සිංහල කම වගේම සිංහල බෞද්ධ උරුමයෙන් නුතන ලෝකයට යමක් සද්භාවී ලෙස උකහාගත හැකිනම් එසේ කිරීම ඉතාම වැදගත් දේශපාලනික කාර්යයක් කියන එක ඉස්මතු කිරීම පිණිස ලියවෙන මෙම ලිපි මාලාව දුටුව හැටියේ ම කියවන කෙනෙකුට පළමුවෙන්ම හිතට එන්න පුළුවන් හැඟීම තමයි අම්මෝ මේ හදන්නේ ආපහු අපගේ ජාතිකත්ව සාරය වෙත ආපසු යාමට යෝජනා කිරීමක්ද කියල. විශේෂයෙන් ජපන් ශුන්‍යතා උදාහරණය වෙත නැවත නැවත ගමන් කිරීම නිසා එසේ සිතෙන එකේ වැරැද්දකුත් නැහැ එක අතකට. නමුත් මෙතැන දී කරන්න හදන්නේ එහෙම ජාතික ‘සාරය’ වෙත ආපසු ගිහින් ඒ සාරය අහිමි කරපු පරිකල්පනීය සතුරෙක් සොයන එක නෙවෙයි.

මේ ලේඛනයේ කිසිම තැනක සතුරෙක් හඳුනා ගන්නේ නැහැ. ඒ වගේම සුවිශේෂ සාරයක් හඳුනා ගන්නෙත් නැහැ (බුදුදහමේ මුලික ඉගැන්වීම තමයි සාරයක් හෝ ආත්මයක් නැහැයි කියන එක). මෙතන කරන්නේ ඉතිහාසයේ යම් සබුද්ධික උරුමයක් තිබුණා නම් එම උරුමය නුතන රූපකය වෙත රැගෙන එන එක, නැත්නම් අවම වශයෙන් එහෙම කරන්න පුළුවන්ද කියල සොයල බලන එක (නමුත් බටහිර නුතනත්වය කියන්නේ ම ත් අනෙක් අතට පරස්පරයක් කියන එකත් අප අමතක කලයුතු නැහැ). උදාහරණයක් වශයෙන් ‘බුදල්මි. සියොවැ ආමි’ නම් සිගිරි ගියේ ඇති ස්වයං නිශේදනය වනාහී උසස් චින්තන පරිකල්පන අවකාශයක් කියල හඳුනා ගන්න එක. පෙරදිග චින්තනයේ කතිකා අවකාශය ගැන කතාකරන කෙනෙකුට සතුරෝ සහ විරුද්ධ මත මර්ධනය ගැන කතාකරන්න ඕනි නැහැ. අතීත භාරතයේ එකිනෙකට වෙනස් චින්තන අවකාශ කිසිම ප්‍රචණ්ඩ මර්ධනයකින් තොරව එකට පැවතිලා තියෙනවා. හින්දු අය, බුදුන්ගේ අනුගාමිකයෝ, ජෛන මහාවිර ගේ ශ්‍රාවකයෝ, සච්චක ල, සංජය බෙල්ලත්ති පුත්ත, පකුධ කච්චායන, අජිත කේසකම්බලී ල ඔය ඔක්කොම එකට ඉදල තියෙනවා කඩු කිණිසි ගන්නේ නැතුව. එහෙම වෙන්න හේතුව තමයි ඒ හැම කෙනකුටම තමාගේ කියල දර්ශනයක් තිබුණ පය ගහ ගන්න. විශේෂයෙන් අජිත කේසකම්බලි හදුන්වන්නේ ‘පරාජය කළ නොහැකි’ (unconquered) නම් විරුදාවලියෙන්. ඒ තරම් ඔහු තර්කයේ දක්ෂයෙක්. නමුත් කවුරුත් ඔහුට ගුටි ගහල පරාජය කරන්න ගියේ නැහැ. ඒ වගේම ඒ කිසිම කෙනෙක් වෛරයෙන් යුක්ත කිසිවක් සමාජගත කරලත් නැහැ. නමුත් බුද්ධාගම ප්‍රතිජීවනය කරන්න හදපු බොහෝ අයට වුනේ මිණී මරණ එක සාධාරණී කරන මතවාද ගොඩ නඟන්න. ඒ වරද ම ජපන් දාර්ශනිකයෝ අතිනුත් උණා. මොකද හැමෝගෙම සතුරා වුණේ බටහිර අනෙකා. ඉතින් මේ ළිපි මාලාව ලියන්නේ ඉහත සියළු දේ ගැන දැනුවත් ව. විශේෂයෙන් නුතන බව ඇතුලේ තුවාල වුන අපගේ ‘අහම’ සුවපත් කළ හැක්කෙත් නුතන බවට මයි කියන පසුබිමේ ඉඳගෙන තමයි මේ ළිපි මාලාව ලියන්නේ (එතැනදී අපගේ අහම ගැන පෙරදිග දර්ශනයේ කියවෙන දේ අපිට අතිශයින් වැදගත් අප අපරදිග නුතනත්වය වෙත පිය මනින විට). නැතුව බටහිරද හරි අපි ද හරි වගේ කතා කිය කිය ඉඳල දැන් එච්චර පලක් නැහැ කියල හිතෙනවා. අවශ්‍ය වෙන්නේ මේ දෙකම දිහා බලල සාධනීය දේ ගන්න එක. එතැනදී (ඒ කියන්නේ වරණයේදී) අපිට ම කියල තර්ක බුද්ධියක් තියෙන්න ඕන.         

මෙලොව පැවතීම (being in the world) මෙන්ම මෙළොව නොපැවතීම ද (not being in the world) එකසේ ම වැදගත් දාර්ශනික මාන දෙකක්. පැවතීම ඇතුලේ යමක් සිදු විය හැකි වගේම නොපැවතීම ඇතුලෙත් අර්ථයක් ජනනය කරගත හැකියි. බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ මේ තත්වයන් දෙකෙන්ම වෙනස් තුන්වැනි තත්වයක්. ඒ නම් පැවැත්ම ඇතුලෙම පවතින නොපැවැත්ම (not being within the being itself). පැවත්ම යනු ශුන්‍යතාවයක් බවත් ශුන්‍යතාව කියන්නේ පැවත්මට ම කියන තවත් නමක් බවත් කිව්වේ මාටින් හෛඩගර්. ශුන්‍යතාවය සත්‍ය ලෙසම අත්දකින භුමිය දර්ශනය යනුවෙන් තේරුම් කරන්නේ ලුවී අල්තුසර්. මහායාන බුද්ධාගම නිසාද නැත්නම් බටහිර පරමාණු බෝම්බ වලින් අළු දුවිලි වෙච්ච නිසාද දන්නේ නැහැ ජපානය විසින් ඔවුන්ව හදුන්වා ගන්නේ ‘ශුන්‍යතාවයේ භුමිය’ කියල. නමුත් එම ශුන්‍යතා භුමිය විසින් කරන්නේ වෙන කිසිම තැනකින් එන දෙයකට යටත් නොවී ඒ හැම දෙයක් දිහාම බලල තමන්ගේ කියල එකක් හදන එක (තමන්ගේ එක වගේම අනුන්ගේ එකත් විසංයෝජනය කරන එක. අද තියෙන ටොයෝටා කාර් එක නෙවෙයි හෙට තියෙන්නේ. හෙට තියෙන එක නොවෙයි අනිද්දා තියෙන්නේ. ගෘහයක් හදනවාට වඩා වේගයෙන් ඔවුන් ඒක කඩලා දානවා. විසංයෝජනය කියන එක සංසාරය සහ නිර්වාණය අතර පවතින අවිච්චින්න තත්වයක් ලෙස ඔවුන් ලෝකයට ටොයෝටා කාර් එක හරහා ප්‍රක්ෂේපනය කරනවා. ඇත්තටම ගත්තම ටොයෝටා කියල නිශ්චිත මෝටර් රථයක් කවදාවත් තිබිල නැහැ. තිබුණා නම් තිබිල තියෙන්නේ අනිත්‍ය යමක්. will – to – architecture වෙනුවට ඔවුන් අපිට පෙන්නලා තියෙන්නේ deconstructing architecture කියන එක). සියල්ල වෙනස් වීම ඇතුලේ අපට හමුවන ‘නොපැවතීමේ හිස්බව’ (emptiness in existence) කියන්නේ පතුලක් නොපෙනෙන ගැඹුරක්. ඒ ගැඹුර තේරුම් ගන්න නිශ්ශබ්දතාවය අවශ්‍යයි. ඒ නිසා ‘ශුන්‍යතාවයේ ජපන් භුමිය’ (the land of nothingness) අතිශයින් නිශ්ශබ්ද යි. නිශ්ශබ්ද බව කියන්නේ ඔවුනට අධ්‍යාත්මික දේශපාලනයක් (ශබ්ද දුෂණය කියන එක ඔවුන්ට අමුතුවෙන් තරණය කළ යුතු අලුත් දෙයක් නෙවෙයි). ඉන්දියානු අභාෂය නිසාද මම දන්නේ නැහැ ලංකාව කියන්නේ තනිකරම ගෝෂා කලාපයක් (දේශපාලන, ආගමික, සංස්කෘතික, කාර්මික ගෝෂා). ඒ ගෝෂාව ඇතුලේ දෝංකාර දෙන්නේ පුපුරණ තරම් ලොකු අහම, විශේෂයෙන්ම අනන්‍යතාවය බරපතල විදියට රිදවා ගත්ත වම්මුන්ගේ මමංකාරය තමයි දෝංකාර දෙන්නේ හැම තැනම (මළවුන්ගේ දෝංකාරය කියලත් කියන්න පුළුවන්). නිෂිතානි ට අනුව ‘ආත්මයේ ස්වයං විසංයෝජනය’ (self-deconstruction of the self) තමයි ජපන් ශුන්‍යතාවයේ පදනම. නමුත් අහම නැති තැනක් ගැන හිතන්නවත් බැරි තරමට අපි බටහිර පරිභෝජනය සහ අර්චනය සමග අනන්‍ය වෙලා (නොපැවැත්ම ඇතුලේ සිදුවන ස්වයං-විසංයෝජනයක් වන ටොයෝටා කාර් එක* කියන්නේ අපේ අයට අර්චන යමක්. වාහන බලපත්‍රය හරහා අනිවාර්යයෙන් ගෙන්විය යුතු නව අනන්‍යතාවයක්). ඉතින් විගලිත අපේ පරමාදර්ශය තමයි ලොකුම ලොකු අහමක් බාහිර ලෝකයට පෙන්නන කාඩේෂියන් ල වගේ වෙන්නේ කොහොමද කියන එක. ඉතින් ‘වඳවී යන සිංහල ජාතිය’ තුළ ඉන්න පියුමි හංසමාලි වගේ අයට එහෙම වැල නොකැඩි කුණුහරප කියවෙන එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි මෙම විපරීත ලෝකය තුළ.
                 
සිංහල ජාතිය වගේම ඇස්කිමෝවරු සහ රතු ඉන්දියානුවන් ලෝකයෙන් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති බව ඇමෙරිකානු පර්යේෂකයින් උපුටා දක්වමින් ගරු කතානායක කරු ජයසුරිය මහතා පෙන්වා දෙනවා. හැමෝම වගේ ඒක උණු උණුවෙම  වාර්තා කරලත් තිබුණා එක එක විදියට. ‘මේ සිංහල අපගේ රටයි’ නම් ලිපි මාලාව අප ලිවිම ආරම්භ කළේ ම ඉහත අනිත්‍ය නම් සත්‍යය සිහිගන්වමින්. අපේ සද්භාවය ඇතුලේ අපිව ම ජාතියක් හැටියට අවසානයක් වෙත ලඟා වෙනවා කියන එක මහා අරුම පුදුම දෙයක් නොවේ. අපිට පුළුවන් ලෝකයට ඔප්පු කරන්න අපි විශ්වාස කරපු ධර්මය කොතරම් සත්‍යයක් ද කියල ලෝකයෙන් අපගේ ඉවත්වීම තුළ ම. බුදුන් දේශනා කල එම සත්‍යය සැබෑ ලෙස ථෙරවාද බෞද්ධ සම්ප්‍රදාය (School of the Elders) ආරක්ෂා කරපු අපට වඩාත්ම අදාලයි සහ එම සත්‍යය අපට ක්ෂිතියක් නොවෙයි. ඒක ක්ෂිතියක් වෙන එක බුදුන් වහන්සේ වලක්වල තියෙනවා අපිට අනිත්‍ය මුලධර්මය ඉගැන්වීම ඔස්සේ (බලන්න කොච්චර අමාරුවෙන්ද මේ ලෝකය අවසන් වන මොහොත බටහිර ආත්මය වැළඳ ගන්නේ ලාස් වොන් ට්‍රියර් ගේ Melancholia චිත්‍රපටය ඇතුලේ). එසේ යම් අවසානයකට සිංහල ජාතිය පැමිණිය හොත් එය අපගේ පැවැත්මේ සමස්ත හිස්බව (void) නැවතත් ලෝකයට විද්‍යාමාන වීමක් (සදාකාලික කියල හිතාන ඉන්න අනිත් හැමෝටමත් කවදා හරි එම සත්‍යය ට මුහුණ දෙන්න වෙනවා). එහෙම වඳ වෙනවා කියල මෝඩයෝ වගේ අද ඉඳල දරුවෝ වැඩියෙන් හදන්න ගැහැණුන්ට දුක් දෙන්න ඕනි නැහැ. නමුත් එකම එක දෙයක් මතක් කරන්න ඕනි. අපි බය නැතිව වඳවී යාම නම් සත්‍යයට මුහුණ දෙමු. හැබැයි පහත්, වටිනාකම් නැති, හැම දේට ම ගහ මරාගන්නා, එක වැලට කුණුහරප කියන, ළමයින්ට අරක්කු පොවන මිනිස්සු හැටියට නෙවෙයි. භෞතික ලෝකය ඇතුලේ සමාධි පිළිමය නෙළපු, අවුකන පිළිමය නෙළපු, පරාක්‍රම සමුද්‍රය හදපු ලෝකයේ අති ශ්‍රේෂ්ඨ ජාතියක් හැටියට අපි ඉවත් වෙමු. මාක්ස්වාදයෙන් අපේ අධ්‍යාත්මය විනාශ නොකරගත්ත ජාතියක් හැටියට අපි හැමෝම මේ ලෝකයට ආයුබෝවන් කියමු… තරුණ භික්ෂුන් වහන්සේලා ම තවත් භික්ෂුන් නිරුවත් කර නවක වධය දෙනවානම් ඉතින් තවත් මොනවද ඉතුරුවෙලා තියෙන්නේ බෞද්ධ ශාසනය ඇතුලේ? ජ්‍යෙෂ්ඨ උත්තමයෝ භික්‍ෂුවකගේ සිවුර ගලවා නිරුවත් කර දස වද දෙති නම් ප්‍රවෘතියක් හැම මාධ්‍යය ම වගේ පසුගියදා වාර්තා කරලා තිබුණා. ඒ වගේම හිටපු වමේ කට්ටියක් ලොකු ලොකු වචන දාල (කාන්ටියානු ආචාරධාර්මික වගේ) අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදන්න උත්සාහ කරන බවට ප්‍රවෘතියකුත් දකින්නට තිබුණ. කියන්න තියෙන්නේ මෙච්චරයි. ඉස්සර වෙලා උසස් අධ්‍යාපනය වමේ නරුම අවස්ථාවාදයෙන් බේරා ගනිමු. ඊට පස්සේ බලමු කාන්ට් ගැන. හෙළුවල්ලෙන් ඉන්න එක බැලීම තරුණ උපසම්පදා හාමුදුරුවරුන්ගේ ආශාව වෙච්ච් කොට මොන දර්ශනය ඉගැන්නුවත් වැඩක් නැහැ ඒ අයගේ මුලික ආශාව තරණය කරන්න (අපරදිග) හෝ හික්මවා ගන්න (පෙරදිග) ගැඹුරු මාවතක් යෝජනා කරන්නේ නැතිව (අනෙකාගේ හෙළුව කියන්නේ ගෞරවනිය දෙයක් ලෙස තේරුම් ගන්නේ නැතිව කිසි දෙයක් කරන්න පුලුවන්ද මේ පොළොවේ?). අඳුරේ අපි හෙළුව පෙන්නුවත්, අනෙකාගේ හෙළුව බැලුවත් ඒක දිව්‍යමය දැක්මෙන් (divine gaze) වලක්වන්න බැහැ බටහිර ක්‍රිස්තියානි අරුතකින් ගත්තම. ඒ වගේම නිෂිතානි කියන විදියට අනෙකා සම්බන්ද ව අපි පතුරන්න ඕනි ‘මහා කරුණාව’ (the Great Compassion) හරහා ම තමාව දියවී යා යුතුයි කියල උගන්වන බුද්ධ පුත්‍රයන් ම අපව නිරුවත් කරන්න නියෝග දෙනවානම් ඉතින් කෝ සංඝ සාසනය බාර නායක කාරකාදීන්? 

ඉහතින් ‘භෞතික ලෝකයේ සමාධි පිළිමය’ නම් වැකියේ භෞතික ලෝකයේ යනුවෙන් විශේෂයෙන් ලිව්වේ සිංහල බෞද්ධ අප විසින් පවා භෞතික ලෝකය වෙනස් කරන්න උත්සාහ කළා කියන එක අවධාරණය කරන්නයි. ඒ කියන්නේ අප සියලු කල්හි අධ්‍යාත්මික ජාතියක් පමණක් නොවූවාය යන්න මෙතැනදී කිව යුතුමයි. අධ්‍යාත්මික බව එක්කම අපි භෞතික ලෝකය එක්ක හැප්පිලා තියෙනවා. ඒක නිසා තමයි අපිට මහා විශාල වැව් අමුණු කරන්න පුළුවන් උනේ. පෙරදිග කිවූ ගමන් ගල් ගුහාවලට රිංගල භාවනා කරපු පිරිසක් පමණක් නොවේ අපි (ඩී. එච්. ලෝරන්ස් කියන විදියට මියන්ගේ ආගම). පෙරදිග තුල ම භෞතික වාදයක් තිබුණා. අපරදිග තුලත් අධ්‍යාත්මික වේදයක් තිබුණා. ඒ නිසා මෙම ‘පෙරදිග අධ්‍යාත්මික’ (ආත්ම ගවේෂී) සහ ‘අපරදිග භෞතිකවාදී’ (බහිර් ගවේෂී) යැයි හණ ගහපු සද්භාවී බෙදුම් කඩනය සම්පුර්ණයෙන්ම වැරදි මතයක් බව කියන්නේ සුප්‍රසිද්ධ ජපන් බුද්ධිමතෙක් වූ හජිමෙ නකමුර. ඔහුගේ ප්‍රසිද්ධ ‘පෙරදිග මිනිසුන්ගේ චින්තන විධි’ (1974 – පී. බී. මීගස්කුඹුර පරිවර්තනය) කෘතිය ඔස්සේ ඔහු ගෙනෙන මතය තමයි පෙරදිග චින්තනය යා කරන හුය බුද්ධාගම කියන එක. ඒක භාරතයෙන් පටන් ගෙන චීනය හරහා ජපානයට යන බවත් ඒ ඔස්සේ එය බටහිරට සම්බන්ද වන බවත් ඔහු නිරීක්ෂණ කරනවා. ජපානය ලෝකයට විවෘත කල මෙයිජි ප්‍රතිසංස්කරණ (ජේ. ආර්. ගේ ප්‍රතිසංස්කරණ නොවේ) වලින් පසු සියවසක් ගෙවෙන්නටත් පෙර ජපනුන් ශූර අන්දමින් ‘අපරදිග සංස්කෘතිය අනුහුරු කොටගෙන උකහාගත් බවත්’  ඒ සමග බද්ධ වූ බවත් ඔහු පෙන්වා දෙනවා. බටහිර කාර්මිකකරණයට කිසිසේත් සම්පුර්ණයෙන් ජපන් ජාතියේ සංස්කෘතිය සහ අභිචාර විධි වෙනස් කරන්නට නුපුළුවන් වූ බව ඔහු තව දුරටත් පෙන්වා දෙනවා (ධනවාදයට කප්පාදු කල නොහැකි වූ අන්තරගතය යනුවෙන් මෙය හැදින්විය හැකියි).  දීර්ඝ යටත් විජිත යුගයකින් පසුව පවා, ගෝලීයකරණයේ බලපෑම තිබියදී පවා, බටහිර අනුකරණය කරමින් චීනය සහ ඉන්දියාව පවා වෙනස් නොවූ බවත් එය ‘නොදියුණු’ ‘ඌන සංවර්ධිත’  ලක්ෂණයක් නොවන බවත් ඔහු පෙන්වා දෙනවා. ක්‍රිස්තියානිය එම රටවල පැතිරුණේ ඉතාම අඩුවෙන්. මෙයට ප්‍රධාන හේතුවක් වන්නේ බටහිර විසින් යෝජනා කරන ‘විමුක්ති විෂය’ (subject of liberation යනුවෙන් හෙගලියානු-ජිජැකියානු පාසැල හදුන්වන දෙය) සහ පෙරදිග (විශේෂයෙන් බුද්ධාගම තුල) යෝජනා කරන විමුක්ති විෂය අතර පවතින සද්භාවී වෙනස. බටහිර විමුක්තිය පිළිබද යෝජනාව එන්නේ මෙලොවට විසිකර දැමු ‘බෙදුණු මිනිස් විෂයක්’ ඔස්සේ (මෙතනදි ‘විෂය’ කියන එක පවා තීරණය වන්නේ ක්‍රිස්තියානි දේව සංකල්පය එක්ක. බුද්ධාගම ඇතුලේ විෂයයක් නැහැ. මොකද තමාගේ ගැලවුම්කරු තමාම යි). ඉතින් ස්වභාව ධර්මයෙන් ඛණ්ඩනය වීම ඔවුන් තේරුම් ගන්නේ යථාවේ පරස්පරය විදියට. එවිට සම්ප්‍රදායෙන් ඛණ්ඩනය වීම ඔවුන්ගේ පැත්තෙන් අවශ්‍යයි. මොකද හේතුව සහ විද්‍යාව විසින් දෙවියන් එක්තරා තැනකදී විතැන් කරලා දමනවා සදහටම. දැන් දෙවියන් ගෙන් ඔවුන්ට වැඩක් නැහැ. නමුත් දේව සංකල්පයක් එක්ක අපි විමුක්ති අර්ථයෙන් ගැට ගැහෙන්නේ නැති නිසා නිෂිටනි කියන්නේ ආගම සහ විද්‍යාව අතර බටහිර පවතින ‘පිටිපස්සෙන් පිහියෙන් ඇනීම’ අපට අදාල නැති බවයි. විද්‍යාවට පෙර දෙවියන් අත තිබූ සත්‍යය දැන් තිබෙන්නේ විද්‍යාව අතේය. පුනරුදයට පෙර දෙවියන් සහ මිත්‍යාව විසින් යෝජනා කල ලෞකික ජීවිතය අද විද්‍යාව සහ තාක්ෂණය* විසින් තීරණය කරමින් ඇත. විද්‍යාව විසින් නිර්මාණය කල ආගම සහ දැනුම අතර ඇතිවූ මෙම ඛණ්ඩනය අද පුරවමින් ඇත්තේ මානවවාදය (humanism) විසින් ය (නිෂිටනි 2001: පිටුව 240). 

Zorba

උදාහරණ වශයෙන් විද්‍යාව විසින් මෙසේ කියයි, ‘ජලය කියන්නේ ශක්ති ප්‍රභවයක්’ (water is a source of energy). නමුත් විද්‍යාවට පෙර (සහ පසු) අපට ජලය කියන්නේ වෙනස් පැවැත්මවල් ගණනාවක එකතුවක් යනුවෙන් නිෂිටනි පෙන්වා දෙනවා. උදාහරණ වශයෙන් භාවනා කරුවකුට ගලායන ජලය කියන්නේ භාවනා නිමිත්තක් (වෙනස් වීම පිළිබද), සෞන්දර්ය වේදියකුට නැත්නම් කවියෙකුට ජලය කියන්නේ ජීවිතය නැත්නම් ආදරය, ගොවිතැන් කරන කෙනෙකුට ජලය කියන්නේ දෙවියන් (වැස්ස වලාහක), ජපානයේ තේ සංස්කෘතිය ඇතුලේ ජලය කියන්නේ සංස්කෘතික අර්ථයක් යනාදී වශයෙන් අර්ථ සමුදායක් ජනනය කරන ප්‍රපංචයක් විද්‍යාව ඇතුලේ හුදු කේවල ශක්තියක් පමණයි. එහෙම පටු දැනුමක් ඇතුලේ කොහොමද අපේ විද්‍යාව ඉගෙන ගන්නා ශිෂ්‍යයෝ ලෝකය දෙස පුළුල්ව බලන්නේ? මේ ලඟදී මුහුණු පොතේ කියල තිබුණා ගොඩක් ප්‍රශ්නවලට මුල පාසල් තුල ආගම උගන්වන එක කියල. නමුත් ඇත්තම තත්වය නම් විද්‍යාව උගන්වන ගමන්ම ඒකේ සිමාවන් අප විසංයෝජනය නොකරන එක තමයි ගැටලුව. ඒවාට දක්ෂ ගුරුවරු ඕනි රටකට. විද්‍යාව කියන්නේ පරම සත්‍යය හැටියට උගන්වල වැඩක් නැහැ. ඉතින් මේ විද්‍යාව විසින් කරන දැවැන්ත අර්ථ බහිස්කරණය (exclusion of meanings) නිසා ඔවුන්ට සිදුවෙලා තියෙනවා මානව වාදය කියන එක අමුතුවෙන් උගන්වන්න (ලෝක බැංකු නියෝජිතයෝ විශ්ව විද්‍යාල වලට ඇවිල්ලා දැන් අපිට කියනවා මිනිසුන්ගේ මෘදු ගතිගුණ (soft skills) නැවත වර්ධනය කරන්න ඕනි කියල මේ ධනවාදයට අවශ්‍ය විදියට). මිනිසුන්ගේ අධ්‍යාත්මය අමුවෙන් මරල දාල දැන් එනවා මෙතන මිනිස්සු හදන්න..නිෂිටනි ට අනුව ගත්තම බාහිර ලෝකය ‘යාන්ත්‍රිකකරණය’ (mechanization) කරන ගමන් මිනිසාගේ අභ්‍යන්තර ලෝකය ‘මානවකරණය’ (humanization) කිරීම තමයි  බටහිර විසින් කරන්නේ. ‘ජලය කියන්නේ ශක්ති ප්‍රභවයක්’ යනුවෙන් ස්වභාව ධර්මයෙන් මිනිසා ඛණ්ඩනය කරන විද්‍යාව (යථෙහි පරස්පර බව යනුවෙන්) නැවත අපිට කියනවා මනුෂ්‍ය වෙන්න කියල. ඉතින් විද්‍යාව ඉගෙන ගත්ත අය ආයෙමත් සෙන් ආරම වලට ගිහිල්ල ඒ අසලින් ලස්සනට ගලන දිය පාරවල් දිහා බලාගෙන ඉන්නවා මහා පුදුමයෙන්. අපේ අයත් වැඩියෙන් සල්ලි වියදම් කරලා ස්වභාව ධර්මයට වඩාත් ආසන්න වෙන්න හදපු ‘විල් උයන’, ‘කණ්ඩලම’, Back of Beyond, Uga Jungle Beach, The Banyan Retreat, 98 Acres, Ulpotha Yoga Retreat වගේ හෝටල් කබානා වලට යනවා මානසික සුවය සොයාගෙන. ඉතින් රොහාන් පෙරේරා කියන පුද්ගලයා අනූව දශකයේ මුල හරියේ හෝටන් තැන්නට යන්න හේතුව නිෂිටනි හරහා අපට අවබෝද කරගන්න පුළුවන්. නාගරික බවේ අතෘප්තිය ඇතුලේ අපි ආයෙමත් තණ කොළ පෙත්තන් ගේ හඬට ආශා කරනවා. ඔවුන් හොයාගෙන යනවා. යාන්ත්‍රික බවෙන් මිදෙන්න උත්සාහ කරනවා. ‘මිනිසා’ යන්න ‘දෙයක්’ (it) බවට පත්වෙන එකෙන් බේරෙන්න අපි හැමෝම ලොකු උත්සාහයක නිරත වෙනවා. අහිමි වී යන ‘කැඩපත’ (ඇලන් මිලර්)  බේරා ගන්න අඩුම වශයෙන් අපි ස්වභාව ධර්මයේ හරි එල්ලෙනවා. ඉතින් යම්කිසි වටිනාකම් පද්ධතියක හිටපු අපි එම වටිනාකම් විනාශ කරගෙන (නැත්නම් නුතන බව ඇතුලේ එම වටිනාකම් විනාශ වෙද්දී) අයෙමත් ස්වභාව ධර්මය සහ අධ්‍යාත්මය වෙතට යන්න හදනවා. නමුත් ඒ වෙනකොට ස්වභාව ධර්මය, සතා සීපාවා, ඇල දොළවල්, ගංගා නිම්න, වැව් තාවුළු වෙළඳ පොළ විසින්  තමාගේ ආධිපත්‍යට නතු කරගෙන ඉවරයි. ඉතින් ‘විල් උයන’ කියල අපිට පසු බාන්න (retreat) වෙන්නේ පශ්චාත් නුතන භූමියකට.       

සීගිරියේ ඉදිකර ඇති Jetwing හෝටල් සමුහයට අයිති ‘විල් උයන’ සුඛෝපභෝගී කබානා පෙළක්. චායරුපය ගූගල් ඉමේජ් වෙතින්.  නුතනත්වයෙන් විගලිත වුවෙකු ගේ එක් දිනක් සඳහා නවාතැන් ගාස්තුව ලංකා රුපියල් අසූ දාහක් පමණ වේ.  ලොව වඩාත්ම ස්වාභාව ධර්මයට ආසන්න ඉදිකිරීමක් ලෙස සලකන කණ්ඩලම හොටලයද පිහිටා ඇත්තේ මේ ආසන්නයේ මය. එහි ගෘහ නිර්මාණ ශිල්පියා වන්නේ අප කිසිසේත් පුදුමයට පත් නොකරන නුතනත්ව විගලිත ආත්මයේ මුඛ්‍ය ගෘහ නිර්මාණ ශිල්පියා වන ජෙෆ්රි බාවා ය. ඉතින්මේ යුගය විසින් වඩ වඩාත් ජෙෆ්රි බාවා වරු ඉල්ලා සිටී යන්න සතයක් නොවේද?.  

බටහිර අරුතින් ගත්තම ‘මම’ යන්න ව්‍යුත්පන්න වෙන්නේ ක්‍රිස්තියානි -කාටේසියානු උරුමයෙන් බව නිෂිටනි පවසනවා (බලන්න ඔහුගේ Self-overcoming of Nihilism නම් කෘතිය). එනිසා බටහිර ආත්මයට තමාගෙන් තමාව ‘තවත් එක වස්තුවක්’ ලෙස වෙන්කර ගත නොහැකි බව ඔහු පෙන්වා දෙනවා. තමා යනු ම වස්තුවක් ලෙස තේරුම් නොගන්න නිසා (තෙල් සහ පහන් තිරය සහ තවත් දේ නිසා හටගන්නා පහන් දැල්ල මෙන්) බටහිර දර්ශනය තුළ අවසාන ආත්මීය නිගමනය වන්නේ ‘මිනිසා නිදහස දක්වා හෙලා දකිනු ලැබ ඇත’ (සාත්) වැනි වාක්‍යයක් බව නිෂිටනි ගේ මතයයි. ඒ කියන්නේ බටහිරට අනුව මිනිසා යනු උත්කෘෂ්ට වස්තුවක් අනිත් සියල්ලට උඩින් පිහිටා තියෙන සහ දෙවියන් විසින් මෙලොවට විසිකර දැම්ම. ඒ නිසා එයාල හිතනවා ස්වභාව ධර්මය සහ සතා සීපාවා (‘තමා නොවන’ කාබනික දෙය) යනු යටත් කලයුතු හෝ ශිෂ්ට කලයුතු දේ හැටියට. මේ යටත් කරන සහ ශිෂ්ට කරන ක්‍රියාවලිය කියන්නේ ආතතිමය වැඩක් (anxiety). නමුත් දෙවියන් විසින් ඔවුන් ට ඒ වරය දුන්නා කියල හිතුවත් ඔවුන් විසින්ම දෙවියන් මරල දානවා. ඉතින් හෛඩගර්, ලකාන්, නීට්ෂෙ, ඩෙරීඩා, දෙලුස් හරහා අපට හමු වන්නේ ඉහත ආතතිය සහ ශුන්‍යතාව ඔස්සේ ස්ථිර භූමියක් (firm ground) හොයන්න ඔවුන් හදපු ප්‍රචණ්ඩ පාර-භෞතික උත්සාහය හැටියට තමයි නිෂිටනි බටහිර දර්ශන ඉතිහාසය අර්ථකතනය කරන්නේ (මම මේ නාමාවලියට ෆ්‍රොයිඩ් සහ හේගල් ගේ නම් දෙකත් ඇතුල් කරනවා). මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය තමා උත්කෘෂ්ට හැටියට ගන්නා ආත්මය මිය යන එක සහ මරණය හරහා ශුන්‍යතාවය අත්විදීමට සිදුවීම. දෙවියන් මියගිය වහාම ඔවුන්ගේ පැවැත්මේ භුමිය අහිමි වෙනවා. දෙවියන් මියගියා යන සවිඥානිකත්වය යනු බටහිර ශුන්‍යතා වයේ ආරම්භයයි. එත් සමග ඔවුන්ගේ යථාර්තය ඔවුන්ට අහිමි වෙනවා. ඉතින් සියල්ල ‘හිස්’ (ශුන්‍ය) බවට පත් වෙනවා. මේ අනියත සහ භූමියක් නැති තත්වය වසා ගැනීම සඳහා ශක්තිමත් (දාර්ශනික සහ අනෙකුත්) පදනම් ගොඩ නැගීමට බටහිර ශිෂ්ටාචාර උත්සාහ කරන බව කොජින් කර්තානි නිරීක්ෂණ කරනවා. ඔහුගේ ඉතාම ප්‍රචලිත Architecture as Metaphor: Language, Number, Money (1995) නම් කෘතියේ ඔහු පෙන්වා දෙන්නේ ජපන් දර්ශනය තුල බටහිර මෙන් ශක්තිමත් පදනම් සහිත ගෘහ නිර්මාණය සඳහා වූ අභිප්‍රායක් නොමැති බවයි (ටොයෝටා උදාහරණය දෙස බලන්න). ගෘහය යනු හුදු වෙනස් වීමේ රූපකයක් පමණය. ඉහත විසංයෝජන අරුතින් ගත්කළ ඉන්දු යුරෝපීය භාෂා වල වාගීශ්වර (logocentrism) බවට ජපන් දර්ශනයේ අනාත්මවාදී (selfless-ness) බව පහසුවෙන් නොවැටහෙන බව කර්තානි පෙන්වා දෙනවා. පහත හයිකු කවිය දෙස බලන්න, 

…ග්‍රීස්ම නියගය 
දඟලන තාරුකා 
       සියල්ල මිලාන වී…
  
එක් නිමේෂයක ලස්සන තාරුකා දඟලමින් සිටියද අනික් නිමේෂයේ එම තාරුකා මිලාන  වී යනවා. දෙවන වැකියෙන් පළමු වැකිය විසංයෝජනය වෙනවා. අප මුලින් සඳහන් කල පරිදි මහගම සේකර ගේ ‘මේ සිංහල අපගේ රටයි’ යන්න ‘අප ඉපදෙන මැරෙන රටයි’ යන වැකියෙන් නිශේද කරනු ලබනවා. බුදල් ගේ සිගිරි ගිය තුළ ද ඇත්තේ මෙම ස්වයං-නිශේදනය. දිව්‍ය අංගනාවන් බඳු ලස්සන කාන්තාවන් දකින්න සීගිරියට පැමිණි  බුදල් තම පැමිණීම නො-පැමිණීමක් කරනවා. මේ අනුව කරතානි ගේ අදහස වන්නේ දර්ශනයේ කාර්යය යනු පදනම් ඇති බව පෙන්වා දීම නොවෙයි මිනිස් පැවැත්ම තුල කිසිදු ස්ථිර පදනමක් නොමැති බව මිනිසාට පසක් කර දීම යනුවෙන් පෙන්වා දෙන එක*. ප්‍රස්තුත කරුණට නැවත පැමිණෙන්නේ නම් ඒ අනුව සිංහල ජාතිය මිහිතලයෙන් ඉවත් වීම තේරුම් ගත හැකි දෙයක් බව ගරු කතානායක තුමාට පෙන්වා දීමට කැමති අතර කිසිදු ස්ථිර පදනමක සිරවීම තම අහමේ ශුන්‍යතාවය වෙත ගමන් ගන්නා මිනිසාට අවශ්‍ය වෙන්නේ නැහැ. එය අවශ්‍ය වී ඇත්තේ පදනමක් සොයමින් වෙහෙසෙන ප්ලේටෝ ගේ සිට අද දක්වා වූ බටහිර පාර-භෞතික පරම්පරාවකට. බෞද්ධ සම්ප්‍රදාය තුල ඉන්න අපගේ පදනම යනු ම පදනමක් නොමැති බව ඔස්සේ චින්තනය හසුරුවන එක. ගෘහයක් (පදනමක්) නොමැති තැනක ඉදිමින් ම විශ්වීය බව ගවේෂණය කිරීමට හැකිවීම අප සතු සුවිශේෂ බවක්. නමුත් එය රූකාන්ත ගායනා කරන ‘උලත් එකයි පිලත් එකයි’ වැනි පිස්සු විකාරයක් නොවේ. ඒ වුණාට බලන්න අපේ දෙමව්පියන් නිතර මුමුණපු පහත දැක්වෙන ගීතය, 

සුදු සඳ එළියේ නළ මත පොපියන
හිරිමල් කැකුලක රොන් කෙමියේ

මුලු මල් වන ලොවැ ඉරණම සැතපේ
කුළු ගැන්වෙන තුරු හිමිදිරියේ 
(පද රචනය: මර්සලින් ජයකොඩි පියනම, චිත්‍රපටය රේඛාව) 

‘රේඛාව’ චිත්‍රපටයට අනුව කුඩා ගැහැණු ළමයි ටිකක් තමා ඉහත රූප රාමුවේ රංගනයේ යෙදෙන්නේ. ඒ කියන්නේ හිරිමල් කැකුළු. එයාල පිබිදුනාම තමයි ජාතිය පිබිදෙන්නේ වගේ රූපකයක් තමයි ලෙස්ටර් අපිට අරන් එන්නේ. ඒ කුඩා දැරිය තුල (රොන් කෙමියේ) සැඟවිලා තියෙනවා ජාතියක ජිවය. ඒ කුඩා මල් කෙමිය තමයි තීරණය කරන්නේ මුළු මල් ලෝකෙම ඉරණම. ඒ කියන්නේ අපි ජපනුන්ටත් වඩා ධනාත්මක ජාතියක්… අපි බලාගෙන ඉන්නේ උදේට එළිවෙනකල් වැඩ කරන්න යන්න බලාගෙන. අහල පහලකවත් නිශේදනයක් නැහැ. හිමිදිරියේ ම වැඩට ගිහිල්ල ජාතියක ඉරණම තීරණය කරනවා අපි. ගැහැණියට විශාල සංකේතීය අවකාශයක් දීලා තියෙනවා අපි ඉහත ගීතය ඇතුලේ. අපේ ජාතියේ ඉරණම තීරණය කරන්න දීල තියෙන්නේ අපි එයාලට (කාන්තාවට) කියන එක අර කුණුහරප වීඩියෝ හදන හාදය ඉක්මනට තේරුම් ගත්තොත් හොඳයි. ගීතය සහ මතවාදය ඇතුලේ කොහොම ධනාත්මක වුනත් පශ්චාත් යටත් විජිත ලංකාවේ නුවර ඉඳල කොළඹට (කිලෝ මීටර් එකසිය දහයක්) වැඩට එන්න අද දවස වෙනකොට පැය හතර හමාරක් ගත වෙනවා. ඉතින් සමහර ජාතිකවාදීන් ගොන් කරත්තය මෝටර් රථයට වඩා කාර්යක්ෂමයි කියල තර්ක කරපු රටක් මේක. ඒ ගොල්ල අදටත් කියන්නේ ‘කාලය’ වැදගත් නැහැ කියල. නමුත් අවසන් බුද්ධ වචනයේ කියන්නේ අප්‍රමාද වෙන්න කියල. ඒ නිසා ජපන්නු එක තත්පරයක් වත් අහක දාන්නේ නැහැ. හැම මොහොතක්ම ඔවුන්ට වැදගත්. හැම මොහොතක ම තම ජිවිත කාලේ කරන්න පුළුවන් යුතුකම කරනවා. ඔවුන්ගේ ආදර්ශ පාඨය “මේ මොහොත. මෙතැන.” (මොකද ආයේ මොහොතක් එයිද නැද්ද කියල කියන්න බැරි නිසා). අපි වඳවී යන එක මඟ හැරිය නොහැකි සත්‍යයක් ලෙස (යථාවක් ලෙස) අවබෝධ කරගන්නා ගමන් ම අපි මේ ලෝකයට සම්පාදනය කල යුතු දේ අප්‍රමාදව සම්පාදනය කරමු (තෘප්තිමත් බව). ඒ වගේම අනිත්‍ය සත්‍යයත් ඒ සම්පාදනය තුල ම අවබෝධ කරගෙන ඉදිමු (ආත්මීය ආලෝකය). අප කුමක් සම්පාදනය කලත් මේ සියල්ල ම (සමස්ත විශ්වයම) නියත දෙයක් නෙවෙයි. සියල්ල ම අවසානයේ ශුන්‍ය බවට පත්වීමට නියමිතයි. ඒ නිසා කිසිවකට අවසන් හැඟවුමක් (final signifier) හෝ ස්ථිර පදනමක් (fixed foundation) ඇතැයි සිතීම එතරම් නුවණට හුරු දෙයක් නෙවෙයි.           

—————
සටහන් 

* (i)  ක්වොන්ටින් ටැරන්ටිනෝගේ Kill Bill (2) කියන චිත්‍රපටයේ එක තැනක මෙහෙම කියනවා. බටහිර පාතාල මිනි මරුවන් දෙදෙනෙක් වන බඩ් සහ එලී ඩ්‍රයිවර් අතර සිදුවන සමුරායි කඩු ගණුදෙනුවේ දී එළී මෙහෙම අහනවා. හන්සෝ සමුරායි කඩුවක් තව ඒ සමාන කඩුවක් එක්ක සංසන්දනය කරන්නේ කොහොමද (How does this one compare to that)? එතකොට බඩ් (ඒ කියන්නේ බිල්ගේ බාල සොහොයුරා) මෙහෙම කියනවා. මිට පෙර හත්තොරි හන්සෝ කඩුවක් හදල තියෙනවා නම් ඊට පසු ඔහු විසින් හදන කඩුව විසින් මීට පෙර කඩුවක් හැදුවේ නැති බව ඒකෙන් හැඟවුම් කරණය කරනවා. ඒ කියන්නේ පසුව හදන කඩුව විසින් පෙර පැවති කඩුව සම්පුර්ණයෙන් අහෝසි කරලා දමනවා කියන එකයි (If you’re going to compare a Hanzo sword, you compare it to every other sword ever made – wasn’t made by Hattori Hanzo). ඒ කියන්නේ හත්තොරි හන්සෝ දැන් කඩුවක් හදල තියෙනවා නම් එකෙන් කියවෙන්නේ මීට පෙර ඔහු විසින් කඩුවක් හදා නැති බවයි (කොතරම් කඩු ඔහු විසින් නිෂ්පාදනය කරලා තිබුනත්). ඉහත දැක්වූ ටොයෝටා කාර් උදාහරණය වුනත් එහෙමයි. දැන් හදන කාර් එකෙන් ඊයේ හදපු කාර් එක අහෝසි කරනවා. බැටරි, කණ්නාඩි, එන්ජින්, ඇණ මුරිච්චි ඉඳල ඔක්කොම වෙනස්. අමතර කොටස් උනත් එන්නේ ටික කාලයයි (ඊට පස්සේ අවොත් ඒ තායිවාන් කෑලි). රීකන්ඩිෂන් කියල අපි අපේ පරණ කාර් වලට ගෙන්වන්නේ ඔවුන් විසින් විසංයෝජනය කරපු පරණ කාර් වල කැබලි (ඔවුන්ගේ කහළ ගොඩවල් ගොඩගහනවා අපි අපේ රටේ). අපි වුනත් කරන්නේ අපි ම හදපු දැනුම විසංයෝජනය කරමින් යන එක. ‘ජිජැක් අධ්‍යයනය’ සහ ‘මගේ ලෝකයෙන් පසු ලෝකය’ විසින් හදුන්වා දුන් බටහිර කේන්ද්‍රීය දැනුම මෙම ලිපි මාලාව විසින් පෙරදිග අර්ථයකින් විසංයෝජනය කෙරෙනවා. අපි ඉවතලන දැනුම තව අය ගොඩ ගහ ගන්නවා. ඒ ඔස්සේ දේශනා පවත්වනවා.  නමුත් ලංකාවේ මාක්ස්වාදීන්ට නම් මාක්ස්ගේ හෝ ට්‍රොට්ස්කි ගේ දැනුම කියන්නේ කිසිදා වෙනස් නොවන දෙයක්. ඒ නිසා පන්ති පහෙන් එහාට හිතන්න ඒ අයට උවමනා නැහැ.    

ඉතින් ඉහත චිත්‍රපටයේ ඉහත සදහන් දර්ශනයේ ම එක තැනක මෙහෙම තියෙනවා. මිණී මැරුම් ගණනාවකට පසු දැන් විශ්‍රාම සුවයෙන් ඉන්න වෙලාවේ බඩ් අහනවා එලී ගෙන් මෙහෙම. ඔබට දැන් තියෙන්නේ කණගාටුවක්ද (පසුතැවීමක් ද) නැත්නම් යම් සහනදායි හැඟීමක්ද කියල. (Which “R” do you feel most; Relief or Regret?) එතකොට ටිකක් වෙලා හිතල එලී කියනවා ‘මට තියෙන්නේ පසුතැවීමක්’ (regret) කියල. ඒ කියන්නේ වෛරයට පස්සේ තියෙන්නේ දුක නැත්නම් පසු තැවීම. තුවාල වෙච්ච අහම සුවකරන්න වෛරයට බැරි වෙලා තියෙනවා.  වෛරය සහ ප්‍රචණ්ඩත්වය ගැන ම පණ යනකල් චිත්‍රපටි කරන ටැරන්ටිනෝ හරියට ඉගෙන ගත්තොත් බුදුන් දේශනා කරනවා වෛරයෙන් වෛරය නොසංසිදේ කියල.   

* (ii) තාක්ෂනය කියන්නේ අපුරු දෙයක්. එය විසින් කරන්නේ භෞතික ලෝකය දිනපතා යාවක්කාලින කරන එක. වෙනස් කරන එක. අද තිබෙන මොබයිල් දුරකථනය නොවෙයි හෙට. ඒ අනුව ගත්තම තාක්ෂනය කරන්නේ අනිත්‍යය නම් සංකල්පය දිනපතා අපේ සද්භාවයට මුණගස්වන එක (තාක්ෂනය කියන්නේ අනිත්‍යයේ වාහකය agent of representation හැටියටත් ඕනිනම් සලකන්න පුළුවන්). එකම දෙය නම් එය වෙළඳ පොළ තර්කනය එක්ක ගැටගැහිලා තියෙන එක. ඒ කියන්නේ ‘වෙනස’ නැත්නම් ‘අනිත්‍යය’ අත්විදින්න නම් මුදල් තියෙන්න ඕනි. එක් භාණ්ඩයක් ගත්තට පස්සේ තවත් වැඩිදියුණු කරපු ඒ ජාතියේ ම තවත් භාණ්ඩයක් ගන්න කියනවා. අල්පේච්ච කෙනෙකුට මේ තත්වය විපරීත බවක් වගේ පේන්න පුළුවන්. නමුත් තාක්ෂන ධනවාදය ඇතුලේ ඇත්තටම සිදුවෙන්නේ ඉතා වේගයෙන් වෙනස් වන අර්චන ප්‍රපංචයිය ප්‍රවාහයක අපට ඉන්න සිදුවී තිබීම. නමුත් සියල්ල වෙනස් වන බව දැනටමත් දන්න අපිට (සද්භාවී ලෙස හඳුනාගෙන තිබීම) ධනවාදයේ අති ධාවනකාරී වෙනස් වීම ග්‍රහණය කරගන්න අපහසු නැහැ. ඒ කියන්නේ අනිත්‍ය ප්‍රවාහය (flux of deconstruction) අත්දකින්න පුළුවන් හොඳම තැනත් ධනවාදය ම තමයි කියන එකෙන් පැහැදිළි වන්නේ අප මීට පෙර සඳහන් කල ධනවාදයේ අවසන් සැතපුම තරණය කරන්න බුදුදහම සුදුසුකම් ලබනවා කියන එක. නමුත් ජිජැක් කියන්නේ ධනවාදයේ තර්කය එක්ක වඩාත්ම නරුම විදියට පෑහිලා තියෙන්නේ (බටහිර) බුද්ධාගම කියන එක. ඒ වුනාට මෙතන ප්‍රශ්නය සද්භාවී එකක්. අපිට ඔරොත්තු දීමේ හයිය තියෙනවා ධනවාදයට මුහුණ දීමේ දි අනිත් අයට වඩා. අපිට වෙනස දරාගන්න පුළුවන්. සමහර විට ඒක නිසා වෙන්න ඇති ධනවාදය වෙනස් කරන්න අපිට ලොකු උවමනාවක් නැත්තේ. 

* (iii) තමාට බාහිර ව පවතින වෙනස් වන ලෝකය නිරීක්ෂණ කරන ‘මම’ නම් නිරීක්ෂකයා ‘නොවෙනස් දෙයක්’ ලෙස ගැනීම බුද්ධාගමට අනුව අවිද්‍යාවකි. නැත්නම් නොසැලකිලිමත් බව නිසා සිදුවන්නකි. ඉහත ‘මම’ විසින් බාහිර ලෝකයේ ආශා වස්තු කෙරේ ලොබ බඳින අතර එය උපාදාන සඥාවකි. එවිට සිදුවන්නේ එම ආශා වස්තුව (object-desire) සමග අප අනන්‍යය වීමය. එම අනන්‍ය වස්තුව අත්පත් කරගැනීම සඳහා අහම (මම) පෙළඹවීම උපාදානය විසින් කරයි. එම අනන්‍ය වීම සහ ලුහු බැඳීම (drive) අතර ඇත්තේ ආශාවේ වස්තු හේතුවයි (object-cause of desire). නමුත් ඉහත වස්තුව ලැබීම අපගේ සතුටට හේතු වෙතියි අප ප්‍රාරම්භකව සිතුවත් ඉහත වස්තුව අත්පත් කරගත් පසුව ඉහත ආශාව අතුරුදන් වී වෙනත් ආශා වස්තුවක් කෙරේ අප ආශා කරයි (මේ වනාහී සංසාර චක්‍රයේ ආරම්භයයි). මේ අත්පත් කරගැනීම සම්බන්ද සිතුවිල්ල සහ උපාදානය (අනන්‍ය වීම) දුකට හේතුව ලෙස බුදුදහම පෙන්වා දෙයි. කෙසේ වුවද දුක්ඛ නම් තත්වය අවබෝද කර ගැනීමට සහ ප්‍රහීන කිරීමට ඉහත දුක නම් තත්වය අත්දැකීම වැදගත් ලෙස සංයුත්ත නිකාය පෙන්වා දෙයි. කෙසේ වුවද මහායාන බුද්ධාගම තුල වැදගත් වන්නේ ඉහත ඇතිවීම සහ නැතිවීම පිළිබද ගතිකය පිළිබද ස්වයං-සවිඥා නික බවයි. ඔවුන් නිර්වාණය පිළිබද වෙහෙසෙනවා වෙනුවට ඉහත සවිඥානික බව සහිත බෝධිසත්ව තත්වයක් ගැන විශ්වාසය තබයි. වසුබන්දු විසින් විකසිත කරන ලද ‘උසස් දැනුම’ (higher knowledge) පිළිබද හැදෑරීම මහායාන බෞද්ධ කතිකාවේ මුලික හරය යි. වෙනස්වීම පිළිබද එම සවිඥානික බව සහිතව නුතන ලෝකය වෙත ගමන් කිරීම ජපාන සෙන් ශුන්‍යතා දාර්ශනික කතිකාවේ පදනමයි. මන්ද නුතන බව යනු ම ශුන්‍යතාවයක් වන බැවිණි (නුතන යුරෝපීය මිනිසා මුහුණදෙන ශුන්‍යතාවයෙන් ඔහුව /ඇයව ගලවා ගැනීමට අද දවසේ අධිනිශ්චිත දෘෂ්ටිමය මැදිහත්වීම් වන ‘ඇමෙරිකානු කරණයට’ හෝ ‘කොමියුනිස්ට් වාදයට’ නොහැකි බව නිෂිටනි නිරීක්ෂණය කරයි. ජිවිතයේ සහ මරණයේ අරුත, අනුභූතික ලෝකයේ අනියත බව මෙන්ම ආපතික බව හුදෙක් මාක්සියානු ආර්ථික ස්වයං-පරාරෝපණය ට (economic self-alienation) ලඝු කල නොහැකි බව ඔහුගේ මතයයි). යම් උපාදානය විසින් මෙහෙයවනු ලැබූ පසුගිය මොහොතේ සවිඥානික බව මේ මොහොතේ සවිඥානික බව විසින් වෙනස් කරනු ලැබ ඇත. මේ මොහොතේ සවිඥානික බව ඊලග මොහොතේ උපාදානයක් විසින් වෙනස් කරයි. ඊලග මොහොත ද එසේය. සෑම මොහොතක්ම ඊලග මොහොත විසින් විසංයෝජනය කරයි. ඉදින් නිශ්චිත පදනමක් ගැන සිතීම බුදුදහම දිරිමත් නොකරයි.     

Mahesh Hapugoda

ඔබේ අදහස කියන්න...