ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවල පෙරටුගාමී බල ඇණිය, සමඟි ජන බලවේගය, UNP , ජනතා විමුක්ති පෙරමුණ සහ විජේදාස රාජපක්ෂ ඇතුළුව විශාල පරාසයක ජාතික විරෝධයක් කොළඹ වරාය නගරය සඳහා එල්ල වී ඇත. වාමාංශය සහ ලිබරල්වාදය මෙහි දී ”චීන ප්‍රාග්ධනයේ ජාතිකත්වය” වෙනුවෙන් පාරට බැස ඇත. සූරිච් නගරයේ සුඛෝපභෝගී තට්ටු නිවාසයක සිට ජයම්පති වික්‍රමරත්න (19 සංශෝධනයේ ගෘහ නිර්මාණ ශිල්පියා) ජ්‍යෙෂ්ඨ නීතිවේදියා ද වරාය නගර පණතේ නීති-විරෝධීභාවය අපට පෙන්වා ඇත. ඔහු ‘නීතියට’ පන්තිය අත්හිටුවා ඇත.

                      

                        රටේ ‘දේශපාලන චින්තනය’ අභිබවා යන මට්ටමට රටේ පොදු හෝ මූලික නීතිය ඉදිරියට ගෙනාවේ, මහාචාර්ය. ජි. ඇල්. පීරිස් ය. පාර්ලිමේන්තුව ප්‍රතිපත්ති පිළිබඳ විවාද පැවැත්වෙන පීඨයක් වෙනුවට එය දූෂණ විරෝධී මධ්‍යස්ථානයක් බවට ඌණනය කරන ලද්දේ, රාවය ප්‍රධාන කතුවරයාව සිටි වික්ටර් අයිවන් මහතා ය. විශ්ව-විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨවල පරිහානියට මා වගකිව යුතු යැයි විපුල කරුණාතිලක සහෝදරයා කරන විවේචනයට මම ද එකඟ වෙමි. නම් විසි කිරීමෙන් – Name dropping- පොරවල් වීමේ කලාව ලංකාවට ඉගැන්වූයේ මම ය.

                       ශිරාල්ගේ සිට ජයම්පති වික්‍රමරත්න දක්වා නීතිවේදී තර්කවල හරය දෘෂ්ටිවාදී විචාරය හා සම්බන්ධ ඉතිහාසයට අනුව ගතහොත් ඔවුන් ජේසුස් වහන්සේ තමන්ව කුරුසියට තබා ගැට ගසන රෝම සොල්දාදුවන් සම්බන්ධයෙන් කී ප්‍රකාශය හා සමක කළ හැකි ය. ජේසුස් මෙසේ ප්‍රකාශ කළේ ය. “ඔවුන් දන්නේ නැහැ ඔවුන් කරන්නේ කුමක් ද” කියලා.[Jesus said, “Father, forgive them, for they do not know what they are doing.” ] මේ තත්වය ජවිපෙ ඇතුළුව සිංහල වාමාංශය කරා එන විට, මාක්ස් ජේසුස් වහන්සේගේ ඉහත අදහසට කළ නව අර්ථකථනය අදාළ වෙයි. එනම්, “ඔවුන් දන්නෙ නැහැ ඔවුන් කරන්නේ කුමක් ද කියා. නමුත් ඔවුන් එයම කරමින් සිටිනවා”. [They do not know it, but they are doing it”] මෙම සන්දර්භය අනුර කුමාරට අදාළ කළහොත්, “ඔහු හොඳින්ම දන්නවා ලංකාවේ වැඩ කරන ජනතාවගෙන් බහුතරය දුප්පත් බව. ඒ වුණත්, රට ජාතිය බේරා ගැනීම නම් පහළ මැද පාන්තික දෘෂ්ටියේ කණ්නාඩි දමා ගනිමින් එය නොදන්නවා සේ වැඩ කරයි”.[Cynicism] ධම්මික පෙරේරා අනුරට වඩා යථාර්ථවාදී ය. ඔහු මෙසේ කියයි. “ලංකාවේ පවුල් ලක්ෂ 57ක් ඉන්නවා. ඉන් තිස් ලක්ෂයකට රුපියල් 5000ක් දුන්නා. දුක හිතෙනවා, රටේ මිනිස්සු බහුතරයක් මෙච්චර දුප්පත් කියලා හිතනකොට”. 

                         ‘නීතිය’ රටේ බහුතර ජනයාගේ දැවෙන ප්‍රශ්න වලට ඉහළින් ඔසවා තැබීම මධ්‍යම-පන්තික පුරුද්දකි. මෙය, ජාතිකවාදීන් ‘සදාචාරය’ දේශපාලනයට ඉහළින් ඔසවා තැබීමේ පුරුද්දට සාම්‍ය වෙයි. කළ යුත්තේ, දේශපාලනය මඟින් නීතිය අත්හිටුවා හදිසි තත්වයක් ප්‍රකාශ කිරීමයි.

                          රට-ජාතිය වෙනුවෙන් උසාවි යාමට ඇබ්බැහි වී සිටින ලංකාවේ නීති විශාරදයන්ගේ අසංවේදී සාධකයක් මම මෙහිදී පෙන්වා දීමට කැමැත්තෙමි. ව්‍යවස්ථාපිත නීතිය නොහොත් පදනම් නීතියට පවා මූලාශ්‍රයක් (Source of Law) ඇත. ලෝකයේ මූලික මිනිස් අයිතිවාසිකම් සියල්ලම පාහේ බිහි වී ඇත්තේ, දේශපාලන විප්ලව හතරකිනි. ඒවා නම්, ඉංග්‍රීසි සිවිල් යුද්ධය, ප්‍රංශ විප්ලවය, රුසියන් විප්ලවය සහ දෙවන ලෝක යුද්ධය යි. ලංකාවට මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ අණපනත් එන්නේ, 78 ව්‍යවස්ථාව මඟිනි. ඉහත කී විප්ලවීය දේශපාලන අරගල නිසා හටගත් සමාජ ප්‍රතිසංස්කරණ ලංකාවට ආවේ, අහසිනි. මේ නිසා, ලංකාවේ නීති විශාරදයන් ඇතුළුව මහජනයා දක්වා මෙම නීති වටහා ගන්නේ උත්තරාරෝපිතයන් ලෙසිනි. සරලව කිවහොත්, බහුතර ජාතිකවාදීන්ට අනුව ‘මූලික අයිතිවාසිකම්’ යනු, බටහිර යටත්විජිතවාදයේ ම දිගුවකි. මේ ජාතිකවාදීන්ට අනුව නූතනකරණය පවා යටත්විජිතවාදයකි. ඒ අර්ථයෙන් ගත් විට, ඉන්දියාවෙන් පැමිණි ‘බුද්ධාගම’ පවා යටත්විජිතකරණයකි.

                        රට බෙදීම හෝ ෆෙඩරල්කරණයට විරුද්ධව ෆෙඩරල්කරණයේ යහපත ගැනම විශාල පොතක් පවා නිකුත් කළ ශිරාල් ලක්තිලක මහතා උසාවි යාම විරුද්ධාභාසය[Paradox] නම් සංකල්පයට පවා අභියෝගයකි. කාල් ෂ්මිට්ට අනුව දේශපාලනිකය යනු, දේවධාර්මික සංකල්ප ලෞකිකකරණය කිරීමකි. ශිරාල් රාජ්‍යය දේවත්වයට නඟයි.

                          රටේ ජනගහනයෙන් 50% ට වැඩි පිරිසක් දුප්පතුන් සහ රාජ්‍ය සුභසාධනයෙන් යැපෙන්නේ නම්, එවැනි රටක ඒකීය බව රැඳී ඇත්තේ අහසේ පමණි. මන්ද, මේ අයට පුද්ගලික කුටුම්භ සංරක්ෂණයේ දී අපරාධ, වංචා, දූෂණ වලට සහභාගී වනවා හැර වෙනත් විකල්පයක් නැති බැවිනි. උසස් අධ්‍යාපනයෙන් පිටට එන 30,000ක පමණ පිරිස අතුරින් පුද්ගලික අංශය උරා ගන්නේ, 15,000ට අඩු පිරිසකි. ඉතුරු 15,000 වසර 4කට සැරයක් 50,000ක් ලෙස රාජ්‍යයට උරා ගනු ලබන අතර ඔවුහු නිෂ්පාදනීය නොවන කර්තවයකට ගොනු වෙති. ඔවුන්ගේ ලෝක දැක්ම ඉතාම විනාශකාරී ය. ඔවුන් ජීවත් වන්නේ, සමාජය ගැන තරහෙනි. ඊළඟට, ලක්ෂ 3කට පමණ උසස් අධ්‍යාපනය වසරකට අහිමි වන අතර ඒ අයට ඉතුරු වන්නේ, අවිධිමත් ආර්ථිකය යි. ඔවුහු තම ජීවිකාව උපයා ගැනීමට යාමේ දී නිරන්තරයෙන් නීතිය අභිභවනය කරයි. උදා:- බස් රියදුරු, බස් කොන්දොස්තර, ත්‍රීරෝද රථ රියදුරු, රජයේ සේවකයන්, හමුදාවලින් විශ්‍රාම ලබන්නන්, පහළ පොලිස් නිලධාරීන්… මේ අය නීති විරෝධී ඉපැයිම් සඳහා යොමු වන්නේ, ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ නැති නිසා ය. 

                      නමුත් ලංකාවේ පුරවැසියන්ට හිමි මූලික අයිතිවාසිකම් රාමුව පහත ආකාරයට විශාලනය වී ඇත.

1. සිතීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස සහ ආගමික අදහස.

2. වධ හිංසාවලින් නිදහස.

3. සර්ව සාධාරණත්වයේ නිදහස.

4. අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන්, රඳවා තබා ගැනීමෙන් සහ දඬුවම් කිරීමෙන් නිදහස සහ අතීතයට බලපාන දණ්ඩන නීති පැනවීම තහනම් කිරීම.

5. භාෂණයේ නිදහස.

6. සාමකාමීව රැස්වීමේ නිදහස.

7. සමාගමයේ නිදහස.

8. වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිතිවලට බැඳීමේ නිදහස.

9. ස්වකීය සංස්කෘතිය භුක්ති විඳීමේ, වැඩි දියුණු කිරීමේ සහ ස්වකීය භාෂාව භාවිත කිරීමේ නිදහස.

10. නීත්‍යානුකූල රැකියාවක, වෘත්තියක, කර්මාන්තයක, වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහස.

11. ශ්‍රී ලංකාව තුළ යාම් ඊම් නිදහස, අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස සහ ශ්‍රී ලංකාවට පෙරළා පැමිණීමේ නිදහස.

12. තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අයිතිවාසිකම.

13. නීතීඥ සහය ලබා ගැනීමට ඇති අයිතිය.

         14) රාජ්‍ය අධ්‍යාපනය ලැබීමේ සහ වෙනත් රාජ්‍ය දේපළ පරිහරණයේ නිදහස.

 

”ආර්ථික සාධාරණත්වය” නොමැති සමාජයක ඉහත කිසිදු මූලික  අයිතිවාසිකමක් ‘ආකෘතිමය’ (Formal) වශයෙන් මිස ඒවාට වෙනත් අර්ථයක් නැත. උදාහරණ කිහිපයක් හරහා අපි තත්වය වටහා ගනිමු. ලංකාවේ පුද්ගලික ජනමාධ්‍ය බහුතරයක ‘වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිති වලට බැඳීමේ අයිතිවාසිකමක් නැත. ඒ ගැන මාධ්‍යවේදීන් ඇතුළත්ව සියලු දෙනා නිහඬය. නමුත් මේ මාධ්‍ය තුළම රට-ජාතිය බේරා ගැනීම ගැන ඝෝෂා කරති. ආර්ථික ශක්තියක් නැති කෙනෙකුට සහ රැකියා උත්පාදන සිදු නොවන රටක ඉහත 10 වන අයිතිවාසිකම නැත. සුළු ජාතීන්ට ඉහත 11 වන අයිතිවාසිකම නැත. උගත්කමක් හෝ සිවිල් බලයක් නැත්නම් 12 වන අයිතිවාසිකම අදාළ නැත. මුදල් නොමැති බහුතර ජනයාට නීතිඥ සහාය ලබා ගැනීම සිහිනයකි. බොහෝ දෙනාට ඇප ලබා දීමටවත් ඉඩක් නැත. මුදල් නැති අයට ඉහත 14 වන අයිතිවාසිකම අදාළ නැත. වෛද්‍ය, ඉංජිනේරු උපාධිය සඳහා ඉගෙන ගන්නේ බොහෝ විට මැද පන්තියේ දෙමාපියන්ගේ දරුවන්ය. වෛද්‍ය විද්‍යාලයට එන දරුවන්ගෙන් බහුතරය එන්නේ කොළඹ, මාතර, නුවර, කළුතර, ගම්පහ වැනි දිස්ත්‍රික්කවලිනි. මුලතිව්, මහියංගනය, මඩකලපුව වැනි දිස්ත්‍රික්කවලින් වෛද්‍ය පීඨ වලට එන්නේ අහම්බෙනි.

              මෙය සෞඛ්‍යය සහ විශ්‍රාමවැටුප් හිමිවීමේ සාධාරණත්වයට ද අදාළ ය. ඔබ සතුව මුදල් නැතිනම් ඔබට සමාජ ආරක්ෂණයක් නැත. හෘද රෝගවලින් මිය යෑමට සිදු වන්නේ, සැත්කම් වලට අදාළ ගාස්තු ගෙවීමට දුප්පත් ඔබට නොහැකි බැවිනි. දුප්පත් මිනිසුන්ට විශ්‍රාමික ජීවිතයක් නැත. බැංකු සහ වැදගත් ආයතන බොහෝමයක රාත්‍රී කාලයේ මුර කරන්නේ, පයින් යන විට විසි වෙවී යන වයස 70වේ මහලු මිනිසුන්ය. වයසට ගිය පසු විශ්‍රාම වැටුපක් නැතිනම් ඒ අයට දරුවන්ගේ දරුවන් හදමින් ඔවුන්ට පරායත්ත වී ජීවත් වීමට සිදු වෙයි. දෛනික ජීවිතයේ මේ දුක් කන්දරාවන් සියල්ල දරා ගනිමින් ජීවත් වෙද්දී නිශ්චිත මාසික වැටුප් ලබන මිනිස් රංචුවක් ලංකාව චීනයෙන් ගලවා ගැනීමට කතා කරයි. මේ තක්කඩි රංචුව උත්සාහ කරන්නේ, ඉදිරි කාලයටත් ඔබව මේ දුක් සාගරය තුළම ගිල්ලවා ඔවුන් වරප්‍රසාදිතයන් වීමට ය.

                  අපි තවත් සංයුක්ත උදාහරණයක් ගමු. මේ මෑතක දී විජේදාස රාජපක්ෂගේ පුතා වන රඛිත රාජපක්ෂගේ Land Rover රථයේ (මෙහි වෙළදපොළ වටිනාකම ලක්ෂ 275ක් පමණ වේ.) රාජගිරියේ දී ගැටුණු ‘වැගන් R’ රථයේ වටිනාකම ලක්ෂ 40ක් පමණ ය. මෙම වාහනය අනුන්ගෙන් ඉල්ලා ගත් එකකි. උසාවිය සහ පොලිස් පරීක්ෂණවල දී මේ පාර්ශව දෙක අතර ඇත්තේ, සමානත්වයක් ද? නැතහොත්, වංශාධිපතියෙකු සහ වහලෙකු අතර වෙනස්කම ද?

Rover 2016

                   මා ඉහත සියලු උදාහරණ හරහා ප්‍රකාශ කරන ලද්දේ රටෙහි ජනගහණයෙන් භාගයකට වඩා පිරිසක් දුප්පත් වී සිටියදී ලස්සන පවුල් ලක්ෂ 3ක් පමණ රට-ජාතිය ගැන කතා කරන බවයි. මැදපෙරදිග ගොස් අන්ත දුක් විඳින ගෘහ සේවිකාවන් ලංකාවට ගේන ඩොලර් ටික විජේදාස රාජපක්ෂලා තම මන්ත්‍රී වරප්‍රසාදය හරහා බලපත්‍ර බලය පාවිච්චි කර අසුරු සැණකින් නැවත එංගලන්තයට යවයි. නැතහොත්, මැදපෙරදිග වැඩ කරන ශ්‍රමිකයන් ලංකාවට ගේන සෞදි රියාල්, කටාර් ඩිනාර් වලින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සරච්චන්ද්‍ර පුටුවේ වාඩි වී සිටින ලියනගේ අමරකීර්ති ‘පර්ජෝ’ මෝටර් රථ ලංකාවට ගෙන්වයි. සරච්චන්ද්‍ර කතා කළ ‘ධර්මිෂ්ඨ සමාජය’ තුළ බිහි වී ඇත්තේ, J.R කතා කළ ලෞකික සැපයට කැමති ආචාර්යවරු මිස අල්පේච්ඡ දිවියට රුචි ශාස්ත්‍රාලීය බුද්ධිමතුන් නොවේ. මේ ලංකාවේ හරස්කඩයි. අමරකීර්ති අපට විරුද්ධ අයට Like දැමීම අපට කරන ගෞරවයකි. ජවිපෙට කරන අගෞරවයකි. අපගේ දේශපාලන අරගලය තුළ දී අප පෙනී සිටින්නේ, වැඩ කරන ජනතාවගෙන් 60%ක් පමණ නියෝජනය කරන සමාජ නිර්ධනයන් වෙනුවෙන් මිස රාජ්‍ය බලය හරහා පරපුට්ටන් වී ඇති පන්තීන් නියෝජනය කරන, දේශපාලනය වෘත්තියක් කර ගත් පන්තියේ අය කතා කරන දේශප්‍රේමය වෙනුවෙන් නොවේ.

Peugeot

                        

          පසුගිය දශක දෙකක කාලය තුළ දී බුද්ධිමය වශයෙන් අප ශ්‍රී ලංකාවට එක් කළ ‘සංකල්පීය රාමුව’ තුලින් අතිමහත් පාවාදීම් මැද වුවත් උත්සාහ කරන ලද්දේ පීඩිත ජනයාගේ විමුක්තිය උදෙසා පෙනී සිටීමට ය. සමහරුන් සිතුවේ, අපගේ පරම වෑයම වැදගත් මිනිසුන් වී කොළඹ නගරයේ ජීවත් වීමට පුරුදු වීම බවයි. නැත. අප සමඟ වැඩ කළ සමහර මහත්වරුන් මඩ ගොහොරුවට වැටීමට ඔවුන්ට ඇති අයිතිය ඉල්ලා සිටිද්දී අපි ඒ වරය ඔවුන්ට දුන්නෙමු. ඔවුන්ට රිසි සේ මඩ නෑමේ වරය අපි ඔවුන්ට දුන්නෙමු.

            කුමන අරගලයක් කිරීමට වුවත් ඉදිරි දර්ශනයක් අවශ්‍යය. ඉදිරි දේශපාලන අරගල සහ ඡන්දවල දී අප සටන් කරන්නේ, 60% පීඩිතයන් වෙනුවෙන් මිස 20% වරප්‍රසාදිතයන් වෙනුවෙන් නොවේ. 20% වෙනුවෙන් පෙනී සිටින අයට අපි කියන්නේ, ඔබලා 60% මතට ‘රට-ජාතිය’ වැනි දෘෂ්ටිවාදී ආඛ්‍යාන නො දමන ලෙස ය. ලෙනින් ජර්මන් කුමාරවරුන්ගෙන් මුදල් ලබා ගත්තා සේ අපි ද කුමාරවරුන්ගෙන් මුදල් ලබා ගන්නෙමු. නමුත් අප සටන් කරන්නේ, 60% වෙනුවෙනි. අපගේ න්‍යාය යනු, පන්ති අරගලය මුවහත් කරන විද්‍යාවයි. ‘පන්ති අරගලය’ සංකේතනයට හෝ අර්ථයට ගෙන ආ නොහැකි ය. එසේ කළ විට, අපි පාක්ෂික සහ පාර්ශවීය සටන්කරුවන් වන්නෙමු. අභීත ලෙස අපි මෙසේ කියන්නෙමු. 60% වෙනුවෙන් අපි පාක්ෂික ය ; අපි පටු ය. 20% වෙනුවෙන් වූ ඔබේ සටන අපට වඩා විශාල විය හැකි ය. අපට එය අභියෝගයක් නොවේ. ඔබ අපට වඩා වාමාංශික වූවත් අප කලබල වන්නේ නැත.

Deepthi kumara Gunarathne.

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

අයදුම් කිරීමට මෙතන Click කරන්න

සමබිම පක්ෂය

ඔබේ අදහස කියන්න...