ස්ලෙවෝයි ජිජැක් විසින් රචිත On Belief Thinking in Action නම් ග‍්‍රන්ථය තුළින් ඉස්මතු කිරීමට වෑයම් කරන අදහස සංක්ෂිප්තව සාරාංශ ගත කළොත් එය මෙසේ දැක්විය හැකිය.

‘‘යක්ෂයා විසින් නිර්මාණය කරන ලද ද්‍රව්‍යමය විශ්වයේ පවතින අපගේ දෛනික ජීවිතයේ වේදනාව උපදිනු ලබන්නේ ‘පාපය’ මතින් නොව මඟහැරීම තුළිනි’’

එනයින් මිනිස් විමුක්තිය සඳහා මාර්ගය වැටී ඇත්තේ පාපය අතික‍්‍රමණය කිරීමට අප දිනපතා කරන වතාවත්, අභිචාර විධි හා පාප ශෝධනය හරහා නොව අපගේ ලෝකයත් සමඟ දුරස්තභාවයකින් පවත්වාගෙන යන නොසැලකිල්ල අතික‍්‍රමණය කිරීමෙන් පමණකි. ද්‍රව්‍යමය ලෙස පවතින බැලූ බැල්මට ඇති සංගතභාවය හා ඒකමිතියට ඔබ්බෙහි පවතින සැබෑ නපුර (True evil) පිළිබඳ යථාවාදී දැනුමක් ලබා ගැනීමට ඇති බාධාව ඇත්තේ ධනේශ්වර ක‍්‍රමය විසින් සත්‍යය ආවරණය කිරීමට භාවිත කර ඇති තාක්ෂණික ද්‍රව්‍යමය සාධකවලට වඩා එය විසින් භාවිත කරන දෘෂ්ටිමය උපකරණ ඔස්සේ ලබා දෙන විනෝදය තුළ අප නොසැලකිලිමත් ලෙස ‘සත්‍යය’ මඟහරිනසුලු බව තුළය.

යම් අයුරකින් මෙම නොසැලකිලිමත් බව අතික‍්‍රමණය කළ හැකි වන නිමේෂයේම අපට සත්‍යය සඳහා වූ මාර්ගය විවර කරගැනීමට හැකිය. බොස්ටන් නගරයේ දරුවන් 130 ක් පමණ අපයෝජනයට ලක් කළා යැයි චෝදනා ලබා සිටි ජෝන් ගේගන් පූජකවරයා (John J. Geoghan) රෝමානු කතෝලික පල්ලිය විසින් ආරක්ෂා කිරීමට උත්සාහ කරන ලදී. එය නිරාවරණය (Cover Up) කර ගැනීම ඔස්සේ බැලූ බැල්මට පෙනෙන ශිෂ්ටත්වය මතුපිට දරා සිටින අශිෂ්ට අභ්‍යන්තරය සංස්ථාගත වී ඇත. එකී අභ්‍යන්තරය නිරාවරණය කරගැනීම පදනම් කරගත් ලෝක ප‍්‍රසිද්ධ The Boston Glob (1872 සිට අද දක්වා) පුවත්පතේ Spotlight මාධ්‍ය කණ්ඩායම පාදක කරගනිමින් 2015 වසරේ ටොම් මැකාති විසින් අධ්‍යක්ෂණය කරන ලද Spotlight චිත‍්‍රපටය විමර්ශනය කිරීම අද දවසේ ජනමාධ්‍ය භාවිතාව තුළ වැදගත් වේ යැයි සිතමි.

එම කණ්ඩායම විසින් කරන ලද නිර්භීත විමර්ශන පුවත්පත් වාර්තාකරණය (Investigative Journalism) වෙනුවෙන් ඉහත සිද්ධිය අරභයා 2003 වසරේ පුලිට්සර් ත්‍යාගය (Pulitzer Prize) හිමි විය.

Spotlight විසින් කරන ලද ‘‘ධෛර්යවන්ත හා පෘථුල ප‍්‍රවෘත්ති ආවරණය රසහ්‍යභාවය විනිිවිද යන, ජාතික හා ජාත්‍යන්තර ප‍්‍රතිචාරයන් කළඹවන ලද, රෝමානු කතෝලික පල්ලිය වෙනස් කරන ලද උත්සාහයක් වේ’’ යනුවෙන් පුලිට්සර් ත්‍යාග කමිටුව විසින් The Boston Globe පුවත්පත මේ අරභයා ඇගයීමට ලක් කර ඇත.

ලිබරල් ධනේශ්වර රාජ්‍යය සහ ආගමික සංස්ථාව යනු පවත්නා පිළිවෙළ වඩාත් හොඳින් ශක්තිමත් කරමින් එය ඉදිරියට ගෙන යෑමට උත්සාහ කරන සංස්ථාපිතයකි. ධනේශ්වර රාජ්‍යයේ දෘෂ්ටිමය අන්තර්ගතය සකස් කරනු ලබන්නේ මූලික වශයෙන්ම ආගම හා ජනමාධ්‍ය විසිනි. පවත්නා අසමානතාවය හා අයුක්තිසහගත අධිරාජ්‍යවාදී ධනේශ්වර පාලනය අද්‍යතන ශිෂ්ටාචාරය තුළ තම පැවැත්ම තහවුරු කරගන්නේ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ නම් බොරුව මතිනි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අභියෝගයට ලක් කරන්නා ‘ත‍්‍රස්තවාදියෙක්’ ලෙස හංවඩු ගසයි. ‘විකිලීක්ස් යුගයක හොඳ පුරුදු’ (Good Manners in the Age of Wikileaks) නම් ලිපියේ ස්ලෙවෝ ජිජැක් පෙන්වා දෙන්නේ ශිෂ්ටාචාරයේ බොරුව වසා සිටින කඩතුරාව නැත්නම් වෙස්මුහුණ විකිලීක්ස් වෙතින් ගැලවී ඇති බවයි. සත්‍යය නමින් උත්කර්ෂයට නැගුන බොරුව, සත්‍යය ලෙසම මෙම ක‍්‍රමය පවත්වා ගෙන යන අශ්ලීල ගනුදෙනු, පුද්ගල සම්බන්ධතා, විපක්ෂ යැයි මතුපිටට පෙනෙන බලවේගයන්හි සත්‍යයම අභ්‍යන්තර සම්බන්ධතා, පක්ෂ-විපක්ෂ හැමෝටම මැතිවරණවලදිත් ඉන් පසුවත් මුදල් දෙන ව්‍යාපාරිකයන්, ත‍්‍රස්තවාදී යැයි මාධ්‍යය වෙතින් හඳුන්වා දෙන කණ්ඩායම් සමඟ ඇති දේශපාලන-මූල්‍ය සම්බන්ධතා ආගම සහ රාජ්‍යය අතර ඇති ගනුදෙනුව හා ඒ දෙකම විසින් අධිකරණය මෙහෙයවනු ලැබීම (උඩුවේ හිමියන්ගේ ගැටලූව) Spotlight කණ්ඩායම මඟින් මෙන්ම Wikileaks වෙතින් ද රැුඩිකල් අයුරින් අභියෝගයට ලක් වී ඇත. ඉහළ ස්ථරයක සිටින ‘එක් නරක‘ පූජකයෙක් විසින් කරන ලද ‘හුදෙකලා’ වරදකට වඩා වැඩි සංස්ථාගත වූ, ක‍්‍රමිකකරණය කරන ලද දූෂිත වරදකාරිත්වය මඟහැරීමක් හා මූල්‍ය ගනුදෙනු මත කෙරුණු වැරැදිකරුවන් වසන් කිරීමක් Spotlight මාධ්‍යය කණ්ඩායම විසින් ඉස්මත්තට රැගෙන එයි.

මූලික වශයෙන් චිත‍්‍රපටය තුළ වැදගත් ජිජැකියානු ආස්ථානයන් කිහිපයක් දක්නට ලැබේ. ඉන් පළමුවැන්න නම් ‘පිටස්තර බලහත්කාරී ප‍්‍රවිෂ්ටයාගේ’ කාර්යභාරයයි. (Outside Intruder) මෙයින් කියවෙන්නේ අනපේක්ෂිත ලෙස අප තුළට පැමිණෙන ‘ආගන්තුකයෙක්’ විසින් හා ඔහුගේ/ ඇයගේ වෙනස් භාවිතාව විසින් අපගේ සමතුලිතතාව පීලි පැන්නවීමට ඇති හැකියාව විසින් අප තුළ ‘වස්තු මූලික සංකේතීය ප‍්‍රචණ්ඩත්වයක්’ ඇති කරනු ලබයි යන්නය. සාමය, සමාදානය හෝ එකඟතාව වෙනුවට සිදු වන මෙම ‘අව්‍යාජ මුණගැසීම’ (Raw Confrontation) අප අසමමිතික (Asymmetrical) අනපේක්ෂිත අන්තයක් කරා ගෙන යනු ලබන බව ජිජැක් පවසයි. ඇතිවන්නා වූ වෙනස සහ ඝර්ෂණය (Difference and Friction) විසින් අපව මේ කරදරකාරී ආගන්තුකයා එළවා දැමීමට කරන උත්සාහය තුළ හෝ ඔහුව අතික‍්‍රමණය කිරීමට කරන අරගලය තුළින් අප මෙතෙක් පවතිනවා යැයි විශ්වාස කළ සීමාවන්ට ඔබ්බෙන් අපගේ ක‍්‍රියාකාරීත්වය සලකුණු කළ යුතු වේ. ඒ තුළින් විමුක්තියේ නව මංපෙත් විවර විය හැකි යැයි ජිජැක් පෙන්වා දේ. උදාහරණ වශයෙන් යටත්විජිතවාදී පීඩකයන්ගෙන් නිදහස් වීමේ අරගලය තුළ ‘කුලය’ ‘ආගම’ යනා දී සීමා අමතක කරමින් විශ්වීය මානවීයත්වයක් තුළ පීඩිත පන්තියට එකතු වීමට සිදු වීම සඳහා පූර්ව කොන්දේසිය සපයන්නේ යටත්විජිතවාදී ආගන්තුක ‘කඩාවදින්නා’ විසින්මය යන්න මෙහි අර්ථයයි.

The Boston Globe පුවත්පතේ පැරණි කතුවරයා ඉවත්ව පැමිණෙන නව කතුවරයා චිත‍්‍රපටය තුළ බොස්ටන් නරගයට පූර්ණ වශයෙන් ආගන්තුකයෙකි. ඔහු මේ පුවත්පතේ කිසිවකුගේ නමක්වත් දන්නේ නැත. ඒ නිසාම ඇතැම් නම් සටහන් කරගත් සටහන් පොතක් ඔහු රැුගෙන යයි. ඔහු බොස්ටන් නගරයේ ආවේණික නීති රීති සහ විනිශ්චයකාරවරුගේ පසුබිම යන කිසිවක් දන්නේ ද නැත. යුදෙව් ජාතිකයෙක් වන ඔහුට බොස්ටන් නගරයේ ‘මුල්’ හිමිකාරිත්වයක් නැත. [නමුත් පුවත්පතේ බොහෝ අය එම නගරයේම උපන් අයයි.] ඉහත සඳහන් ගේගන් පූජකවරයා පිළිබඳ පුවත ද මීට පෙර එම කණ්ඩායම විසින් වාර්තා කර තිබුණ නමුත් ඒ පිළිබඳව ලූහුබැඳ යාම අත්හැර දමා තිබුණි. නමුත් නව කතුවරයා වන මාර්ටි බැරන් (Marty Baron) ඉහත Spotlight මාධ්‍ය කණ්ඩායම හමුවී යෝජනා කරන්නේ ‘ගේගන් සිද්ධිය’ නැවත හඹායන ලෙසයි. මන්ද ඔහුගේ පරමාර්ථය වන්නේ මෙම පුවත්පත කියවන පාඨකයන්ට අවශ්‍ය වන පුවත්පතක් බවට එය පත් කිරීමයි. නමුත් පොදුවේ පවතින ගැටලූව නම් විනෝදයේ අකර්මණ්‍යතාව තුළ ගිලී පවතින ඔවුන්ට අවශ්‍ය වන්නේ කුමක්ද යන්නවත් ඔවුන් නොදැන සිටීමයි. සත්‍යය යනු ඒ අර්ථයෙන් පාඨකයන්ගෙන් පමණක් නොව ඒ වන විට The Boston Globe පුවත්පතෙන් පවා දුරස් වී ඇති දෙයකි. නමුත් මාර්ටි සඳහන් කරන්නේ 53% වන එම පුවත්පතේ කතෝලික ග‍්‍රාහකයන් (Subscribers) ‘සත්‍යය’ දැන ගැනීමට වඩා ප‍්‍රිය කරනු ඇති බවයි. එම නිගමනයට පැමිණීමට ඔහු දක්වන දක්ෂතාව නායකත්ව ලක්ෂණයකි.

මාර්ටි සහ Boston Globe පුවත්පතේ ප‍්‍රකාශකයා අතර සිදු වන සංවාදය මෑතක දී ‘රාවය’ පුවත්පත විසින් ඉස්මතු කර ඇති පුවත්පත් ප‍්‍රකාශනය හා ප‍්‍රාග්ධනය අතර ඇති සැක කටයුතු සම්බන්ධය පිළිබඳ නිරීක්ෂණයට ද යම් පිළිතුරක් ලබා දේ. මාර්ටි විසින් ගේගන් ප‍්‍රශ්නය නැවත විමර්ශනය කළ යුතු බව ප‍්‍රකාශකයාට පවසන විට පුවත්පතේ පාඨකයන් බහුතරයක් කතෝලිකයන් බව පෙරළා ප‍්‍රකාශකයා විසින් සිහිපත් කරයි. එහි දී මාර්ටිගේ ස්ථාරවය වන්නේ ඔවුන් කතෝලිකයන් වන බැවින්ම මෙම ප‍්‍රවෘත්තිය හා විමර්ශනය කෙරෙහි ඔවුන් ආශක්ත වනු ඇති බවයි. ඔවුන්ගේ විශ්වාසය හා දැනුම අතර පරස්පරතාව කෙරෙහි අප කරන පූර්ව-අනුමානවලින් ඔබ්බට ගොස් මාර්ටි තම වෘත්තීයභාවය මෙන්ම මිනිසා තුළම ඇති සත්‍යය සඳහා වූ ‘කාන්ටියානු පූර්වය’ නම් ගිනි පුපුර කෙරෙහි විශ්වාසය තබයි. නායකයා යනු ‘යමක් කළ හැකියි’ යන බවට වන ධෛර්යය සපයන්නා ලෙස ජිජැක් අර්ථකථනය කරන්නේ එබැවිනි. ඕනෑම ආත්මීය උත්තරීතරත්වයක් ද්‍රව්‍යමය පැවැත්මේ අකර්මණ්‍යතාව තුළට අවශෝෂණය කරගත හැකි වුවත් බොස්ටන් පල්ලියේ අතවරයට හා යට ගැසීමට ලක් වූ පිරිස් මේ ප‍්‍රවෘත්තියත් සමඟ දිගින් දිගටම සම්බන්ධ වන බව චිත‍්‍රපටය අපට පෙන්වා දේ. මෙහි දී ධනේශ්වර ප‍්‍රාග්ධනයේ අශ්ලීලභාවය සත්‍යයක් වුව ද, ඒ තුළට ඕනෑම තත්ත්වයක් අවශෝෂණය කරගත හැකි බව සත්‍යයක් වුව ද නිර්භීත පුවත්පත් කලාවක් එම අශ්ලීලත්වය තුළින්ම ඇතිවිය හැකි බවට වන ශක්‍යතාවය අවතක්සේරු කළ නොහැකි බව සමස්ත චිත‍්‍රපට තේමාව අපට පෙන්වා දෙයි.

නිර්භීත හා දුර දක්නා පුවත්පත් කතුවරයකු වන මාර්ටි බැරන් පවත්නා සංස්ථාපිතයන් අතර ඇති ප‍්‍රතිවිරුද්ධ-එකඟතා පවත්නා ක‍්‍රමයේම ගැටලූවක් විනා තනි පුද්ගල ප‍්‍රශ්නයක් නොවන බව අප ඉදිරියේ ප‍්‍රකාශමාන කරයි. මෙහි දී ඔහු සාමාන්‍යයෙන් පුවත්පත් අනුදකින ‘පරිභෝජනය කළ හැකි ප‍්‍රවෘත්ති’ නිපදවීමේ සීමාවෙන් ඔබ්බට ගමන් කරයි. එසේ කිරීම මඟින් ඔහු The Boston Globe පුවත්පත සාමාන්‍ය පුවත්පතකින් ඔබ්බට ඔසවා තබයි. පාරිභෝජන නිශ්ක‍්‍රීයත්වය තුළ නූතන ආකෘතියක් සහිත පුවත්පතක් ලෙස ‘රාවයේ’ වේදනාව ඇත්තේ තම ආකෘතික-අන්තර්ගතයේ නොව තම අන්තර්ගතය සඳහා දක්වන නොසැලකිල්ල තුළ බව මෙහි දී පෙනී යන කරුණකි. ‘රාවය’ට අවශ්‍යව ඇත්තේ ‘ආගන්තුක ආපතිකභාවයකි’ නැත්නම් අනතුරකි. සිදු වන අනපේක්ෂිත අනතුර විසින් අවශ්‍යතාව කරා අප රැුගෙන යයි. The Boston Globe පුවත්පතට ආගන්තුකයෙක් ලෙස පැමිණෙන මාර්ටිගේ ‘ක්ෂිතිමය අසමමිතික කඩා වැදීම’ ඔස්සේ එය විශිෂ්ට ගෝලීය පුවත්පතක් බවට පත් වේ.

දෙවන වැදගත් ජිජැකියානු ස්ථාවරය නම් ‘සත්‍යය ආදරය දේශපාලන ප‍්‍රභේදයක්’ යන්නය. මෙහි අර්ථය නිදහස පිළිබඳ වරණය යනු ‘ජීවිතය හෝ විවේචනය’ තෝරා ගැනීමට සමාන වේ යන ලෙනිනියානු ස්ථාවරයට සමානකමක් දක්වයි. බොස්ටන් නගරයේ ආයතනගත වී ඇති අශ්ලීල අපචාරවල මූලයන් යනු සමාජය ශිෂ්ට සම්පන්න කිරීමට ඇති ආයතනයන්මය යන්න Spotlight විවේචක විමර්ශනය හරහා එම නගරය තේරුම් ගනී. බොස්ටන් නගරයේ ශක්තිය යනු එම නගරයේ සංස්ථාවන් (ආගම-නීතිය-දේශපාලනය-ජනමාධ්‍ය) එකට සම්බන්ධ වී ක‍්‍රියා කිරීමට වන බවට බොස්ටන්හි කාදිනල්වරයා එක් අවස්ථාවක මාර්ටි හට ‘දැනමුතුකම්’ දෙන විට ඔහු කියා සිටින්නේ ‘‘මම හිතන්නේ ජනමාධ්‍ය වෙන් වී පවතින එක වඩා හොඳයි’’ යනුවෙන්ය. ඒ අර්ථයෙන් ඔහු තම පුවත්පතට මතු නොව සමස්ත නගරයටම ආදරය කිරීම සඳහා අවශ්‍ය ‘දුරස්ත-පාරදෘශ්‍යතාවය’ අතපත් කර ගනී. එහෙත් ඔහු එම ‘දුරස්තභාවය’ තුළම නගරය අතිසමීපව විමර්ශනය කිරීම අත් නොහරියි. එවිට ඔහු අභ්‍යන්තර-පිරස්තරයකු බවට පත් වේ.

ඉතා පැහැදිලිව මාර්ටි Spotlight කණ්ඩායමට කියන්නේ ‘තනි පුද්ගල සාධක මත’ තම නිරීක්ෂණය පදනම් නොකරන ලෙසයි. ඒ එම ප‍්‍රවේශය ඔස්සේ සමස්ත ක‍්‍රමයම විසින් ‘අපයෝජනය’ සාමාන්‍යකරණය කර ඇති ආකාරය ඔහු විකිලීක්ස් මට්ටමින්ම එළිදරව් කර ගනී. එම ප‍්‍රවේශයට ආගමික සංස්ථාව මතු නොව බොස්ටන් ප‍්‍රාන්ත දේශපාලනය හා අධිකරණය මෙන්ම එතෙක් Boston Globe හා එයට ප‍්‍රතිවාදී Herald පුවත්පතේ භාවිතාව පවා ප‍්‍රශ්න කිරීමට තරම් හැකියාව ලැබේ. ඔහුගේ පුවත්පත් භාවිතාව බොස්ටන් නගරයේ මමංකාරය මෙන්ම නොසැලකිල්ල දර්පණය කළ කැඩපතක් විය. ඒ ඔස්සේ පැරණි නොසැලකිල්ලෙන් ගැලවීමට හැකි වීම මෙන්ම නව ප‍්‍රවේශයක් අත්හදා බැලීමට හැකි වීම යන ‘ද්විත්ව-විප්ලවීයත්වයක්’ මාර්ටි තම ‘ආගන්තුක’ බව ඔස්සේ උකටලී බොස්ටන් නගරයට රැුගෙන එයි. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට පිබිදවිය නොහැකි වූ එසේම ඔවුන් විසින් තව තවත් වංචනික ලෙස ‘ප‍්‍රතිජීවනය’ (Resuscitate) කළා වූ උකටලී, විෂාදී ආසියාතික ආත්මය හොර රහසේ සිහින දකින්නේ මාර්ටි බැරන් වැනි ‘ආගන්තුක කඩා වදින්නෙකු’ විසින් තම නිෂ්ක‍්‍රීය නොසැලකිලිමත් ආගාධයෙන් කුමන හෝ නිමේෂයක තමාව ගලවා ගැනීම පිළිබඳව විය නොහැකිද?

 

මහේෂ් හපුගොඩ

 

 

පසුව ලියමි:Spotlight චිත‍්‍රපටයේ ඉහත සඳහන් මාර්ටි බැරන් නම් වූ The Boston Globe පුවත්පතේ සහ පසුව The Washington Past පුවත්පතේ ප‍්‍රධාන කතුවරයාගේ රූපකය දීප්ති කුමාර ගුණරත්න සහෝදරයා හා පටලවා නොගන්නා ලෙස පාඨකයාගෙන් ඉල්ලා සිටිමි.

 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. මාර ලිපියක්. මේ වගේ ලිපි අපි බලන්න හරි ම ආසයි. දිගටම මේ වගේ ලියන්න. ටිකක් දිග ලිපි ලියන්න බලන්න. කීප් අප් යුවර් ස්ටයිල්.

Comments are closed.