කිසියම් කෙනෙකුට තමාගේ යථාර්ථය ගොඩනගා ගැනීම සඳහා අවශ්‍ය අර්ථ ඔහු වෙත නොතිබුණහොත් සිදුවිය හැක්කේ කුමක්ද? එය හැඟවුම්කාරක සහ හැඟවුම් පාස්සා ගැනීමෙන් ලෝකය සංවිධානය කර ගැනීමේලා යමෙකු මුහුණ දෙන ඊඩිපසියානු ගැටලූවය. තම පියාගේ මරණින් පසු එක්තරා පුරුෂයකුට වචනවල අර්ථ පිළිබඳ සැක මතු විය. ඔහු කළේ කොහේ ගියත් විශාල ශබ්ද කෝෂයක් පිටේ එල්ලාගෙන යාමයි. තමා සියල්ල තේරුම් ගන්නේ යයි සැක හැර ගැනීමට ඔහුට අවැසි විය.

වෙනත් අවස්ථාවක එක්තරා පුරුෂයෙක් තමාගේ අත්දැකීම විස්තර කළේ මෙසේය. ”දවසක් වයසක ගොවියෙකුට ‘තාත්තා’ යැයි අමතනු ඇසුණ විට මට සිතුණේ මා ඔහුගේ පුත‍්‍රයාව සිටි බවයි. මට හැම වෙලාවෙම වචනවලට ඒ වගේ තේරුම් එනව. ඒවා ඍජුවම එන තේරුම්” ඔහු ඒ අනුව වචනවලට ද්විතීයික අර්ථයක් දීමට පුරුදුව සිටියේය. විශේෂයෙන්ම ඒවා වෙනත් පුද්ගලයන් විසින් වහරන විට එය එසේ සිදු විය.

මෙහි පළමු අවස්ථාවේ දී සිදුවන්නේ වචන ඒවාහි අර්ථයන්ගෙන් අසම්බන්ධ වීමය. අනෙක් අවස්ථාවේ දී ඒවා අතිමහත් ලෙස සම්බන්ධ වෙයි. හැඟවුම්කාරකය සහ හැඟවුම අතර එලෙස විකාර සම්බන්ධයක් දැකීම සයිකෝසියාවේ පොදු ලක්ෂණයකි. අමෙරිකාවේ විචාරකයකු ලෙස ප‍්‍රකටව සිටි වෑන් වයික් බ්රූක්ස් නමැත්තා උමතු බවට පත් විය. තමාට වැලඳී තිබුණ සයිකෝසියාව ගැන විස්තර කරද්දී ඔහු කියා සිටියේ තමා දකින හැම පිහියක්ම ස්වකීය ගෙල කපා දැමීම සඳහා සූදානමින් සිටි කිසිවක් ලෙස දුටු බවය. එලෙසම හැම ගොඩනැඟිල්ලක්ම උඩ සිට බිමට පැනීමට තිබෙන්නකි. පටියක් යනු ගෙල හිරකර ගැනීමට තිබෙන මළ පුඩුවකි. හැම දොරකම මුදුනෙහි ලනුවකින් ගෙල වැලලා ගැනීම පිණිස කොක්කක් ඇත. එලෙස ඔහුගේ එදිනෙදා ජීවිතය බියකරු අර්ථ කන්දරාවක් බවට පෙරලී තිබිණි. තමා වටා වූ ලෝකයේ ශබ්දාර්ථ වෙනස්ය. එක් එක් හැඟවුම්කාරකය (පිහියක්, දොරක්, බෝතලයක් ආදී ලෙස) ඒවාහී සන්දර්භයට අනුව වෙනස් අර්ථ ගනී. ඒවා තිබෙන්නේ එකම දෙයකටය. තමාගේ ජීවිතය බිලිගැනීම සඳාහ අර්ථ සැපයීමටය.

මේ රූපාන්තරණය Final Destination වැනි සිනමාපට තුළින් පිළිබිඹු වන තැන් ඇත. එහි එන පාත‍්‍රයන් බියජනක ගෘහස්ථ අනතුරුවලින් මැරෙන්නට යන සැටි අපි දුටුවෙමු. හැම දර්ශනයකදීම අපරාධකාරයා එක්කෝ සීතකරණයකි, නැත්නම් ඇඳුම් සෝදන යන්ත‍්‍රයකි, රෙදි වැලකි, මැද ඇති ගෙබිමකි. මේ හැම දෙයක්ම මාරක දෝංකාරයක් නංවයි. කෙනෙකුට මෙම අත්දැකීම ඉඳහිට වන හුදෙකලා කිසිවක් නොවී නිරන්තරව සිදුවන දෙයක් වන විට එය කෙතරම් බිහිසුණු අශිෂ්ට දෙයක් විය හැකිදැයි කල්පනා කර බලන්න. මෙය සංඥාකරණයක් (මෙහි දී නම් හුදු මරණයට පත්වීමට නොව මරා දැමීමට ඇති අනෙකාගේ පැතුම) අවරෝධනය කර තිබීමක් නොවේ. ඒ වෙනුවට සිදුවන්නේ එය කෙනෙකුගේ යථාර්ථයේ සෑම අංගයකටම අත්‍යන්තයෙන්ම බැඳී තිබීමය.

psychosis 2

සයිකෝසියාවෙන් පෙළෙන ආත්මය යම් අවස්ථාවල අර්ථ නිෂ්පාදනය කිරීමට වෙහෙසෙන සැටි අපි දකින්නෙමු. වචන සංඥාකරණය වීම තුළ ඒවා තේරුම් කිරීම හෝ අර්ථ නිරාවරණය කිරීම මඟින් පමණක් නොව දේවල් අතර ඇති රහස් සබඳතාවයද එතන දී එළි දකී. අනෙක් අවස්ථාවල සිදුවන්නේ වචනවල දෘඪතර වූ ආගන්තුක අර්ථයාගෙන් පලා යාමට ප‍්‍රයත්න දැරීමය. නියුරෝසියාවේ දී සිදුවන්නේ පීතෘ මෙහෙවර තහවුරු කර අර්ථවලට සීමා පැනවීමය. සයිකෝසියාවේ දී එය නොසිදුවේ. එබැවින් විකල්ප අර්ථයන් එනම් කේතයක් (Code) හෝ සූත‍්‍රයක් වැනි දෙයක් ගවේෂණය කරනු ලැබේ.  පැවැත්ම තහවුරු කර ලෝකයට අර්ථයක් සැපයිය හැකි යම් උපකරණයක් හෝ මෙහි දී සොයයි. ලූවිස් හිල් පෙන්වා දී ඇති පරිදි භින්නෝන්මාදීහු (Schizophrenics) අන් අය සමඟ සසඳන විට දේවල් බරපතළ ලෙස ගන්නා අර්ථය කෙරේම ඇලූන අය වෙති. ඔවුහු සමමිතික බව සහ ලෝකය තුළ එකමුතුකම පිහිටුවාලිය හැකි විදියේ ක‍්‍රමවේදයක් සොයා ගැනීමේ උත්සුක වෙති. එය සැබෑ ජීවිතයේ නොමැති බැවින් ඔවුන් එය සොයන්නේ වෙනත් තැනකය.

ප‍්‍රශ්නය නම් සයිකෝසියාව කවර ආකෘතියක් (Form) ගන්නේ ද යන්නය. රෝග විනිශ්චය ක්ෂේත‍්‍රය තුළ ඇති අනන්‍යතාවන් මානසික රෝග වර්ග කිරීම් වෙනුවට ලැකාන් හඳුන්වා දෙන්නේ තෙවර්ගයක් පමණි. එනම් නියුරෝසියාව, සයිකෝසියාව සහ විපරිතකරණයයි (Perversion). සයිකෝසියාව තුළ තවත් තුන් වර්ගයක් ඇත. එනම් පීඩනෝන්මාදය (Paranoia) භින්නෝන්මාදය (Schizophrenia) සහ සන්තාපය නැතහොත් මෙලන්කොලියාවයි (Melancholia). මේවා ගැන විස්තරාත්මකව ඉදිරියේ දී කතා කිරීමේ අවකාශ ඇතත් භින්නෝන්මාදය ගැන යමක් පළමුව කීම වැදගත්ය. මක්නිසාදයත් බොහෝ අවස්ථාවල වැරැුදි අර්ථ නිරූපණ එන්නේ එය පිළිබඳව බැවිනි.

භින්නෝන්මාදය ගැන මනෝ විශ්ලේෂණය සහ සම්බන්ධිත ක්ෂේත‍්‍රවල කියවීම් හැරුණ විට මනෝ චිකිත්සනය (Psychiatry) තුළ නිර්වචන හතළිහකට වඩා ඇත. මෙම යෙදුමට අදාළව ඇති සමකාලීන ගැටලූ නොතකා භින්නෝන්මාදය ගැනම සඳහන් කරන්නේ මන්ද? ලැකාන් මේ යෙදුම භාවිත කළේ අඩුවෙනි. භාවිත කළ සමහර අවස්ථාවල එය කළේ ඊනියා යන විශේෂණය සහිතවය. එසේද වූවන් සමූහ ලෙස භින්නෝන්මාදයට සායනිකව හා සංකල්පීයව වැදගත්කමක් ඇත. එබඳු අවස්ථාවල ශරීර රූපයේ එකත්වයත් නොමැතිකම තුළ ලූබ්ධිය ශරීරය තුළට ආපසු පැමිණෙයි. එතුළ මායාවී ගොඩනැඟීම් එක්කෝ අවමය නැත්නම් ඇත්තේම නැත. ජේ වට්ස් කී පරිදි එබඳු සමූහයක් එකට බැඳ තබන්නේ මත් බැඳී සිටීම සඳහා වූ ගැටලූව මඟිනි. භින්නෝන්මාදය පීඩනෝන්මාදයෙන් සහ මෙලන්කොලියාවෙන් වෙන්කොට දැක්වීමෙන් ඒවාහි හැඩය මතුකර දැක්විය හැකිය.

යම් මායාවී සිතිවිල්ලක් තාවකාලික වන්නේත් තහවුරුව ගන්නේත් කෙසේදැයි අපි දැනටමත් දැක ඇත්තෙමු. සයිකෝසියාවේ එකී තුන් වර්ගයේ ඇති වෙනස්කම් දැක්වීමෙන් සහ මායාවී ගොඩනැඟීම් ආකාරයන් පැහැදිලි කිරීම සඳහා ඊඩිපස් සංකීර්ණය ඊට සත්කාර කරන්නේ කෙසේදැයි ආපසු හැරී බැලීමට පිලිවන. සයිකෝසියාවේ මතුපිට ලක්ෂණ පමණක් ගෙන වර්ග කිරීම වෙනුවට එහි යට ඇති අර්ථ පිළිබඳ ගැටලූව, ලූබ්ධිය ස්ථානගත කිරීම සහ කෙනෙකු අනෙකාගෙන් දුරස්ථව සිටීම ආදිය සලකා බැලීමෙන් එහි සැබෑ වර්ග කිරීමක් සපයා ගත හැකිය. නියුරෝසියාවේ දී පීතෘ රූපකය විසින් මේවා කළමනාකරණය කරන්නේ නම් සයිකෝසියාවේ දී එම ක‍්‍රියා දාමය සිදු නොවේ. තමන්ගේ ගැටලූවලට තමන්ටම පිළිතුරු සපයා ගැනීමට සයිකෝසික ආත්මයට ඉඩ ලැබෙයි. ප‍්‍රතිචාර දැක්වීමේ ශෛලීන් මඟින් එහි වෙනස්කම් සලකුණු කර ගැනීමට ඉඩ ලැබීම සහ සයිකෝසියාවට එහි විවිධ ආකෘතීන් ලැබෙන අයුරු නිශ්චය වේ.

පීඩනෝන්මාදයේ දී අර්ථය කැටි ගැසෙයි. එනම් ලෝකයට සිදු වී ඇති දෝෂය කුමක්දැයි පුද්ගලයා දනී. එනම් ඔවුන්ට එරෙහිව කුමන්ත‍්‍රණයක් දියත් වේ. යම් මෙහෙවරක් ඔවුන් විසින් ඉටුකර ගත යුතුව ඇත. යම් පණිවිඩයක් ප‍්‍රචාරය කළ යුතුව තිබේ ආදී වශයෙනි. මායාවේ අන්තර්ගතය කුමක් වුවත් තමන් සිටින අවස්ථාවට දී අර්ථය ස්ථාවරය. ලූබ්ධිය බාහිරව ස්ථානගත කර ඇත. එය තිබෙන්නේ තමාට වධ බන්ධන පමුණුවන්නා තුළ හෝ සමාජයේ දෝෂය තුළ හෝ ලෝක පැවැත්ම තුළය. කතෝලික පල්ලිය හෝ CIA සංවිධානය දුෂ්ට බැවින් පිටු දැකිය යුතුය. ‘නරක’ (Badness) එළියේ තිබෙන අතර ඒවා නම් කර ඇත. පීඩනෝන්මාදී මායාවන්හි අන්තර්ගතයන් සැබැවින්ම සැබෑවන්ය. CIA යනු ජාතික රාජ්‍යවල ආර්ථිකයන් අවුල් කරන්නක් තමයි. පීඩනෝන්මාදය තුළ සිතිවිල්ල ස්ථාවර වන අතර එය ප‍්‍රචලිත කළ යුතුව ඇත. එය ස්ථානගත වන තැන කෙනෙකුගේ ජීවිතයයි.

සමන් වික‍්‍රමාරච්චි 

 

 

ඔබේ අදහස කියන්න...