මේ සිංහල අපගේ රටයි (III කොටස)

B

අප හොදින් දන්නා Forrest Gump (1994) චිත්‍රපටයේ ගම්ප් තම සියලු බලාපොරොත්තු අහිමි වූ පසු ඇමෙරිකාව වටේ දිවීමට තීරණය කරන අවස්ථාව බලන්න. බටහිර ට ශුන්‍යතාවය යනු යමක් අහිමි වූ පසු සිහියට නැගෙන දෙයකි. නමුත් පෙරදිග අපට ශුන්‍යතාවය යනු එදිනෙදා පැවැත්මේ ම විසංයෝජන කොන්දේසියකි. යමක් තිබෙන විටම එහි නොතිබීමද අපට සද්භාව් තත්වයකි. එනයින් ශුන්‍යතාවය යනු අප විසින් ගවේෂණය කලයුතු දෙයක් නොවේ. ඉහත පළමු චායාරූපයේ දක්නට හැකි ආකාරයට බටහිර මිනිසා ශුන්‍යතාවය සම්මුඛ කරන්නේ එය ‘තවත් එක් දෙයක්’ ලෙස සලකාය. මෙම ‘දෙය’ එක්තරා අවස්ථාවකට පසු දේවත්වය දක්වා ගමන් කරයි. එවිට ශුන්‍යතාවය යනු දෙවියන්ට කියන තවත් නමක් බවට පත් වේ (හෛඩගරියානු – කියකිගාඩියානු අර්ථයෙන්). ඉහත ජනප්‍රිය චායාරූපයේ දිස්වෙන අන්දමට බටහිර මිනිසාට ශුන්‍යතාවය මුණ ගැසෙන්නේ ‘තවත් එක් දෙයක්’ ඉදිරිපිට (දෙවියන්) තමාව පිහිටුවා ගනිමින් සහ එසේ පිහිටුවා ගැනීමෙන් පමණක්ය. එවිට නැවතත් තමා යන මමන්කාරය යම් දෙයකට සාපේක්ෂව ඉදිරියට එයි (බලා සිටින මම සහ මා ඉදිරිපිට ඇති ශුන්‍යතාවය නම් දෙවියන් යන දෙකම නොපැවතීම බටහිර ක්‍රිස්තියානි මනසට ග්‍රහණය කරගත නොහැක. දෙවියන් සිටින සෑම විටම මමද පවතී. මා පැවතීමට තවත් යමක්ද පැවතිය යුතුය). මේ අනුව ඉහත සමීකරණය ඔස්සේ ගමන් ගන්නා බටහිර ක්‍රිස්තියානි-ඇරිස්ටෝටලියානු ආත්මයට කිසිදා මමත්වයෙන් මිදිය නොහැක. අවම වශයෙන් ජිජැක් හෝ මෙම තත්වයෙන් නිදහස් නැත. මේ අර්ථයෙන් ගත්විට බටහිර දර්ශනය ශුන්‍යතාවය තේරුම් ගැනීමේ සහ එය තරණය කිරීම සම්බන්ද අති මුලික නොහැකියාවක් පෙන්නුම් කරයි. ආත්මය සහ ශුන්‍යතාවය අතර කිසිදා නොවිසදෙන පරතරය (gap) පැල්ම (rupture), වෙනස (differance), ආශාව (desire), යථ (the Real) යන සියලු වචන වලින් බටහිර දර්ශනය ඔස්සේ එළියට එයි. මෙම පරතරයට හෛඩගර් මුලින්ම භාවිතා කල වචනය වුවේ ඉහත දැක්වූ ‘සාංකාව’ යන්නය. නමුත් පෙරදිග බෞද්ධ අර්ථයෙන් ගත්විට බුදුන් වහන්සේ අපව මෙම අති මුලික විගලිත භාවයෙන් ගලවා ගෙන ඇත (අපව මෙලොවට විසි කර දමා නැත. එසේ දමා තිබුණද අප වද විය යුත්තේ අග මුල ගැන නොවේය). බුද්ධ දේශනාව නම් පැවැත්මේ අග හෝ මුල සෙවීමට උත්සුක නොවන්න යන්නය. එය අර්ථ විරහිත දෙයක් බව පෙන්වා දෙන බුදුන් වදාළේ මේ මොහොත ගැන පමණක් සවිඥාණික වන්න යනුවෙනි (මේ මොහොතය. මෙතැනය = here and now). මේ මොහොතේ සවිඥානික බව යනු සියල්ල අනිත්‍ය ප්‍රවාහයක හසුවී ඇති බව තේරුම් ගැනීමය.  බුදුන් වහන්සේගේ ධර්මය යනු අපට බටහිර ඉදිරියේ කෙළින් සිටගැනීමට උරුම කර ඇති මහත් වූ දර්ශනයකි (තව තවත් දියුණු කළ යුතු දාර්ශනික ව්‍යාපෘතියකි). එය බොහෝ පෙරදිග දාර්ශනිකයින් අතින් ඉතාම දියුණු අදියරකට මේ වනවිට පත්ව ඇත. එයට ජපන් අධිරාජ්‍යයාගේ අනුග්‍රහය පවා ලැබී ඇත. ඒ අනුග්‍රහය ඔස්සේ විසි වන සියවස තුලදීම ජපාන දාර්ශනිකයින් පෙරදිග අපරදිග දාර්ශනික පාලමක් ගොඩ නගා ඇත. ආර්ථිකය විවුර්ත කළාට ජයවර්ධන කරපු සද්භාවී කාර්යයක් නැත (අද පවා ථෙරවාද බුද්ධාගම දාර්ශනිකව දියුණු කිරීමේ සහ ලෝකයට ගෙන යාමේ වැඩපිළිවෙලක් නැත. ඒ සඳහා කැපවූ මිනිසුන්ද නැත). බුදුන් සහ සම්බන්ද සංකේතීය බවට යම් හෝ හානියක්  කරන විට ඒ සඳහා මැදිහත් විය යුතු යැයි මා සිතුවේ එබැවිණි. එසේ නැතුව මෙය සමන් කුමාර මහතාට දෙන ලද පිළිතුරක් නොවේය.  

චායාරූපය 02: Forrest Gump (1994) චිත්‍රපටයේ ගම්ප් විසින් කරන රට හරහා දිවීම සමග තවත් විගලිත ඇමෙරිකානු වන් ගණනාවක් (ගැහැණු, පිරිමි) ඔහු සමග සම්බන්ද වේ. අවසානයේ ගම්ප් නතර වන විට අනෙක් අය අර්බුදයට යයි. මන්ද එම ශුන්‍යතාවය තරණය කිරීමෙන් පසුව ද ‘මම’ යන දෙය තව දුරටත් හැමෝ තුලම ශේෂවී ඇති බැවිණි (ඇමෙරිකාව වටේ දුවපු මම!). ඔවුන්ගේ ප්‍රශ්නය නම් දැන් ඉතින් එම ශේෂවූ මා හට කරන්නේ කුමක්ද යන උභතෝකෝටිකයයි. ගම්ප් ක්‍රම විරෝධියෙක් වුවාට සත්‍ය අරුතකින් නිදහස් අයෙකු වන්නේ නැත.  බුදුදහමේ නිදහස (නිවන) යනු දුකෙහි අවසාන යයි (‘මම’ යන්නෙහි උච්චේදනයයි). භෞතික භුමියේ කොතරම් දුර යන්නේද යන්න ‘මම’ යන්නෙහි උච්චේදනය සඳහා එතරම් වැදගත් නොවේ. ඇත්ත වශයෙන් සිදු වන්නේ දුර යන්න යන්න පුද්ගල අහම විශාල වීමය.   

ගම්ප් සම්බන්ද ජිජැක් ගේ විවේචනය වන්නේ ඔහුට දෙන ලද වෙඩිතැබීමේ ක්‍රියාව සදාචාර විනිශ්චයකින් (පුර්වය = priori) තොරව ඉටු කළා යන්නය (පවත්නා ක්‍රමය තුලම එයට විරුද්ධ නොවෙමින්). හරියටම රොබෝ වරයෙක් මෙන් ඔහු හමුදාවට බැඳී වියට්නාම් සටනට යන අතර තමා කරන දෙය හරිද වැරදිද යනුවෙන් තමාවම ප්‍රශ්න කරන්නේ නැත. ජිජැක් කියන්නේ මෙම ක්‍රමයට අවශ්‍ය එවන් රොබෝ වරුන් මෙන් වෙඩි තැබිය හැකි මිනිසුන් බවයි. ගම්ප් ගේ ගැටළුව සාමාන්‍ය ඇමෙරිකානු හොලිවුඩ් ගැටලුවයි. එනම් සාමාන්‍ය බුද්ධිය ඇති මිනිසුන් අතර තමා යනු කවුරුන්ද යන අනන්‍යතා අර්බුදයයි. මෙලොවට විසිවූ මා තුළ තිබු (දිව්‍යමය බව) එහෙත් දැන් මට අහිමි වූ ‘දෙය’ කුමක්ද යන බටහිර ගැටළුවෙන් ඔහු පීඩා විඳී. කුමක් හෝ බවට පත් විය යුතු බැවින් ඔහු බොහෝ දේ බවට පත්වෙයි. වරෙක සෙබලෙක්, වරෙක අර්ථ ශුන්‍ය දුවන්නෙක්, වරෙක මස් මරන්නෙක් ආදී වශයෙන් ඔහුට භූමිකා ගණනාවක් රඟ පෑමට සිදුවෙයි. ඒ සියල්ල තුලින් ඔහු මම කවුද යන ප්‍රශ්නයට පිළිතුරු සොයයි. බුදුන් ගේ උදාහරණ යෙන් කියන්නේ නම් කුමක් හෝ ගෘහයක් ඔහු නිර්මාණය කරයි. එසේ ගොඩ නැගීමට ආශාවක් අප තුල උපදී (will – to – architecture යනුවෙන් කරතානි හදුන්වන දෙය). එම සංකල්පීය ගෘහය ඔස්සේ නැවත ඔවුන් තමාව සාධනය කර ගනී (මේ නිසා කරතානි යෝජනා කරන නම වන්නේ ‘විසංයෝජිත ගෘහ නිර්මාණය’ (Deconstructing Architecture) යන්නය.  සත්‍යය ලෙස ගතහොත් බටහිර මිනිසා බිය වන්නේ ශුන්‍යතාවයට මුහුණ දීමට නොව ශුන්‍යතාවය නොමැති තැනක පැවතිමටය. ගම්ප් යනු ඇත්ත වශයෙන් ඇමෙරිකානු නුතන ශුන්‍යබව තරණය කළ අයෙකි. ඔහු ඇමෙරිකානු සමාජයේ පරමාදර්ශයක් වන්නේ එබැවිණි. ඔහුට සහතික සම්මාන හිමිවන්නේ එබැවිණි. එම චිත්‍රපටය ජනාදරයට පත් වන්නේ එබැවිණි. නමුත් ගැටලුව නම් එම ශුන්‍යතාවය (ජිජැක් ගේ කොකා කෝලා ප්‍රපංචය) පවා අතුරුදන් වූ ලොවක ඔවුන් ට මුණගැසෙන්නේ කුමක්ද යන්නය. වෙනත් වචනයකින් කිවහොත් නිරපේක්ෂ ශුන්‍යතාවය (දෙවියන් හෝ අන් කිසිවක් හෝ අවම වශයෙන් ශුන්‍යතාවය පවා නොමැති) ඔවුන් අත්විදින්නේ කෙසේද යන්න තවමත් නොවිසඳී ඇත. අනන්‍යතා අර්බුදය ඉස්පොල්ලේ ගොස් ඇති මේ යුගයේ, අප සැවොම බටහිර වීමට තතනන මේ මොහොතේ, ‘මමත්වය නොමැති තැන’ අපට මෙම ධනවාදී යුගය තුල අවබෝධ වනු ඇත්ද? වෙළඳ භාණ්ඩ විසින් ඔබ කවුද යන ගැටළුවට විසඳුම් ගෙනෙන මේ යුගයේ ආත්මය සහ වස්තුව අතර ඇති අර්චන සම්බන්දය කුමක්ද? ශුන්‍යතාවය ම තව තවත් පානය කරන්න යැයි නියෝග කරන මෙම යුගයේ බටහිරට ප්‍රධානය කල හැකි පැවැත්මේ තිරසාර පශ්චාත් ක්‍රිස්තියානි රූපකය කුමක්ද? එසේනම් ක්‍රිස්තියානියට තරණය කල නොහැකි ධනවාදයේ මේ අවසන් සැතපුම මිනිස් සංහතිය වෙනුවෙන් තරණය කිරීම බාරගන්නා ඓතිහාසික සහ අද්විතීය තරඟ කරුවා බුද්ධාගමද?  
    
………………………………
Mahesh Hapugoda

සටහන් 

 

* (i) ‘අවිද්‍යා’ යනු නොසැලකිල්ල (negligence) වෙනුවෙන් යොදන පර්යාය පදයකි. ‘දන්නවා නමුත් නොදන්නවා වගේ සිටීම’ ගැන ජිජැක් භාවිතා කරන වචනය ප්‍රතික්ෂේපනය (disavowal) යන්නය. ‘සැලකිල්ලට ලක් නොකිරීම’ නම් නරුම තත්වය අර්ථවත් කරනු පිණිස බුදුන් වහන්සේ සියවස් ගණනකට පෙර එම සංකල්පය භාවිතා කර ඇත. එයින් අදහස් කරන්නේ මෙවැන්නකි. අප විසින් අපව සොයා ගන්නේ නම් ලෝකය තේරුම් ගැනීමට අපට ජිජැක් හෝ වෙනත් අය පසුපස යාම අවශ්‍ය නොවේ යන්නය. අපේ දෙය හෙලා දැකීම හෝ එහි සංකේතනය ප්‍රශ්න කරනවා වෙනුවට අප කලයුතු එකම දෙය අප අපගේ උරුමය ගැඹුරින් සොයා ගැනීමය. එවිට පමණක් ජිජැක් ලාට අප දෙස බැලීමට සිදු වනු ඇත. නැත්නම් සිදුවන්නේ හැමදාම අපට ජිජැක් දෙස බලා සිටීමටය. එසේ පරාධීන වීමට තරම් හේතුවක් අපට බුදුදහම විසින් ශේෂ කර නොමැති බව මාගේ විශ්වාසයයි. ඇත්තටම සිතුවොත් බුදුදහම අපට දී ඇති දායාදය මිල කළ නොහැකිය. ඒ නිසා අපි දන්නා බුදු දහමේ තියෙන සංකේතනය ඇතුලේ ‘සාමාන්‍ය බෝධිසත්ව’ කෙනෙක් නැතිවුණා කියල අවුලක් ඇති වෙලා නැහැ. එකම දේ යම් දැනුවත් මිනිස්සු ටිකක් ඒක දාර්ශනික අරුතකින් නුතන ලෝකයට අරන් එන්න ඕනි. මනෝ විශ්ලේෂණය වේවා, ස්ත්‍රී වාදය වේවා, ව්‍යුහවාදය වේවා, මාක්ස් වාදය වේවා අපි එම දර්ශනයේ මුලික හර පද්ධතිය සමග ගලපාගන්න ඕනි (උදාහරණ වශයෙන් සමාජවාදයේ සාමුහික බව ඇතුලේ මමත්වය – අහම නැතිවිය හැකිද වගේ දේවල් අපි ගැඹුරින් සාකච්චා කරන්න ඕනි). ඒ නිසා තමයි එහෙම කරපු ගෝලීය උදාහරණයක් විදියට ඉහත ජපන් බුර්ෂුවා උදාහරණය උපුටා දැක්වුවේ (පණ්ඩිත කම පෙන්නන්න නෙවෙයි).  

* (ii) මෙයින් අදහස් කරන්නේ ප්‍රතිපත්තියක් හැටියට සදාචාරාත්මක අරුතකින් මරණ දඬුවම අනුමත කරනවා කියන එක නෙවෙයි. නමුත් සංකේතනයට ම බැහැ තමා වෙනුවෙන් පෙනී සිටින්න සහ ආරක්ෂා වෙන්න. විෂය තුල පිළිවෙල තීරණය කරන්නේ සංකේතනය. නමුත් ඒ සියල්ලටම කලින් විෂය යන්න තීරණය වෙලා තියෙන්න ඕනි විෂය තුල (ඔව් ‘මම’ තමයි මේ කැඩපත තුලින් පෙන්නේ කියන ‘මම’ යන හැඟීම). ඉතින් ‘මම’ සහ ‘මගේ ප්‍රතිරූපය’ කියන දෙක අතර පරතරය තමයි පරිකල්පනීය අවධිය (imaginary stage) ඔස්සේ තීරණය කරන්නේ. ඉතින් නිෂිතානි කියන එක හරියටම හරි. කොයි ආකෘතියකින් හරි පැවැත්මේ පරතරය කියන එක තමයි බටහිර ආතතිය (‘මම’ සහ ‘මගේ ප්‍රතිරූපය’ අතර ඇති සදාකාලික ආතතිය). වරදක් කරපු කෙනෙකුට දඬුවමක් දෙන්නේ තමා ගැනම නැවත සිතන්න කැඩපතක් හැටියට (ඔබ ගැන ඔබ කෙසේ සිතුවත් නීතියට අනුව ඔබ කියන්නේ මෙහෙම කෙනෙක්. ඔබ සමාජයට ගැටළුවක්. ඉතින් ඔබ නිවැරදි විය යුතුයි). නමුත් ඔහු එම කැඩපත ප්‍රතික්ෂේප කරනවානම් එතකොට මොකද කරන්නේ? පියෙක් හොදින් කියල කියල බැරිම තැන කෝටුවක් ගන්නවා. එතකොට පියා යක්ෂයෙක් වගේ තමා පෙන්නේ. නමුත් ඔහු කරන්න හදන්නේ සංකේතීය පිළිවෙල ආරක්ෂා කරලා දෙන්න. ඇලන් මිලර් ට අනුව ළදරුවා විසින් පරමාදර්ශී ප්‍රතිරූපයක් අන්තර්කරණය (internalize an ego ideal) කරගත යුතුයි පරිකල්පනීය අවධිය තුළ. එතැන තමයි අහම උපදින තැන. ඒ වුනාට බුදුදහමේ ඉගැන්වෙන්නේ මෙම අහම අහෝසි කිරීම ගැන. ඉතින් දානය (තමාගේ යනුවෙන් ඇති දෙය පරිත්‍යාග කිරීම) සහ ශිලය (ඉන්ද්‍රිය සංවරය) ඔස්සේ බුදුන් කරන්න හැදුවේ විෂයේ පිළිවෙල හදන ගමන් ම අහම අහෝසි කරලා දාන්න හදපු එක. ඒත් යමෙක් කැඩපත් අවධියට පෙර ස්ථානයට (pre-symbolic stage) ආපසු යනවනම් ඒකට ඇලන් මිලර් කිව්වේ යථ කියල. එතැනදී තමයි වචන අසමත් වෙන්නේ. ඉතින් සමහර යථාව වෙතට ගිය අයට වචනයෙන් කියල වැඩක් නැහැ. ඉතින් ඒ වගේ වෙලාවට බුදුන් වහන්සේ පාරිලෙයිය වනයට වැඩම කලා (absence). ඉතින් ප්‍රවාසය (absence) කියන්නෙත් දඬුවමක් තමයි. අපිට පේන කිසිවක් අප සිතන තරම් සරල නැහැ කියන්නේ ඒකයි…         

(iii) එක අතකට සාමාන්‍යයෙන් සංකේතීය කියල අපි දන්න දේවල් වලට කුඩු වෙන්න ගහන්න ඕනි කියල අමුතු ම සද්භාවයකින් හිතන සමන්ට ලියල වැඩක් නැහැ. එයා එක්ක ‘අවදිවෙලා’ ඉන්න නව රැඩිකල් පරම්පරාවට උත්තර දීලා වැඩකුත් නැහැ (එයාල අවදිවෙලා දුවන්නේ ආයේ ‘නවතින්න’ නෙවෙයි. මරණය දක්වාම දුවන්න යි). ඒ අය ආශා කරන පරමාදර්ශී චිත්‍රපටය තමයි මෑතකදී තිරගත වුන Call Me By Your Name (2017). සමන්ගේ කරට අත දාගෙන ඉන්න බාල පරම්පරාව තළු මරමින් ඒ ගැන ලිව්වා. ඒකෙ කතා නායකයා වන ඔලිවර් ඉතාලියේ ග්‍රාමීය පරිසරයක තියෙන තමන්ගේ මහාචාර්ය තුමාගේ ගෙදරට එනවා. ඒ කරලා ඒ ගෙදර ඉන්න මහාචාර්යතුමාගේ පුතා එක්ක ලිංගිකව පැටලෙනවා. ඒලියෝ (පුතා) කියන්නෙත් ඉතාම වසඟකාරී තරුණයෙක්. ඔහුගේ බලපෑම ගොඩක් බරපතලයි ඔලිවර් පැත්තෙන් ගත්තම. වරෙක ඔහු සම ලිංගිකයි. වරෙක ඔහු විෂම ලිංගිකයි. ඔහු ලිංගික අනන්‍යතාවය සොයමින් යන තරුණ විගලිත හෛඩගරියානු භූමිය සොයන්නෙක් (ශුන්‍යතාවය ‘දෙයක්’ හැටියට ගත්තු කෙනෙක්. ඒ ‘දෙය’ නම් ලිංගිකත්වයයි). නමුත් සම්බන්දය ඇතුලේ වැඩිහිටි කෙනා වන ඔලිවර් ට බැරි වෙනවා තම ආශාව කැපකරලා ඔහුට ශුන්‍යතාවය අතික්‍රමණය කරන්න උගන්වන්න (‘කුඩා ඉශු නළඟන’ කතාවේ වගේ කඳුළු ගංගාවක් ඔස්සේ ආත්මය දියකර හරින්න). වෙනත් විදියකට කිව්වොත් කිකුයි මිස් කරපු දෙය නැත්නම් දුයිෂෙන් කරපු දෙය කරන්න තරම් ඔලිවර්ට ධෛර්යය (guts) තිබුනේ නැහැ (ඒ අය පොඩි අධ්‍යාත්මයක් තියෙන අය අපේ කට්ටිය ලොකුවට උඩ දැම්මට). ඒ කියන්නේ තමන්ගේ බාලයට කැඩපතක් වෙන්න වැඩිහිටි තරුණයට බැරි වෙනවා (ඒකයි ථෙරවාද වේවා කුමක් හෝ වේවා සංකේතනය වැදගත් කියල කියන්නේ). ඕනිනම් කියන්න පුළුවන් ඉහත චිත්‍රපටය වික්ටෝරියානු විරෝධී චිත්‍රපටයක් කියල. නමුත් එහෙම කිව්වත් ඉහත බටහිර විගලිත බව එයින් නැති වෙන්නේ නැහැ (හැටේ දශකයේ මහා ලිංගික විප්ලවයකින් පසුවත් කෝ ඔවුන් තෘප්තිමත් වෙලා?). ‘ආසියාතික බෞද්ධ ස්ත්‍රිය ඩෙරීඩා හමුවේ විසංයෝජනය’ කලත් ඉහත ගැටළුවට බටහිර විසඳුමක් පේන හරියක නැහැ. කොගිටෝවේ ගැටලුවෙන් ඔවූන්ට කවදාවත් නිදහසක් නැහැ ‘මම’ යන්න දියවි යන දෙයක් ලෙස තේරුම් ගන්න කල්. ලිංගිකත්වය ට කොච්චර ගියත් ඔවුන්ට ශුන්‍යතාවය විසංයෝජනය කරන්න බැහැ (නිකම් කියවන්නකෝ ඇලෙන්කා සුපැන්ජිත්). එම ලිංගික කටයුත්ත ට පස්සේ ආයෙත් තියෙන්නේ ඊටත් වඩා ශුන්‍යතාවය. ඉතින් ඊට පස්සේ කැසබලංකා (Casablanca) එකේ වගේ ‘හොලිවුඩ් සිගරට් එකක්’ බොන්න වෙනවා වෙනවාමයි හැමෝටම (ලිංගිකත්වය එච්චර තෘප්තිමත් දෙයක් නම් ඇයි ‘ඒ වැඩේට’ පස්සේ හොලිවුඩ් කාරයෝ සිගරට් බොන්නේ?). බටහිර අරුතකින් ඇත්තටම ඒ වැඩේට පස්සේ තියෙන්නේ දුක (suffering). ආතතිය (tension). ශුන්‍යතාවය (nothingness). මේ කතාව තේරුම් ගන්නේ නැති නිසා කියලත් වැඩක් නැහැ. මුලින්ම බුදුන් වහන්සේටත් තිබුණේ සැකයක් (the Great Doubt) තමා තේරුම් ගත්ත දෙය අනික් අයට කියල වැඩක් වේද කියල. ඒ අනුව මේ ලියවිල්ල සමන් විසින් දක්වන ලද අදහසට පසුව දක්වන තවත් අදහසක් මිස මෙය සමන්ට කරන විවේචනයක් හෝ ප්‍රතිචාරයක් හෝ නොවේ. 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. සෝවියට් දේශයේ බිඳ වැටීම අපිට ඉගැන්වුවේ මිනිසා ගේ ආත්මය පිලිබඳ හැඟීමක් නැති (මෙතන ආත්මය යන්න ආගම්වාදී අදහසකින් කියන්නාක් නොවේ) පෞද්ගලික මිනිසාගේ සිතුම් පැතුම් පිළිබඳව ඉඩක් නොදෙන සමාජයක් පවතින්න බැහැ කියන එක.පොදු ජනතාව සෑදී ඇති එක එක වෙනස් මනුෂ්‍යයා නමැති යුනිට් එක එලෙස අංකයක් පමණක් ගෙන කටයුතු කළ නිසා සිදුවූ ඛේදවාචකය තමයි එය කඩා වැටීම. ඒ නිශ අඔබ වැනි පශ්චාත් මාක්ස්වාදීන් බුදු දහමේ නිරපෙක්ෂතාවය හා නොඇලීම යන අදහස් වලට් ආකර්ශනය වීම පුදුමයක් නොවෙයි.

Comments are closed.