතර මේ මොහෝ දැක ගත හැකි දයලෙක්තිකය එය යි. කෙසේ වුව ද ධනවාදයේ අධෝව්යුහය වන විට එහි උපරි ව්යුහය සපයන්නේ අප ය. ධනවාදය තුළ විගලිත (Alienated) මිනිසාට අවශ්යය අධ්යාත්මික අඩුම-කුඩුම පෙරදිග ආසියාතික බුද්ධාගමෙන් සපයයි.’’ බලන්න… මෙය කෙතරම් ලක්ෂණ ද?
මෙය අපට මෙස් ද හැඳින්විය හැකි ය. එනම්, තාක්ෂණික ධනවාදයේ ආතතිය තුළ ම සිටිමින් එහෙත් එහි නොඇලී සිටීමට අවශ්යය මානසික තාක්ෂණය ආසියාතික බුද්ධාගම විසින් සපයනු ලබයි. මෙය මේ වන විට පවතින යුදෙව් ක්රිස්තියානි ආගමට සහ ඉස්ලාම් ආගමටත් වඩා ප්රබල ය. භාවනා කිරීම සඳහා ලංකාවට විශාල සංචාරකයන් පිරිසක් පැමිණීම මෙයට හොඳම උදාහරණය යි. මෙය එක් අතකට සංචාරක ව්යාපාරයේ දියුණු තත්ත්වයක් ලෙස ද හඳුන්වා දිය හැකි ය. (සිනහ නොවන්න) එසේ පැමිණෙන බටහිර සංචාරකයන්ට ඉහත කී නොසැලී සිටීමේ ගුණය ද වර්ධනය කරගනිමින් නැවත තම තමන්ගේ රටවලට යා හැකි ය. මේ නවතම අනන්යතාවට ජිජැක් පවසන වදන වන්නේ සමපේක්ෂණ අනන්යතාව (Speculative) යන්න ය. එය වඩාත් සරලව පවසන්නේ නම් ධනවාදය විසින් අපගේ බාහිර ලෝකය ද්රවශිලතාවකට (Liquideted) ලක් කර තිබේ; දිය කර හැර තිබේ; වාෂ්ප කර තිබේ. අප අද දකින ලෝකය අනුභූතිකව හෙට දැකිය නොහැකි ය. හෙට දවස ද ඊළඟ දවස ද වේගයෙන් වෙනස් කරයි. මෙය දිගින් දිගට ම එසේ පවතියි. මෙම වෙසනස්වීම සඳහා වන සද්භාවිය ශක්තිය අප ලබාගන්නේ බුද්ධාගම තුළ තිබෙන අප තුළට ම ගමන් කළ හැකි තාක්ෂණය හරහා ය.
මතු සම්බන්ධයි
සාකච්චාව
ජයසිරි අලවත්ත m.j.alawatta@gmail.com

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.