පළමුවෙන්, ශිරාල් ලක්තිලක සහෝදරයා අපගේ ලියවිල්ල බැරෑරුම් ලෙස සැලකීම පිළිබඳව ස්තුතියි. මා ඉතා සරලව ඉදිරිපත් කළ ප්‍රස්තුතයට අනුව කීවේ, ලංකාවේ බහුතර නීතීඥයන් රටේ ”දේශපාලන-ආර්ථිකය” පිළිබඳව අල්පභාෂිත බවයි. මා ගොඩනැඟූ එම තර්කය සඳහා ප්‍රතිතර්කයක් ශිරාල් ගොඩනඟා නැත. උදාහරණයක් වශයෙන්, ජවිපෙ නියෝජනය කරනවාද නැද්ද යන අවිනිශ්චිතතාවය තිබියදීම උපුල් කුමාරප්පෙරුම වැනි නීතිඥයෙකුට දේශපාලන ආර්ථිකය ගැන ඇති දැනුම ගැන හෝ ශිරාල් ප්‍රශ්න කර නැත. නමුත් ශිරාල්ගේ ලිපිය මඟින් උත්තේජනය කරන එක සාධකයක් ඇත. එනම්, ‘වරාය නගරය’ පිළිබඳ අපගේ අදහස තවදුරටත් විදාරණය කරන්න යන්න ය. අපි එසේ කරමු.

                      ශිරාල්! කරුණාකර ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙම වරාය නගරය පිළිබඳ පණත් කෙටුම්පත්පත මගින් උල්ලංඝනය කරන තැන් නිශ්චිතව උදාහරණ සහිතව අපට පැහැදිලි කරන්න. දැන්, මේ කරුණ අරභයා සිනහා සාගරයක් මතුවිය හැකි ය. නමුත් සිනහා වන මහත්වරුන් හට එසේ සිනහා වීමට ඉඩ දී අපි පහත සාධක විභාග කරමු. වරාය නගරය පිළිබඳ කතා කරන විපක්ෂයේ දේශපාලකයන් ‘දේශපාලන අවස්ථාවාදීන්’ වන්නේ, ඔවුන් බලයට පැමිණියහොත් තමන් මෙම ව්‍යාපෘතියට කුමක් කරන්නේ ද යන්න නොකීම මත පදනම්ව ය. ඇත්ත තත්වය වන්නේ, ලංකාවට වෙන කිසිම ආර්ථික විකල්පයක් නොමැති නිසා මෙය ක්‍රියාත්මක කිරීම හැර වෙන විකල්පයක් නැති බව මේ මහත්වරුන් නොකියා සිටීම ය. අනෙක් කරුණ වන්නේ, මේ විවේචකයන් බහුතරය මේ පණත් කෙටුම්පත නොකියවා තිබෙන බව ඔවුන්ගේ ප්‍රකාශ වලින් ගම්‍ය වීමයි. යමක් නො කියවා ඒ දේ ගැන අදහස් දැක්වීමේ රුසියන් ලංකාවේ ඕනෑ තරම් සිටිති.

                  ලංකාවේ ඡන්දය හරහා මහජනයාගේ ස්වෛරී බලය දෙවරක් පාලකයන්ට පවරනු ලැබේ. එකක් පාර්ලිමේන්තුවට ය. එය පාර්ලිමේන්තු මැතිවරණය හරහා සිදු වෙයි. දෙවැන්න වනුයේ, ජනාධිපතිවරයා පත් කිරීම හරහා විධායක රාජ්‍ය නායකයා පත් කිරීමයි. 78 ව්‍යවස්ථාව සකස් කර ඇත්තේ ම රටේ තීරණාත්මක ආර්ථික තීන්දු ගැනීමේ දී පාර්ලිමේන්තුව තුළ දී සිදුවන අවිනිශ්චිතතා විධායක ජනාධිපති මඟින් සමතික්‍රමණය කිරීමටයි. (කියවන්න Section 4 සඳහා අදාළ ප්‍රතිශෝධනය) ඒ අනුව, The president is also elected by the people. He will exercise the sovereignty of the people. ජේ. ආර්. ජයවර්ධන ව්‍යවස්ථාවට කරන දෙවන සංශෝධනයේ දී සිය රාජසභා කතාව මඟින් මෙසේ කිය යි.

           “Today we are becoming more and more, it may say , a socialist Economy…. 

……… In this socialist Set up, what function does this House perform? Nothing”.

  • Vision and Reality, page 19- 

                    වරාය නගරයට අදාළ පණත් කෙටුම්පත තුළ සිදු කොට ඇත්තේ, රාජ්‍ය ආයතන ආකෘතිය තුළ හට ගන්නා ප්‍රමාදය සහ අනවශ්‍ය තදබදය වලක්වා ගැනීමට ”තනි කවුළුවක්” (single window) විවෘත කොට ආයතන කිහිපයක නෛතික වරම එක් හෝ සීමිත නිලධාරීන් සංඛ්‍යාවක් ලවා අත්සන යෙදවීමයි. ව්‍යවස්ථාව මඟින් පිහිටුවන ලද ආයතන සමූහයක් ආර්ථික කරුණක් පාදක කොට ගෙන තනි මේසයකට රැගෙන ඒම හැර ව්‍යවස්ථාපිත නීතිය උල්ලංඝනය වීමක් මෙතන සිදු වී නැත. එවැන්නක් සිදු වේ නම්, මට වඩා නීතිය දන්නා නීති සම්පාදනය පිළිබඳ L.L.B  උපාධිධාරී ශිරාල් ලක්තිලක මහතාට මා නිවැරදි කළ හැකි ය. නමුත් මෙතැන දී යම් ව්‍යුහාත්මක වෙනසක් වෙයි. 

                       දැනට පවත්නා ආයෝජන මණ්ඩලය තුළ ද ක්‍රියාත්මක වන්නේ, ඉහත ආකෘතිය යි. මෙහිදී සිදු වන්නේ, දේශපාලන බලය හිමි පවුල් සාමාජික-සාමාජිකාවන් බාහිර රටක ආයෝජකයන්ගේ ඒජන්තයන් හැටියට පෙනී සිටිමින් රාජ්‍යයට ලැබිය යුතු කොමිෂන් මුදල් ලබා ගැනීමයි. (70 දශකය අග J.Rගේ ලේලිය වන පෙනී ජයවර්ධනත්, ඉදිරිකිරීම් ක්ෂේත්‍රයට අදාළව මහරාජාත් මෙසේ පෙනී සිටියේ ය.) නමුත් වරාය නගර කෙටුම්පත මඟින් සිදු කර ඇත්තේ, චීනය විසින් එම ආයෝජකයන් තෝරා ගන්නා බවයි. නමුත් අවසන් තීන්දුව සතු වන්නේ, ජනාධිපතිවරයා මත මිස චීනය සතුව නොවේ. ජනපතිවරයා පත් කරන්නේ මහජනතාව නිසා එම තීන්දු ගැනීමේ බලය විකේන්ද්‍ර නොවේ.

                    දේශපාලන භික්ෂූන්, ඇමතිවරුන්ගේ කොමිස් කාක්කන්, දේශපාලන පවුල්වල පරපුට්ටන් මෙම තීරණය ගැන කනස්සලු විය යුතු ය. නමුත් වාමාංශිකයන් දඟලන්නේ මන්ද? අපි දැන් නීතියෙන් ”දේශපාලන- ආර්ථිකයට” එමු.

                     සාමාන්‍යයෙන්, ලංකාවේ විශ්ව විද්‍යාලවල ශාස්ත්‍රීය දෙපාර්තමේන්තුවල (භාෂා අධ්‍යයන හැර) ගුරුවරුන් යනු, කිසිදා පොතක් නො කියවන, තමන් ලියන දේවල් වලට න්‍යායික අදහසක් පදනම් කර නො ගන්නා මුග්ධයන් පිරිසකි. මෙම තත්වය ලංකාවේ අලුතින් බිහි වී සිටින ඉතාම පටු ඓතිහාසික අවබෝධයක් සහිත වාමාංශික මුහුණුවරකින් පෙනී සිටින නව-අරාජකවාදීන්ට ද අදාළ ය.[Neo-anarchist] ඔවුන්ගේ පොදු සාධකය වන්නේ, න්‍යාය වස වීම ය. සිතට එන සිතුවිලි ඔවුහු වහ වහා වදාරා දමයි.

                    මා ”යානිස් වරුහාකිස්ගේ” අතිරික්තය ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ න්‍යාය උපුටා ගත්තේ, 2011 වර්ෂයේ ප්‍රකාශ වූ ‘The Global Minotaur’ නම් කෘතියෙනි. මින් අදහස් වන්නේ, මා ලියන දේවල් ඉහත කෘතියේ න්‍යායික අදහස් මත පදනම් වන බවයි. කෘතියේ න්‍යායික අදහස ලංකාවේ සන්දර්භයට අදාළ කොටස පමණක් ලෙස ගෙන සංගෘහිත කරන්නේ නම් එය මෙසේ ය.

                   ඕනෑම ආර්ථික පද්ධතියක් සෑදී ඇත්තේ, ඒකක විශාල සංඛ්‍යාවකිනි. ඉන්, සමහර ඒකක විසින් අතිරික්තයන් -surplus-නිපදවන අතර අනෙක් තැන්වල හීනතාවයන් පෙන්නුම් කරයි. පද්ධතියේ තුලිතතාවය සඳහා එහි මෙහෙයුම්කරුවන් ඉහත අතිරික්තයන් කිහිප ආකාරයට හීන ස්ථානවලට යොමු කරයි.

1.අනාගතයෙන් එන අතිරික්තයන් වර්තමානයට යොමු කරයි. (මහබැංකු බැඳුම්කර, ණය……) 

2.නාගරික කේන්ද්‍රවල ගොඩ ගැසෙන අතිරික්තයන් ගම්වලට යොමු කිරීම. (බැංකු ණය, පළාත් පාලන ආයතනවල අතිරික්තයන් පොදු සේවාවන් වලට යොමු කිරීම.)

3.දියුණු රටවල්වල අතිරික්තයන් ආර්ථික අතින් ඌන සංවර්ධන ප්‍රදේශවල ආයෝජන හෝ ණය හැටියට ගෙන්වා ගැනීම. (මහාමාර්ග සංවර්ධනය, යටිතල පහසුකම් දියුණු කිරීම, සේවා පුළුල් කිරීම, මානව සම්පත් දියුණු කිරීම.)

 

                         නිදහසින් පසුව ලංකාවේ ‘ධනපති විරෝධය’ ගොඩනඟන ලද්දේ, U.N.P විරෝධය ලෙසිනි. දෙවන ලෝක යුද්ධයට පසුවවත් මෙම දෘෂ්ටිවාදී නිර්මිතය වෙනස් කිරීමට සමසමාජ පක්ෂයට සහ කොමියුනිස්ට් පක්ෂයට නො හැකි විය. ධනේශ්වර ක්‍රමය, ප්‍රාග්ධනය සහ එහි ඒජන්තයන් යනු, සංකල්පවේද දෙකකි. 60 දශකය අග බිහි වූ ජනතා විමුක්ති පෙරමුණ ද මේ මඟෙහි ම ගමන් කොට ධනවාදයට විරුද්ධ වීම U.N.P විරෝධයට තුල්‍ය කළේ ය. එපරිදිම, U.N.P යද ධනපති ක්‍රමය සහ පක්ෂයක් ලෙස තමන් අතර ඇති පරතරය – gap- සලකුණු නො කළේය. ඒ නිසා, ලංකාවට ‘ආර්ථිකය දියුණු කිරීම’ පිළිබඳ සංකල්පගත කිරීමක් තවම නැත. එබැවින්, ලංකාවේ වාමාංශික පක්ෂ සහ සංවිධාන පුරුද්දක් හැටියට ‘U.N.P විරෝධය’ යනු, ධනපති විරෝධය ලෙසින් සංකල්පගත කළේය. මෙම තත්වය ඔවුන් පසුව සංස්කෘතිය දක්වාම විකාශනය කළ අතර එය ජවිපෙ සහ අන්තවාදී සංවිධාන ‘ජනශ්‍රැතික දේශපාලනය’ දක්වා ධනපති විරෝධය හරහා පල්ලම් බස්සවන ලදී. තමන්ම කැත යැයි සමපේක්ෂණය කරන තම මුහුණට උඩින් කොළඹ මුහුණක් අලවාගෙන ඇති ග්‍රාම්‍ය මූලයන්ගෙන් පැවතගෙන එන ජනශ්‍රැතික වාමාංශිකයන් බහුතරයක් මම U.N.P යට කඩේ යනවා, රනිල්ට කඩේ යනවා, ඔය කියන්නේ චන්ද්‍රප්‍රේමගේ කොළපාට සමාජයේ අදහස් යැයි විලාප තියන්නේ අහම්බයකින් නොවේ. සංඥාකාරක විශ්වයට අනුව ඔවුන් නිවැරදිය. නමුත් කාලඅනුක්‍රමය අනුව ගත් කළ, ඔවුන්ව ව්‍යුහගත කරවන ඓතිහාසික සන්දර්භය ගැන ඔවුන්ට සංජානනයක් නැත. ‘ධනපති විරෝධය’ සමඟ ‘U.N.P විරෝධය’ ඔවුන්ගේ හිස් තුළ ස්ටිකරයක් මෙන් එකට අලවා ඇත. ධනපති විරෝධය නම් කාසියේ අනෙක් පැත්ත, U.N.P විරෝධය යි. එහි ප්‍රතිලෝමය ද සත්‍යය.

                    බැසිල් රාජපක්ෂ 2020 මහ ඡන්දයේ දී ඉහත කී වාමවාදීන්ගේ දෘෂ්ටිවාදී වියමන නිරුවත් කළේය. දැන්, සියලුම U.N.P නොවන දේශපාලනය කරන අයට ‘ධනපති විරෝධය’ ශුද්ධ (Pure Form) ආකෘතියකින් සම්මුඛ වී ඇත. කාන්ට් හේතුව අනුභූතියෙන් සහමුලින් සුද්ද කර ‘ශුද්ධ හේතුව’ විඝටනය කළා සේ දැන්, අපව U.N.P අත්දැකීමෙන් තොරව ‘ශුද්ධ ධනපති විරෝධය’ පරිකල්පනය කරන්නට පොළඹවා ඇත. සියලු දෙනා මෙම නව-අභියෝගය හමුවේ භීතියට පත් වී ඇත. චිත්‍රපටයට අදාළ නොවන නළුවන්ගෙන් රංග භූමිය පිරී ගොස් ඇත්තේ, මේ නිසා ය. දැන් ධනපති සමාජ ක්‍රමය සහ ආත්මය වක්‍රතාවයකින් තොර සෘජු හමුවක් වී ඇත. 

                    මේ දක්වා, නිදහසින් පසු ගෙවී ගිය වසර 40 ක පමණ කාලය තුළ එක්සත් ජාතික පක්ෂයටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, ජනතා විමුක්ති පෙරමුණටත්, සුළු ජාතික පක්ෂ වලටත් ලංකාවේ ‘දේශපාලන-ආර්ථික’ ව්‍යුහය වෙනස් කිරීමට නො හැකි විය.

                     දේශපාලන-ආර්ථික විද්‍යාව යනු, ආර්ථිකය හුදෙකලා කොට හදාරන්නේ නැතිව ආර්ථිකය මෙහෙය වන සමාජ-කණ්ඩායම් සහ බලපෑම් කණ්ඩායම් ගැන විධිමත්ව හදාරන විද්‍යාවයි. මෙම විද්‍යාවට අනුව ගත්විට, වැඩ කරන ජනගහණය (ඵලදායිතාවය කෙසේ වුවත්) ලංකාවේ මිලියන 8 කි. මෙයින්, මිලියන 6 ක පමණ ජනකායක් වැඩ කරන්නේ අවිධිමත් ක්ෂේත්‍රයේ ය. දුප්පතුන් සහ නිදන්ගත දරිද්‍රතාවයක පරම්පරා මට්ටමින් සිටින ජන ස්ථරයක් ද මේ තුළ ගොනු වී ඇත. මිලියන 2 ක ජනගහණය යනු, රජයේ සේවකයන් ලක්ෂ 14 ද ඇතුළත්ව පුද්ගලික ක්ෂේත්‍රයේ විධිමත් මාසික ආදායමක් ලබන සමාජ තීරය යි. මේ තීරය දේශප්‍රේමී ය. මොවුන් රාජ්‍යයේ බදු ආදායමෙන් විශාල කොටසක් භුක්ති විඳිති. සමාජ වරප්‍රසාද ලැබී ඇත්තේ, මේ තීරයට ය. දෘෂ්ටිවාදී හඬ මාධ්‍ය හරහා පුම්බන්නේ මෙම තීරුවයි. මෙයට දැන් ව්‍යාපාරික භික්ෂු ස්ථරයක් ද එකතු වී ඇත.

                         ඩිල්ෂාන් සහෝදරයා මතු කළ ගැටලුවකින් රටේ දේශපාලන-ආර්ථික ගැටලුව අවසන් කළ හැකි ය. සරලව කිවහොත්, මේ දැනට පවතින දේශප්‍රේමී ආර්ථිකයෙන් ප්‍රතිලාභ ලබන සුළුතරය කවුද?

                     ශිරාල් ඇතුළුව ”වරාය නගරය/ ශ්‍රී ලංකාව” නම් සහ සම්බන්ධ ප්‍රතිපක්ෂය ගැන පෙත්සම් ගසන අයට අනුව ලංකාවේ ව්‍යවස්ථාවෙන් ආවරණය වන මිනිසුන් කොපමණ ප්‍රමාණයක් ඉන්නවාද? වරාය නගරයේ ඉදිරියට වැඩට යන කී දෙනෙක්ගේ ජීවිත රටේ ව්‍යවස්ථාවෙන් ආවරණය වෙනවා ද? ඔවුන්ගෙන් බහුතරය දේශප්‍රේමී දිවයින තුළ ඉඩම් හිමි අය ද? 

                      දේශපාලනික රොමැන්තිකයෙකු ඉහත මූලික ප්‍රශ්න අතහැර පහත ප්‍රශ්න ඇසිය හැකිය.

  1.  නෛතික අවිනිශ්චිතභාවය.

  2.  පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පරිහානිය.

  3.  පරිපූර්ණ රාජ්‍යය.

  4.  ලිබරල් ව්‍යවස්ථාදායක සාකච්ඡාව.

  5.  ජාත්‍යන්තර නීතිය සහ ප්‍රජාතාන්ත්‍රික විදග්ධවාදය.

 

                      පාක්‍යසෝති සරවණමුත්තුගේ සිට වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥයන්, වෘත්තීය සමිති ආදී ”දේශප්‍රේමී රාජ්‍යයේ” බහුතරයක් දෙනා බදු පැහැර හරින පන්තිය යි. ජවිපෙට සම්බන්ධ බොහෝ වෘත්තීය සමිති ද (රාජ්‍ය ආදායම් ද ඇතුළත්ව) පෙනී සිටින්නේ, බදු ගෙවීම පැහැර හැරීම වෙනුවෙනි. මේ පන්තියේ මුහුදු රකුසා (Leviathan) බවට කලින් පත්වී තිබුණේ, දෙමළා ය. දැන්, එතැනට චීනය පත් වී ඇත. රජයේ ආදායම් වෙනුවෙන් බදු නො ගෙවන, බදු පැහැර හරින පන්තියක් කාල්පනිකව සහ රොමෑන්තිකව දේශප්‍රේමීත්වයක් රකින්නට උද්ඝෝෂණය කරන්නේ නම් ඔවුන්ගෙන් අප ”බදු” අය කළ යුතු ය. තමන්ගේ සේවයට අදාළ ගෙවීම සේවාදායකයා කළ පසු ඒ සඳහා ලදු පතක් නීතිඥයන්ට දෙන්න යැයි කියා නීති සම්පාදනය කළ යුතු ය. එය, උපුල් කුමාරප්පෙරුමගෙන් සහ සමාජවාදී පෙරටුගාමී , Audi රථයක් පදවන නීතිඥ බෝපගෙන් පටන් ගත හැකි ය. විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ද බදු අය කිරීම පටන් ගත යුතුය. මන්ද, මේ දේශප්‍රේමීන් දේශප්‍රේමී රාජ්‍යය දේශීයව ශක්තිමත් කළ යුතු නිසා ය.

                         60% ක් වන දුප්පත් ජනයා වෙනුවෙන් ‘වරාය නගරය’ පටන් ගන්නවා ද? නැතහොත්, පපඩම්කාර පන්තියේ සාටෝප කතා නිසා නවත්වනවා ද? තීරණය ඇත්තේ ජනාධිපති අතේ ය. ඔහු එම ධජය බිම දමන මොහොතේ සිට මෙම පණිවිඩය රැගෙන අපි ගමට යන්නෙමු.

                    සමන්ත විද්‍යාරත්න වැනි ජවිපෙ සාමාජිකයෙකු ‘සීගිරිය’ උදෙසා ගොඩනැඟූ ගොබ්බ තර්කයට අනුව එය ගොඩනැඟීමට ණය ගන්තේ නැත. විද්‍යාරත්න නොදන්නේ, සීගිරිය ගොඩනැඟුවේ බලහත්කාර ශ්‍රමයෙන් බවයි. වැඩවසම් යුගයේ දී ශ්‍රමය යනු, විකුණුම් භාණ්ඩයක් නොවේ. විද්‍යාරත්න පලිප්පු දමා උස්සන්නේ, වැඩවසම් සමාජ-ක්‍රමය මිස මාක්ස්වාදය නොවේ. ඔහුගේ වරද-නිවැරදි කරන්නට එම පක්ෂයේ නායකයෙක් ද නැත. පීඩිත පන්තියේ ආර්ථික නිදහස වෙනුවෙන් පෙනී සිටින මහත්වරුන්ට ‘දේශපාලන-ආර්ථිකය’ ගැන ඇත්තේ, මෙබඳු දැනුමකි. 

Deepthi kumara Gunarathne.

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

අයදුම් කිරීමට මෙතන Click කරන්න

සමබිම පක්ෂය

සටහන්-

1. ත්‍රස්තවාදී මර්ධන පණත රටේ ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය සමඟ ගැටෙනවා. නමුත්, ඒ ගැටීම තුළම පණත සහ ව්‍යවස්ථාව දෙකම අධිකරණය තුලනය කරනවා.

2.ස්වීඩනයේ බදු ගෙවීමේ අනුපාතය 57% කි. යුරෝපයේ වැඩ කරන ජනයාගෙන් 95% ක් පමණ කුමන ආකාරයකින් හෝ බදු ගෙවනවා. ලංකාවේ බදු ගෙවන්නේ, සෘජු ලෙස 20% ක් පමණ මිනිස්සු ය. ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය යනාදී සියල්ල ඉල්ලන මිනිස්සු රාජ්‍යයට බදු නො ගෙවයි. ලංකාවේ අරක්කු නිල වශයෙන් නිෂ්පාදනය කරන අය 5 ක් විතර ඉන්නවා. තව, කුඩා ප්‍රමාණයෙන් නිෂ්පාදනය කරන අය 23 ක් ඉන්නවා. ඒ අය තමන්ට අවසර තියෙන ප්‍රමාණයට වඩා අධික ලෙස අරක්කු නිෂ්පාදනය කරලා හොයන මුදල් වලට බදු ගෙවන්නේ නැහැ. ඊට අමතරව, ගෙවල්වලත් අරක්කු පෙරනවා. මෙම අරක්කු නිෂ්පාදනය හරහා මාසයකට රාජ්‍යයට නො ගෙවන බදු ප්‍රමාණය මිලියන 10,500 ක් ලෙස ගණන් බලා ඇත. මීට අමතරව, ලංකාවේ ප්‍රධාන ව්‍යාපාරිකයන් 10 දෙනා බදු ගෙවන්නේ තමන්ට අවශ්‍ය පරිදි මිස බදු නීති වලට අනුකූලව නොවේ. එසේ නම්, ලංකාවේ රාජ්‍යයේ මූල්‍ය ස්වාධිපත්‍යය ඇත්තේ කොහේද? ජෝතිෂ්‍යවේදීන් ද බදු ගෙවන්නේ නැත. මේ සියලු දෙනා රාජ්‍යයට බදු නො ගෙවන ‘වරාය නගරයට’ විරුද්ධ ය. 

                      

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. මෙ කියන්නෙ ශෝට් කට් එකකින් ගෝටා එක්ක වැඩ කරන්න සෙට් වෙන්න සුදානම් කියලා නේද? Okay okay!!

Comments are closed.