අප රටවැසියන් චීනය ගැන කතා කළත්, ‘මාඕ සේතුං’ ගැන කතා කරන්නේ නැත. හොඳ/ නරක කුමක්ද කියා සිතාගත නොහැකි වංකගිරියක අප බොහෝ දෙනා අතරමංව සිටිති. එක් පසෙකින්, ගාලුමුවදොර මූලික කොටගෙන ඇමරිකානු සමාගමක් වූ Facebook මගින් සංවිධානය වූ අරගලයක් ඇත. අනෙක් පසින්, වෘත්තීය සමිති මත පදනම් වූ ජනතා විමුක්ති පෙරමුණ හරහා සංවිධානය වූ ‘ජාතික ජන බලවේගය’ පෙළපාලියකින් කොළඹට ගමන් කරති. තවත් පසෙකින්, විපක්ෂයේ ආසන වැඩිම කොටසක් නියෝජනය කරන ‘සමගි ජන බලවේගය’ ආණ්ඩුවේ නායකයන්ට ගෙදර යෑමට අභියෝග කරති. මේ සියල්ලට මුහුණ දෙන ආණ්ඩුවට රාජ්‍ය බලය සහ පොහොට්ටු පක්ෂයේ බලය ඉදිරියේ ‘සීමා කිරීම් වලට’ යටත් වීමට සිදු වී ඇත.

            ඉහත ප්‍රතිවිරෝධතා සමූහය ලංකාවේ දේශපාලන-ආර්ථිකයේ දෘෂ්ටිකෝණයෙන් නැරඹුවහොත් නැතහොත්, මාඕ සේතුංගේ ‘ප්‍රතිවිරෝධය ගැන’ (On Contradiction- 1937) යන ලිපියේ පර්යාවලෝකනය තුළ සිට නැරඹුවහොත් අපට කෙසේ දිස් වේද? අපි පළමුවෙන්ම, රටේ ආර්ථිකය පිළිබඳව තිබෙන ECG Report එක කියවමු.

IMF report.

              ඉහත වාර්තාවට අනුව, තාර්කික ලෙස කල්පනා කරන අයෙකුට වැටහෙන ‘දේශපාලන-ආර්ථික’[Political-economy] චිත්‍රය පහත පරිදි ය. 2009 වසරේ සිවිල් යුද්ධය අවසානයට පසුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ රැකියා ප්‍රතිපත්තිය වූයේ, ආයෝජන අවස්ථා සහ කර්මාන්ත ඇති කිරීම නොව රජයේ රැකියා අවස්ථා තාර්කික ලෙස පුළුල් කිරීමයි. එහි ප්‍රතිඵලය ලෙස, වසර 10 කට පසුව අපට ලැබෙන ශේෂ පත්‍රය පහත පරිදි ය.

 

1.රජයේ රැකියා සංඛ්‍යාව – මිලියන 1.4

2. පුද්ගලික අංශයේ රැකියා (ආසන්නව) – ලක්ෂ 6 ක් පමණ.

            ඒ අනුව, වැඩ කරන ජනගහනය ආසන්න වශයෙන් මිලියන 8 ක් ලෙස ගණන් බැලුවොත්, එයින් මිලියන 6 ක පමණ ශ්‍රමිකයන් සිටින්නේ අවිධිමත් ක්ෂේත්‍රයේ රැකියාවල ය. කෝවිඩ් වසංගතය නිසා, මෙම අවිධිමත් ක්ෂේත්‍රය ක්‍රමිකව බිඳ වැටුණු අතර ඔවුන්ගේ යැපුම් මාධ්‍යයන් වියළී ගියේය. නමුත්, පවතින දේශපාලන අරගලය තුළ මුඛ්‍ය ප්‍රතිවිරෝධය (Principle Contradiction) බවට පත් වී ඇත්තේ, ආණ්ඩුව සහ රජයේ රැකියා කරන්නන් අතර ය. සරලව කිවහොත්, මාධ්‍ය සහ Facebook මගින් අධිනිශ්චය කර තිබෙන්නේ, රාජ්‍යයෙන් මාසිකව වැටුප් ලබන මිලියන 1.4 ක පමණ ජනයා සහ ආණ්ඩුව අතර තිබෙන ප්‍රතිවිරෝධය යි.[Secondary Contradiction]

            අනෙක් අතට, රාජ්‍ය ආදායම් හෝ මාසික වැටුප් නැති මිලියන 6 ක පමණ ග්‍රාමීය සහ නාගරික ජනයාගේ හඬ ද්වීතියික ප්‍රතිවිරෝධයක් (Secondary) බවට යථාර්ථය තුළ දී ඌනනය වී ඇත. ඒ අනුව, මාසිකව වැටුප් ලබන පිරිසගෙනුත් රුපියල් ලක්ෂයකට වඩා වැටුප් ලබන රාජ්‍ය සේවකයන්ගේ දෘෂ්ටිවාදයන් රටේ ප්‍රතිසංස්කරණ ඉල්ලීම් දක්වා ප්‍රසාරණය වී ඇත. එනම්, ආර්ථිකය තුළ සැබෑ පසමිතුරන් විය යුතු පිරිසක් ගැලවුම්කාරයන් බවට වේශ නිරූපණය වී ඇත.

            දුප්පත් මිනිස්සුන්ගේ බඩට ගසන විශ්ව-විද්‍යාල ගුරුවරුන් වැනි පරපුට්ටන් ඔවුන්ගේ ප්‍රකාශයන් ලෙස මාධ්‍ය තුළ සහ ගාලුමුවදොර අරගල භූමිය තුළ කිසිදු ලැජ්ජාවකින් තොරව භෞතීෂ්ම වෙමින් පවතියි. දෘෂ්ටිවාදය විසින් සිදු කරන්නේ, (සරලව, පීඩකයාගේ අදහස් බලවත් වන්නේ කෙසේද?) මිලියන 6 කගේ සැබෑ ඉල්ලීම් යටපත් කර මාසිකව උසස් වැටුප් ලබන පීඩකයන්ගේ අදහස් ‘පොදු අදහස්’ බවට පත් කර, මාධ්‍ය තුළ ඔතා අපට මැජික් පොල්ලක් සේ ප්‍රදර්ශනය කිරීමයි. උදාහරණයක් ලෙස, රජයේ රුපියල් ලක්ෂයට වැඩි වැටුප් ලබන අයගේ වැටුප් කප්පාදු කරනු වෙනුවට ජනාධිපති තනතුරේ බලය අඩු කරමු, IMF යනු, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අතකොළුවක් වැනි සටන් පාඨ ඉදිරියට එන්නේ අහම්බයකින් නොවේ. එසේ කියන පෙරටුගාමී පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයා පවා මාසිකව යැපෙන්නේ, සමහරවිට ඔස්ට්‍රේලියාවේ හෝ ඉතාලියේ ශ්‍රමිකයන් එකතු කරන මුදල් වලින් විය හැකි ය.

            ඉහත විශ්ලේෂණයට අනුව, සත්‍යය වන්නේ, දැනට අරගලය තුළ අධිපති චින්තනය බවට පත්වී ඇති ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් සමූහයක්ම පීඩකයාගේ ඉල්ලීම් මිස පීඩිතයන්ගේ ඉල්ලීම් නොවේ. එම ඉල්ලීම් සාර්වත්‍රික නොවන එක සමාජ ස්ථරයකට පමණක් අදාළ වන සුවිශේෂී ඉල්ලීම් ය. මෙම සුවිශේෂී ඉල්ලීම්, සමහර විට කෙතරම් අහසේ ලඹ දෙන අදහස් ද කිවහොත්, අන්තෝනියෝ ග්‍රාම්ස්චි, අර්නෙස්ටෝ ලැක්ලෝ, ස්ලාවෝජ් ජිජැක් වැනි චින්තකයන් පවා ගණිකා වෘත්තියේ යොදවනු දක්නට ලැබේ. ලිබරල්වාදයේ ශුද්ධතම ස්වරූපය වන්නේ, පවතින සමාජ බල රටාව මඟින් පමණක් තම අනන්‍යතාවය නිර්මාණය කර ගැනීමයි. Facebook තුළ දේශපාලන පතරංග පළ කරන බහුතරය මේ අනුව ලිබරල්වාදය රහසින් ආරක්ෂා කරන්නවුන්ය. එතැනදී අපට එල්ල වන්නේ, නින්දා සහ අපහාස පමණි.

            සමහරුන්ට අනුව, මේ මොහොතේ ඇත්තේ, නායකයෙක් නැති බහුවිධ අරගලයක් ය. සමාජය/ අප යන සහසම්බන්ධ ප්‍රතිපක්ෂයේ කලින් සිටියේ, දෙමළ/ අප යන වෙනසයි. දැන් එය, රාජපක්ෂලා සහ අප ලෙස වෙනස් වී ඇත. අද සියලු වෙනස්කම් වලට ඉහළින් පවතින්නේ, ගෝඨාභය සහ අප අතර වෙනසයි. නමුත්, අප යෝජනා කරන්නේ, ගෝඨාභයට වඩා මේ මොහොතේ දී සහ අනාගතයේ දී අපගේ සතුරන් වන්නේ, වෘත්තිය සමිති ලෙස හැඩ ගැස්වී රාජ්‍යය ත්‍රස්ත කරන්නන්ය. මෙම කටුක ඇත්ත කීමට හැකි වන්නේ, අපට පමණි. ගෝඨාභය අපගේ අරගලය තුළ සතුරෙකු බව සහතික ඇත්ත ය. නමුත්, අනුර කුමාර හෝ ඕනෑම විශ්වවිද්‍යාල ගුරෙකු රාජ්‍ය ධනය මංකොල්ල කන පැත්තේ සිට ගන්නා බව අප අමතක නොකළ යුතු ය. ඩොලර් 22,000 ට මිල වන වාහනයක් රුපියල් ලක්ෂ 200 කට පමණ විකුණා, ඩොලර් 66,000 ක් මවා එය තම දරුවාගේ විදේශ අධ්‍යාපනයට යවන්නේ වඩුවෙක්ද? විජිත හේරත් මේ ගැන කියන්නේ කුමක්ද?

            මෙමගින්, මැවෙන දේශපාලන චිත්‍රය කුමක්ද? මතුපිට තලයේ දී අපට මේ මාධ්‍ය අවකාශයන් තුළ පෙනෙන්නට තිබෙන සුන්දර සටන් පාඨ යට ඇත්තේ, දශක ගණනක් රාජ්‍ය සේවකයන් විසින් ගසා කා විනාශ කරන ලද රාජ්‍ය ධනය යි. අද අපට අවශ්‍ය වන්නේ, ශක්තිමත් රාජ්‍යයක් මිස ශක්තිමත් වෘත්තීය සමිති නොවේ.

Samabima Party.

ඔබේ අදහස කියන්න...