අද පළ වන්නේ මහේෂ් හපුගොඩ සමග පවත්වන ‘ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනයක්’ සාකච්ඡා මාලාවේ නවවන කොටස යි.

 අපි දිගින් දිගට ම සාකච්ඡා කරන ජිජැක් ගේ මතවාද ඔහු කරා පැමිණෙන්නේ කෙසේ ද? ඔහු ඒ සඳහා අනුගමනය කරන්නේ සහ අභාෂය ලබාගන්නේ කාගෙන්ද? කෙසේද? ඒ කුමකින්ද?

ජිජැක් දාර්ශනික අභාෂය ලබාගන්නා ප්‍රධාන ධාරා තුනක් තිබෙනවා. ජිජැක්ගෙ සමස්ත දර්ශනය ම පදනම් වෙන්නෙ මේ කුලුනු (Pillars) තුන මත කිව්වොත් නිවැරැදියි.

  1. හෙගලියානු දයලෙක්තිකය
  2. මාක්ස් කළ දෘශ්ටිවාදය පිළිබඳ විචාරය
  3. ලකානියානු මනෝ විශ්ලේෂණය (ලුබ්ධි ආර්ථිකය විවේචනය කිරීම)

ලෙනින් සඳහන් කරන ජර්මානු දර්ශනය පිළිබඳ හෙගල් ගේ කතිකාව, ඉංග්‍රීසි දේශපාලනය අදාළ කරගත් ඩේවිඩ් රිකාඩෝ ගේ දර්ශනය සහ ප්‍රංශ දේශපාලනය තුළ තිබූ බුර්ෂුවා විරෝධී දේශපාලන ශක්‍යතාව එක්තරා ආකාරයට මේ කරුණු තුනට සමාන කරන්න පුළුවන්. දැන් අපි ඒ කරුණු එකින් එක වෙන වෙන ම සාකච්ඡා කරමු.

හෙගල් ගේ දයලෙක්තික දර්ශනය ජිජැක්ට බලපාන්නේ කෙසේ ද යන්න පිළිබඳ අපි පළමුව සාකච්ඡා කරමු.

මෙහි දී පැනනැගෙන ප්‍රධාන අදහසක් වෙන්නේ ‘අපගේ පරස්පරතාව යනු සෑම අනන්‍යතාවක ම අභ්‍යන්තර තත්ත්වයකි’ යන අදහස. ඕනෑම අනන්‍යතාවක අභ්‍යන්තර තත්ත්වය වන්නේ පරස්පරතාව යි කියන දේ යන්නයි මින් අදහස් කෙරෙන්නේ. තව දුරටත් පැහැදිලි කරනවා නම්, ‘කිසියම් අදහසක් පැවතීමට නම් එහි ප්‍රතිවිරෝධතාව අතිශයින් ම අත්‍යවශ්‍යය’ යන්නයි. යම් අදහසක හෝ ප්‍රපංචයක පැවැත්ම හඳුනා ගැනීමට හැකිවන්නේ ඒ ප්‍රතිවිරෝධතාව හරහායි. අපි මෙය සහ සම්බන්ධ ප්‍රතිපක්ෂයක් ලෙස ගෙන බලමු.

‘කළු – සුදු’ යන සංකල්පය අරගෙන බලමු. එහි දී කළු හඳුනාගන්න නම් සුදු තිබිය යුතුයි. සුදු හඳුනා ගන්න නම් කළු තිබිය යුතුයි. ඒ වගේ ම දහවල හඳුනාගන්න නම් රාත්‍රිය පැවතිය යුතුයි. මේක ඉතාමත් සරල කාරණයක්. මෙහි දී ජිජැක් ඉදිරිපත් කරන අපූරු උදාහරණයක් තිබෙනවා.

‘අනෙක් චිත්‍රපට හොඳ චිත්‍රපට ලෙස හඳුනාගත හැකිවන්නේ ටයිටැනික් නමැති චිත්‍රපටය නරක චිත්‍රපටයක් විදියට හඳුනාගන්නා මොහොතෙදි පමණයි’ එනම් ‘සියලු චිත්‍රපට හොඳ චිත්‍රපට වෙයි. ටයිටැනික් යනු නරක චිත්‍රපටයකි. එම නිසා සමහර චිත්‍රපට හොඳ චිත්‍රපට වේ’ යනුවෙන් නිගමනයට පැමිණිය යුතු වෙනවා. ජිජැක් ඉදිරිපත් කරන නිදසුන මෙය යි. ටයිටැනික් නරක චිත්‍රපටයක් යනුවෙන් මෙයින් අදහස් කරන්නේ නැහැ. නමුත් යම් සුවිශේෂී වූ නරක කාරණයක් මතයි අනිකේ අනන්‍යතාව තීරණය වන්නේ. නරක වස්තුවල පැවැත්ම හොඳ වස්තු සොයාගැනීම සඳහා සහ එහි පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වෙනවා. සත්‍යය යනු පරස්පරතාවකි ය යන්න හෙගල් ගේ මේ අදහස තව දුරටත් ඉදිරියට රැගෙන යන විට දැනෙනවා. එනම්, ‘සත්‍යය යන්නෙහි අර්ථය පරස්පරතාව යි’ යන්න.  යමක සත්‍යය සොයාගත හැකිවන්නේ පරස්පරතාව තුළින්. සත්‍යය පවතින්නේ ද ඉහත සඳහන් කළ පරස්පරතාව තුළ යි. එය මේ විදියට වටහා ගන්නත් පුළුවන්. ‘සත්‍යය යනු වෙනස නොවේ.’

ඩෙරීඩා  හෝ ඊට පසු පැමිණි ඕනැම පශ්චාත් නූතනවාදී දාර්ශනිකයෙක් ප්‍රකාශ කරන්නේ හැමෝ ම උත්සාහ කරන්නේ ‘වෙනස’ ගොඩනැගීම සඳහා බවයි. එනම්, ‘අරයට වඩා අපි වෙනස්, අර දේශපාලන පක්ෂයට වඩා අපි වෙනස්, අර දේශපාලඥයාට වඩා අපි වෙනස්.’ මේ මොහොතේ මෙහි ප්‍රතිමූර්තිය අපිට ශ්‍රි ලංකාවේ දී දැකගන්න පුළුවන්.

‘මහින්දට වඩා මෛත්‍රී වෙනස්’ මොවුන් ගේ සටන් පාඨය කුමක්ද? ‘වෙනස ඇති කරමු’ මෙය ඔබාමාට ගලපන්න. ‘Change’ ඔබාමා ඉදිරිපත් කළ ‘Yes we can’ වගේ ම තවත් දෙයක් වෙන්නෙ ‘Change’ මේ සඳහා කදිම නිදසුනක්. නමුත් සත්‍යය වනාහි වෙනස නොවේ. එහෙම නම් අපි සම්භාව්‍යය මාක්ස්වාදයට සහ සම්භාව්‍යය හෙගලියානු දර්ශනය හදාරන විට වැටහෙනවා පශ්චාත් නූතනවාදීන් ගොඩනැගීමට උත්සාහ ගන්නා වෙනස එක්තරා ආකාරයකට අපි නොමග යවන සුලු දෙයක් බව. ඇත්ත වශයෙන් ම අවශ්‍ය වෙන්නෙ ඔබට වඩා මා වෙනස් වීම නොවෙයි. මගේ අනන්‍යතාව තීරණය වන්නේ  ඔබ මගේ සම්පූර්ණ ප්‍රතිවිරෝධතාවට පත්වෙනවාද යන කාරණය මතින්. මෙය තරමක් අසීරු අදහසක්. නමුත් එය අත්‍යවශ්‍යය යි. එනම්, ‘ඔබගේ අනන්‍යතාව සොයාගත හැකි වන්නේ ඔබගේ හොඳම විචාරකයා සහ විවේචකයා තුළින් පමණි’ යන්න ය.

මෛත්‍රී පාල ජනාධිපතිතුමා ප්‍රමුඛ යහපාලන පිරිස මේ වන විට එක්තරා ස්ථානයක සිරවීමත් මෙහි ම ප්‍රතිඵලයක් කියා මා යෝජනා කළොත්?

 සතයය වශයෙන් ම: මෙය වඩාත් හොඳින් වටහාගන්න පුළුවන් ආසන්නතම උදාහරණය එය යි. ඔවුන් ප්‍රතික්ෂේප කරපු දෙය ම නැවත ඔවුන්ට හමු වෙමින් පවතිනවා; ළං කර ගනිමින් සිටිනවා. එය අත්හැරිය නොහැකි දෙයක් බවට පත්වෙමින් තිබෙනවා.

ජිජැක් හෙගල් පිළිබඳ මෙබඳු අදහසක් ද ඉදිරිපත් කරනවා. මෙය ඉදිරිපත් කරන්නේ හෙගලියානු දර්ශනය හරහා.

ස්ත්‍රීවාදයට බරපතලම විචාරය රැගෙන එන ඔටෝ wiනිගල් දාර්ශනිකයා ඔහු ගේ ‘Sex And Character’ නමැති පොතේ  සදහන් කරන්නේ කුමක් ද? ‘ස්ත්‍රීවාදින්ට තමන්ගේ අනන්‍යතාව සොයාගැනීමට හැකිවන්නේ ඔවුන් වෙත ඉදිරිපත් කරන මේ තදබල විවේචනය හරහා ම යි’ යන්න ඔහුගේ අදහස යි. එසේ නම් මෙය නරක දෙයක් ද? පැහැදිලිව ම නරක දෙයක් නොවෙයි; අත්‍යවශය දෙයක්. එනම් ප්‍රතිවිරෝධ විචාරය යනු අත්‍යවශ්‍යය දෙයක්. අපේ විචාරකයො ඉදිරිපත් කරන්නෙ ‘වෙනස් විචාර.’ ඔයාට වැඩිය වෙනස් විචාරයක් මම ඉදිරිපත් කරනවා. අපි දෙන්නගෙම විචාරයට වඩා වෙනස් විචාරයක් වෙනත් කෙනෙක් ඉදිරිපත් කරනවා. එක් වෙබ් අඩවිකට වඩා වෙනත් වෙබ් අඩවියක් වෙනස්. ඒ වෙබ් අඩවියට වඩා තවත් වෙබ් අඩවියක් වෙනස්. නමුත් අවශ්‍යය වන්නේ එය නොවයි. එහි ප්‍රතිවිරුද්ධ විරෝධතාව කුමක්ද යන්න හඳුනාගැනීම යි.

නායකයා ප්‍රශ්න කිරීමේ දි සහ විවේචනය කිරීමේ දී  බලපාන්නත් මෙවැනි හේතුවක් නේද?

පැහැදිලිව ම: ඔබ දන්නවාද දීප්ති විචාරය කරන්න ගිය බොහෝ දෙනකුට වැරදුණ තැනත් මෙතන. ඔවුන් හැම දෙනා ම උත්සාහ කළේ දීප්තිගෙන් වෙනස් වීමට. නමුත් ප්‍රතිවිරෝධය ඒ විදියට ගොඩනැගෙන්නෙ නැහැ සහ ගොඩනගන්නත් බැහැ. දීප්ති තේරුම් ගන්න අවශ්‍යය නම් එය කළ හැකිව තිබුණේ ඔහු අනුගනමය කළ දෙශපාලන සාරය ප්‍රතිවිරෝධයට ලක්කිරීමෙන් පමණයි. නමුත් දීප්ති විවේචනය කළ සහ විචාරය කළ අයට මගහැරෙන්නෙත් එය ම යි.

මහින්ද රාජපක්ෂ විචාරය කරපු අයට වුණෙත් ඒ දෙය ම යි. මහින්ද විචාරය කළ හැමෝ ම උත්සාහ කළේ මහින්දට ඉදිරිපත් කළ, සහ පවත්වාගෙන යන දෙයට වඩා වෙනස් දෙයක් ඉදිරිපත් කරන්න. නමුත් ඔවුන් ඔවුන් අද මුහුණ දි තිබෙන ගැටලුවත් එයයි. එය ගැටලුවකටත් වඩා මංමුළාවීමක්; උභතෝකෝටිකයක්! අනෙකාට මහින්දගෙන් වෙනස් වෙන්න බැහැ. අවශ්‍යය වෙන්නෙත් වෙනස් වීම නොවෙයි.

මේ වෙනස්වීම කරන්න ගිහින් ඇණගත්ත තවත් කොළඹ ‘දේශපාලනඥයන් කිහිපදෙනෙක් උදාහරණයට අරගෙන බලමු.

උපුල් ශාන්ත සන්නස්ගල නැමැති මහත්මයා: උපුල් වෙනස් පෝස්ටර් කලාවක් ගේනවා. වෙනස් සටන් පාඨ ගේනවා. ඔබගේ පුවත්පතට වෙනස් අතිරේකයක් සපයනවා. ඒ හැම අවස්ථාවක ම ඔහු වෙනසක් පෙන්නවනවා. නමුත් ඒ වෙනසට මොකද වුණේ? ඒ වෙනස කොළඹදි අතුරුදන් වුණා. මෙතනදි මම ඉදිරිපත් කරන්නෙ ඔහුගේ පරාජය හොඳයි හෝ නරකයි කියන කාරණය නොවෙයි. ඒ වගේ ම ඔහු දිනුවා නම් හොඳයි හෝ නරකයි කියන කාරණයත් නොවෙයි. වෙනසේ අවප්‍රමාණය; ඔහු නිර්මාණය කරන්න, සංස්ථාපනය කරන්න උත්සාහ කළ වෙනස තුළින් ඔහු ම විනාශයට පත්වුණා ය යන කාරණය යි.

ඔහු එදා කළ යුතුව තිබුණේ කුමක් කියල ද ඔබ අදහස් කරන්නේ?

ඔහු කළ යුතුව තිබුණේ දීප්ති කරපු අමාරු වැඩේ. දීප්ති තව දුරටත් වලංගු ඇයි? ඔහු තවමත් පවතින්නේ ඔහු වෙනස් නිසා නොවෙයි. ඔහු මේ ක්‍රමයට, අපේ දෘෂ්ටිවාදයට, අපි ලෝකය තේරුම් ගත් විදියට සම්පූර්ණයෙන් වෙනස් ආකෘතියක් ගොඩනැගීමට උත්සාහ කළ නිසා. අපි දීප්ති තේරුම්ගත යුත්තේ මෙන්න මේ කරුණු මත පදනම්ව යි.

හෙගලියානු දර්ශනය සහ හෙගලියානු අභාෂය  ජිජැක්ට බලපෑ අන්දම පිළිබඳ කෙරෙන සාකච්ඡාවේ පරමාර්ථය විග්‍රහ කිරීමේ එක් අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නෙ මේ ඉහත සාකච්ඡා කළ ආකාරයට යි.

ඔහුට සහ ඔහුගේ දර්ශනයට මාක්ස් බලපාන්නේ කෙසේ ද යන්න අපි ලබන ලිපියෙන් සාකච්ඡා කරමු.

|මතු සම්බන්ධයි
සාකච්ඡා සටහන – ජයසිරි අලවත්ත

සත්හඬ ලිපිය මෙතනින් බලන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 01 මෙතනින් කියවන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 02  මෙතනින් කියවන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 03 මෙතනින් කියවන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 04 මෙතනින් කියවන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 05 මෙතනින් කියවන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 06 මෙතනින් කියවන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 07 මෙතනින් කියවන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 08 මෙතනින් කියවන්න

 

 

ඔබේ අදහස කියන්න...