සීමාසහිත පවුල සහ සමාගම – පියන්කාරගේ බන්දුල ජයවීර

හැරල්ඩ් බ්ලූම් තමාගේ Anxiety of Influence නමැති වියමනෙහි ලා අපූර්ව සොයා ගැනීමක් කළේ ය. එනම් සියලුම යුගවල සිටි කවීන් තම ලිවීම් තුළ කළේ එක් මහා කවියක් නිර්මාණය කිරීම බව බ්ලූම් පැවසූ බවයි. කවීන් කවි ලියමින් අදත් කරන්නේ ඒ මහා කවිය නිර්මාණය කිරීමට දායක වීමය. ඒ ගැන මා ඇති පදම් ලියා ඇති බැවින් එයම නැවත නැවතත් පුනරාවර්තනය වීමට ඉඩ හල යුතු නැත.

ඇත්ත. පියන්කාරගේ බන්දුල ජයවීර සීමාසහිත පවුල සහ සමාගම කවිපොත ලියමින් ඒ මහා කවිය ලිවීමේ ලා දායක වෙනවා තමයි. එහෙත් මා ඔහුගේ කවියෙන් පිටතට ගැනීමට උත්සාහ කරන්නේ එය නොවේ. ඔහුගේ කවිකාරකම තුළ මිරිකෙන දෘෂ්ටිවාදී පොලා පැනීමයි. එහිදී පළමුව පොලා පැනීම යන යෙදුමෙහි අරුත් විමසීම මැනවයි ඔබ කරන යෝජනාව මම පිළිගනිමි.

මා දන්නා තරමින් පොලා පැන යන යෙදුම සමාජ විචාරය සඳහා මුල් වරට භාවිත කළේ දීප්ති කුමාර ගුණරත්න ප්‍රමුඛ X කණ්ඩායමයි. එහිදී සිදු වූයේ දෘෂ්ටි වාදය ධනේශ්වර සමාජය තුළ ක්‍රියාත්මක වන ආකාරය විග්‍රහ කිරීමය. එම විග්‍රහයන්ට පදනම් වූයේ ලුවී අල්තුෂර් නම් පශ්චාත් – මාක්ස්වාදී විචාරකයාගේ සොයා ගැනීම්ය. අල් තුෂර්ගෙ interpollation යන යෙදුම ඔවුන් සිංහලට නැගුවේ පොලා පැනීම යනුවෙනි. අල්තුෂර් අදහස් කළ දේ ඉන් නිවැරදිව වර නැගෙයි. එහෙත් සමකාලීන සිංහල විචාර කලාව තුළ මෙම යෙදුම තරම් අව භාවිතයේ යෙදෙන තවත් යෙදුමක් නැති තරම්ය.

මේ සඳහා එක් නිදසුනක් පමණක් ගෙන හැර දක්වමි. (මෙම කරුණ වෙනත් පුවත්පතකට මා ලියන තීරු ලිපියක සවිස්තරාත්මකව සාකච්ඡා කර ඇත.) එනම් එක්තරා පන්නර පඬිවරයකු තමා ලියූ වාක්‍යයක “අරුත් ආපස්සට පොලා පැන” (Juxtaposition) සිදුවන විසංයෝජනයක් පිළිබඳ කතා කර තිබීමයි. එම පොලා පැනීම යන වචනය ඔහු සොයා ගන්නේ කොහෙන්දැයි නොදනිමි. ඔහු එම යෙදුමට ඉංග්‍රීසි අර්ථයක් ද සපයා තිබීමෙන් සිදුවී ඇත්තේ අවුලකි. Juxtaposition යන්නෙහි ශබ්ද කෝෂ අර්ථය එක ළඟින් පිහිටා තිබීමය. (Place side by side) ඔහු එම වචනය පොලා පැන යනුවෙන් පරිවර්තනය කරන්නේ ද නැතහොත් පොලා පැන යන්න එලෙස ඉංග්‍රීසියට නගන්නේ ද යන්න පැහැදිලි නැත.

සමකාලීන ධනේශ්වර සමාජය තුළ ක්‍රියාත්මක වන දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ (Ideological State Apparatuses) පිළිබඳ සංකල්පය අල්තුෂර් ඔහුගේ Lenin and Philosophy and Other Essays නම් වියමනෙහි ලා පැහැදිලි කරයි. ආගමික, අධ්‍යාපනික, පවුල්, දේශපාලනික, සන්නිවේදන, සංස්කෘතික ආදී ලෙස මෙම දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ ක්‍රියාත්මක වේ. දෘෂ්ටිවාදී පොලා පැනීම සිදුවන්නේ කෙනෙකු තමා සමාජය තුළ විෂයයකු (Subject) නැතහොත් පුද්ගල ආත්මයන් බව වටහා ගැනීමෙනි. මහමග යන විට පොලිස් නිලධාරියකුගේ ඇමතීමෙන් කෙනෙකු තුළ වරදකාරි හැඟීමක් ඇතිවීම එබඳු පොලා පැනීමක් ලෙස අල්තුෂර් දුටුවේය.

පියන්කාරගේ බන්දුල ජයවීර මෙම කවි නම් කරන්නේ සීමාසහිත පවුල සහ සමාගම යනුවෙනි. ඉන් කියවෙන පරිදිම මෙහි එන සැම කවියකම කේන්ද්‍රීය කාරණය පවුලයි. පවුල යනු අල්තුෂර් සඳහන් කරන දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ ක්‍රියාකාරී වන තැනකි. සාමාන්‍ය වශයෙන් පිළි ගැනෙන දෙයක් නම් පවුල් වටිනාකම් (Family values) සන්දර්භය තුළ දරුවන්ට යම් අධ්‍යාපනයක් ලැබෙන බවය. දරුවන් කීකරුකම සහ තම ජන කණ්ඩායම් තුළ විෂම ලිංගිකත්වයට අදාළ අගයන් ඉගෙන ගන්නා ස්ථානය පවුල ලෙස සලකනු ලැබේ. එහෙත් යථාර්ථය එය විය නොහැක. පවුල ප්‍රේමය සඳහා පමණක් නොව ලිංගික ප්‍රචණ්ඩත්වයට ද නිවහනක් වන තැන් ඇත. එහෙත් ධනේශ්වර සමාජය තුළ පවුල පිළිබඳ සංකල්පය දෘෂ්ටිවාදී මෙහෙවරක් ඉටු කරයි. ධනේශ්වර වටිනාකම් දරුවා පළමුව අධ්‍යයනය කරන්නේ පවුල තුළය. ඉන් ඔහු අධිකාරිත්වය ඉවසා සිටීමට පුහුණු කරනු ලැබේ.

සීමාසහිත පවුල සහ සමාගම තුළ දිගින් දිගටම ප්‍රශ්න කෙරෙන්නේ ධනේශ්වරය විසින් තොරොම්බල් කරනු ලබන පවුල පිළිබඳ එකී දෘෂ්ටිවාදයයි. පවුලට බැඳීම යනු විප්ලවය අත හැරීමය. කවියා මෙය ප්‍රකාශ කරන අවස්ථාවක් මෙසේ දැක්වේ.

 

“බැනර – රතු කොඩි – සටන් පුවරු ද
සමඟ ඉහළට ඔසවාන අත්
මහ පාර දිග වට රවුම්වල
හමු නොවී නුඹ එදා මෙන් සකි
මාළු – ‍එළවළු – හාල් සිල්ලර
සමඟ උහුලා රැගෙන දිවිබර
යන ගමන් මග සටන අතහැර
පසුබසින්නට වී ද? ම – මිතුර”

 

මිතුරන් දෙදෙනෙකු අතර වන මෙම දෙබස තුළ කියවෙන්නේ පවුල් බරට කර ගැසීමට සිදුවී තිබීම නිසා පෙර මෙන් අරගලවලට සම්බන්ධ විය නොහැකි බවය. එසේනම් මෙහි ඇති දෘෂ්ටිවාදී පොලා පැනීම කුමක් ද? පවුල රැක ගත යුතු ආයතනයක් ලෙස පිළි ගනිමින් එය වෙත පසු බසින සටන් කාමියකු අපට මෙහි හමු වේ. මේ කාව්‍ය සංග්‍රහයේ එන බොහෝ කවි වලින් කියවෙන්නේ සමාජ අසාධාරණය නිසා පවුල තුළ සතුට සහ සමගිය ගිලිහී ගොස් ඇති බවය. ‘මේ දවස්වල ජිවිතය’ නමැති පැදි පෙලෙහි කවියා එය මෙසේ පවසයි.

 

“එළවළු – හාල් – සිල්ලර
ඉවරෙටම ඉවර වූ පසුව
ඉඳහිට කඩ පිලට යමි
ඇවිත් ගෙතුළට වදිමි
මම – ගොලු බෙල්ලෙක් වෙමි
“පාසල් නිවාඩු කාලෙක
දෙහිවලට – පින්නවලට
අනුරපුරට – පොළොන්නරුවට
විනෝද – වන්දනා ගමන්!
දෙදරුන් ගෙන යන්ට
ශක්තිය නැත
හොඳටම කෙට්ටු වෙච්ච
පඩිපතකට”

 

කවියා සමාජ අසාධාරණයට එරෙහිව තම පෑන මෙහෙයවන බව සැබවි. එහෙත් එම අසාධාරණය ඉවත් කර ඔහු ප්‍රාර්ථනා කරන්නේ කුමක් ද? මෙම අරගල කරුවන්ගේ ප්‍රාර්ථනය වන්නේ පවුල තුළ ස්ථාපිත වීමය.

සමාජ විප්ලවය පැත්තෙන් මෙය හැඳින්විය හැක්කේ ස්ටාලින්වාදී පසුගාමිත්වයක් ලෙසය. අල්තුෂර් නම් පශ්චාත් මක්ස්වාදියා පවුල ධනේශ්වර දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණයක් ලෙස හඳුනාගන්නේ එබැවිනි.

මෙම කවි කියවන්නියට හමුවන්නේ වාම වාදී දේශපාලනික කවි ලියන අරගල කරුවෙකි. එහෙත් සමාජ අසාධාරණය පවුල තුළ කේන්ද්‍රීය වන කරුණක් වීම තුළ එයම උත්කර්ෂයට (trance sendence) නැංවේ. ඔහු ඉවත් කිරීමට යෝජනා කරන්නේ තමාගේ සීමා සහිත කුටුම්බ ජීවිතය කෙරේ වන බාධාවන්ය. මෙම දෘෂ්ටිවාදී පොලා පැනීම තුළ ඔහු අරගලය කල් දමයි.

සමන් වික්‍රමාරච්චි

ඔබේ අදහස කියන්න...