1917 දී ෆ්‍රොයිඩ් සමීපයෙකු මියගිය විට සිදුකරන ශෝක වීම සහ මෙලන්කොලියාව අතර සංසන්දනයක් සිදුකරයි. මේ ප්‍රපංච දෙකම ආත්මය මත එකම අකාරයේ වටපිටාවක් පදනම්ව බලපෑමක් ඇති කරයි. අහමේ (ego) නිශේධනාත්මක බව , ගැලුණු බව සහ බාහිර ලෝකය පිලිබදව ඇති ඇල්මක් නැති බව ශෝක වීමේදී මෙන්ම මෙලන්කොලියාවෙදීද පෙනෙන්නට තිබේ.
කෙසේ වෙතත් ඉහත සමානකම් පසෙක තබා ෆ්‍රොයිඩ් මෙම ප්‍රපංච දෙක අතර ඇති මුලධාර්මික වෙනස්කම් පෙන්වාදෙයි.
ශෝක වීම අහිමි වීමේ දුක නැතිකර ගැනීමේ ක්‍රියාවලියේදී අත්‍යාවශ්‍ය සෞඛ්‍යසම්පන්න දෙයක් ලෙස සලකන අතර ව්‍යාධවේදීමය (Pathological) හෝ වෛද්‍ය මැදිහත්වීමක් අවශ්‍ය දෙයක් ලෙස නොසලකයි. එහෙත් මෙලන්කොලියාව අසාමාන්‍ය ව්‍යාධිවේදීමය ප්‍රපංචයකි. සියදිවි හානි කරගැනීමට ඇති ඉඩකඩ නිසා එය භයානක රෝගයකි.
වඩා සුපරික්ෂාකාරීව බැලූ විට මෙලන්කොලියාවට ශෝක වීමට නැති අමතර ලක්ෂණ කිහිපයක් ඇති බව පෙනීයයි.
    [A]මෙලන්කොලියාවෙදී ආත්මයට හෝ නිරීකෂකයාට පෙනෙන්නට තිබෙන වස්තුවක අහිමි වීමක් (Object loss) නැත. ආත්මයට වස්තුවක අහිමි වීමක් හදුනා ගත හැකි උවත් ඔහුට හෝ ඇයට එම වස්තුවේ කුමක් මගින් කරදරකාරීත්වය ඇති කරන්නේදැයි හදුනාගත නොහැකි වේ.
    [B]මෙලන්කොලියාවෙදී තමන්ට දක්වන සැලකිල්ල (self regard) නැතිවී යැයි.තමන්ට දක්වන සැලකිල්ල වැදගැම්මකට නැති , නින්දිත දෙයක් ලෙස සලකන අතර මෙම සැලකීමට අනුව නැති වී යාම/ අහිමි වීම (loss) යනු ඔහුගේ හෝ ඇයගේ සැබෑ අහම වේ.
    [C]මෙලන්කොලියාවෙදී අහිමි වීම අවින්ඥානික වේ. ශෝක වීමේදී එය සවින්ඥාණික, පෙනෙන්නට තිබෙන දෙයකි.
ශරීරයට සම්බන්ධ ක්ෂේත්‍රය ගත්විටද දක්නට ලැබෙන ලක්ෂණ කිහිපයක් මෙලන්කොලියාවට ඇත.
අහාර ,පෝෂණය ලබා ගැනීමේ අපහසුව.නිදාගැනීමේ අපහසුව.
ශෝකවීම සහ මෙලන්කොලියාව යන ක්‍රියාවලි දෙකේදීම ඇති අපහසුව සහ වේදනාත්මක බව ඇති වන්නේ තවදුරටත් නොපවතින ආදර -වස්තුව (love – object) මත ලුබ්ධිමය මනෝ ශක්‍යතාරෝපනය ( libidinal cathaxes) ප්‍රතිස්ථාපනය වී ඇති නිසාය. ආදර වස්තුවේ තවදුරටත් නොපැවතීම (unavailability) යනු එක්කෝ භෞතිකව අභාවයට යාම හෝ අදර වස්තුවෙන් පැමිණෙන නොසලකා හැරීමකි. මේ නිසා ලුබ්ධියට එහි පැරණි ආදර වස්තුවෙන් වෙන් වීමට සිදුවේ.
නොසලකා හැරීම හෝ අවමන් කිරීම අලුත් තත්වයක්, දැනටමත් සිදුවෙමින් යන දෙයක් හෝ පැරණි සැකමුසු තැනක් අධිකත්වයට පැමිණීමක් විය හැක.
පැරණි ආදරයට ඇල්මක් නැති වීම සහ පැරණි සරාගී හැගීම් වලට ඇල්මක් නැති වීම අභ්‍යන්තරික ගැටුමක් ඇති කරයි. ලුබ්ධිය දැන් ආදර වස්තුවේ පිළිගැනීම නැති වී යාම සහ පැරණි ලුබ්ධිමය හබයාම (libidinal drive) එනම් පැරණි ආදර වස්තුව සමග සම්බන්ධව සිටීමට ඇති අවශ්‍යතාවය අතර ගැටුමකට මුහුණ දේ. ලුබ්ධිමය හබයාම වඩා බලවත් වන විට ආදර වස්තුවට නැවත පැමිණීම සිදුවේ. නමුත් ඒ සැබෑ ආදර වස්තුවට නොව මායාකාරී නිරුපනයකටය.මේ අනුව ආත්මය සයිකෝටික වේ.
තමාගැන ඍනාත්මක සැලකිල්ල හෝ දෝෂාරෝපණය කරන ලෙස ආත්මය පෙනීසිටින විට එයට අභියෝග කිරීම ඉතා පහසුය. එය පැහැදිලි කරදීම නිරීක්ෂකයෙකුට කල හැකිය. නමුත් මෙම ක්‍රියාදාමය සායනික, චිකිත්සක හෝ පර්යේෂණ දෘෂ්ටිකෝණයට අනුව තේරුමක් නැති, ඵලයක් නැති දෙයකි.
ෆ්‍රොයිඩ් ට අනුව විද්‍යාත්මක , චිකිත්සනාත්මක සහ සායනික වශයෙන් වැදගත් වන්නේ රෝගියා ඔහුටම හෝ ඇයටම දෝෂාරෝපණය කරගන්නා ආත්මීය සහ මනෝවිද්‍යාත්මක ප්‍රකාශ තේරුම්ගැනීමයි.
ෆ්‍රොයිඩ් තවත් විසංවාදයක් පෙන්වාදෙයි.
ආත්මය ඔහුගේ අහම නින්දාසහගත ,සවුත්තු ලෙස ඉදිරිපත් කලද එම ආත්මයට එමගින් අනෙක් අය ඉදිරියේ ලැජ්ජාවක් , දුකක් ඇති නොවේ. ආත්මය පෙනීසිටින එම අකාරය යනු ආත්මය ප්‍රතික්‍රියා දක්වන ආකාරයයි. තවද ෆ්‍රොයිඩ් මෙලන්කොලික රෝගියෙකුගේ ඉහත ලක්ෂණ වලට විරුද්ධ ගුණාංගයක් ද දකී. රෝගියාට ඕනෑවට වඩා අනෙක් අය සමග සන්නිවෙදනය කිරීමට අවශ්‍ය වේ. ඔහු තමාව අනාවරණය කිරීමට අවස්ථාවන් සොයයි.
මෙලන්කොලික යාන්ත්‍රනය වටහා ගැනීමේදී මෙම විසංවාදය වැදගත් බව ෆ්‍රොයිඩ් පෙන්වාදෙයි.
අහමේ උත්කෘෂ්ටය (Ego Ideal)
මෙලන්කොලිකයෙකුට ඇති ස්වයං දෝෂාරෝපණය සහ ස්වයං විවේචනය ෆ්‍රොයිඩ් පැහැදිලි කරයි.
දෝෂාරෝපණය කරන්නා බාහිර ඒජන්තයෙකු බව පෙනේ. අහමේ මෙම ස්වාධීන කොටස මගින් එහි ඉතුරු කොටසද පාලනය කරයි. අහම දෙකට වෙන් වී එහි එක් කොටසක් අනෙක් කොටස විවේචනය කරන අතර එම කොටස අමානුෂික බව පෙන්වයි. එම විරුද්ධ කොටස නරක අහමකි.
මෙලෙස වෙන් වන ස්වාධීන ඒජන්තයා අහමේ උත්කෘෂ්ටය (Ego Ideal) ලෙස හදුන්වයි. එය සෑමවිටම අහම දෙස බලා සිටින අතර එහි තීරණ වාරණය කරයි. දෝෂාරෝපණය කරන ක්‍රියාවලිය හෘදසාක්ෂිය ලෙස සලකයි.
මෙම තත්වය මතිභ්‍රමයට / පීඩනෝඋම්මාදයට (Paranoia) සමාන වේ. මතිභ්‍රමයේදී පුද්ගලයාට කලයුතු දේ තව කෙනෙකු කියනවා මෙන් ඇසේ. අහම බෙදෙන අතර එක කොටසක් තව කොටසකට විරුද්ධව ක්‍රියාකරයි.
මෙලන්කොලියාවෙදී ස්වයංදෝෂාරෝපණය සහ ලැජ්ජාවක් නැතිකම යන විරුද්ධාභාෂය ගැන ෆ්‍රොයිඩ් නිරීක්ෂණයක් ඉදිරිපත් කරයි. එය පහත පරිදි වේ.
ස්වයං දෝෂාරෝපණය ගැන වඩා සුපරික්ෂාකාරීව බලන විට පෙනීයන්නේ ආත්මය ඇත්තටම කතා කරන්නේ තමාගැන නොවන බවයි. ඇත්තටම ඔහු/ ඇය කතාකරන්නේ ඔහුගේම/ ඇයගේ ම වටපිටාවේ සිටින වෙනත් පුද්ගලයෙකු ගැනය. මෙම කෙනා ඔහු කලක් ආදරය කල කෙනෙකු, ඔහු ආදරය කල යුතුව තිබු කෙනෙකු , ඔහු ආදරය කළා යැයි උපකල්පනය කරන ලද කෙනෙකු විය හැක.
දැන් ශෝක වීම ක්‍රියාකාරී වන්නේ ලුබ්ධිමය වස්තුව අහිමි වීම නිසාය. නමුත් මෙලන්කොලියාවෙදී අහිමි වීම ඇතිවන්නේ තමන් ආදරය කරන පුද්ගලයාගෙන් තමාව ප්‍රතික්ෂේප වීම නිසාය. පුද්ගලයාව අහිමි වීමෙන් ලුබ්ධියට එල්ලී සිටීමට ස්ථානයක් නැති වී යයි.සෞඛ්‍ය සම්පන්න ක්‍රියාවලියකදී පැරණි වස්තුව ඉතා කෙටි කාලයකින් නව වස්තුවක් මගින් විස්ථාපනය වී ශෝකවීම නවතී.
මෙලන්කොලියාවෙදී ලුබ්ධිමය වස්තුව/ පුද්ගලයා අභ්‍යන්තරික වන අතර අහම සමග හදුනා ගනී. එම වස්තුව/ පුද්ගලයා ගැන ඇති සියලු සැකමුසු භාවයන් අහම වෙත එල්ල වේ. ඒ අනුව අහම ද්වේශසහගත , විවේචනාත්මක වස්තුවක් බවට පත් වන අතර අහමට රෝගියා සලකන්නෙත් ඒ අකාරයටය.
මෙමගින් අපට නිගමය කල හැක්කේ ආත්මය බාහිර වස්තුවකට (ආදර වස්තුව) ද්වේශ කරන විට එය බාහිර පුද්ගලයාගේ සිට අහමට ගොස් ඇති බවයි. මෙම ක්‍රියාවලිය සිදුවන්නේ ආදර වස්තුව හදුනාගැනීමේදීය. ආදර වස්තුව අහම අතරමැදට පැමිණේ. ඒ අනුව අහමේ උත්කෘෂ්ටය අහම බාහිර කෙනෙක් ලෙස සලකා දෝෂාරෝපණය කරයි. අහම බාහිර වස්තුවක් ලෙස සලකයි. මෙය අවසානයේ සියදිවි හානි කරගැනීමකට මග පෙන්වයි.

ඔබේ අදහස කියන්න...