මිනිසුන් මෙම පශ්චාත්-නූතන යුගය තුළ දී සෘජුව යමක් විශ්වාස කරන්නේ නැත. එබැවින් තත්කාලීන මිනිසාගේ ජීවිතය යනු විශ්වාසයන් අතේ දුරින් තබා ගන්නා යුගයකි. නමුත් පූර්ව-නූතන, පැරණි, සාම්ප්‍රදායික සමාජයන්හී මිනිසුන් සෘජුව දේවල් විශ්වාස කළෝය. සමහර ග්‍රෝත්‍රිකයන් තමන් මාළුන්ගෙන් පැවත එන ව සෘජුව විශ්වාස කළෝය. නමුත් සමකාලීන මිනිසාට  විශ්වාස කිරීම සදහා කුමක් හෝ දෙයක් හෝ පුද්ගලයෙකු අව්‍යශය. මුදල් දැමීමේදී ඔවුන් බැංකු විශ්වාස කරන අතර ඡන්දය දැමීමේදී විවිධ දේශපාලන පක්ෂ විශ්වාස කරති. විශ්වාසයන් ක්‍රියාවට නැංවීම ගැන ඔවූහූ උදාසීනය.

වෝල්ටර් බෙන්ජෙමින් ඉතිහාසය පිළිබද  ප්‍රවාද ගොඩ නගමින් පළ කළ අදහස නැවත සිහිපත් කිරීම මෙහිදී වැදගත්ය.සෝවියට් දේශය සහ නාසිවාදීන් අතර ඇති වූ ගිවිසුම නිසා බලවත් ලෙස ඉච්ඡභෙංගත්වයට පත් වූ බෙන්ජිමින් තමන් ලද අවබෝධය වක්‍ර ආකාරයෙන් ඉදිපත් කිරීමට ඉතිහාසය පිළිබද ප්‍රවාද යොදා ගත්තේය.

ඉතිහාසය පිළිබද ප්‍රථම ප්‍රවාදය මෙලෙස සාරාංශගත කළ හැක – චෙස්

ඵෛතිහාසික භෞතිකවාදය  නම් සියල්ල දත් රෑකඩය සෑම මොහොතකදීම ස්වයංක්‍රීයව ජයග්‍රහණය කිරීමට නියමිතය. නමුත් උභතෝකෝටිකය වන්නේ මෙම දක්ෂ චෙස් ක්‍රීඩකයාගේ හිස තුළ සිට එය පාලනය කරන්නේ විරූපී -අද්භූත -නිශාචර මිනිසෙක් (දේවධර්මය) වීමයි.

අද දවසේ අපට අලුත් දේශපාලන මානයක් හදා ගැනීමට අවශ්‍ය නම් බෙන්ජමින් ගේ ඉහත ප්‍රවාදය කණපිට පෙරළිය යුතුය. එනම් දේවධර්මය නම් සියල්ල දත් රෑඩකඩ සෑම මොහොතකදීම ස්වයංක්‍රියව ජයජග්‍රහනය කිරීමට නියමිතය. නමුත් උභතෝකෝටිකය වන්නේ මෙම දක්ෂ-චෙස්-ක්‍රීඩකයාගේ හිස තුළ සිට එය විරූපී-අද්භූත-නිශාචර ඓතිහාසික භෞතිකවාදය නමින් පාලනය කිරීමයි.

ඉහත සීරු-මාරු කිරීම සරලව විග්‍රහ කළ හැක්කේ කෙසේද?

අද දවසේ ජීවත් වන මිනිසුන් කිසිවකු යමක් සෘජුව විශ්වාස කරන්නේ නැත. එබැවින් පළමු පියවර විය යුත්තේ යමක් සෘජුව විශ්වාස කිරීමයි. බොහෝදෙනා මේ මොහොතේ සිතන්නේ මහින්ද රාජපක්ෂ පරාජය කළාට පසු අප ප්‍රගතිය කරා යන බවයි. මන්දයත් සියළුදෙනා අතීතය,ඉතිහාසය වටහා ගන්නේ ක්‍රමයෙන් වර්ධනය වන ප්‍රගතියක් ලෙසින් නිසාය. මහින්දට පසු ඉබේටම ප්‍රගතිය අප කරා එන්නේ ඉතිහාසයේ න්‍යාය ධර්මය එය නිසාය. ඒ අනුව සියළුම වර්ග වල ඓතිහාසික භෞතිකවාදයන් මනස අභ්‍යන්තරයෙන් දේවධර්මවාදීය. අපගේ ජීවිතයේ පරම නිෂ්ටාව දෙවියන්ගෙන් අවසාන වන පරිදි ඓතිහාසික භෞතිකවාදීන් ගේ පරම නිෂ්ටාව ඉතිහාසය විසින් එහි ජයග්‍රහාකයාගේ නම් වැල හරහා අපට අත්පත් කර දෙයි.

ඉතිහාසය පරාජිතයන්ගේ අසමත්කම්වල ප්‍රතිඵලයක් ලෙසින් වටහා ගැනීමට කිසිවකු උන්න්දු වන්නේ නැත. උදාහරණයක් වශයෙන් 70-77 යුගයේ පැරණි වාමාංශිකයන්ගේ සමාජ-ආර්ථික වැඩපිළිවෙළ පරාජය වීම නිසා ජේ.ආර් ගේ ව්‍යවස්ථාව හට ගත් වග වටහා ගැනීමට කිසිවකු උන්නදු නැත. ජේ.ආර් ගේ අසමත්කම නිසා දෙමළ ජාතික අරගලය හටගත් බව පිළිගැනීමට කිසිවකු කැමති නැත. ඊළගට එල්.ටී.ටී.ඊ ව්‍යාපාරයේ අසමත්කම නිසා මහින්ද ච්න්තනය හටගත් බව පිළිගන්නටද කිසිවකු නැත.

අද බොහෝ දෙනා ඉක්මන් වන්නේ යථාර්ථය වෙනස් කරන අදහස් වෙනුවට ඉන්ද්‍රජාලික පුද්ගලයන් තෝරා ගැනීමටය. එම ක්‍රමය ඉතා පහසුය. එය හරියට අපි වෙනුවෙන් විකට නාට්‍යවල ටෙනිසන් කුරේ හිනා වෙනවා වැනිය. අපට තිබෙන්නේ නිකම් ඉන්නටය. අපි නිකං සිටින විට ටෙනිසන් කුරේ අපි වෙනුවෙන් හිනා වෙයි. එය අපට අනෙකෙකුට විතැන් කල හැක. එය ඔහු හෝ ඇය කරනු ඇත. මේ දේවධර්මය ඓතිහිසික භෞතිකවාදයේ වේෂයෙන් අපට එන්නත් වීමයි.

දෙවියන් නෙමැති නම් අපගේ පරමාර්ථ වලට කුමක් වනු ඇත්ද? එවිට අපගේ පරමාර්ථ නිස්සාර වෙයි. ඉතිහාසය යනු ක්‍රම ක්‍රමයෙන් ප්‍රගතිය කරා යන බලවේගයක් නොවන්නේ නම් අපගේ සමාජ ජීවිතය නිස්සාර වීමට නියමිතය. දෙවියන් නොමැති යයි පරසක්වල ගසන්නන් පවා ඉතිහාසය අපට ප්‍රගතිය ගෙන එනු ඇතැයි අනුමාන කරයි. එය X හෝ Y හෝ වේශයෙන් එනු ඇතැයි විශ්වාස කරයි. එතැනදී තමන් සහ පූර්ව-නූතන යුගවල මිත්‍යදෘෂ්ටිකයන් අතර වෙනසක් ඔවූහූ නොදකිති. රාවය හරහා , රනිල් හරහා , කරූ හරහා , සෝභිත හරහා ප්‍රගතිය අනුමාණ කරන්නන්ගේ ඔලුව දේවධාර්මිකය. එම ඔලු ඓතිහාසික භෞතිකවාදී නැත. ප්‍රගතිය පොරාන්දු නොවන අපේක්ෂකයා කවුද?

ඉන් එක් අයෙක් මිය ගොස්ය. අනෙකා යළිත් ඉපදී නැත.

 

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. //ඉතිහාසය පරාජිතයන්ගේ අසමත්කම්වල ප්‍රතිඵලයක් ලෙසින් වටහා ගැනීමට කිසිවකු උන්න්දු වන්නේ නැත. උදාහරණයක් වශයෙන් 70-77 යුගයේ පැරණි වාමාංශිකයන්ගේ සමාජ-ආර්ථික වැඩපිළිවෙළ පරාජය වීම නිසා ජේ.ආර් ගේ ව්‍යවස්ථාව හට ගත් වග වටහා ගැනීමට කිසිවකු උන්නදු නැත. //- එකඟයි මාව දාගන්න 1 හැටියට.
    //ජේ.ආර් ගේ අසමත්කම නිසා දෙමළ ජාතික අරගලය හටගත් බව පිළිගැනීමට කිසිවකු කැමති නැත.// – පිලි ගන්නේ නැත. ජේ.ආර් ගේ අසමත්කම නිසා දෙමල අරගලය ඉතාමත් වේගයෙන් වර්ධනය වුවත් දෙමල අරගලය පටන් ගත්තේ වම 1956 හා 1972 දෙමල අයිතීන් පාවාදුන් පසුය.
    // ඊළගට එල්.ටී.ටී.ඊ ව්‍යාපාරයේ අසමත්කම නිසා මහින්ද ච්න්තනය හටගත් බව පිළිගන්නටද කිසිවකු නැත.// එකඟයි හැබැයි එල්.ටී.ටී.ඊ ව්‍යාපාරය මුල සිටම අසමත් වුවක් බවද පිලි ගන්නට සිදුවේ.

Comments are closed.