තමන්  වාමාංශිකයන් යැයි හදුන්වාගන්නා බොහෝ දෙනා විප්ලවය හෝ සමාජ  වෙනස උදා කිරීම පිළිබද වූ සුබවාදී සිහින දකී. නමුත් විප්ලවයට පසු දින සිට සිදුකරන්නේ කුමක්ද? යන්න අපට ඇති ප්‍රධාන ගැටලුවයි. ධනවාදයෙන් සුභසාධක රාජ්‍යයක් වෙත විතැන් වීම සදහා වූ ප්‍රතිසංස්කරණ පැරණි වාම ප්‍රවණතා විසින් මෙන්ම ඇතැම් දක්ෂිණාංශික දේශපාලන ව්‍යාපාර විසින් යෝජනා කරයි. එවැනි ප්‍රතිසංස්කරන සදහා  අප අකමැති නොවුනත් ධනවාදය ඉදිරියේ පවතින ගෝලීය සමාජ ගැටලුවට එය විසදුමක් නොවන බව අපගේ මතයයි. පැලැස්තර විසදුම් යෝජනා කිරීම අපටත් සිදුකල හැකිය. ජනප්‍රියවාදය තුල අනන්‍යතා සොයන ඊනියා  වාමාංශික දේශපාලනය රැල්ලට අපටද එක් විය හැකිය. නමුත් අපගේ දේශපාලන ව්‍යාපාරයේ අරමුණ එය නොවේ.

Horvat with Pamela Anderson and Yanis Varoufakis at the launch of the Democracy in Europe Movement 2025 (DiEM25) in Brussels, 25 March 2019. Photograph: Thierry Monasse/Getty Images .‘The current system is more violent than any revolution’

මුලින් ඉදිරිපත් කල  විප්ලවයට පසු දින සිට කරන්නේ කුමක්ද? යන ගැටලුව සදහා සැබෑ වාම ව්‍යාපාරයක් ලෙස අපට මේ මොහොතේ නිශ්චිත පිළිතුරක් නැත. නිශ්චිත පිළිතුරක් හෝ විකල්පයක් පිළිබද අදහසම  පවතින සන්දර්භය තුල ගොඩනැගෙන දෘෂ්ටිවාදයකි. ධනවාදය අභිමුව ඇති අර්බුධකාරී බව සදහා විසදුමක් යෝජනා කිරීම කොතරම් රැඩිකල් වුවත් අවසානයේ ක්‍රමය විසින් එවැනි විකල්ප අවශෝෂණය කරගනී. ධනවාදය වැටුන තැනින් නැගිටින්නේ මෙවැනි විසදුම් යෝජනා කරන වාමාංශිකයන්ගේම  කර මතිනි. අවසානයේ සියලු දේ ප්‍රාග්ධනය වටා සංවිධානය වීම මිස විකල්පයක් සමාජයට උරුම වන්නේ නැත. ග්‍රීසියේ සිරිසා ව්‍යාපාරයේ පිබිදීම සහ අවසානයේ එයට  යුරෝපීය සංගමය සමග ගිවිසුම් ගැසීමට සිදුවීම මේ සදහා ගෝලීය උදාහරණයකි. නමුත් තමන් වාමාංශිකයන් යැයි කියා ගන්නා පිස්සන් කියමින්  සිටින්නේ  සිරිසා, පොඩේමෝස් වැනි ව්‍යාපාර වල බිහිවීම ගෝලීය වාමාංශයේ නැගී සිටීමක් බවය. සැබෑ වාම ප්‍රවණතාවයක් නම් මේ මොහොතේ තෝරාගත යුතු රැඩිකල් ආස්ථානය වන්නේ ධනවාදය ඉදිරියේ ඇති විකල්පය කුමක්ද යන ගැටලුවට නිශ්චිත පිළිතුරක් ලබා නොදීමේ ස්ථාවරයයි. අද අප ඉදිරියේ ඇති අභියෝගය වන්නේ විශාල සමාජ-දේශපාලනික අවකාශයක් ගොඩනැගීමයි. ඒ සදහා වූ නියෝජනයක් බවට පක්ෂය පත් කිරීමයි.

උදාහරණයක් ලෙස සමකාලීන පරිසරවාදය සලකා බලමු. එක් පැත්තකින් පරිභෝජනවාදී ධනවාදයේ අඳුරු පැත්තක් ලෙස ගොඩනැගෙන කුණු ගොඩවල් සදහා වගකිවයුත්තන් බවට පත්වීමට තනි පුද්ගලයාට සිදු වී ඇත. විශාල සමාගම් විසින් පරිසර දුෂණයට හේතුවන දේවල් සිදුකරන බව කියමින් පුද්ගලයන්  සටන් කරන විට ධනවාදය විසින් අපට කියන්නේ එකී හේතු නිසා  කාබනික අහාර මිලදී ගන්න, අපගේ ජීවන රටා වෙනස් කර ගන්න කියාය. මේ නිසා ධනවාදය ඉදිරියේ ඇති සියලු අරගල හුදු දෘෂ්ඨිවාදයන්  බවට පත් වේ.

පක්ෂය තුල බුද්ධිමය නිදහසක් නිර්මාණය වන්නේ ධනවාදය ඉදිරියේ අපට ඇති අභියෝගය ඉතා සංකීර්ණ වන බැවිනි. ඒ සදහා වූ සංවාදය පුළුල් කිරීම සහාය. නමුත් මෙම නිදහසද  ඇතම් පුද්ගලයන්ව අපගමනයට  ලක් කරයි. ව්‍යාපාරයට එන-යන අය  පිළිබද වූ ඉතිහාසය ව්‍යාපාරයේ ඉතිහාසයට සමගාමීය. කෙසේවෙතත් මෙසේ එන-යන අයගේ ඉතිහාසය ව්‍යාපාරයෙන් ඉවත් වී සුළු කාලයකින් අවසන් වන නමුත් ව්‍යාපාරය දිගින් දිගටම ඉදිරියට ගමන් කරයි. අපගේ ව්‍යාපාරයට සම්බන්ධ වී සිටි කුමුදු කුසුම් කුමාර, ජගත් වීරසිංහ, ඩෙස්මන් මල්ලිකාආරච්චි, නලීන් සුවාරිස්, අර්ජුන පරාක්‍රම ආදී අයට තමන්ට තනිව ලබාගත නොහැකි සංකේතීය බලයක් ලබා ගැනීමට අප නිසා හැකියාව ලැබිණ.

අප විසින් සිදුකරන්නේ නිම නොවන න්‍යායික අධ්‍යනයකි. මේ නිසා අප විසින් සිදුකරන්නේ කුමක්ද යන්න රාමුගත කල නොහැක. දර්ශනය යනු අසම්පුර්ණ දෙයකි. පක්ෂයට එන -යන අය පක්ෂය යනු දීප්ති පමණක් බවට උණනය කිරීමට උත්සහ කරයි. නමුත් ස්වාධීනව හදාරන අය සිටින බවට දැන් ඕනෑ තරම් උදාහරණ ඇත. මෙසේ පිරිසක් බිහිවනු ඇතැයි ඔවුන් කිසිවිටෙක සිතුවේ නැත. පක්ෂය හැර දමා එලියට යන අය අවසානයේ  විපරීතයන් බවට පත් වේ. ඔවුන් එළියේ වැඩ කරන්නේ අනෙකාගේ දැක්ම(Gaze) වෙනුවෙනි. විපරීතයෙකු පක්ෂයෙන් එලියට ගියද ඔහුගෙන් හෝ ඇයගෙන් පක්ෂයට බලපෑමක් ඇති වන්නේ නැත. මීට විරුද්ධව හිස්ටෙරිකයෙකු විසින් අපගේ දැනුම වැඩි කර ගැනීම සදහා බලපෑමක් කරයි.

හිස්ටීරියාව යනු ”ස්ත්‍රී රෝගයක්” යන්න වූ පැරණි අදහස වෙනුවට මේ මොහොතේ අපට අලුත් නිර්වචනයක් ඇත. හිස්ටීරියාව යනු සංකේත පියාගේ අඩුව වේ (lack of the symbolic father). විපරීතයෙකු සෑම විටම කියන්නේ සංකේත පියා ඕනෑවට වඩා විනෝද වෙනවා යන්නයි. උදාහරණයකට ‘දීප්ති මම නොවිදින දෙයක් විදිනවා, අපට මනුසයෙක් වෙන්න දෙන්නේ නැහැ’ යන්න විපරීතයාගේ චෝදනාවයි. ඊට පටහැනිව හිස්ටෙරිකයා විසින් අපව පෝෂණය කරනු ලබයි. ඇය (ප්‍රභා) අප විසින් ලබා දෙන අනන්‍යතාවය පිලිනොගනී. ඇය නිසා අපගේ අනන්‍යතාවයත් ප්‍රශ්න කිරීමටකට ලක් වේ. ඔබ කියන මම බවට ”මම” පත්විය යුත්තේ ඇයි? යන්න ඇය අසන ප්‍රශ්නයයි.

නුතන වම යනු කල යුත්තේ කුමක්ද යන්න නොදන්නා, එය හැම විටම ප්‍රශ්නාර්ථයක් ලෙස ඉතුරු කර ගන්නා හිස්ටෙරික ආස්ථානයකි. මෙය ලෝකය වෙනස් කිරීම සදහා වූ Drive  එකකි. මීට පටහැනිව විපරීතයා යමක් කිරීම තෝරා ගනී. ඒ සදහා සංකේතීය ඉල්ලුමක් ඇති බව ඔවුන්ගේ මතයයි. අද අපට ප්‍රභා හමුවන්නේද විපරීතයෙකු ලෙසය. ඇය අනෙකාගේ දැක්ම වෙනුවෙන් දගලනු දක්නට ලැබේ. අලුතෙන් අපට අවශ්‍ය වන්නේ අපව ප්‍රශ්න කරන හිස්ටෙරිකයන්ය. නුතන ධනවාදය ඉදිරියේ යල් පැන ගිය වම එක්සත් වන්නේ දීප්තිට විරුද්ධවය. ඔවුන් සිදුකරන සාකච්ජා වල ශබ්ද පට ප්‍රසිද්ධ නොකරන්නේ දීප්තිට ඇති භිය නිසාය.

සංවිධානයට එන-යන අයගේ තවත් සුවිශේෂත්වයක් හදුනාගත හැක. එනම් ඔවුන්ට ව්‍යාපාරය තුල සිටීමෙන් ලැබූ අත්දැකීමක් නොමැති වීමයි. කිසිවෙක් එවැනි අත්දැකීමක් ගැන ලියනවා අප දැක නැත. බොහෝ දෙනා ව්‍යාපාරය තුල සිටින්නේ ව්‍යාපාරයේ නොසිටින අය ලෙසය. සංවිධානයේ එල්ලා තිබු මොනාලිසා චිත්‍රය දෙස බලන සාමාජිකයෙකු කාටත් හොරෙන් එයට කෙල පාරක් ගසයි. පසුව හැමෝම එකතු වී කෙල ගැසුවේ කවුද යන්න සොයන විට එකී සාමාජිකයාද ඊට සම්බන්ධ වේ. සංවිධානයේ එක්තරා අවධියක බුද්ධික බණ්ඩාර විසින් කළු තිර වලින් වට කල කාමරයක දෙවන ලෝක යුද්ධය පෙන්වන චිත්‍රපට විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය කරන ලදී. එමගින් දීප්ති ඒකාධිපතියෙකු බව සාමාජිකයන්ට ඒත්තු ගැන්වීම ඔහුගේ අරමුණ විය. මෙම තත්වය අප හදුනා ගන්නේ ස්වයං උල්ලංඝනය ලෙසය. බුද්ධික බණ්ඩාර තමාවම උල්ලංඝනය කරමින් සංවිධානයේ විනෝද විය.

වර්තමාන ජනප්‍රියවාදය තුල ඊනියා වාමාංශිකයන් සංවිධාන ගත වීම පිළිබද සිහින දකී. නමුත් මෙම වාමාංශිකයන් බොහෝ දෙනෙක් ඉහත අප සාකච්ජා කල අගතීන්ගෙන් යුක්තය. අනන්‍යතා දේශපාලනය සහ සැබෑ වාමාංශික ව්‍යාපාරය අතර වන වෙනස වටහා ගැනීමට බාහිර අයට හැකි විය යුතුය. එසේ නොවන්නේ නම් අපට අනාගතයක් උරුම වන්නේ නැත. විවිධ වාම ව්‍යාපාර එක්සත් වී පවතින දේශපාලන හිස්තැන පිරවීමට නැතිනම් අවුල විසදීමට උත්සහ කිරීම දෘෂ්ටිවාදයක් පමණි. ඔවුන් කිසිවෙක් ධනවාදය ගැන කිසිම දෙයක් දන්නේ නැත. අඩුම තරමින් ධනවාදය යන වචනය භාවිතා කිරීමත් මගහරී. ඔවුන්ගේ නිර්වචන යල්පැන ගිය ඒවාය. ඔවුන් විසින් අලුත් දැනුම සොයා යාම නවතා දමා ඇත. මෙවැනි වාමාංශික ව්‍යාපාර දක්ෂිනාංශික දේශපාලනයටත් වඩා අසාර්ථක සහ අවුල් සහගතය.

බහුතරයකගේ මතය ස්වයංක්‍රීයව නිවැරදි වන්නේ නැත. ජනතාව යනු නිවැරදි දේ කරන අය නොවේ. මේ නිසා ජනතාවට/බහුතරයට අවශ්‍ය දේ කිරීම වම විසින් අතහැරිය යුතුය. ඒ වෙනුවට ජනතාවට කල යුතු දේ පක්ෂය විසින් තීරණය කල යුතුය.  මේ මොහොතේ අවශ්‍යතාවය වන්නේ විවිධ කණ්ඩායම් එක්සත් කිරීම නොව ධනවාදයට ඔබ්බෙන් වූ සමාජ ක්‍රමයක් ගොඩනැගිය හැකි සැබෑ වාමාංශික ව්‍යාපාරයක් ගොඩ නැගීමය. අප විසින් ඉතාම රැඩිකල් ලෙස බහුතරය පිළිනොගන්නා දේ සිදුකිරීම තෝරාගත් අතර, පසුආවර්තිතව බහුතරය විසින් අපගේ තෝරාගැනීම නිවැරදි බව පිළිගෙන ඇත. දේශපාලන ව්‍යාපෘතියක් වෙත ජනතාව ඒකරාශී විය යුත්තේ ඒ අකාරයට ස්වයං අවබෝධයකින් සහ  ස්වයං ශික්ෂණයකින් යුක්තවය.  

සමකාලීන සමාජ-දේශපාලනික සන්දර්භය තුල පක්ෂය විසින් තෝරා ගනු ලබන දේශපාලන තේරීම කුමක්ද යන්න සාකච්ජා කිරීමද  මේ මොහොතේ ඉතා වැදගත් වේ. දේශපාලන පක්ෂයක් ලෙස අපට ඇත්තේ ඉතිහාසයක් මිස පැහැදිලි අනාගතයක් නොවේ. මේ මොහොතේ පක්ෂය විසින් සිදුකරන ක්‍රියාවන් අපට න්‍යායගත කල හැකි වන්නේ පසුආවර්තිතාවය. ඉතිහාසය සහ සිදුවීමට නියමිත අවිනිශ්චිත, බලාපොරොත්තු නොවූ සිදුවීම් විසින් අපගේ දේශපාලන ගමන් මග තීරණය කරනු ඇත. පක්ෂයට නිශ්චිත හැඩයක් දීමට අප විසින් උත්සහ කරන සෑම උත්සාහයක්ම අවසන් වන්නේ අසමත් භාවයකිනි. පක්ෂය ලෙස වාස්තවික යතාර්ථය තුල පක්ෂ කාර්යාලයත් , සංඥාවක් ලෙස පක්ෂය යන සංකල්පයත් අප සියලු දෙනාගේ පොදු ආත්මය බවට පත් වී ඇත. මෙකී පොදු ආත්මය විශ්වාසය සහ භක්තිය මත පදනම් වෙමින් තව දුරටත් ව්‍යාප්ත විය යුතුය.

විශ්වාසය සහ භක්තිය දේශපාලනයට ආදේශ කිරීම මගින්  දේශපාලනය ආගමක් බවට පත් විය හැකිද? සම්ප්‍රදායික වාමාංශික පක්ෂ වල මෙන් නායකයා කියන දෙය අසාගෙන අවුරුදු 30-40 එකම විධිහට සිටින අන්ධ භක්තිකයන් පිරිසක් එමගින් බිහි නොවන්නේද? මේ නිසා පක්ෂ යාන්ත්‍රනය භෞතික විද්‍යාව මෙන් වූ නිශ්චිත විද්‍යාත්මක පසුබිමක් තුල පිහිටවිය යුතුද(ජ.වී.පෙ , LTTE මෙන් )? මෙතන ඇති ගැටලුව  වන්නේ විශ්වාසය සහ භක්තිය යන සංකල්ප අපට හමු වන්නේ  සමාජ යථාර්ථයේ දෘෂ්ටිවාදයට පුද්ගලයා බැද තබන සංකල්ප ලෙස  වීමයි. උදාහරණයකට කතරගම් දේවාලයේ දෙවියන් වෙනුවෙන් පුද පුජා කරන භක්තිකයෙකු සිහිපත් කරන්න. දේව භක්තිකයා පුද පුජා කරන්නේ දැනුම අමතක කර දමමිනි. ඇතැම් විට මෙකී භක්තිකයා මහාචාර්යවරයෙක්, වෛද්‍යවරයෙක් වීමටද පුළුවන. පක්ෂයක් ලෙස අප කල්පනා කරමින් සිටින්නේ මෙවැනි භක්තියක් කිසියම් පොදුභාවයක් වෙනුවෙන් පරිවර්තනය කරන්නේ කෙසේද යන්නය. විශ්වාසය සහ භක්තිය ලෙස ආදරය අපට හමුවන පරම මොහොතේදී දැනුම අසමත් වේ. නමුත් මේ මොහොත කරා අපව රැගෙන යන්නේ දැනුම විසිනි. ඇකඩමියාව ලෙස පක්ෂයත් සමග එකතු වූ බොහෝ දෙනා විශ්වාසය සහ භක්තිය සොයා යන ගමනේදී අප කරන්නේ නිෂ්ඵල , නිවට වැඩක් යයි සලකා අපව හැර ගියහ. විශ්වාසය දිනා ගනිමින් මිනිසුන් සංවිධානය කිරීම සදහා අප සමග එකතු වූ අය දැනුම වැඩක් නැතැයි කියමින් අපව හැර ගියහ. එහෙත් මෙකී ඉතිහාසය විසින් නවක සාමාජිකයාට අලුත් දැනුමක් සහ විශ්වාසය පිළිබද අලුත් හැගීමක් ඉතුරු කර ඇත. එනම් අප සිටින්නේ අසම්පුර්ණ, අසංගත ,විසංවාදී යතාර්තයක් තුල බවයි. මෙම යතාර්ථය තුල ඔබ දේශපාලනය යනු මෙය යැයි යමක් තෝරන්නේ නම් ඔබේ තේරීම කිසිවිටෙකත් දේශපාලනයක් නොවේ. ඔබ තේරීමක් කල නොහැකි බව තෝරා ගන්නේ නම් ඔබට අප සමග දිගු ගමනක් යා හැක.

පක්ෂයේ දේශපාලනයට සම්බන්ධ වන බොහෝ දෙනා අවසානයේ වශයෙන් බලාපොරොත්තු වන්නේ පරිපුර්ණත්වය හෝ සතුට නම් එයද එක්තරා දෘෂ්ටිවාදයකි. අපගේ දේශපාලන මැදිහත්වීම අවසන් වන්නේ යථාර්ථයේ ඇති අසම්පුර්ණත්වය සහ ප්‍රතිවිරෝධතාවයන් ඒ ආකාරයෙන්ම ඉතුරු කරමිනි. මේ නිසා සමකාලීන දෘෂ්ටිවාදයට අනුව අපට අවසාන වශයෙන් හමුවන සතුටක් හෝ ප්‍රීතියක් නැත. ඒ වෙනුවට අපගේ ආත්මීය හිස් බව අපට පසක් වනු ඇත. දේශපාලනය හරහා පරිපුර්ණත්වය සොයා යන්නේ නම් අවසානයේ ඉතුරු වන්නේ ආතතිය පමණි. ඒ වෙනුවට පවතින සංකේතීය පද්ධතියේ ස්වරුපය තේරුම් ගැනීම මගින් අපට මෙම ආතතියෙන් මිදිය හැකිය. ධනවාදය විසින් අපව මෙහෙයවන්නේ පරිපුර්ණ වීම වෙතය. නමුත් ඒ තුලම එහි නිශේධනය වන අසම්පුර්ණත්වය පවතී. ධනවාදයේ නිමක් නැති ගතිකත්වය විසින් මෙම අසම්පුර්ණත්වය වසා දමන අතර අපව වඩ වඩාත් පරිභෝජනය සදහා යොමු කරවයි. අපගේ ආත්මීය හිස් බව කුමන හෝ දෙයකින් පුරවා දැමීමට ධනවාදී ක්‍රමය සමත් වෙයි. මීට පටහැනිව අප යෝජනා කරන්නේ එසේ පවතින දෙය නොව නොපවතින දෙය කුමක්ද යන්න අධ්‍යනය කල යුතු බවය. එමගින් අපට යළි හිස් බව වෙත ගමන් කල හැක. එම හිස්තැන ප්‍රාග්ධනය වෙනුවට මිනිස් නිර්මාණශීලීත්වය මගින් පුරවා දැමීමට ධනවාදයට ඔබ්බෙන් වූ සමාජ ක්‍රමයකදී අපට හැකිවනු ඇත.

Anushka Ariayarathne

 

 

ඔබේ අදහස කියන්න...