1948 වර්ෂයේදී ශ්‍රී ලංකාව අපගේ යටත් විජිත ස්වාමියා වූ  බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලැබීය. ඒ වන විට අර්ධ වශයෙන් පක්ෂ ක්‍රමයට සහ ඡන්ද ක්‍රමයට ලංකාවේ ජනතාව පුරුදුවී සිටියහ. ආරම්භයක් ලෙස UNP ය නාගරික අර්ථික පක්ෂය වූ අතර, ඊට විකල්පව සම සමාජ පක්ෂය සමානාත්මතාවය සහ ආර්ථික නිදහස  කතා කරන වාමාංශික පක්ෂය විය. 50 දශකයේදී  බණ්ඩාරනායක නම් ප්‍රභූ පැලැන්තියේ සමාජිකයාට තව දුරටත් unpඅනාගතයක් නොමැති තැන ඔහු ඉන් විගාමික විය. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය යනුවෙන් මතවාදී පක්ෂයක් ඇති වූයේ ඉන් අනතුරුවය. ඒ දක්වා දේශපාලන අඩවිය තුළ පැවැති UNP – සමසමාජ භේදය වෙනුවට UNP-ශ්‍රී ලංකා යනුවෙන් අලුත් භේදයක් බිහිවිය. ලංකාවේ ගම-නගරය අතර පවතින ආර්ථික විෂමතාවය නිසා මතවාදී වශයෙන් වම-දකුණ අතර පැවැති භේදය ධනවාදී සහ සමාජ ප්‍රඡාතන්ත්‍රවාදී ලෙසින් නව භේදයකින් ආදේශ විය. බණ්ඩාරනායක විසින්  ලංකාවේ ග්‍රාමීය දුගියාව සිංහල මිනිසෙකු ලෙස හඳුනාගත් නිසා ඔහුව නිර්ධනයෙකු ලෙස වටහාගත් සමසමාජ කොමියුනිස්ට් පක්ෂ ක්‍රමිකව අභාවයට ගියේ ය. මෙහි අනෙක් ප්‍රවණතාවය ලෙස ග්‍රාමීය දෙමළ දුගියා සිංහල දේශපාලනයෙන් සඳහටම ඉවත්විය. ඒ අනුව දේශපාලනයේ මූලික ධ්‍රරැවීයකරණය පක්ෂ මට්ටමේදී UNP -ශ්‍රී ලංකා ලෙස භේද වූ අතර, මතවාදී තලයේදී සිංහළ දෙමළ ලෙස භේද විය.

            80 දශකය වන විට මතවාදී තලයේ පැවැති ”සිංහල – දෙමළ” මතවාදී සටන LTTE ව්‍යාපාරය හරහා සන්නද්ධ ගැටුමක් කරා වර්ධනය විය. මෙම නව ධ්‍රෑවීයකරණයේ ඵලයක් ලෙස සිංහල රණකාමී දේශපාලන ව්‍යපාර දකුණේ සමාජය තුළ තහවුරු වු  අතර එමඟින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජ ප්‍රඡාතන්ත්‍රවාදී  හරය විනාශ විය. අනෙක් අතට UNPය 1977 දක්වා දේශීය ප්‍රභූන්ගේ (ධනපතීන්ගේ) පක්ෂය වූවා  නම් එය නිදහස් වෙළෙඳපල ආර්ථික-ක්‍රමය යටතේ ලුම්පන් මධ්‍යම පංතිකයන්ගේ පක්ෂයක් ලෙස මතවාදීව තහවුරු විය. මතවාදී තලයේ සම සමාජ-කොමියුනිස්ට් නිර්ධන පංති අදහස බංකොලොත් වූ අතර ඊට විකල්ප ලෙස විශ්ව විද්‍යාල  ශිෂ්‍ය දේශපාලනය කේන්ද්‍ර කොට ගත් ග්‍රාමීය දුගීන්ගේ අලුත් පක්ෂයක්, ‘ජනතා විමුක්ති පෙරමුණ’ නමින් තහවුරු විය. එය UNP යට නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විකල්පයක් ලෙස සමාජයේ තහවුරු විය.

            2009 වර්ෂයේ LTTE සන්නද්ධ දේශපාලනය පරාජයට පත්වන තුරුම ලංකාවේ දේශපාලන මතවාදී තලයේ සංයුක්ත චිත්‍රය වූයේ ඉහත පසුබිමයි. සමස්ථ ප්‍රතිවිරෝධතා සමූහය වාර්ගික දේශපාලනය (සිංහල, දෙමළ, මුස්ලිම්)මගින් අධිනිර්ණය වූ අතර සර්වත්‍රික වටිනාකම් වලට පැවැති ආදර්ශයන් (සමානාත්මතාවය,ආර්ථික නිදහස, ප්‍රඡාතන්ත්‍රවාදය, නිදහස් චන්දය) ක්‍රමිකව දියාරු විය. 2010 වර්ෂයේදී මහින්ද රාජපාක්ෂ ආණ්ඩුව ඡන්ද මට්ටමේදී අතිමහත්  ජයග්‍රහණයක් ලබන විට ඒ දක්වා පැවැති අධිපති සියලු මතවාදී ධ්‍රැවීකරණයන් විනාශවී ගිය අතර, ඉතුරු වී ගියේ ”උතුරු -දකුණු ”භේදය පමණි. සියලු දේශපාලන විකල්පයන් වාෂ්ප වී ගිය අතර, ඉතුරු වූයේ නග්න ආර්ථික අභිලාෂයන් පමණි. අලුත් ලෝක බලවතා වූ චීනය ලංකාවේ අලුත් තත්වයට මැනවින් ආදේශ විය.

                       ඒ දක්වා විකල්ප විරහිතව සිටි සියලු දෙනාට 2015 දී ‘යහපාලනය’ නමින් දේශපාලන විකල්පයක් හමුවිය. මෙම ව්‍යාපෘතියට ගැට ගැසී ගිය අය අතර, ‍ඵෙන්ද්‍රීය සංගතභාවයේ කිසිවෙක් පැවතියේ නැති අතර ඔවුන් අතර පැවැති එකම එකඟතාවය වූයේ මහින්ද විරෝධයයි.

            මහින්ද විරෝධය නම් තනි සටන් පාඨය පෙරදැරි කරගෙන යාමේදී ඵෙතිහාසික වශයෙන් නිදහසින් පසු අලුත් තත්වයක් බිහිවිය. නිදහසේ සිට 2015 දක්වා අඩු වැඩි වශයෙන් මතවාදී තලයේ පස මිතුරන් බවට පත් වූයේ UNP සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. මහින්ද විරෝධයෙන් තොරව ඡන්දය දිනිය නොහැකි නිසා UNP – ශ්‍රී ලංකා පසමිතුරන් 2015 දී මතවාදීව සමඟි විය. නමුත් මෙම සමඟී වීම කෘත්‍රිම එකක් නිසා එහි සැබෑ වියරුවබව සෑම මොහොතකම එළියට මතුවෙයි.

            ලංකාවේ සිංහල මිනිසුන් නිදහසින් පසු මතක ඇති කාලය සිට දන්නේ UNP සහ ශ්‍රී ලංකා අතර පවතින පසමිතුරුභාවයයි. 2015 සිදුවීම නිසා මෙම පසමිතුරු භාවය සතු ආකෘතිය  (Form) වෙනස් විය. මෙම වෙනස් වූ ආකෘතියට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළම අලුත් පසමිතුරු භාවයක් බිහිවී ඇත. ඒ මහින්ද පාර්ශවය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතරය. මෙම පක්ෂ දෙකේම ප්‍රධානීන්ට දැන් අවශ්‍ය වී ඇත්තේ තමන්ට හුරු පුරුදු පැරණි පසමිතුරු භාවයට (UNP සහ ශ්‍රී ලංකා මරාගැනිල්ල) ගමන් කිරීමටය. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ දේශපාලනයට මේ හේතුව නිසා අලුත් හිස්තැනක් ඇති වී ඇත. පවතින අලුත් තත්වය අනුව යූඑන්පීයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැරණි ආකෘතිය යළි හමු නොවනු ඇත.

            ඉහත ඵෙතිහාසික වෙනස්වීම දේශපාලන විද්‍යාව තුළ නිර්මාණය වන්නේ ‘දේශපාලන අර්බුදය’ යනුවෙනි. දේශපාලන අර්බුදය වූ කලී චිරාගත යම් කිසි දේශපාලන නායකත්වයක් පසුපස ගමන්කරන්නට පුරුදුවී සිටි සමාජයක් තව දුරටත් ‘එසේ ගමන් නොකරන විට’ ඇති වන තත්වයකි. උදාහරනයක් ලෙස ලංකාවේ ප්‍රභූ නාගරික පංතිය චිරාගතව ගමන්කළේ UNPය පසුපසය. මහින්ද රාජපක්ෂගේ සිංහල මතවාදය නිසා මෙම ප්‍රභූ පංතිය දෙකට පැලී ඇත. අනෙක් අතට සිංහල පිරිසිදු ජාතිකවාදීන් පසුපස ගිය අර්ධ නාගරික වෘත්තිකයන් සමූහයන් පිරිසක් මේ වන විට වික්ෂිප්ත වී ඇත. මෙම තත්වය දේශපාලන නායකත්තවය පිළිබඳ ගැටළුවකි. කෙටියෙන් කිවහොත් ලංකාවේ ධනපති ක්‍රමයට කැමති පංතියත් , දිගින් දිගටම දුගීකරණය වන පංතියත් යන නූතන සමාජයේ ප්‍රධාන පංති දෙකේම නායකත්ව රටාවන්, මේ වන විට බිඳ වැටී ඇති නිසා ‘සමාජය’ තුළ පරිපූර්ණ ලෙස අරාජකත්වයක් මතු වී ඇත. තමන් ‘වීරයන්’යැයි සලකා ගන්නා දේශපාලන අවස්ථාවාදීන්ට කරලිය නිර්මාණය වන්නේ මෙවැනි දේශපාලන අස්ථාවරයක් පදනම් කරගෙනය. අලුත් තත්වය තුළ දැන් ඉතිරිවී ඇති සංවිධානගත පංති සංවිධානයන් මෙහෙය වන්නේ කෙසේද? දේශපාලන මතවාදයන් මෙහෙය වීම අන්තර්ජාලය තුළ පුද්ගලයන් අතට පත්වීම තුළ පෙරහරට අලි දැක්කවීම පහසු නැත. කල හැකි දෙයක් වන්නේ වඩ වඩාත්  “මරාගැනිල්ල” සංකීර්ණ කිරීම පමණි. එක්සත් ජාතික පක්ෂයට ඉතිරි වී ඇත්තේ තම පස මිතුරාවන ශ්‍රී ලංකා කාරයින්ව නැවත උත්පාද කිරීම පමණී. 2020 වන තුරු කාලය ඉතුරු වී ඇත.

Deepthi

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. විශ්ලේෂණය හොඳයි. නමුත් එජාපයට ලෙහෙසි වෙන එකක් නැහැ.

Comments are closed.