2009 වර්ෂයේ අවසානයත් සමඟ කොළඹ නගරයේ ඉඩම්වල සමපේක්ෂණ ඔට්ටු ඇල්ලීම්වල පරාසය පුළුල් විය. මහින්ද රාජපක්ෂ බලයට ඒමට පෙර කොළඹ හිස් ඉඩම් සෙවීම සහ ඉඩම් විකිණීම වැනි ගනුදෙනුවල දී අග්ලීල පාතාල පැත්ත පාලනය කරන ලද්දේ නාවල නිහා් විනිසි. එහි මගන්මා ශෛලීය රඳවා ගන්නා ලද්දේ ලලිත් කොතලාවල මහතා ප්‍රමුඛ සෙලින්කෝ ව්‍යාපාරයයි. ඉඩම් විකිණීම, ඉඩම් බදු දීම, ඉඩම් කල්බදු කිරීම ඇතුළු ගනුදෙනු සාකච්ඡා කිරීමට පෙර අපට බැංකු ගැන කතා කිරීමට සිදු වෙයි. ලංකාවේ සාමාන්‍ය මිනිසාටත්, බොහෝ ව්‍යාපාරිකයන්ටත් බැංකු සාක්ෂරතාවයක් නැත.

ඇත්තටම ‘බැංකුවක්’ කියා කියන්නේ කුමකටද? බැංකුවක් යනු මිනිසුන් අතර සිදුවන ගනුදෙනුවක දී අතරමැදි භූමිකාව රඟ දැක්වීමේදී මැදිහත් වී වියැකෙන භූමිකාවක් රඟ දක්වන මුත් අප හිතන තරම් බැංකු නිශ්ක්‍රීය නැත. බැංකුවක සමාජ දේශපාලනික ක්‍රියාව කුමක්ද? ගනුදෙනුකරුවන් දෙදෙනෙක් අතර හුවමාරු වන මුදල තමන් වෙත රඳවා ගැනීමෙන් නිශ්ක්‍රීය මුදල් ‘ලාභ උපයන – මුදල්’ බවට පරිවර්තනය කරයි. සරලව කිවහොත් බැංකුවක් මුදල් ‘ප්‍රාග්ධනය’ බවට සමාජීයව වෙනස් කරයි. සරල භාෂාවෙන් කිවහොත් බැංකු මුදල් යොදාගෙන අලුතින් මුදල් මවයි. ගනුදෙනුකරුවන් ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙමින් නිශ්ක්‍රීය මුදල් බැංකුව තුළ රාශි භූත වන විට අනෙක් අතට බැංකුව තම ණය නිකුත් කිරීමේ හැකියාව හරහා භූගෝලීයව ව්‍යාප්ත වෙයි. ඒ අනුව බැංකුවක් තුළ එක අතකින් මුදල් එකතු වෙයි. අනෙක් අතට ඒ මුදල් ණය දීම හරහා බාහිර සමාජයට විකාශය වෙයි. මේ හේතුව නිසා කලක් ගත වන විට බැංකුව සමාජ සංවිධානයක් බවට පරිවර්තනය වෙයි. බැංකුවක් තම ණය නිකුත් කිරීමේ සීමාව පුළුල් කරන විට එමඟින් බැංකුවට අත්වන සමාජමය වාසිය කුමක්ද? පුද්ගලයකු බැංකුවකින් නයක් ගැනීමට යන විට ඒ තැනැත්තා තම දේපොළ සහ ව්‍යාපාරික කටයුතු ගැන සවිස්තර වාර්තාවක් බැංකුවට සැපයිය යුතුය. මේ හේතුව නිසා බැංකුවට අමතර වාසියක් එකතු වෙයි. තම ණය දීමේ ක්‍රියාවලිය හරහා බැංකුව තම භූගෝලීය සීමාව ආවරණය කරන කලාපයේ සිටින සියලු ව්‍යාපාරිකයන්ගේ තොරතුරු එකතු කර ගනියි. මෙම තොරතුරු දත්ත බවට පත් කර විශ්ලේෂණය කළ විට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට වඩා බැංකුව සමාජ යථාර්ථය ගැන චිත්‍රයක් ඇඳ ගනියි. දැන් ඔවුන් තම ණය දීම හරහා පහත තොරතුරු නොමිළේ එකතු කර ගනියි.

  1. වැඩියෙන් ලාභ ලබන ව්‍යාපාර ක්ෂේත්‍රය කුමක්ද?
  2. වැඩි පොළියක් සහිතව ආරක්ෂිතව ණය නිකුත් කළ යුත්තේ කුමන ව්‍යාපාරික ක්ෂේත්‍රයට ද ?කුමන ව්‍යාපාරිකයන්ට ද?

අප පටන් ගත්තේ බැංකුවක් යනු අතරමැදි කාර්යයක් කරන අහිංසක චරිතයක් යන භූමිකාවෙනි. නමුත් ඉහත විග්‍රහය පුළුල් කරන විට ආර්ථික විද්‍යාඥයකුට වඩා බැංකුකරුවකු මූල්‍යකරණය ගැන පාඩම් ඉගෙන ගනියි. තොරතුරු දැන ගනියි. බැංකුවක සමාජ කටයුත්ත (අතරමැදි භූමිකා) වැඩි වූවිට සහ එය සමාජයේ සම්ප්‍රදායක් වූ විට බැංකුව ප්‍රාග්ධනයෙන් පොහොසත් වෙයි. මේ හරහා බැංකුව තම අනුග්‍රාහක ගනුදෙනුකරුවා ගැන, ඔහුගේ ආර්ථක තත්ත්වය ගැන, ඔහුගේ පවුලේ අයගේ වියහියදම් ගැන, ඔවුන්ගේ සිතුම්පැතුම් ගැන වඩා සම්පූර්ණ විස්තර ලබා ගනියි. කොටින්ම එක්තරා මොහොතකට පසු ගනුදෙනුකරුවා තමා ගැන දන්නා දෙයට වඩා බැංකු කළමනාකරුවා ඔහු ගැන දැන ගනියි. ප්‍රතිඵලය වන්නේ ගනුදෙනුකරුවා බැංකුව මත පරායත්ත වීමයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ලිබරල් ආණ්ඩුව (එයට යහපත් අරමුණු සහ අලංකාරික එබ්බ වීමේ ව්‍යාපෘතිය එවකට සතු කර තිබුණේ ‘රාවය’ ප්‍රමුඛ වික්ටර් අයිවන් සමාගමයි) 2005 වසරේ අවසන් වන විට මේ ලිබරල් ආණ්ඩුව හරහා බිහි වී තිබූ එකම සැබෑ සම්බන්ධය වූයේ මූල්‍ය ප්‍රාග්ධනයේ ඒකාධිකාරියයි. භාණ්ඩ ආනයනය සහ අපනයනය, බඩු ගබඩා කිරීම, ඒවා බෙදා හැරීම, කරි හරක් ඇති කිරීම වැනි වාණිජ්‍යයේ යෙදී සිටි හැරී ජයවර්ධන චන්ද්‍රිකාගේ ආණ්ඩුව අවසන් වන විට රජයෙ ස්කාගාරය සහ හැටන් නැෂනල් බැංකුවේ හිමිකරුවා වී සිටියේය. අනෙක් අන්තයේ පැවැතියේ ප්‍රතිවිරෝධයේ ඊළඟ ආකෘතිය වන වාර්ගික යුද්ධයයි.

2005 වර්ෂයේ දී බලය ලබා ගත් මහින්ද රාජපක්ෂ වසර 2010 වන විට එක පැත්තකින් නාවල නිහාල් ඉඩම් සමපේක්ෂණයෙන් ඉවත් කළ අතර අනෙක් පැත්තෙන් මූල්‍ය සමපේක්ෂණයට අදාළ මූල්‍ය ව්‍යාපාරික කටයුතුවලින් ලලිත් කොතලාවල ඉවත් කළේය. චන්ද්‍රිකාගේ දේශපාලන ආගමනය සිදු වූයේ 1994 වර්ෂයේය. ඇගේ දේශපාලනයේ මුඛ්‍ය සටන් පා ඨය වූයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස් කරගෙනයි. නමුත් ඇය දේශපාලනයෙන් සමුගෙන යන විට බිහිව තිබුණේ ඒකාදිකාරයන්ය. රටේ මුඛ්‍ය සම්පත් සහ ආදායම් පුද්ගලයන් කිහිපදෙනෙක් අතර රැදී පැවතිණ. මේ හේතුව නිසා මහින්ද රාජපක්ෂට ධනවාදී ආර්ථිකය පැත්තෙන් ගත් විට ඉතිරි වී පැවැතියේ උතුරට සීමා වූ යුද්ධය පමණි. සරලව කිවහොත් යුද්ධය කෙසේ හෝ අවසන් කරන දේශපාලකයාට ඊළඟට හමු වන්නේ ධනවාදයේ උසස්ම අවධියයි. චන්ද්‍රිකාගේ පාලන තන්ත්‍රය අවසාන වන විට ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකා ස්කාගාර සංස්ථාව ආදී සියලු රජයේ ආයතන පුද්ගලික අංශයේ ඒකාධිකාරයන්ට යටත් වී පැවැතිණ. ලිබරල් සහ ප්‍රංශ බොහිමීයන් තාලයට පටන් ගත් පාලන තන්ත්‍රයක් වාණිජ ඒකාධිකාරයන්ගෙන් අවසාන වීම ගැන විග්‍රහයක් තවම අපට හමු වී නැත.

චන්ද්‍රිකාගේ පාලනයේ ආර්ථික ලිබරල්කරණය හරහා  (මෙය දේශපාලන ලිබරල්කරණය සමඟ පටලවා ගත යුතු නැත. ආර්ථිකය දේශපාලනය සමඟ වැරදියට ආදේශ වීමෙන් ‘චෞර රැජින’ වැනි විකාරයන් බිහි වෙයි) ලංකාවේ ධනවාදය උසස් අවධියකට අවතීර්ණ විය මෙය සමාජ සංවර්ධනයක් නොවේ. යූඑන්පීය ඇයට උරුම කළ ධනවාදය තුළ ශේෂ වී පැවැතියේ නිදහස් කරණය සහ භාණ්ඩ අපනයනයයි. මහින්ද රාජපක්ෂ අතින් ධනවාදය එහි ඊළඟ අවධිය කරා අවධි විය. මෙම අලුත් අවධිය යා වූයේ ප්‍රාග්ධනය අපනයනය වන තත්ත්වයකටය. මෙම තත්ත්වය තුළ භාණ්ඩ නිෂ්පාදනයට තවදුරටත් ප්‍රමුඛ තැනක් ලැබෙන්නේ නැත.

යුද්ධය අවසන් කළ විලාසයෙන් එහි අවසන් ඵලය අපට උරුම වූ ආකාරයත් සලකා බලන විට මහින්දට තෝරා ගැනීමට විකල්ප කිහිපයක් පැවතිණ. අවශ්‍ය නම් බටහිර රටවල් සමඟ ඉන්දියානු  දිශාවට ගමන් කිරීමට හැකිව තිබුණි. නමුත් එවිට ප්‍රාග්ධනය රට තුළට එන්නේ අයි.එම්.එෆ්. සහ ලෝක බැංකුව වැනි සංවිධිත මූල්‍ය ආයතන හරහාය. නමුත් ලංකාවේ ආර්ථිකයේ ඊළඟ පිම්ම සඳහා අවශ්‍ය වන්නේ පාලනයකින් තොර ප්‍රාග්ධන ආනයනයයි. ලෝක ප්‍රාග්ධන අපනයනයේදී කොන්දේසි විරහිත ප්‍රාග්ධන සංවිධානයන් ඇත්තේ චීනයටය. එමඟින් මූල්‍ය ණය ලෙස මූල්‍ය ප්‍රාග්ධනය රට තුළට ඇතුළු වෙයි. බාධා සහිතව පැවැති ප්‍රාග්ධන ආනයනය මහින්ද ලිබරල්කරණය කරන ලදී. ඒ සඳහා රජයේ සිවිල් සේවකයන් ද පහසුවෙන් පොළඹවා ගන්නේය. චීන ප්‍රාග්ධනයේ දැවැන්ත දිය පහර ඉන්පසු  රට තුළට ඇතුළු වීමයි. මෙමඟින් මූල්‍ය බුබුලක් බිහි විය. අද දවසේ අප කොළඹ නගරයේ දකින උස්ගොඩනැගිලි සහ සුඛෝපභෝගී මහල් සංකීර්ණවල දේශපාලන – ආර්ථිකය සකස් වූයේ ඉහත පරිදිය. මෙහි ඵලයක් ලෙස ලංකාවේ දේශපාලන උපරි – ව්‍යුහය (සංස්කෘතිය) සහමුලින්ම උඩුයිකුරු විය. පක්ෂ දෙක එකට යාවී පාලන තන්ත්‍රයක් බිහි කිරීම දක්වා දේශපාලන අර්බුදය සංකීර්ණ විය.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. ප්‍රස්නාහ මේ සංකීර්ණ දේශපාලන අර්බුදය විසන්දිමකින තොරව දිගටම ඇදී යාමයි. නැවතත් චීන ප්‍රාග්ධනය අවශ්‍ය වන්නේ මේ නිසාය. රනිල් වික්‍රමසිංහ දැන් සිදු කරමින් සිටින්නේ එයයි. ඒ අතරේ වාමාංශය සයිටමය තුල සිරවී සිටි. එසේ නොවේද ?

Comments are closed.