[dropcap color=”blue”]එ[/dropcap]ක්තරා පාසලක ඉතිහාස ගුරුවරයෙක් රාමායණය පිළිබද පාඩම් ඉතා හොදින් දරුවන්නට ග්‍රහණය කර ගත හැකි වන පරිදි දැඩි මහන්සියක් ගෙන ඉගැන්විය. ඉගැන්වීමෙන් අනතුරුව ගුරුවරයා හිතුවේ දරුවන් රාමායන කතාව ඉතා හොදින් වටහා ගන්නට ඇති බවය. නමුත් අවසානයේ ඔහු එකී කතාව ගැන යළි ප්‍රශ්ණ කරන විට දරුවන් ඔහුගෙන් විමසා සිටියේ කතාව නම් හොදටම තේරුනා. ඒත් පොඩි ප්‍රශ්ණයක් තියෙනව. ඇත්තටම රාමා කියන්නේ සීතා ගේ කවුද? මේ කතාව හුදු විහිළු කතාවක් ලෙස දැනටමත් ඔබ දන්නා කතාවක් වන්නට පුළුවන. ඒත් අපට මේ කතාව යළි මතක් කරන්නට අවශ්‍ය වන්නේ ඇයි?

ලංකාවේ ගොඩක් වාමාංශික ව්‍යාපාරයන් වර්ථමානයේ මුහුණ පා සිටින  ප්‍රධාන අර්බුදය හා මේ කතාව සමපාත වෙනව. ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණත් ඇතුලුව ගොඩක් වමේ පක්ෂ ( අප ද ඇතුළුව ) කාලයක පටන් ධනවාදයේ අර්බුදය ගැන ජනතාවට වටහා දෙන්නට ගත් උත්සහයන් ප්‍රමාණය අනත්වත්ය. ඒත් අඩුම තරමේ ධනවාදය වෙනස් කිරීම කෙසේ වෙතත් ධනවාදය ගැන දැනුමක් ලබා ගන්නටවත් හැකි වුනේ කීයෙන් කී දෙනාටද? වර්ථමාන ගෝලීය වමේ ව්‍යාපාරයම මුහුණ පා සිටින අර්බුදයක ලාංකීය දෘෂ්ටිකෝණය ලෙස අපට එය හදුන්වන්නට පුළුවන්. වමේ සාකච්ඡා,පොදු සම්මුතීන්,වමේ ව්‍යාපාරයන් සියලල්ලම අද වන විට ඛේදජනක හාස්‍යයක් ඉතිරි කරමින් අවසන් වන තත්ත්වයක් දැක ගන්නට පුළුවන. ජනතා විමුක්ති පෙරමුණ ඇත්තටම මේ රටේ දුක් විදින පංතියේ මිනිසුන් වෙනුවෙන් දේශපාලන ව්‍යාපාරයක් හදන්නට මහන්සි ගත් පක්ෂයක් පමණක් නොව තරුණයන් දස දහස් ගණනක් සිය ජීවිතය පරදුවට තබා ධනවාදයට එරෙහිව අරගල කළ පක්ෂයක්. නමුත් අවසානයේ දැන් එම විප්ලවාදී යැයි කියු ව්‍යාපාරය අන්ත ප්‍රතිසංස්කරණ වාදයක් හමුවේ සමාජවාදයෙන් ධනවාදය දක්වා යළි පල්ලම් බැස තිබෙනව. අපි කැමති වුවත් නැතත් ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මේ වන විට විප්ලවාදී පක්ෂයක් නෙවි. ඇත්තටම ඔවුන්ට ඊළග ආණ්ඩු බලය සදහා ගාමක බලවේගය පමණක් වන්නට පුළුවන් වේවි. මේ වන විට ජනතා විමුක්ති පෙරමුනෙන් ජනතාව අසන සරළ ප්‍රශ්නය අප පෙර කී කතාවේ රාමා කියන්නේ සීතා ගේ කවුද කියන පැනයට සමාන පැනයක් වෙනව. නැතිනම් දැනටමත් ජනතා විමුක්ති පෙරමුණ විසින් ධනවාදය ගැන ප්‍රකාශ කළ ප්‍රකාශයන්,සංවාද,සාකච්ඡා, රූපවාහිනි වැඩසටහන්, පාර්ලිමේන්තු කතා ආදිය ජනතාව අවබෝධ කර ගත්තා නම් පවතින ධනවාදී සමාජ ක්‍රමය වෙනස් වී බොහෝ කල්ය.

ජනතා විමුක්ති පෙරමුණ එක් අතකින් මාක්වාදී මිටිය සහ දෑකැත්ත අතින් ගෙන අනිත් අතින් නාගුණ වැල සහ බෝ කොලය අතින් ගෙන හදන්නට උත්සහ කළ දෙමුහුන් මාක්ස්වාදී-ජාතිවාදී ගොන් නාම්බා නිසා අවසානයේ රටේ බහුතරයක් මිනිසුන් විශ්වාන්තරවාදීන් වෙනවා වෙනුවට සිදු වූයේ අන්ත ජාතිවාදීන් බවට පත් වීමය. එයට ජීවිතයෙන් වන්දි ගෙවන්නට හතලිස් දහසක් පමණ වූ උතුරේ මිනිසුන්ට සිදු වූ අතර දකුණ කුඩු විකුණන සහ කැසිනෝ ආර්ථිකයක් බවට පරිවර්තනය විය. ප්‍රභාකරන් මරා දැමුවාට පසු බිහි වෙතැයි සියල්ලන් ප්‍රාර්ථනා කළ සුඛිත මුදිත අකනිටා බ්‍රහ්ම ලෝකය වෙනුවට බිහි වූ ලෝකය ගැන සියල්ලන්ම මවිතයට පත්ව ඇත.

රජරට සරසවියේ දින 65ක් පුරා පැවැති උපවාසය අධිකරණ තීන්දුවක් මගින් වලකාලමින් එය පවත්වමින් තිබූ අට්ටාලය පොලීසිය විසින් කඩා ඉවත් කිරීමට පියවර ගැනීමත් සමග  අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන් පොලීසියට පවසන්නේ  මහත්තයෝ උඹලගේ දුලගේ පුතාලට මේවගේ දෙයක් වුනා නම් උඹලටත් පාරේ ලගින්න වෙනවා යන්නය. තවත් සිසුවෙක් පෙලීසිය දෙසට ඇගිල්ල දිගු කරමින් පවසා සිටියේ අපේ රෙද්දක් බේරාගන්න නෙවෙයි යකෝ අපි සටන් කළේ ඉගෙන ගන්නා ඔක්කොම උන් වෙනුවෙන්මයි යන්නය.

ඇත්තටම මේ ශිෂ්‍යන් කියන කතාව පොලීසියට තේරුම් ගන්නට බැරි වෙන්නේ අහම්බයකින් ද රාජ්‍ය සහ රාජ්‍යෙය් මර්දන උපකරන ගැන මූලික මාක්ස්වාදී පාඩම දන්නා අයෙක් පොලීසිය කියන්නෙම පවතින ක්‍රමය ආරක්ෂා කරන්නට ඇති මර්දන උපකරණයක් නිසා ඔවුන් ක්‍රියාත්මක වන්නේ ඒ ආකාරයෙන්ම බව දත යුතුය. ඔවුනට ඊට වෙනස් ආකාරයෙන් හැසිරෙනව කියා දෙයක් හිතන්නට බැරිය. දිගින් දිගටම ආණ්ඩුවෙන් අයිතාවාසිකම්  ඉල්ලා මහපාරේ අරගල,සත්‍යග්‍රහයන්,උපවාස කරනවා යනුම ධනවාදී ක්‍රමය තුළ ප්‍රතිසංස්කරණවාදය දක්වා විතැන්වීමක්ය. අප  ඉදිරියේ ඇති දේශපාලන අර්බුදයෙහි සීමාව ඇත්තේ ඉන් එපිටෙහිය. ධනවාදය වෙනස් නොකර මොනතරම් ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කළත් එය අතීසාරයට අමුඩ ගැසීමක් මිස ප්‍රශ්ණයට පිලිතරක් නම් නොවේ.

ජිජැක් විසින් පවසන ප්‍රසිද්ධ කතාවක සදහන් පරිදි වංශවත් කුලාක්වරයෙකු විසින් ප්‍රසිද්ධියේ සිය බිරිද දූෂණය කරන තුරු එකී වංශාධිපතියාගේ බෝල දෙක දූවිල්ලෙන් ආරක්ෂා කරන්නට ඉදිරිපත් වන ගැමියෙකු වංශාධිපතියා පිටව ගිය පසු දූෂණයට ලක් බිරිද වේදනාවෙන් කෑමොර දෙන විට පවසන්නේ මම උගේ බෝල දෙක අල්ලගෙන හිටියේ නැහැ. ඒකේ හොදටම දූවිලි ගෑවෙන්න ඇති යනුවෙනි. වර්ථමානයේ ධනවාදය තුළ ප්‍රතිසංස්කරණවාදී දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින සියළු වමේ ව්‍යාපාරයන් කියන්නේ බෝල දෙකේ දූවිලි ගෑවුන නිසා සතුටු වන වර්ගයේ ගැමියන්ය. නමුත් අපට අවශ්‍ය වන්නේ මේ බෝල දෙක කඩා දමන්නට පුළුවන් වර්ගයේ අලුත් දේශපාලන ව්‍යාපාරයකි. එවන් දේශපාලන ව්‍යාපාරයක අඩුව මිස එවන් දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් සටන් කරන්නට හැකි පරම්පාරවක අඩුවක් ඇතැයි අප සිතිය යුතු නැත. දෙවතාවක් දකුණේ සමාජ අරගල දෙකක් වෙනුවෙන් ජීවිත පූජා කළ මිනිසුන් සහ එක් වරක් උතුරේ අරගලයක් වෙනුවෙන් ජීවිතය පුජා කළ මිනිසුන් සිටි රටක විප්ලවීය අත්හදා බැලීම් තව දුරටත් කරන්නට අවැසි නැත.

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. බුද්ධිමතුන් සහ දාර්ශනිකයන් අන්ත නිර්ධනයන්ගේ ද ප්‍රඥාවෙන්, බුද්ධියෙන් හෝ අවබෝධයෙන් අඩු ජනයාගේ මිතුරන් හෝ නායකයන් වීමට සමත් වන්නේ කෙසේද? ජ.වි.පෙ. 1965සිට සාමාන්‍ය මිනිසුන් සමග කළ දේශපාලනය අනෙක් වාමාංශික ව්‍යාපාරවලට කළ නොහැකි වූයේ ඇයි? ජ.වි.පෙට වඩා විප්ලව වාදී සහ ජාතිවාදී නොවන යථාර්තවාදී මාක්ස්වාදීන්ට සාමාජිකයන් අඩු වන්නේ ඇයි? ජ.වි.පෙට බනිනා අය මේවා ගවේශණය කළ යුතුය. අනුන්ටම ඉගැන්වීමට යනවාට වඩා තමන්ද භාවිතයෙන් ඉගෙන ගැනීමට පැමිණිය යුතුය. ජවිපෙ සාමාජිකයන් යනු කවුරුන්ද? මම ද ජවිපෙ සාමාජිකයෙක්මි. නමුත් මා හට ශුන්‍ය අංශුව තෙක්ම සංකල්පවල හෝ වෙනස්වීම්වල ගැටළුවක් නැත. ජාතිවාදය හෝ ගබ්සාව හෝ ගණිකා වෘත්තිය හෝ සමලිංගිකත්වය හෝ තවත් වෙනස්විය යුතු දේ. සාමාන්‍ය ගැමි ජවිපෙ සමාජිකයාට මේ සියල්ලම ගැටළු විය හැකිය. අන් මතවාද ඇසීමද ගැටළුවක් නැත. නමුත් සමාජ ද්‍රෝහීන්ව මරා දැමිය යුතුය යන්න මා කිසි විටක අත්හැර නැත. කෙසේ නමුත් අවශයනම් කෙනෙකුට ජවිපෙ සාමාජිකයන් මැට්ටන් කියා කිව හැකිය. නමුත් එසේ කිවූ පමණින් එයට ගින්නක් ලෙස පැතිරී යා නොහැක්කේ එකී කියන්නාගේ භාවිතාමය දුර්වලතා නිසාය. නැවතත් කිව යුත්තේ ජ.වි.පෙට වඩා දැනුම තිබෙන අය රටේ සිටින නමුත් ජ.වි.පෙ.ට තරම් එකගතා ඇති ප්‍රතිපත්ති ඇති පක්ෂමය වූ සාමාජිකයන් අන් කිසිදු වාමාංශික ව්‍යාපාරයකට නැත. එකී බුද්ධිමතුන් අතුරින් පිළිගත හැක්කේ දීප්ති පමණක්ම මිස අන් අය නොවන බවද කිව යුතුය. දීප්තිගේ නූතන අදහස හෙවත් ලිංගිකත්වය, ප්‍රේමය, ආදිය ගැන ප්‍රවේසම් වන්නේ නම් රට තුළ මාක්ස්මය බහු සමාජයක් ගොඩනැගීම ද අපහසු නැත. වැදගත්ම දෙය අපව දිනාගැනීම පිණීස කොතරම් උද්යෝගයක් ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය තුළ පවතීද යන්නය.

  2. බෝල දෙක කඩනව කියන්නෙ ධනේශ්වර රාජ්‍ය පෙරලීම ද? නැතිනම් පුාග්ධනය අත්හිටුවීමද? රාජ්යෙන් පුතිසංස්කරණ ඉල්ලන එක නවත්තපුවම, ඉතිරිවෙන්නෙ පුාග්ධනයට එරෙහි, පුාග්ධනය අත්හිටුවන විකල්පයක් ගොඩනැගීම විතරයි. ඒක වමේ උපාය මාර්ගයක් විදියට පිලිගන්නවද? රාජ්‍ය බලය ලබාගැනීමෙන් තොරව පුාග්ධනය අත්හිටුවන්න පුලුවන්. රාජ්‍ය බලය අභිමුඛ වෙන්නෙ එහෙම ගොඩනැගෙන ව්‍යාපාරයක අතර මැද තැනකදි.එතකොට රාජ්‍ය බලය ගන්නෙ විකල්ප ජීවිතයක් සංවිධානය කරන ව්‍යාපාරයකට. ධනේශ්වර පුතිසංස්කරණ ඉල්ලන පංතියක් නෙවෙයි. ලෙනින් විශ්වාස කළා පුතිසංස්කරණ අරගල හරහා එය ඉක්මවා යන පංති විඥානය ගොඩනගන්න පුලුවන් කියල. හැබැයි ලෙනින්ගේ නායකත්වයෙන් බලය ගත්ත පංතියට පුලුවන් උනේ දියුණු ධනේශ්වර රුසියාවක් හදන්න විතරයි. පුාග්ධනය අත්හිටවන්න පුලුවන් උනේ නැහැ.එතකොට ලෙනින්ගෙ සංවිධාන ව්‍යුහය සමාන්තර වුනේ සහ සමත් වුණේ ඒ කාර්්‍යය කරන්න විතරයි.ඔබ ලෙනින්ගෙ සංවිධාන ව්‍යුහය සංශෝධනයකින් තොරව පිලිගන්නවද?

Comments are closed.