‘BUT’ යන වචනය භාෂාවේ නිතරම මුණගැසෙන වචනයකි. එහි තේරුම ‘නමුත්’, ‘මේ හැර වෙනත් යමක්’ යන්න ගම්‍ය කරයි. ‘BUT’ යන වචනය භාවිතා කරන්නෙකු එම වචනයට පසු ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් කීමට නියමිත බව ඩෙරීඩාගේ විසංයෝජනයේ සඳහන් වේ. භාෂාමය අධ්‍යයනයකට නොයා අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ‘BUT’ සංකල්පයක් ලෙස පුද්ගලයාගේ ක‍්‍රියාකාරිත්වය තුළ (Act) දැකිය හැකි ආකාරයයි. අප මේ සඳහා ප්‍රවිෂ්ට වීමට  ප්‍රථම න්‍යායික සංකල්ප කිහිපයක් සැකෙවින් සලකා බලමු.

අප දැනටමත් සාකච්ජා කර ඇති හේගලියානු දයලෙක්තිකයට අනුව අප වෙත එන  ඕනෑම අවබෝධයක් (සංකල්පයක් ලෙස අප ග‍්‍රහණය කර ගන්නා  ඕනෑම දෙයක්) චලනය වේ. පුද්ගලයෙකුගේ සමීපතයන් වන බිරිඳ දරුවාගේ සිට උතුරු කොරියාව, I phone එක දක්වා සියලූ‍ දේ පිළිබඳ අවබෝධය චලනය වේ. දයලෙක්තිකය ලෙස විරුද්ධ දෙය සලකනවාට වඩා මෙම චලනය වීම අවබෝධ කරගැනීම වඩා වැදගත් වේ. එමෙන්ම හේගල්ට අනුව මෙම අවබෝධය සංකල්පයක් අපට මුණගැසෙන මුල් අවස්ථාවේම ලබාගත යුතුය. මෙය තවදුරටත් පහදා ගැනීම සඳහා උදාහරණයක් සලකා බලමු. විමල් වීරවංශ මුල්කාලීනව සංකල්පගත වූයේ වාමාංශික දේශපාලනය තුළ පීඩිත ජනතාව වෙනුවෙන් හඬ නගන්නෙකු ලෙසය. නමුත් ඔහු පිළිබඳ සමකාලීන අවබෝධය ඊට වඩා වෙනස් වේ. එම අවබෝධය මුල්කාලීනව මඟහැරුණේ අප සංකල්පයේ ඇති දයලෙක්තික ස්වභාවය නොදත් නිසාවෙනි. එනම් විමල් වීරවංශ නම් සංකල්පයේ මුල්කාලීන හොඳ ගුණාංගයක්  සහ පසුකාලීන නරක ගුණාංගයක් මතුවිය හැකි බව (අවබෝධය චලනය වීම) ඔහු හමුවන මුල් මොහොතේම අප දැන සිටියේ නම් ඔහුගේ සමකාලීන හැසිරීම ක්ෂිතියක් වන්නේ නැත.

මීළඟට අපි නව න්‍යායක් වෙත යොමු වෙමු. මිනිස් ආත්මය (human subject) යනු හිස්තැනක් (void) බව මේ වන විට අප අසා ඇත. නමුත් හිස්තැන යනුවෙන් අදහස් වන්නේ ද්‍රව්‍යමය වශයෙන් යමක් නොපැවතීමෙන් ඇති වන හිස්තැනක් නොවේ. පුද්ගලයාට තම ආත්මය මුණගැසීම දරාගත නොහැකි, තැතිගැන්වෙන අත්දැකීමෙකි. මෙම අවස්ථාවට අප මුහුණ දෙන්නේ ද්විත්ව පරාවර්තනය (Double Reflection) සිදු වන මොහොතේදීය. මෙය තවදුරටත් පැහැදිලි කරගැනීම සඳහා නැවතත් උදාහරණයකට යොමු වෙමු. කොත්තු කන වාමාංශික නායකයා සහ පැරණි පක්ෂ සාමාජිකයා ගැන වූ ප‍්‍රබන්ධය/සත්‍යය සිදුවීම නැවතත් සිහිපත් කර ගන්න. අනෙක් සාමාජිකයන් සම්බෝල සහ බත් කන විට මෙම නායකයාට කොත්තුවක් කෑමට අවශ්‍ය වන්නේ ඇයි? (කොත්තුවක් යනු විශේෂ කෑමක් නොවේ). අනෙක් අයගෙන් වෙනස් වී තමා නායකයා බව තමා දෙස බලා සිටින කිසියම් අනෙකෙකුට පෙන්වීම වෙනුවෙන් ඔහු කොත්තු කයි. නිර්ධන පන්තිය වෙනුවෙන් ඔහු විඳින දුක, වටේම සතුරන් සිටින විට කොත්තුවකින් හෝ මුව රංචුවක නායකයෙකු වීමට උත්සාහ කිරීම සාධාරණය. බාහිර අනෙකෙකුගේ දැක්ම (Gaze) උපකල්පනය කරමින් තමා දෙස බැලීම පරාවර්තනයේ පළමු අවස්ථාවයි. මීළඟට තමා නායකයෙකු ලෙස අනෙක් අය සලකන බව අනෙකාගේ ඇස්වලින් දැකීම දෙවන පරාවර්තනයයි. මේ අවස්ථා දෙකේදීම සිදුවන්නේ ‘අනෙක් අය මාව දකින ආකාරය මම විසින්ම දැකීමයි’. නමුත් මේ මගේ ආත්මය බව පුද්ගලයාට වැටහෙන්නේ නැත. මන්දයත් මේ සියලූ‍ සිදුවීම් සාමාන්‍ය දේවල් වන බැවිනි. එහෙත් සෑම පරාවර්තනයකම කුඩා සිදුරක් තිබේ. මේ සිදුරෙන් බාහිර සැබෑ ඇසක් අප දෙස බලා සිටී. මේ ඇස අපට පෙනුණ විට ඇති වන්නේ මහා තිගැස්මකි. අප කතා වස්තුවේ නායකයා දෙස යොමු වූ සැබෑ ඇස වන්නේ පැරණි පක්ෂ සාමාජිකයාගේ බැනරයයි.

”යකෝ මූ මම දිහා ඇත්තටම බලාගෙන ඉදලනේ”.

නිර්ධන පන්තිය වෙනුවෙන් පක්ෂ කාර්යාලයකට වී දුක්විඳින නායකයා කොත්තු කන බව හෙළි කළ විට වටේ සිටින අනුගාමිකයෙකු අපට මෙසේ කියයි. ”නායකයා කොත්තු නෙමෙයි බුරියානි කෑවත් මට මොකද  ඕයි, මම මෙතන ඉන්නේ මට ගෙදර ඉන්න බැරි නිසයි, මට මෙතන ඉන්න ලැබෙන එකත් කොයි තරම් දෙයක්ද”. මේ වැනි රහස් පිළිබඳ  නායකයා නොදන්නා මුත් තමා වටේ සිටින පිරිසට දේශපාලනය කිරීම සඳහා ආත්ම විභවතාවක් නැති බව හොඳින්ම දනී. එහෙත් කවදා හෝ දවසක අඟහරු ලෝකයෙන් හෝ විභවතාව ඇති අය පැමිණෙනු ඇතැයි නායකයා විශ්වාස (But something will happen). එසේම  අනුගාමිකයන් ද මෙසේ සිතයි: දීප්ති කියන්න  ඕනේ නැහැ, අපි දන්නවා, අපිට බැරි බව. BUT මොනවා හරි වෙයි.

ඔබේ අදහස කියන්න...