GMOA වෛද්‍ය නවීන් ද සොයිසා සහ මොරටුවේ නගරාධිපති යනු ශ්‍රී ලංකාවේ ”අධ්‍යාපන ක්‍රමය” නැමැති පෙනේරයෙන් ඉරණම විසඳන ලද සමාජ ස්ථර දෙකක නියෝජනයන් ය.

                        ඉහත වෛද්‍යවරයා නියෝජනය කරන්නේ විධිමත් ආර්ථිකයෙන් යැපෙන ජනතාවගේ උප කුලකයකි. එසේම, නගරාධිපතිවරයා නියෝජනය කරන්නේ අවිධිමත් ආර්ථිකයෙන් යැපෙන ජනතාව‌ගේ උප කුලකයකි.

                        වර්තමානයේ දී ලංකාවේ විවිධ වෘත්තීන්, වෘත්තීය කුල වලට ඌණනය වී ඇත. එම කුල වලට අයත් වෘත්තීය සමිති ආණ්ඩුව පාලනය කරමින් සිටී. එසේම, වෘත්තීය සමිති වල මතවාදය හා පෙළ ගැසෙන මධ්‍යම පන්තිය සමාජ මාධ්‍ය වල අරගල කරමින් සිටී.

Saman

                        නීති විරෝධී ව්‍යාපාර මඟින් ධනය සහ බලය ගොඩනඟා ගත් කණ්ඩායම් වල සහයෝගයෙන් ප්‍රාදේශීය වශයෙන් ජනප්‍රිය පුද්ගලයන්, ප්‍රාදේශීය දේශපාලන නායකයන් බවට පත්වේ. මොවුන් වටා අවිධිමත් ආර්ථිකයෙන් යැපෙන ජනතාව‌ එක් රොක් වේ. ලංකා‌වේ සාම්ප්‍රදායික බලය පිහිටුවීම යනු මෙවැනි ප්‍රාදේශීය දේශපාලන නායකයන් වැඩි පිරිසක් එකතු කර ගැනීමයි. මේ මොහොතේ එය බැසිල් රාජපක්ෂ කරමින් සිටී.

                        විධිමත් ආර්ථිකයෙන් සහ අවිධිමත් ආර්ථිකයෙන් යැපෙන සමාජ ස්ථර දෙක අතර ඇත්තේ ඉතාමත් සියුම් පරතරයකි. මෙම පාර්ශවයන් දෙකම එක තලයක දී එකට වැඩ කරයි. අවිධිමත් ආර්ථිකයෙන් යැපෙන ජනයාගේ නීති විරෝධී ක්‍රියාවන්, ව්‍යාපාර සහ උවමනාවන් මත විධිමත් ආර්ථිකයට අයත් වෘත්තිකයන්ගේ දෙවන ආර්ථිකය ගැටගැසී ඇත. (වැටුපට අමතර දෙවන ආදායම් මාර්ගය) මෙම සම්බන්ධතා වල සීමාව ඉක්මවා ගිය ඇතැම් තැන් වලදී දෙපාර්ශවය අතර ගැටුම් ඇතිවේ. එම ගැටුම් අවසන් වන්නේ විධිමත් ආර්ථිකයේ නියෝජිතයන් මහත්වරුවී, අවිධිමත් ආර්ථිකයේ නියෝජිතයන් අපරාධකරුවන් වීමෙන් ය.

                        උදාහරණයක් ලෙස කොරෝනා එන්නත්කරණය ගතහොත්, වෘත්තිකයන්, මධ්‍යම පාන්තිකයන් සහ සම්බන්ධතා ඇති අය පළමු වටයේදීම විවිධ ක්‍රම මඟින් තම එන්නත ලබා ගත්හ. එවැනි දේ සිදුවන බව වෛද්‍ය නවීන් ද සිල්වා දැන නොසිටියත්, බහුතර ජනතාව දනිති. ජනතාවගේ ද උත්සාහය වන්නේ හොර පාරෙන් හෝ තම එන්නත ලබා ගැනීමයි. එවැනි උත්සාහයන් වල දී ආණ්ඩුව ත්‍රස්ත කළ හැකි වෘත්තීය සමිතියක් නොමැති ජනයා යනු ලබන්නේ තම ප්‍රාදේශීය දේශපාලන නායකයන් ළඟටය. එවැනි අවස්ථා වල තම ඡන්ද පදනම රැක ගැනීම සඳහා ප්‍රාදේශීය දේශපාලන නායකයන් සිදු කරනු ලබන ක්‍රියාවන්, මොරටුව නගරාධිපතිවරයාගේ ක්‍රියා කලාපයෙන් මොනවට පැහැදිලි වේ.

                        බන්ධනාගාරගත වන නගරාධිපතිවරයා මධ්‍යම පාන්තිකයන්ට ඇලජික් වුවත්, ඔහු නියෝජනය කරන ජනතාවට ඔහු වීරයෙකි. ඔහුත්, වෘත්තීය සමිති නායකයනුත් අවසානයේ නඩත්තු කරන්නේ එකම ක්‍රමයකි.

                        ලංකාවේ වම – දකුණ ‌භේදයකින් තොරව දේශපාලන පක්ෂ අරගල කරන්නේ ම මාතෘ භූමිය වෙනුවෙනි. වෘත්තීය සමිති අරගල කරන්නේ ජනතාව වෙනුවෙනි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අරගල කළේ අධ්‍යාපනයට දළ ජා. නිෂ්පාදනයෙන් 6%ක් වැඩි කර ගැනීමට මිස තම වැටුප වැඩි කර ගැනීමට නොවේ. ඔවුන්ට අනුව, ඔවුන් මේ කිසිවක් කර ඇත්තේ තමුන් වෙනුවෙන් නොවන අතර හුදෙක්ම අනුන්ගේ හිත සුව පිණිසය.

                        වෘත්තීය සමිති නායකයන් මෙන්ම ප්‍රාදේශීය දේශපාලන නායකයන් වැඩ කරන්නේ තම පැවැත්ම වෙනුවෙන් මිස, සාර්වත්‍රික උවමනාවන් වෙනුවෙන් නොවේ.

                        මෙහිදී අපට සදාචාරාත්මක වශයෙන් හරි – වැරදි පිළිබඳ විනිශ්චයක් දීමට අවශ්‍ය නැත. අපට අනුව, කොටසක් දෙවිවරු වන්නේවත්, කොටසක් කරුමක්කාරයන් වන්නේවත් නැත. අපගේ අරගලය වන්නේ සියළු පාර්ශවයන් මානව හිතවාදී, සාර්වත්‍රික උවමනාවන් වෙනුවෙන් පෙළ ගැස්සවීමයි. ගැටළුව ඇත්තේ පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 තුළ පමණක් නොව, අප සියළු දෙනාම ද මෙම ක්‍රමය පෝෂණය කරමින් සිටින්නෙමු.

                        අප නිර්ධනයන්ගේ ආරක්ෂකයන් වන්නෙමු. නමුත්, විධිමත් ආර්ථිකයට අයත් 20%ක ජනයාගේ සතුරන් ද නොවෙමු.

                        සමබිම පක්ෂයේ මේ මොහොතේ අභියෝගය වන්නේ, අවුරුදු 80ක් තුළ ලංකාවේ වම අසාර්ථක වූ අභියෝගය ජය ගැනීමයි; බාහිර සතුරෙකු මවන්නේ නැතිව අපගේ දේශපාලන පණිවිඩය ජන විඥානය තුළ තහවුරු කිරීමයි.

                        අපගේ දේශපාලනය හා එකඟ නොවන අයවලුන් අප  වහලුන් හෝ මෝඩයන්ලෙස දකින්නේ නැත. අප වෙහෙසෙන්නේ, අපගේ දේශපාලනය ඔවුන් තුළ තහවුරු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ අධ්‍යයනය කිරීමටයි.

                        අප තනමින් සිටින්නේ, ඔබට – ඔබ සම්මුඛ වීමට කැඩපතකි. මෙහිදී දීප්ති සහෝදරයාගේ ප්‍රවේශය විප්ලවීය වන්නේ, ඔහු පොතේ ගුරෙකු නොවන බැවින් හා සාම්ප්‍රදායක අරගලකරුවෙකු ද නොවන බැවිනි. පක්ෂයක් ලෙස අප ගමන් කරනු ලබන්නේ, අපගේම මාවතක ය. මන්ද යත්, සාම්ප්‍රදායක වාමාංශිකයන්ගේ ගමන් මඟ ප්‍රතිවාදීන් ඔවුන්ටත් වඩා හොඳින් දන්නා බැවිනි. අප කියවූ පොත්වල, සාමලා – අමරලා සිටියාට, අප මල් කඩන්නේ සාමලා – අමරලගේ විදිහට නොවේ.

                        කොරෝනා සමයේ ඔබට බෙදීමට අපට පරිප්පු නැත. නමුත්, අපගේ නූතනවාදී පණිවිඩය රැඟත්, පක්ෂයේ සාමාජිකයන් ඔබ කරා ළඟා වනු ඇත. 

Amila

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. // අපගේ දේශපාලනය හා එකඟ නොවන අයවලුන් අප “වහලුන් හෝ මෝඩයන්” ලෙස දකින්නේ නැත. අප වෙහෙසෙන්නේ, අපගේ දේශපාලනය ඔවුන් තුළ තහවුරු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ අධ්‍යයනය කිරීමටයි.//ඉතාමත් නිවැරදි ප්‍රවේශය මෙයයි. බොහෝ වමන්ශිකයන් කියන්නේ ඔවුන්ට් තේරෙන දෙය ඔවුන් සමග වාද හෝ සාකච්චා කරන්නාට නොතේරෙන බවයි

Comments are closed.