රූ රැජිනකගෙන් සම්මාන එපා කියූ සුනන්දා රණසිංහ වසර 30ට පසු සිහිපත් කරයි

 

ජාතික තරුණ සේවා සභාව එක්දහස් නවසිය අසූහතර වසරේ පැවැත්වූ යෞවන සම්මාන උලෙළේ දී හොඳම ගීත නිබන්ධය සඳහා වූ සම්මානය, 83 ලෝක විවාහක රූ රැජින වූ රෝසි සේනානායකගෙන් ලබාගැනීම එම සම්මානය හිමිවූ සුනන්දා රණසිංහ ප්‍රතික්ෂේප කළාය. එවකට ඇය විසිහය හැවිරිදි විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වූ අතර ඇය සම්මාන ප්‍රතික්ෂේප කිරීම එකල දැඩි කතාබහකට ලක්විය. එය සිදුවී වසර තිහකට පසු සුනන්දා රණසිංහ සමඟ එම සිද්ධිය පිළිබඳව අතීතාවර්ජනයක නිරත වීමු.

 

එක්දහස් නවසිය අසූහතර දෙසැම්බර් අවසාන කාලය අසූ පහේ ජනවාරි මුල් කාලය මාධ්‍ය ඇතුළු කලා ක්ෂේත්‍රවල ඔබ වැඩිපුර කතාබහට ලක්වුණ කාන්තා චරිතයක් වුණා?

ඔව්! එක්දහස් නවසිය හැත්තෑ හතේ ඉඳල, යෞවන කටයුතු අමාත්‍යාංශයේ ජාතික තරුණ සේවා සභාව යෞවනයන් සඳහා විවිධ ක්ෂේත්‍රයන්හි තරග පවත්වල ඒවායින් ජයග්‍රහණය ලැබූවන්ට සම්මාන ප්‍රදානය කළා. එයින් බලාපොරොත්තු වුණේ තරුණ පරපුරේ සැඟවුණ දක්ෂතා එළිදැක්වීම වගේම ඔවුන්ව උද්යෝගිමත් කිරීම. එක්දහස් නවසිය අසූහත‍ෙර් පවත්වපු තරගයේදී හොඳම ගීත නිබන්ධනය සඳහා මට ප්‍රථම ස්ථානය හිමිවුණා. අසූ හතරෙ යෞවන සම්මාන උලෙළේ දී මට ලැබුණ සම්මානය විවාහක රූ රැජන රෝසි සේනානායකගෙන් ලබාගැනීම ප්‍රතික්ෂේප කළා.

ඒ කාලෙ කවුද යෞවන කටයුතු පිළිබඳ ඇමැති?

රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි අධ්‍යාපන, යෞවන කටයුතු හා රැකීරක්ෂා ඇමැති. චරිත රත්වත්තෙ මහත්තය තමයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ තරුණ සේවා අධ්‍යක්ෂ ජනරාල්.

ඔබට ප්‍රථම ස්ථානය ලැබුණ ගීත නිබන්ධනය මතකද?

ඒකෙ මාතෘකාව, කාන්තාරය සහ ඊතණ පඳුර.

 

චණ්ඩ රුදුරු වැලි කුණාටු හමනා
ගිනිගෙන දැවෙනා වැලි කුණාටු හමනා
ලේ වැහි වහින යුගයක ඉපදුන
මිත්‍රයිනේ මේ අහපල්ලා
පෙර දවසක මෙකතර පියමං කොට
ගොනු ඇද ගැල‍ෙගන ගිය මිනිසුන් හට
අවසන් වුණ දිය අඩුව පුරවන්නට
කතර පතුල දිය ඇති බව පැවසූ
හමුවුණේය ඊතණ පඳුරක
එදා මෙදාතුර කතර වියරු වී
හිරු ගිනියම් වී දියමං වියළී
ගැල් සක පුපුරා ගොනු මිය ඇදිලා
මිනිසුන්ගේ පා සටහන් මැකිලා

 

මේ සිදුවීම සිදුවෙන කොට ඔබේ වයස කීයද?

අවුරුදු විසිහයයි. මම ඒ දවස්වල කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්නවා.

සම්මාන ප්‍රදානය සිදු කළ දිනය මතකද?

ඔව්. එක්දහස් නවසිය අසූහතරෙ, දෙසැම්බර් දහනව වෙනි දින. සම්මාන ප්‍රදාන උත්සවය පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙදි.

අගමැති ආර්.ප්‍රේමදාස මහත්තයා. හේමා ප්‍රේමදාස මහත්මිය, රනිල් වික්‍රමසිංහ ඇමැතිතුමා, චරිත රත්වත්තෙ. උත්සව සභාවෙ හිටිය අයගෙන් සුවිශේෂ පුද්ගලයො තමයි ඔවුන්.

ඔබ සම්මානය ප්‍රතික්ෂේප කළේ ඇයි?

රෝසි සේනානායක කියන රූ රැජිනගෙ අතින් සම්මානය ගැනීමට මට අවශ්‍ය වුණේ නැහැ.

රෝසි සේනානායක කියන්නෙ ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ගෞරවයක් ලබා දුන්න කෙනෙක්. ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉතාලිය, ස්වීඩනය, ඩෙන්මාර්කය, ඔස්ට්‍රේලියාව ව‍ගේ රටවල ශ්‍රී ලංකා වෙළඳ මධ්‍යස්ථාන නියෝජනය කළ කෙනෙක්. ඒ විතරක් නොවෙයි 1980 මොස්කව් ඔලිම්පික් උලෙළේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මහජන සම්බන්ධතා නිලධාරිනිය ලෙස කටයුතු කළෙත් රෝසි සේනානායක. ඒ ව‍ෙග් කෙනෙක් තරගයක සම්මාන දෙන්න සුදුසු නැතිද?

ඔව්! රූපරාජිනී, මෝස්තර නිරූපණ තරගයක සම්මාන දෙන්න සුදුසුයි.

ඉතින් රූප රාජිනියක් අතින් සම්මාන ගත්තම ඇති වරද මොකක්ද? ඇය කෙරේ ඊර්ෂ්‍යාවක් වගේ හැඟීමක් බලපෑවද?

ඇත්තෙන්ම නැහැ! ඒ කාලෙ සමහර විට සමහර අය එහෙම හිතන්න ඇති. නමුත් ඒ කාලෙ හිටිය හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා වන සිදත් වෙත්තමුණි සම්මාන ප්‍රදානයට ආවා නම් ඔහුගෙ අතිනුත් මම සම්මානය ලබා නොගන්න ඉඩ තියෙනවා.

කලින් දැනගෙන හිටියද රෝසි සේනානායකත් සම්මාන පිරිනමනවා කියා?

ඒක මෙහෙමයි. ඒ දවස්වල විපුලහේවා වලිමුණි නම් මාධ්‍යවේදියා ‘තරුණයා’ පත්තරේට ලිපියක් ලියන්න ජාතික තරුණ සේවා සභාවට ගියාම දැනගෙන තිබුණා රෝසි සේනානායකත් සම්මාන තුනක් දෙනවයි කියල. එම සම්මාන උලෙළේ දී ගද්‍ය මෙන්ම පද්‍ය නිර්මාණ තරගයෙන් ප්‍රථම ස්ථාන දිනූ විපුලහේවා වලිමුණි, හොඳම ළමා කෘතිය සඳහා සම්මාන දිනූ ආනන්ද විජයබණ්ඩාර, තවත් සම්මාන ලාභියෙකු වූ හරේන්ද්‍රනාත් චන්ද්‍රසිරි, නිමල් සේදරට කිව්වා රෝසි සේනානායකගෙන් සම්මාන ගන්න බැහැ කියලා. මමත් ඔවුන් එක්ක හිටිය.

නිමල් සේදරට එතැන තිබුණ සම්බන්ධතාවය මොකක්ද?

ඔහු තමයි උත්සවයෙහි සංවිධාන කටයුතු භාරව සිටිය නිලධාරියා.

නිමල් සේදරගේ ප්‍රතිචාරය කොහොමද?

ඔහු කිව්ව උත්සවයේ කලබල‍යක් ඇති කරන්න එපාය කියලා. මම හිතන්නෙ ඔහු අපේ විරෝධය ඔහුගෙ ප්‍රධානියා චරිත රත්වත්තෙට කියන්න ඇති.

නමුත් මෙවැනි සම්මාන පිරිනැමීමකදී සම්මාන ගන්න අයගෙන් සම්මාන ගන්න කැමැති කා අතින්ද කියල අහන සම්ප්‍රදායක් නැහැනේ. ඒක ප්‍රායෝගිකත් නැහැ නේද?

ඔව්! නමුත් අපිට නිදහස් ස්වාධීන තීරණයක් ගන්න පුළුවන්නේ.

එත‍ෙකාට පසුව ගද්‍ය පද්‍ය සම්මාන දුන්නෙ කවුද?

ලක්ෂ්මන් විජේසේකර

එතකොට ඔහු සුදුසුද?

ඔහු ගුරුවරයෙක්. සංගීතඥයෙක්.

ඊට පසුව මොකද වුණේ?

සංවිධායක මණ්ඩලය හිතන්න ඇති විපුලලා හරේන්ද්‍රනාත්ලගෙන් පසුව ප්‍රශ්නයක් ඇති නොවේවි කියලා.

ඇයි ඔබ එහෙම කියන්නෙ?

ඊට පස්සෙ සම්මාන පිරිනමන්න රෝසි සේනානායකව වේදිකාවට කැඳෙව්වා.

මොනවද ඒ සම්මාන?

හොඳම නිවේදකයා. හොඳම ගීත නිබන්ධනය සහ හොඳම ළමා කෘතිය.

මොකද වුණේ එතකොට?

රෝසි සේනානායක ඉස්සෙල්ලම තෑගි දුන්නෙ හොඳම නිවේදකයට.

සම්මානලාභියා රෝසි සේනානායකගෙන් සම්මානය ලබාගත්තද?

ඔව්! ඔහු ඒ සම්මානය රෝසි සේනානායකගේ අතින් ලබාගත්තා.

ඒ කියන්නෙ ඔහු ඒක මදිකමක් කියලා හිතුවෙ නැහැ?

මෙහෙමයි. ඔහු ඒ කාලෙ ගුවන්විදුලියෙ රුහුණු සේවයේ නිවේදකයෙක් හරි සහන නිවේදකයකු විදියට හරි කටයුතු කළා. ඔහු සම්මානය ප්‍රතික්ෂේප කළා නම් ඔහුට රැකියාව අහිමිවෙන්න ඉඩ තිබුණා.

ඊළඟ වාරය උදාවුණේ කාටද?

ඊළඟ වාරය මට. මගෙ නම නිවේදනය කළාම මම වේදිකාවට ගිහිල්ලා උත්සව සභාවට ආචාර කරල ආපහු ආවා. රෝසිගෙන් සම්මානය ගන්නෙ නැතිව.

උත්සව සභාවෙ ප්‍රතිචාරය වු‍ෙණ් මොකක්ද?

මම වේදිකාවෙන් බහිද්දිම ලොකු අත්පොළසන් නාදයක් ආවා. ඊළඟට විසිල් පාරවල් ආවා.

රෝසි සේනානායක අතින් සම්මාන පිරිනැමීම එතැනින්ම නතර වුණාද?

නැහැ! හොඳම ළමා කෘතියට සම්මාන දෙන්න තිබ‍ුණෙත් ඇයටමයි. සම්මාන ලැබෙන්න තිබුණෙ ආනන්ද විජයබණ්ඩාරට. ඔහුත් වේදිකාවට ගිහිල්ල රෝසිගෙන් සම්මානය නොගෙන සභාවට ආචාර කරලා ආපහු ඇවිල්ල ඉඳගත්තා. මගෙ සිද්ධියත් එක්ක උත්සව සභාවෙ ඇතිවුණ නොසන්සුන් බව නිසා ආනන්ද විජේබණ්ඩාර සම්මානය ප්‍රතික්ෂේප කිරීම වැඩියෙ කැපිල පෙනුණෙ නැහැ. මාධ්‍යවලිනුත් වැඩියෙ කතාබහ වුණේ මගේ ප්‍රතික්ෂේප කිරීම ගැන තමයි. කාන්තාවන් දෙදෙනෙක් අතර සිදුවුණ නිසා ඒක එහෙම වෙන්න ඇති.

ඒ වෙලාවෙ රෝසි සේනානායකගේ ස්වභාවය කොහොමද ඔබ දුටුවෙ?

ඇය සම්මානයත් අතේ තියාගෙන කනගාටුවෙන් වගේ බලන් හිටිය.

ඔබට දැන්වත් හිතෙන්නෙ නැතිද රෝසි සේනානායකව එදා ඒ වේදිකාවෙ අසරණ බවට පත්කරන්න හේතු සාධකය වුණේ ඔබයි කියලා?

නැහැ. ඇත්තෙන්ම රෝසිව ඒ තත්ත්වයට පත්කිරීම වළක්වා ගැනීමට ජාතික තරුණ‍ සේවා සභාවෙ ප්‍රධානීන්ට පුළුවන්කම හොඳටම තිබුණා. විපුලලා රෝසි පිළිබඳව විරෝධතාවය ප්‍රකාශ කළාම ඔවුන්ට හොඳට ඉඩකඩ තිබුණා රෝසිව සම්මාන පිරිනැමීමේ කටයුත්තෙන් ඉවත් කිරීමට. මම හිතන්නෙ නිමල් සේදර තමන්ගෙ ප්‍රධානියා වන චරිත රත්වත්තෙට තත්ත්වය වාර්තා කළා. නමුත් ඔහු ඒක නොතකා හැරියා. ගණන් ගත්තෙ නැහැ. පසුව උත්සවයෙ කලබලකාරී තත්ත්වය වළක්වා ගන්තෙ නැහැයි කියල නිමල් සේදර දරපු තනතුරෙන් ඉවත් කළා.

මෙහෙම සංවිධානගත විරෝධයක් එල්ල කිරීමට ඔබ ඇතුළු සම්මාන ප්‍රතික්ෂේප කළ කණ්ඩායම කිසියම් දේශපාලන කණ්ඩායමක සාමාජිකත්වය දැරුවද?

නැහැ! ඇත්තෙන්ම නැහැ. ඒ කාලෙ විශ්වවිද්‍යාලෙ ශිෂ්‍ය සංගමයෙ බලය තිබුණෙ ජනතා විමුක්ති පෙරමුණට තමයි. අනික් විශ්වවිද්‍යාල සිසුන් වගේ අපිත් ඔවුන්ට ඡන්දය දුන්නා. ඒක ඇත්ත. එයිට එහා දේශපාලන වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ එක්ක අපේ ගනුදෙනුවත් තිබුණෙ නැහැ. නමුත් විශ්වවිද්‍යාලයෙ තිබුණ වින්දන කලා සංගමයෙ අපි බොහෝ දෙනා එකට එකමුතුවෙලා විවිධ ක්‍රියාකාරකම් කළා. එතැනට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයොත් ආවා. නමුත් දේශපාලන ක්‍රියාකාරීන් විදියට නොවෙයි. කලාවට සාහිත්‍යයට ඇලුම් කරන ශිෂ්‍යයන් විදියට. ඒ වින්දන කලා සමිතියෙ චන්දන ජයරත්න, සරත් විජේසේකරලා වගේ අයත් හිටියා. ඒ විතරක් නොවෙයි ඒ කාලෙ එක්සත් ජාතික පක්ෂ රජයේ අංක එකේආර්ථික පුරෝහිතය වූ මහාචාර්ය තිලක් රත්නකාරගේ දුවත් වින්දන කලා සංගමයේ හිටියා.

ඔබයි, ආනන්ද විජයබණ්ඩාරයි සම්මාන ලබාගැනීම ප්‍රතික්ෂේප කළා. ඊළඟට මොකද වුණේ?

ඒ වෙලාවෙ අපි වීරයො වගේ සම්මාන ලබාගැනීම ප්‍රතික්ෂේප කළාට, අර වගේ විශේෂ ආරාධිතයින් ඉදිරියෙ සිදුවුණ දෙය ගැන අපිට බයක් ඇතිවුණා. ඇත්තටම ජීවිත ගැන බයක් ඇතිවුණා. සම්මන්ත්‍රණ ශාලාවෙන් පිටත්වෙලා යන්නෙ කොහොමද කියන ගැටලුව අපිට ඇති වුණා. එළියට යන්න අපි බිය වුණා.

එතකොට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙන් බැහැරට ගියේ කොහොමද?

ඔය උත්සව සභාවෙ හිටිය ධර්මසිරි ගමගේ මහත්තයා. එතකොට එතුමා යොවුන් ජනතා පත්තරේ කර්තෘ. අපි ඔක්කොම ඒ කාලෙ යොවුන් ජනතා පත්තරේට ලියනවා. ඒ වගේම අපි ඔක්කොම “යොවුන් පහන් වැටේ” සාමාජිකයො. ඒක නිසා ධර්මසිරි ගමගේ මහත්තයා එක්ක අපේ ‍ෙලාකු සමීප සම්බන්ධයක් තිබුණා. ඔහු අපේ යාලුවෙක් වගේ. ‍අපේ සහෝදරයෙක් වගේ. අපි අපේ බයත් එක්ක අපේ ගැටලුව ධර්මසිරි ගමගේ මහත්තයාට කිව්වා. එතුමා අපිව තුම්මුල්ල යන්දියට ගෙනත් දැම්මා.

ඔය සිද්ධියෙන් පසුව ඇතිවුණ ප්‍රතිචාර මොනවද? පත්තරවල මොනවද ඔය සිද්ධි ගැන කතාවුණේ?

එක්දහස් නවසිය අසූහතරේ දෙසැම්බර් 23 ඉරිදා දිවයින ඉරිදා සංග්‍රහයේ කේසර කියල ආරූඪ නමකින් – මට හිතෙන්නෙ ගාමිණී සුමනසේකර මහත්තයා වෙන්න ඇති – “රූ රැජිනගෙන් සම්මන ප්‍රතික්ෂේප කළ සුනන්දා” යන මාතෘකාව යටතේ මෙහෙම ලියල තිබුණා.

“එදා ගීත රචනා සඳහා සම්මානය හිමිවූ සුනන්දා රණසිංහ වේදිකාවට පැමිණ රසිකයන්ට ආචාර කොට සිය සම්මානය නොගෙන ආපසු පැමිණියාය. තම ජීවිතයේ දුබල අවස්ථාවක් ඇයට එපා වූයේ ඒ යෝජිත පිළිවෙළහි තිබූ අප්‍රසන්න බව නිසා බව මැනවින් හෙළිවිය.”

“අපි සුනන්දා රණසිංහට හිස නමමු. ඇගේ විරෝධය තරුණ පරපුරේ අභිමානය පිළිබඳ හඬක් සේ දකිමු. කලාකරුවකු සතු විය යුතු දුර්ලභ ආත්ම අභිමානයෙන් එවන් පියවරක් ගත් තරුණියක වශයෙන් ඔබ ගැන ආඩම්බර වෙමු.”

1985 ජනවාරි 01 දා දිවයින පත්තරේට ඇල්බට් වැලිවිට ලියලා තිබුණා “තරුණ තරුණියන්ව ගොනාට අන්දවන්න එපාය කියලා. මගෙ ක්‍රියාව අගය කරපු ලිපි වගේම ඒ සිද්ධිය හෙළා දැකපු ලිපිත් පත්තරවල පළවුණා.

රෝසි සේනානායක ඒ ගැන මොකවත් පත්තරවලට කිව්වද?

සිරිකත පත්තරේ ධර්මා සමරනායක එක්ක පවත්තපු සාකච්ඡාවකදී කියලා තිබුණා ඇය කුස්සියෙ ඉඳල වේදිකාවට ගිහිල්ල රූ රැජිනක් උනා නොවෙයි. 83 විවාහක රූ රැජින විදියට දිනුවට ඊට පෙරත් ලෝකය පිළිබඳ පුළුල් අවබෝධයක් තිබුණාය කියලා.

ඔබ එදා හොඳම ගීත නිබන්ධනය සඳහා සම්මානය විවාහක රූ රැජිනගෙන් ලබාගැනීම ප්‍රතික්ෂේප කළාට අද ස්වර්ණ පුස්තක හොඳම නවකතාවට හිමි සම්මානය මාලනී ෆොන්සේකා නිළියගෙන් ලබාගන්නවා?

ඒකත් වැරදියි. අද ස්වර්ණ පුස්තක සම්මානයට ලොකු මුදලක් තෑගි ලැබෙන හින්ද ලේඛකයන්ගෙ ආත්මාභිමානය වගේ දේවල් ඉබේටම අමතක වෙලා යනවා වගේ.

පසුකාලීනව ඔබේ සාහිත්‍ය ක්‍රියාකාරකම් මොනවද?

“බුදු නොවනා බෝසත්වරු” සහ “පහන් දොර” කියන පද්‍ය සංග්‍රහ දෙක විපුල හේවා වලිමුණි එක්ක එළිදැක්වූවා. කුඩම්මා, ගිරිසිරස, රළ කෙටිකතා පොත් පළ කළා. ගිම්හාන සන්ධ්‍යාව, නිල් තුරු යට කියන පද්‍ය සංග්‍රහයන් දෙක ප්‍රකාශයට පත්කළා.

අවුරුදු තිහකට වගේ පසුව අද ඒ සිද්ධියට මුහුණ දුන්නොත් ඔබ එය ඒ ආකාරයට සිදුකරනවද?

අද වගේ සමාජ වාතාවරණයක සමහර විට එවැනි දෙයක් මම නොකර ඉන්නත් පුළුවන්.

පීටර් කැනියුට් පෙරේරා

ඔබේ අදහස කියන්න...