Father and son

 

විවෘත ආර්ථිකය ශ්‍රී ලංකාවට හඳුන්වා දී මේ වන විට දශක 4ක් ගත වී ඇත. එක්සත් ජාතික පක්ෂය මේ සති අන්තය වන විට විවෘත ආර්ථිකයේ හතළිස් වන උපන්දිනය මහ ඉහළින් සැමරීමට සියලු කටයුතු සූදානම් කොට ඇත. ඇත්තටම විවෘත ආර්ථිකය [ideology] කියන්නේ කුමක්ද? එමඟින් අපගේ සාම්ප්‍රදායික සමාජයට සිදු වූයේ කුමක්ද? එහි ප්‍රතිවිපාක කුමක්ද? එහි ශේෂ පත්‍රය කුමක්ද? 77ට පෙර ‘ධනේශ්වර සමාජය’ යනුවෙන් අදහස් කළ දෙයට 77ට පසු සිදු වූයේ කුමක්ද?  ‘සමසමාජ’ පක්ෂයට සිදු වූයේ කුමක්ද? පසුගිය දශක හතර ඇතුළත ජනතා විමුක්ති පෙරමුණට සිදු වූයේ කුමක්ද?

බොහෝදෙනාගේ විග්‍රහයට අනුව ලංකාවට විවෘත ආර්ථිකය රැගෙන ආවේ ජේ.ආර්. ජයවර්ධන විසිනි. එය දේශපාලනමය වශයෙන් සත්‍ය වුවත් ආර්ථික වශයෙන් සත්‍යයක් නොවේ. ආර්ථික මොඩලයක් ලෙස ලංකාවට විවෘත ආර්ථිකය ආනයනය කරනු ලැබුවේ ලෝක මූල්‍ය ආයතන වන IMF සහ ලෝක බැංකුවයි. ආර්ථික ක්‍රමයක් ලෙස විවෘත ආර්ථිකය ලංකාවට හඳුන්වා දී මේදී ඔවුන් ලංකාවේ මුදල් අමාත්‍යාංශයට යෝජනා කළ ප්‍රධාන ආර්ථික මූලෝපායන් දෙකක් හඳුනා ගත හැකිය. පසුගිය දශක හතර පුරා බිහි වූ විවිධ ආණ්ඩු අතර සමාන ලක්ෂණය වන්නේ මෙම මුලෝපායන් දෙක වඩා තහවුරු කිරීමයි.

1977 දී ලංකාවට ලෝක මූල්‍ය ආයතන දෙක හඳුන්වා දුන් ආර්ථික මහා සම්මතයන් දෙක පහත පරිදි ය.

ලංකාවේ ආර්ථික හර පද්ධතිය (ආර්ථිකය = කුටුම්භය)

A. වෙළෙඳාමට හසු නොවන භාණ්ඩ අංශයේ සිට වෙළෙඳමාට හසුවන භාණ්ඩ අංශය දක්වා විතැන් කළ යුතුය. හැකිනම් ආනයනය කළ හැකි භාණ්ඩ නිපදවිය යුතුය.

B. සම්පත් කාර්යක්ෂමව සහ සමාජීයව භාවිතාවේ යෙදවීම සඳහා ඒවා රාජ්‍ය අංශයේ අයිතියෙන් පුද්ගලික අංශය දක්වා විතැන් කළ යුතුය. ආර්ථිකය විවෘත කිරීම නම් ප්‍රවාදය වඩා හරවත් වන්නේ මෙම අඩවියේදීය. මෙමඟින් සම්පත් භාවිතය කාර්යක්ෂම වේ යැයි අනුමාණ කරන අතර එසේ කිරීමට අවශ්‍ය තරම් රාජ්‍ය ආයතනවල ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කළ යුතුය. මෙමඟින් ලංකාවේ මානව සම්පත වඩා දියුණු තැනකට වර්ධනය වේ යැයි ද අපේක්ෂිතය.

N M Perera
N M Per-era

පසුගිය වසර 40 තුළ ලංකාවේ සිදු කළ සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ හරයාත්මක මූලධර්ම දෙක වූයේ ඉහත අප සඳහන් කළ ආර්ථික මූලධර්ම දෙකයි. මෙම ක්‍රියාවලිය සමාජය තුළ වඩ වඩා තහවුරු කිරීමට යාමේ දී ප්‍රධාන ප්‍රතික්‍රියා දෙකකට මුහුණ දීමට සිදු විය. එකක් වූයේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය දේශපාලනය මත පදනම් වූ රැඩිකල් ක්‍රම – විරෝධයයි. මෙය 87 – 89 යුගය තුළ දී තාර්කිකව අවසන් විය. දෙවැන්න වූයේ ජාතිවාදයයි. මෙහි අග්‍රඵලය වූයේ 83 කළු ජූලියයි. මෙම ජාතිවාදයට ප්‍රතික්‍රියාවක් ලෙස උතුරේ ද්‍රවිඩයා මූලික කරගත් ගරිල්ලා ව්‍යාපාරයක් බිහි වූ අතර එමඟින් රට පුරා විසිරී ගිය සන්නද්ධ ගැටුමක් නිර්මාණය විය. 2009 වර්ෂයේදී යුද්ධය නිමා වුවත් සමාජයක් ලෙස තවම  රට අභ්‍යන්තරයෙන් බෙදී ඇත. 77 දක්වා ලංකාවේ ධනේශ්වර ක්‍රමයට විකල්පයක් ලෙස සමාජවාදය යෝනජ කළ වාමාංශික දේශපාලන පක්ෂ පැවති මුත් 83 කළු ජූලියට පසු වාමාංශික පක්ෂවල විරෝධාකල්ප ධනේශ්වර විරෝධයෙන් “සිංහල ජාතිවාදයට” එරෙහි ප්‍රතික්‍රියාවක් ලෙස සංවර්ධනය විය. මෙම හේතුව නිසා දෙමළ සමාජය තුළ ‘ජාතික විමුක්ති’ අධිනිශ්මය වූ අතර සිංහල වාමාංශය තුළ “ස්වයං – නිර්ණය” අධිනිශ්මය විය. අද වන විට ධනේශ්වර විරෝදය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පවා පැහැදිලි නැත. අද දවසේ ධනේශ්වර විරෝධය විලාසිතාවක් මිස දේශපාලනයක් නොවේ.

ලංකාවේ විවෘත ආර්ථිකයට ආ විවේචන සියල්ල පැමිණියේ දේශපාලනය පැත්තෙනි. එම විවේචන පිළිබඳ සමාජයේ ප්‍රතිචාරද අපි දක්නෙමු. ව්‍යාපාරික ලෝකය පැත්තේ සිට බැලූ විට ලංකාවේ ආර්ථිකය විවෘතය. නමුත් දේශපාලනය සංවෘතයි. සරල ලෙස පද වහරන්නේ නම් ලංකාවේ ආර්ථිකය ධනේශ්වරය. නමුත් ලංකාවේ දේශපාලනය ජාතිකවාදීය. පැමිණිල්ල වන්නේ මෙම තත්ත්වයයි. මෙසේ වූයේ ඇයි?

දශක හතරක පමණ කාලයක් ගත වී ගිය ආර්ථික ක්‍රියාවලියක් සඳහා දේශපාලනික විචාරයක් රටට නැත්තේ ඇයි?

ලංකාවේ ධනේශ්වර ආර්ථිකයට යම් හෝ විවේචනක් ඇත්නම් එය බිහි වී ඇත්තේ දේශපාලන හෝ විශ්වවිද්‍යාල බුද්ධිමතුන්ගෙන් නොවේ. එය අප කරා සංක්‍රමණය වන්නේ ආගමික පූජකයන්ගෙනි. අප ඇසිය යුතු රැඩිකල් ප්‍රශ්න මෙසේ සූත්‍රගත කළ හැකිය. සමකාලීන යුගයේ දී ධනවාදයට විවේචනය එන්නේ ආගමෙනි. මෙය සාම්ප්‍රදායික වාමාංශික පක්ෂවල ආකල්ප උඩුයටිකුරු කරන තත්ත්වයකි. ඔවුන්ට අනුව ආගම යනු අබිංය. ආගම දෘෂ්ටිවාදයකි. නමුත් 21 වන සියවසේ දෙවන දශකයේ ජීවත් වන අපගේ නිරීක්ෂණවලට අනුව ධනවාදයේ එකම විචාරකයා වී ඇත්තේ ආගමයි. නමුත් මෙම ආගමික විචාරයේ මූලධර්මික වරදක් විද්‍යාමාණය. අද දවසේ ආගම විසින් ධනවාදය විචාරය කරන්නේ ජාතිවාදය නම් ආකෘතිය හරහාය. එය මූලික ආගමික ඉගැන්වීම්වලට පටහැනිය. ආගම විශ්වාස කරන්නා භක්තිවන්තයෙක් වුවත් සමකාලීන මූලධර්මවාදියා විද්‍යාඥයෙකි. නූතන යුගයේදී ආගම යනු විද්‍යාවකි.  විද්‍යාඥයෙක් යමක් විශ්වාස කරන්නේ සිද්ධාන්ත මත පදනම් වෙමිනි. ඔහු යමක් පිළිබඳ භක්තිවන්තයෙක් නොව යමක් ගැන පූර්ණ දැනුම සහිත කෙනෙකි. මේ හේතුව නිසා වාමාංශිකයන්ට මේ යුගයේ දී වඩා කිට්ටුවෙන් සිටින්නේ ලිබරල්වාදීන් නොව ජාතිවාදීන්ය. මන්ද ලිබරල්වාදීන්ට එරෙහිව ජාතිවාදියා ධනවාදය විවේචනය කරන නිසාය.

ක්‍රිස්තියානි ආගම විසින් මීට වසර 3000කට පමණ පෙර සිට ඉදිරිපත් කරන දෙවියන්ගේ ආඥාවන් 10 වනාහි ධනවාදයේ දෘෂ්ටිවාදී අත්තිවාරම විවේචනය කිරීමේ මුල් පියවර සැලකිය හැකි නම් එහි සමකාලීන අර්ථකථනය පහත පරිදිය.

Rohan Wijeweera
Rohan Wijeweera

1) වචනය විශ්වාස කරන්න ! විනෝදය විචාරය කරන්න!

2) දෙවියන් යැයි වරදවා වටහාගෙන ව්‍යාජ ප්‍රතිරූප පසුපස නොයන්න.

3) දෙවියන් අසමසමය. ඊට වෙනත් විකල්පයක් නැත. ඔබ දෙවියන් පිළිබඳ විශ්වාසය අතහැරි පළමු මොහොතේම ඔබ මිථ්‍යාදෘෂ්ටිකයකු වෙයි.

4) දෙවියන්ගේ ‘නම’ ලෞකික කටයුතුවලට නොවිකුණන්න !

5) සබත් හෝ ආගමික දින නිවාඩු ගන්න !

6) මවට, පියාට ගෞරව කරන්න !

7) මනුෂ්‍ය ඝාතනයේ නොයෙදෙන්න !

8) කාමයේ වරදවා නො හැසිරෙන්න !

9) සොරකම් නොකරන්න !

10) අසල්වැසියාට ප්‍රේම කරන්න ! ඊර්ෂ්‍යා නොකරන්න !

ඉහත දස පනත හරහා ධනවාදයට එන්නේ දයලෙක්තික විචාරයකි. ලංකාවට OPEN ECONOMY හඳූන්වා දුන් ජාතික පක්ෂය (යූඑන්පී) පවා සැබෑවට [Real] අද නොපවතියි. අද ලංකවේ කිසිවක් සැබෑවට නොපවතියි. සියලුදෙනා ධනවාදය නිසා මිය ගොස් ඇත. ආගම පමණක් ධනවාදය විවේචනය කරමින් සිටියි. එම ආගම පවා පවතින්නේ ආගමික ග්‍රන්ථ තුළ මිස මිනිසුන් අතර නොවේ. ආගමික නායකයන් පවා ධනවාදය නිසා මිය ගොස් ජාතිවාදී වී ඇත.

විවෘත ආර්ථිකය වසර 40කට පසු අප උරුම කර ඇත්තේ කුමක්ද?

 

ඔබේ අදහස කියන්න...