මෙලන්කොලියාවේ මෙන්ම ග‍්‍රස්තික නියුරෝසියාවේ මූලික ලක්ෂණය නම් එම තත්ත්වය සුවපත් කර ගැනීමට රෝගියා දක්වන අකැමැත්ත නැත්නම් සුවපත් කර ගැනීමට ඇති ප‍්‍රතිරෝධය යි. (බලන්න Beyond Pleasure Principle කෘතියේ 203 වන පිටුව). ස්වයං-දඬුවම්කාරී ලෙස තම රෝගයෙන් පීඩා විඳීමේ වේදනාව මෙහි දී රෝගියා අන්තර්කරණය කරගනු ලබන්නේ තෘප්තියක් [Masochism – the tendency to derive sexual gratification from one’s own pain or humiliation – like Former X group members]ලෙසිනි. එමෙන්ම සුවපත් කර නොගැනීම විසින් ම ඇති කරන වරදකාරීත්වයකින් ද රෝගියා එකවිටම පීඩා විඳී. අද්‍යතන සුබසාධක රාජ්‍යයේ නෂ්ටාවශේෂ ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ලාංකික මෙන්ම ගෝලීය වම ද සටන් වදින්නේ නව ක‍්‍රමයක් (නව දේශපාලන ආර්ථික ව්‍යුහයක්) ගොඩනඟා ගැනීම හරහා රෝගය සුවපත් කර ගැනීම නම් තත්්ත්වයට ප‍්‍රතිරෝධයක් එක්කරමිනි. පවත්නා තත්ත්වය පූර්ණ ලෙස විනාශ කර දැමීම නම් තත්ත්වයට මුහුණදීමට, නැතහොත් පූර්ණ ශුන්‍යතාවට මුහුණදීමට ඔවුන්ට ධෛර්යයක් නැති බව ජිජැක් සිය The Courage of Hopelessness (2017) කෘතියේ පෙන්වා දෙයි. අප කළ යුත්තේ පවත්නා සුබ-සාධක තත්ත්ව මෙම ධනවාදී ක‍්‍රමය තුළම පවතින තවත් එක් ක‍්‍රමයක් (System within the System) ලෙස ආරක්ෂා කරගැනීම නොව පවත්නා ක‍්‍රමය රැුඩිකල් ලෙස වෙනස් කිරීමට උත්සාහ ගැනීම බව ජිජැක් ඔහුගේ ජනප‍්‍රිය A Permanent Economic Emergency (2010) නම් ලිපිය ඔස්සේ පෙන්වා දෙයි. අඳුරු උමගක් තුළ ගමන් කරමින් සිටින අපට එක්වරම දර්ශනය වීමට පටන් ගන්නා ආලෝකය ඇතැම් විට අප කරා වේගයෙන් එන දුම්රියක් ද විය හැකි බවට වන ආපතික තත්ත්වයට මාක්ස්වාදීන් ලෙස අප සූදානම් විය යුතුය. එම ආපතික බවට මානසිකව සූදානම් නොමැතිව ක‍්‍රමය වෙනස් කිරීම ගැන සිතීමට නොහැකිය. එම සද්භාවී සූදානම ඇති කළ යුත්තේ අධ්‍යයනය තුළින් ලබා ගන්නා ආධ්‍යාත්මික අවබෝධය ඔස්සේය.

Maso 2

රැුඩිකල් වෙනසක් (ක‍්‍රමයේ වෙනසක්) බලාපොරොත්තුවෙන් බුද්ධිමය මෙන්ම න්‍යායික දේශපාලනයක නිරත වන දේශපාලන ධාරාවන් පසුපසට දමමින් සුබසාධක රාජ්‍යයේ ශේෂ මාරාන්තික ලෙස ආරක්ෂා කරගැනීම අරමුණ කරගත් අධි ක‍්‍රියාකාරී දේශපාලනය මේ අයුරින් ලාංකික තලයක ද අධිනිශ්චය වී ඇති අයුරු අපි අද දවසේ අත්දකිමින් සිටිමු. දීප්ති සහෝදරයා දශක දෙකක් පමණ අවධාරණය කළ න්‍යායික දේශපාලනයට ඔච්චම් කිරීම මේ අයුරින් රෝගී ලාංකික වාමාංශික දේශපාලන දේහය විසින් ලිබිඩෝකරණය කර ඇත. මෙය යථෙහි පරස්පරතාව හමුවීමට දක්වන බියක් ලෙස ද මෙලන්කොලික විශාදයක් ලෙස ද අර්ථකථනය කළ හැකි ය. මෙය මෙලන්කොලික විශාදයේ අර්ථයෙන් සුවපත් වීම ස්වයං-ප‍්‍රතික්ෂේප කිරීමට ලක් කිරීමකි. ‘මෙලන්කොලික තත්ත්වයේ දී සුපිරි අහම එළිදරව් කරන්නේ සුපිරිසිදු ලෙසම මරණ ආශයේ සංස්කෘතිය යි, එය අවසන් වන්නේ සියදිවි නසා ගැනීම තුළිනි. [Beyond Pleasure Principle හි 205 වන පිටුව බලන්න]. අද වන විට අධිවේගී දේශපාලනයක නිරත ලාංකික වාමාංශික කොටස් විද්‍යාමාන කරමින් සිටින්නේ තම සියදිවි නසා ගැනීමේ මනෝවිශ්ලේෂී රූපකයේ අවසාන ජවනිකාවදැයි වරෙක සිතේ. තත්ත්වය මෙසේ නම් එංගලන්තයේ ජෙරමි කෝබින් වැන්නෙක් ධනේශ්වර රාජ්‍යයේ ඇතැම් සුබසාධක ලක්ෂණ ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී සිටීම මෙහි දී අප තේරුම්ගත යුත්තේ කෙසේද?

ඉතා දියුණු ධනේශ්වර ලක්ෂණවලට සංකීර්ණ ලෙස මුහුණ දුන් එංගලන්ත සමාජය තුළ සමාජ යථාර්ථය (විශේෂයෙන් තැචර්වාදයෙන් පසුව) සම්ප‍්‍රදායික එකතැන පල්වීමේ ගතිකවලින් බොහෝ දුරට ඛණ්ඩනය වූ අතර සමාජ සංස්ථා (අධ්‍යාපන ආයතන, රෝහල්, පරිපාලන ආයතන, පවුල, ප‍්‍රවාහන සේවා) රැඩිකල් ලෙස පරිණාමයට පත්විය. (මෙය සාන්දෘෂ්ටික අර්ථයෙන් ද ගැඹුරු සමාජ පුද්ගල අත්දැකීමකි) නමුත් ලාංකික සන්දර්භයක දී නිදහස් අධ්‍යාපනය හරහා ඉස්මත්තට පැමිණි සුළු ධනේශ්වර කොටස් සිය මධ්‍ය මහා විද්‍යාල, විශ්වවිද්‍යාල, ද්විභාෂා (සරත්චන්ද්‍ර අමරසේකර ආදීහු විසින් වර්ණනා කරන ලද) පසුබිම තම මධ්‍යම පන්තික වරප‍්‍රසාදිත තත්ත්වය තවදුරටත් එසේම පවත්වා ගෙන යෑම සඳහා භාවිත කරන ලදී. රෝහල්, විශ්වවිද්‍යාල, සිවිල් පරිපාලනය මේ අනුව ඔවුන්ගේ වරප‍්‍රසාදිත තත්ත්වය ආරක්ෂා කරන්නා වූ තෝතැනිය. එම ආයතන ධනේශ්වර තත්ත්වයන් විසින් ‘වෙළෙඳපළකරණය’ කිරීම ඔවුන් නොරුස්සන්නේ එම ආයතන සත්‍ය ලෙස ‘ජනතාවට’ සේවය කරන නිසා නොව (එය ව්‍යතිරේකයක් ලෙස පවතිද්දීම) තම වරප‍්‍රසාදිත තත්ත්වය අහිමි වී යනු ඇති බවට වන භීතියකිනි. මෙම තත්ත්වය සමකාලීන පසු යටත්විජිත රාජ්‍යයේ පවතින අත්තනෝමතිකත්වයකි.

maso 3

නමුත් තුන්වන ලෝකයේ මෙම ආයතනගත අත්තනෝමතිකත්වය වෙනස් කර ඒවා නැවත ශිෂ්ට-විනයගත කිරීමේ ශක්‍යතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි මූල්‍ය ඒජන්තයන් (ගෝලීයකරණයේ ඒජන්තයන්) විසින් රැගෙන එන බව ජිජැක් ඉහත A Permanent Economic Emergency (2010) ලිපියේ  මුල්භාගයේ පෙන්වා දෙයි. වෙනත් අර්ථයකින් කිවහොත් ඉහත පශ්චාත් යටත්විජිත සුබසාධක ආයතන පූර්ණ ලෙස වෙනස් විය යුතු (පූර්ණ ලෙස විනාශ විය යුතු) බව නම් ශූන්‍යතාව අවබෝධ කරගැනීම මේ මොහොතේ වම විසින් කළ යුතු ධෛර්යවන්ත ක‍්‍රියාවකි. එසේ නොමැතිව පැරණි වාමාංශික අරුතින් ඒවා ඒ අයුරින්ම රැුක ගැනීමට උත්සාහ කිරීම (යටත්විජිත සුබසාධක ලක්ෂණ වෙනුවෙන් පෙනී සිටීම) ‘අහිමි වීම’ ප‍්‍රතික්ෂේප කිරීමක් ලෙස හඳුනාගත හැකිය. එය යටත්විජිත සංස්කෘතිය විසින් ‘ස්වභාවිකකරණය කරන ලද’ දේශීයයන්ගේ එක තැන පල්වෙන කුසීතභාවය ඒ අයුරින්ම වාමාංශිකයන් විසින් ද පිළිගැනීමකි. යටත්විජිත ලක්ෂණ මෙන්ම වැඩවසම් ලක්ෂණ ද (අගති) එසේම පවත්වාගෙන යෑමට උඩගෙඩි දීමකි. නිදහසෙන් පසු ජාතිවාදීන් විසින් කරමින් සිටින්නේ ද මේ අයුරින්ම තම ඓතිහාසික සාරයෙන් සත්‍යය ලෙස විගලිත වීම (ඉතිහාසයෙන් පරාරෝපණය වීම) ප‍්‍රතික්ෂේප කිරීමකි. අහිමි වීමට බිය වීමකි. අහිමි වීම පිළිගැනීම නම් ශුන්‍යතාවයේම ගමන් කිරීමට බිය වීමකි. පූර්ණ ලෙස කප්පාදු වීමට බිය වීමකි. ශුන්‍යතාව මුණගැසීමට ධෛර්ය නැති ඔවුන් එය මුණගැසීම කල් දමයි. නැත්නම් මඟහරියි.

මෙම ධනවාදයේ ශුන්‍යතාවට මුහුණදීම නම් ධෛර්යවන්තභාවයට, රූපකමය උදාහරණයක් ලෙස අප පසුගිය සතියේ සාකච්ඡුා කළ ‘මෙලන්කොලියා’ නම් ලාස් වොන් ටි‍්‍රයර්ගේ චිත‍්‍රපටයේ ජස්ටීන් නම් ප‍්‍රධාන චරිතය සමාන කළ හැකිය. ඈත අවකාශයේ සිට තමා කරා තම පෘථිවිය කරා පැමිණෙන්නේ නියත මරණය බව ඇය දනී [මෙය ජිජැක් ගෙනහැර දක්වන ආලෝකයත් සමඟ ම උමග තුළින් අප කරා එන දුම්රියට සමානවය]. නමුත් එයට මුහුණ දීමට තරම් ධෛර්යවන්ත බවක් තම විශාදය තුළින්ම ඇය උත්පාදනය කර ගන්නී ය. තම ආත්මයේ අභ්‍යන්තරයෙන්ම තමා අබියසට පැමිණෙන විනාශය ගැඹුරු ආධ්‍යාත්මික බවකින් පිළිගැනීම නම් රැුඩිකල් ක‍්‍රියාව ඇය අපට පෙන්නුම් කරන්නීය. ‘අපට සමාජය වෙනුවෙන් යහපත් යමක් කිරීමට සත්‍ය ලෙසම අවශ්‍ය නම්, අතිමූලික වශයෙන් මෙම අවසන් ශුන්‍යතාවය දක්වා අප පැවැත්ම ගමන් කරන්නා වූ ආධ්‍යාත්මික නිමේෂය වහාම පිළිගත යුතු බව ජිජැක් සිය ‘මෙලන්කොලියාව’ නම් චිත‍්‍රපටය පිළිබඳ අදහස් දැක්වීමේ දී ප‍්‍රකාශ කර සිටියි. අප සියල්ලෝම අපගේම ශුන්‍ය අවසානය ආධ්‍යාත්මික ලෙස පිළිගත යුතුය යන්න ඔහු ප‍්‍රකාශ කර සිටී. ”ඉන්න ටිකේ ඉ`දිමු සුදෝ ජොලිය දමාලා” පන්නයේ නොගැඹුරු පැවැත්මකින් මෙම සත්‍යය භෞතිකවාදී – ආධ්‍යාත්මික අවබෝධය අප කරා නොඑන බව ඔහු එහි දී ප‍්‍රකාශ කරයි. වාමාංශික දේශපාලනයට පවා අවශ්‍ය වී ඇත්තේ මෙම ගැඹුරු ආධ්‍යාත්මික අවබෝධයයි. අයිතිවාසිකම්, වරප‍්‍රසාද මුල්කර ගත් අධි-ක‍්‍රියාකාරී සටන් දේශපාලනයකට මඟ හැරී යනු ඇත්තේ මෙම ගැඹුරු භෞතිකමය (ආධ්‍යාත්මික) අවබෝධයයි. අරගලයේ නිරත වීම තුළින් ම සටන්කරුවා පරිණත වන බවට වන සාමාන්‍ය මාක්ස්වාදී පිළිගැනීම සත්‍යයක් වුව ද මෙම සුවිශේෂී තත්ත්වය තුළ ගැඹුරු හැදෑරීම්වල නිරතවීම අත්‍යවශ්‍ය කටයුත්තකි.

මෙම අදහස් දැක්වීම මඟින් කම්කරු අරගල වෙනුවෙන් පෙනී සිටීම, පන්ති දේශපාලනය වෙනුවෙන් සටන් කිරීම, යම් යම් පීඩිත ජන කොටස්වල අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම අවරෝධනයට ලක් කිරීමක් හෝ අධෛර්යමත් කිරීමක් ලෙස යම් දේශපාලන ව්‍යාපාරයක් තේරුම් ගන්නේ නම් එය වැරැුදි වැටහීමකි. අපි අරගල දේශපාලනය වෙනුවෙන් පූර්ණ වශයෙන් පක්ෂ වන  නමුත් අපි අරගල කරන්නේ කුමක් වෙනුවෙන්ද සහ සමස්තය තුළ අපගේ අරගලය කුමන දිශානතියක් ගනීද යන්න පිළිබඳව අපට ගැඹුරු න්‍යායික අවබෝධයක් තිබිය යුතුය යන්න අපේ වැටහීමයි. හුදෙක් ලිබරල් ධනවාදයට එරෙහි වීමෙන් පමණක් රැුඩිකල් දේශපාලනයක් පශ්චාත් යටත්විජිත ලාංකික සන්දර්භයෙන් ඉස්මතු නොවන බව පමණක් පැහැදිලිව කිව හැකි ය. ග‍්‍රස්තික නියුරෝසිකයා කරන්නාක් මෙන් අප ආදරයේ වස්තුව (Love Object) වෛරයේ වස්තුව (Object of hate) බවට පත්කර ගනිමින් අහම ආරක්ෂා කරගත යුතු නැත. අහම එවිට ශෘංගාර කලාපයෙන් ස්වාධීන වේ. හරියටම විරාගයේ අරවින්ද විසින් තම ආශා වස්තුවෙන් (සරෝජනී) ගැලවෙනු පිණිස තම අහම වෙත පසුබැසීම (ශෘංගාරයෙන් පසුබැසීම) මෙම ස්වයං-දඬුවම්කාරී ලෙස (ස්වපීඩනයෙන්) නිර්-ලිංගිකකරණය වෙතට ගමන් කිරීමේ මාර්ගයට සමාන කළ හැකි ය. එහි දී අරවින්ද කරන්නේ ආශාව මඟහැර, නිර්ලිංගිකකරණය ඔස්සේ අහම (මරණය) උත්කෘෂ්ටකරණය කිරීමයි. මෙම ක‍්‍රියාවලිය අප වාමාංශික දේශපාලනය සඳහා භාවිත කළ යුතු නැත.

අපගේ ශෘංගාර කලාපය වන්නේ කොමියුනිස්ට් සමාජයක් බිහිකර ගැනීමේ ෆැන්ටසිය හඹා යෑමයි. එයට අප භක්තිවන්ත විය යුතුය. නමුත් එම ආශා වස්තුව අහිමි වීම ඔස්සේ අප මෙලන්කොලික වන්නේ නම් එවිට එම තත්ත්වය අපගේ පැත්තෙන් පරාජයකි. නමුත් ධනවාදය තුළම ‘සුබසාධක රාජ්‍යය ද’ රැකගැනීමට උත්සාහ කරන්නා වූ අද්‍යතන වම කොතෙක් දුරට සත්‍යය කොමියුනිස්ට් සමාජයක් නැත්නම් කොමියුනිස්ට් පරමාදර්ශ කෙරේ භක්තිවන්ත වන්නේ ද යන්න න්‍යායිකව අපට පැහැදිලි නැත.

අවසානයි 

Mahesh Hapugoda

 

 

 

 

ඔබේ අදහස කියන්න...