May 27

මෙම වියමන එක් අතකින් ස්වයං විවේචනයකි. දයලෙක්තික භාවිතාවක සිට සඳහන් කරන විට අනෙක් අතින් අප පක්ෂයේ ප‍්‍රධාන ලේකම් දීප්ති කුමාර ගුණරත්න සහෝදරයාගේ මැදිහත්වීම මත මා තුළ සිදු වූ ප‍්‍රගමනයක් ලෙස ද අර්ථකථනය කළ හැකිය. ට්‍රොට්ස්කිවාදී භාවිතාවන් නිසා දිනෙන් දින අතීතයට ගමන් කරමින් සිටින (නියත වශයෙන්ම අසාර්ථකත්වය උරුම කරගත්) ආසියාතික ගුප්ත ආත්මයක් සහිත විප්ලවවාදි සංවිධායකයකු සමග තවදුරටත් මා තොරොම්බල් වෙමින් සිටියේ නම්, ”කුරුලූ හදවත” නවකථාවේ කුරුලු මෙන් පාරුවෙන් වැටී විගඩම්කාරයකු ලෙස භෞතිස්මව දියවන්නාව පතුළ තුළ මට ද නිහඩ මරණයක් උරුමවීමට බොහෝසෙයින් ඉඩකඩ තිබුණි. එම අපගමනයෙන් අපව මුදවාගෙන පොදු අරමුණක් වෙනුවෙන් පෙනී සිටිය හැකි, වමේ පූර්ව අගතීන් අවම මට්ටමක පවතින දියුණු චින්තනයක් අප තුළට එන්නත් කිරීම සම්බන්ධයෙන් හිමි ගෞරවය දීප්ති සහෝදරයාට ලබා දෙමින් නැවත වරක් ඔහුගේ නම සඳහන් කරන්නේ දීප්තිගේ ශිෂ්‍යයන් යැයි තැන් තැන්වල දොඩවන ……….. තරුණයන්ට ඉදිරි කාලය ලේසි පහසු නොවන බව මතක් කරදීම පිණිසය. 
දෛනක ජීවිතය මතට පතිත වූ සංස්කෘතික චාරිත‍්‍ර-වාරිත‍්‍ර යනු දේශපාලනය යැයි මෑතක් වනතුරුම මම වැරදියට අවබෝධ කරගෙන සිටියෙමි. මාව ද පසුකරගෙන එකී ආස්ථානය වඩා හොදින් රගදක්වමින් සිටින සර්පයාගේ පෙම්වතියක වන උපේක්ෂා නැමැත්තිය සර්පයා අරබයා ඇයගේ ෆේස්බුක් ගිණුමෙහි තබා ඇති සටහන් කියවන අයෙකුට තවදුරටත් කොළඹ සංස්කෘතිය යනු යථාර්ථය තේරුම්ගත හැකි විද්‍යාවක් නොව අපව මුලාවෙනුත් මුලාවට පත් කරන දෘෂ්ටිවාදයක්, වසගයක් බව ඉතා හොදින් පැහැදිළි කරගත හැකිය.
කොළඹ සංස්කෘතියට වසග වී දේශපාලනය කරනවා යැයි සිතා තැන් තැන්වල බිබී විකාර සහගත දේශපාලන සංවාදවල පංගුකාරයකු වීම සහ අනේකවිද මත්ද්‍රව්‍ය අත්හදා බලමින් විවිධ ස්ත‍්‍රීන් සමග ගත වුණ හිපි කාලය නැවත මට ලබා ගන්න බැහැ. සමහරවිට සහෝදරියක් මෙහෙම කියාවි. මෙයත් කවදා හරි දවසක අනිත් අය වාගේ වේවි. නමුත් ඒ වැරදීම් තුළින් තමයි නිවැරදි මාර්ගයට අවතීර්ණවීමට අවස්ථාව උදාවුණේ. දීප්ති කිචවීම ගැන තැන් තැන් වල ආඩපාලි කිව්ව අය එක දෙයක් අමතක කළා. ‘දීප්ති’ කළ පරීක්ෂණය කුමක් ද ? කිසිවකු ඒ ගැන ඇසුවේ ද ? මෙතනදි අවබෝධ වූ තවත් වැදගත් කරුණක් තමයි අපට අවිඥාණයක් හිමිවීම නිසා දේශපාලන භාවිතාව ලෙස අවිඥාණික අගති සමූහයක් අපව පාලනය කරන්න ගන්න එක. දේශපාලනයෙදි මෙය ඉතාමත් වැදගත්.  ඕනෑම ප‍්‍රබුද්ධ ව්‍යාපෘතියක මධ්‍යය තුළ ඇත්තේ අශ්ලීල ෆැන්ටසි අඩංගුවක්. මේ නිසා යමෙක් පරිපූර්ණ පක්ෂයක් හෝ සංවිධානයක් හදන්න යනවා නම්, අනිවාර්යයෙන්ම එහි කෙළවර ඇත්තේ මිනී කන්දක්. ඊට අදාළ ඓතිහාසික උදාහරණය ස්ටාලින්. ලෙනින්ගෙ ආශාව වඩාත් හොදින් රග දක්වන්න ගිය ස්ටාලින් නිසා බොල්ෂෙවික් පක්ෂයේ දක්ෂ සංවිධායකවරුන් බුරුතු පිටින් ඝාතනය කෙරුණා. සමාජවාදී රාජ්‍යය වසර 40 ක් වැනි කෙටි කාලයකට සීමා වුණේ ඒ නිසයි. මේ අත්දැකීම නිසා අපි කල්පනාකාරී විය යුතුයි අපගේ සහෝදරවරුන් අතරින් අයෙක් දීප්තිගේ ආශාව වඩා හොදින් රග දක්වන්න උත්සහ කරනවාදැයි යන්න සම්බන්ධව. එවැනි සහෝදරයකු බිහිවුවහොත් යහපත් අරමුණු වෙනුවෙන් පක්ෂය වටා එකතු වන දක්ෂ සහෝදරවරුන් අපට අහිමිවීමේ අවධානමක් ඇතිවෙනවා. ඒ විතරක් නෙවේ, දීප්ති මුලූ ජීවිතයම දාල ගොඩනගන පූර්ව – විප්ලවීය චින්තනය වැරදි ලෙස අර්ථකථනය වීමට ඉඩ තිබෙනවා. ස්ටැලින් මොඩලයේ සංවිධායකයකු බිහිවීම වළක්වන්න පුලූවන් දීප්ති විසින් (පෙරදිග සුළං සගරා හරහා) නිවැරදිව ගොඩනගා ඇති න්‍යායන් භාවිතාවේ යෙදවීමෙන් පමණයි. එක් අතකින් මෙය දීප්තියානු උරුමය ආරක්ෂා කිරීමක් ලෙස ද හැදින්වන්න පුලූවන්. අවාසනාවකට වගේ ආසියාතික ස්ටලින්වරයෙක් මෙම සගරා කියවීම සමහර පක්ෂ සාමාජිකයන්ට තහනම් කළා. ඒ සමහර සහෝදරවරු දීප්ති ලියපු ඇසිඞ් වැස්ස පොත නොකියවීම ගැන සිටියේ මහත් ආඩම්බරයෙන්.  
අපි බොහෝ වෙලාවට හිතාගෙන ඉන්නෙ විප්ලවයක් සිදුවන්නේ අපගෙන් පිටත ලෝකයේ බව. වාස්තවික තත්ත්වයන් මේරූ පසු පක්ෂය හෝ පක්ෂ නායකත්වය විප්ලවය කරාවි යන්න අපගේ ඇදහීමක් බවට පත්වීමට තරම් අපේ රටේ වාමාංශික පක්ෂවල සහෝදරවරුන් පල්ලම් බැහැල තිබෙනවා. තමන් වෙනුවෙන් වෙනත් අය යමක් කරාවි කියන එක අපේ අභ්‍යන්තර විශ්වාසයක්, පිටත සිටින ඒජන්තයකුට තල්ලූ කර යැවීමක්. මෙවැනි විශ්වාස වලට අයිතිකරුවකු නැහැ. නමුත් එවැනි විශ්වාසයන් වලින් අපව පාලනය වෙනවා. මේකට ඔවුන් අර්ථකථනයක් දී තිබෙනවා න්‍යාය කන්නද යකෝ, භාවිතාව තමයි වැදගත් කියලා. නමුත් අපගේ අවබෝධයට අනුව මේ මොහොතේ අතිෂය ප‍්‍රමුඛ කාර්යය තමයි මේ ගතවෙන නිමේෂයන් නිවැරදි ආකාරයෙන් න්‍යායගත කිරීම. දීප්ති සහෝදරයා අතින් සිදුවෙමින් පවතින්නෙ ඒ ඓතිහාසික කාර්යභාරයයි. මේ තත්ත්වය පවා අවබෝධ කරගැනීමට නොහැකි විප්ලවවාදියො තමයි ලංකාවෙ ඉන්නෙ. මේ නිසා මාක්ස්ගේ 11වැනි  තිසීසය මෙලෙස නැවත විවරණය කළ යුතුයි. ලෝකය වෙනස් කිරීමට යෑම ධනවාදයට අපව අවශෝෂණය කිරීමක් නම්, වඩා වැදගත් වන්නේ ලෝකය රැඩිකල් ලෙස අර්ථකථනය කිරීමයි.
විප්ලවය සිදුවීමේ පූර්ව කොන්දේසියක් ලෙස මේ ගතවෙමින් පවතින මොහොත තුළ අපට මොකද වෙන්නෙ කියන එක සම්බන්ධයෙන් අප තුළ ස්වයං අවබෝධයක් තිබිය යුතුයි. අවසාන අර්ථයකින් සඳහන් කරන්නේ නම්, මේ ක‍්‍රමයට බැදිල ඉන්නෙ වෙන කවුරුවත් නෙවේ අපිමයි. ඒ නිසා නිවැරදි න්‍යායක් තුළ බර තබා අපි මේ ක‍්‍රමය සමග ගැටගහල තිබෙන යදම් බිදහෙළිය යුතුයි. මුලින්ම අපි තූළ ඇතුළතින් විප්ලවයක් සිදුවිය යුතුයි. විප්ලවීය මාර්ගය අපට පාදා ගන්න වෙන්නෙ ඒ හරහා පමණයි’ බොරුවට නිදාගෙන ඉන්න මිනිස්සු ඇහැරවන්න බැහැ කියල කථාවක් තිබෙනවා. ඒ නිසා අපි හැමවිටම සිහිතබාගත යුතුයි අප තුළ අරගලයක් සිදුවන සෑම විටම අපගේ අවිඥාණය විසින් සියුම් ආකාරයෙන් එය බැහැර කරන බව. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි අතින් වැරදීම් සිදුවෙනවා. අපට වරදින්න පුලූවන් කියන කාරණය ඔලුවේ තබාගෙන කටයුතු කිරීම තමයි වැදගත්. මේ නිවැරදි අවබෝධය නැති පුද්ගලයො තමයි දේශපාලනය තුළ තමන් යෙදී සිටි මෙහෙයුමක් අසාර්ථක වුවහොත් මම අතින් වැරැද්දක් වුණා කියල පිළිනොගෙන ඒ වරද තවකෙකුට පවරල නායකයවත් කිච කරල අතරමග සිල්ලර කඩ දාගෙන ඉන්නෙ. හපුගොඩ සහෝදරයා විසින් ආසියාතික ආත්මයේ ගුප්තභාවය කියල අර්ථ දක්වන්නෙ මේ තත්ත්වයට. අපි තුළ සම්පූර්ණ වෙන්වීමක් සිදුවෙලා නැහැ. හදාරන්නෙ නැතිව මේ තත්ත්වය අවබෝධ කරගන්න බැහැ. කල්ලිවාදය නඩත්තු කරන්න ලේසියි. හැබැයි පවත්වගෙන යන්න අමාරුයි. නායකයන්ව කිච කරන්න දගලන මෙවැනි පුද්ගලයන්ට ඊළග පරම්පරාවෙන් සුදුසුම පිළිතුර ළගදිම ලැබෙයි.
A Bird….
It’s been so lonely without u here
Like a bird without a song

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. මේ ලිපිය ලිව්ව සහෝදරයා වෙත, මේ ලිපිය ප්‍රවේශයක් කරගෙන “අපි තුල සිදුවිය යුතු විප්ලවය” කෙබදු විය යුතුද? එහි parameters මොනවාද? කියන එක සාකච්චා කිරීම සඳහා දළ සැලැස්මක් (outline එකක්) හදන්න සහෝදරයට පුලුවන්ද? එතකොට අපිට පුළුවන් වේවි නේද දීප්ති සහෝදරයා, මහේෂ්, පුෂපජිත් ඇතුළු අනිත් සහෝදර සහෝදරියන්ගේ අදහස් දැක්වීම් සමග මේ පිලිබඳ සංවාදයක් 3මාන වෙබ් අඩවිය තුල ගෙනියන්න. මම මේකෙන් බලාපොරොත්තුවන්නේ එතකොට අපි එකිනෙකාට අපේ (පෙරටුගාමී පක්ෂයේ)political ideals (දේශපාලනික පරමාදර්ශ) මොනවාද කියල පැහැදිලි කර ගනිමින් අපි එකිනෙකා ඒවාට කොතරම් සමීපද? දුරස්තද? කියල දැනගන්න ඒක උදව් වේවි කියල.

  2. වසන්ත මහතාගේ යෝජනාව වැදගත් එකකි. සංවාදය යන්නේ නම් අපිත් ඕවා කියවන්නට කැමතිය.

  3. මේ නිවැරදි අවබෝධය නැති පුද්ගලයො තමයි දේශපාලනය තුළ තමන් යෙදී සිටි මෙහෙයුමක් අසාර්ථක වුවහොත් මම අතින් වැරැද්දක් වුණා කියල පිළිනොගෙන ඒ වරද තවකෙකුට පවරල නායකයවත් කිච කරල අතරමග සිල්ලර කඩ දාගෙන ඉන්නෙ. Sirimale, aravindha, rohan, ……. Kalya, prba, …….. anil, mahinda, ………. daskon. nalin bupathe ……Rohith …aruna….Lalith… ඒ වරද තවකෙකුට පවරල නායකයවත් කිච කරල අතරමග සිල්ලර කඩ දාගෙන ඉන්නෙ.Sathhada News paper…….Tour guiding….Toyota Hybrid..
    foreign employment agency….foreign tour packages [Rooms booking]…wedding photopraphy
    …..

Comments are closed.