පන්ති දේශපාලනයේ මදය දියවී යාමත් සමඟම සමාජය දේශපාලනිකව සංවිධානය වීමේ දේශපාලනික මානය වන්නේ, ජනප්‍රියවාදයයි (Populism). ගෝලීයකරණ යථාර්ථය තුළ, ලංකාවේ ඕනෑම දේශපාලන සංවිධානයකට (රාජ්‍ය නොවන සංවිධානයකට පවා- මහේෂ් සේනානායක මගින් සර්වෝදය ව්‍යාපාරය පසුගිය ජනාධිපතිවරණයේදී කළ අත්හදා බැලීම සලකා බලන්න) යම් ප්‍රතිශතයක ජනප්‍රියවාදී අඩංගුවක් නොමැතිව පැවතීමට නොහැකිය. මතක තබා ගත යුතු කාරණය වන්නේ, මෙම ප්‍රතිශතය කුමන මට්ටමක පැවතිය යුතුද යන්නයි. උදාහරණයක් ලෙස, එක්සත් ජාතික පක්ෂයට ජනප්‍රියවාදී වැඩසටහනක් නොමැති අතර ඒ සඳහා න්‍යායික එළැඹුමක් ද නැති නිසා ඔවුන්ද අන්දමන්ද වී ඇත. අනෙක් අතට, ඉදිරි මහ මැතිවරණයේදී , රනිල්ගේ ද ආශිර්වාදය සහිතව ජනතා විමුක්ති පෙරමුණ වැඩි ආසන ප්‍රමාණයක් ලබා ගැනීමට වෙර දරනු ඇත. ගැටලුව වන්නේ, ඔවුන්ගේ ජනප්‍රියවාදයේ ඇති ‘ව්‍යාහාරය’ ගැන ඇති අධිනිශ්චය යි. ඔවුන්ගේ දැනුමට අනුව, ජනප්‍රියවාදය භාවිතා කිරීමේදී , ‘න්‍යාය’ අවශ්‍ය නැති අතර අවශ්‍ය වන්නේ, උපයෝගීතාවාදී සහ රැවටිලිකාරී භාෂාව පමණි. එහි ප්‍රතිඵලය අපට මෑතදී හමුවීමට නියමිතය. 

                  එසේ නම් ගැටලුව වන්නේ, ‘ජනප්‍රියවාදය’ සඳහා සංයුක්ත න්‍යායක් ගොඩනගා ගැනීමයි. ඒ සඳහා අවශ්‍ය මූලික පසුබිම අපි කලින් සාකච්ඡා කළෙමු.

                       ජනප්‍රියවාදී රැල්ලක දී නායකයා විසින් ලබාදෙන ‘නම’, ජනතාව විසින් භාරගන්නා කොන්දේසි අපි කලින් සාකච්ඡා කළෙමු. ‘සැබෑ ජනතාව’ සහ නායකයා ලබාදෙන ‘නම’ අතර පවතින පරතරය තුළ ජනතාවගේ නිදහස සහ අව්‍යාජත්වය රැඳී පවතින අතර නායකයාට හෙජමොනික වීමට හැකිය. හෙජමොනිකයා යනු , බුද්ධිමතෙක් නොව රැවටිලිකාරයෙකි. ජනප්‍රියවාදී ව්‍යුහගත කිරීම්වලදී සහ ජාලගත කිරීම්වලදී රැවටීම දේශපාලන සාධකයක් ලෙස ක්‍රියාත්මක වෙයි.

                 ජනප්‍රියවාදය පිළිබඳ න්‍යායක් අපට අවශ්‍ය වන්නේ,සිදුවෙමින් යන ක්‍රියාවලිය ආර්ථික මට්ටමට ලඝු නොකර එය දේශපාලනමය ක්ෂේත්‍රයේහි පිහිටුවීමටයි. ශ්‍රී ලංකාවේ දැනට තහවුරු වී ඇති ධනේශ්වර සබඳතා තුළ විශාල ගැමි ජන ස්ථරයක් සහ විශාල සුළු-දේපොල හිමියන් පිරිසක් වර්ධනය වී ඇත. සිංහල බෞද්ධ ජනප්‍රියවාදී ජාලගත කිරීම් වල නාභිය වන්නේ, මෙම පන්ති ස්ථරයන්ය. අධ්‍යාපනය හරහා ග්‍රාමීය සුළු ධනේශ්වරයෙන් මතුව ආ චන්න ජයසුමන වැනි සමාජයේ ඉහළට නැගුනු ඇතැම් කොටස්වල මතයන් න්‍යායිකව විමසා බැලීම ද වැදගත්ය. ජනප්‍රියවාදය න්‍යායගත කිරීම හරහා අපට ලැබෙන ඵලය වන්නේ, පාලකයාගේ අවශ්‍යතා සහ ඔහු නියෝජනය කරනවා යැයි කියනු ලබන ඇතැම් සමාජ කොටස්වල අවශ්‍යතා අතර වෙනසයි. 56 සිදු වූ ‘බණ්ඩාරනායකවාදය’ නම් දේශපාලන සංස්ථාපිතය තුළ බණ්ඩාරනායක නියෝජනය කළේ , සෝමාරාම සහ බුද්ධරක්ඛිතගේ අවශ්‍යතා නම්, ඔවුන් ඔහු ඝාතනය කළේ ඇයි?

            පන්ති දේශපාලනයට වෙනස්ව, ජනප්‍රියවාදී දේශපාලන ව්‍යාපාරවල ගොනු වීම් රැඩිකල් ලෙස වෙනත් තර්කයක් අනුගමනය කරයි. පුද්ගලික සබඳතාවලදී දුෂ්ටයකු වන විජය කුමාරණතුංග සමාජ අවකාශය තුළ ස්ථාපිත වී ඇත්තේ, ‘හොඳ මනුස්සයෙකු’ ලෙසයි. ජනප්‍රියවාදය මගින් ප්‍රකාශිත වන්නේ, දේශපාලනය ‘සංඥාර්ථවේදයක්’ (Semiotics) බවට පරිවර්තනය වීමකි. එහිදී, මුල් පිටපත යනුවෙන් සාරාත්මක දෙයක් නැත. X දේශපාලනය තුළ 96-2004 දක්වා සැබැවින්ම දර දිය ඇදි කිසිවකු , 2004 ට පසුව ජනප්‍රිය වූයේ නැත. එසේ වූයේ, X  දේශපාලනය 2004 ට පසුව නිර්වචනය වූයේ මාධ්‍ය අතපෙවීම් හරහා නිසාය. ජනප්‍රිය වහරින් කියන්නේ නම්, 2004 ට පෙර ළිඳ කැපූ අය අහකට විසි වී ගොස්, ළිඳෙන් නාන්නට පටන් ගත්තේ වෙනත් පිරිසකි. පන්ති දේශපාලනය තුළ තහවුරු වූ මනුෂ්‍යත්වය, ජනප්‍රියවාදී මාධ්‍ය දේශපාලනය තුළ වේශ නිරූපණ යන්ත්‍ර බවට පොළා පනියි.

              ජනප්‍රියවාදී දේශපාලනය මගින්, දේශපාලන සංස්කෘතිය අලුත් ආකාරයකට සංස්කරණය කරනු ලැබේ. එහි මූලික බලකණු තුනකි. එකක් , දැනට පවතින අධිපති දේශපාලන සංස්ථාපිතය යි.   නැතිනම් මහා සම්මතය යි. ( The Establishment). සමකාලීන සන්දර්භයට අනුව කිවහොත්, දැන් අපේ මහා සම්මතය යනු, මහළු පිරිමින් තිදෙනාය. එනම්,රනිල්,මහින්ද,මෛත්‍රී යන තිදෙනාය.ඔවුන් තිදෙනා එකිනෙකාව ව්‍යවස්ථාපිත රාමුව තුළ ආරක්ෂා කර ගනිමින් සිටිති. ජනප්‍රියවාදී අනුකලනයේ නායකයා වන ගෝඨාභය ‘ජනතාව’ නොහොත් ඉහත මහා සම්මතයෙන් පිටස්තර කර ඇත. ඉහත ජනතාවගේ සතුරා වන්නේ දෙමළා, තම්බියා හෝ සජිත් ප්‍රේමදාස ය. (මහාසම්මත ය[1], එයට එරෙහි ජනතාව[2], නායකයා[3]).

                  ජනප්‍රියවාදය තුළ ‘ජනතාව සහ ඔවුන්ගේ සතුරා’ අතර සහ ‘මහා සම්මතය සහ එහි සතුරා අතර’ ආතතිය තල දෙකක ක්‍රියාත්මක වෙයි. සම්භාව්‍ය ජනප්‍රියවාදය තුළ ජනතාව සහ මහා සම්මතය අතර පසමිතුරුභාවයක් පවතී. නමුත්, මෙම සම්භාව්‍යතාවය අපගමනය වෙමින් බණ්ඩාරනායකවාදය,චැතර්වාදය තුළදී සතුරාව වටහා ගැනීම පරිකල්පනයට පමණක් සීමා වෙයි. බණ්ඩාරනායකගේ හිසට සතුරා වෙඩි තබන තුරු ඔහු එය නොදැන සිටියේ ඒ නිසාය. ජනප්‍රියවාදය සෑමවිටම, සාමාන්‍ය මිනිසාගේ පැත්ත ගන්නා නිසා පන්ති සතුරාට වඩා ජනප්‍රියවාදයේ සතුරා ප්‍රහේලිකාවකි. පන්ති දේශපාලනයේදී ‘පන්ති සතුරා’ සූත්‍රගත වන්නේ, වාස්තවිකත්වය තුළ සංකේතීය තර්ක ඔස්සේ වුවත් ජනප්‍රියවාදයේදී සතුරා සූත්‍රගත වන්නේ, අනෙකාගේ ස්වරූපයෙන් පරිකල්පනීය ආකාරයටයි. ඒ අනුව, සතුරා වෛරසයක්, අසූචි බෙට්ටක් විය හැකිය. උදාහරණයක් ලෙස, තැචර්වාදය තුළ සතුරා වූයේ, සුභසාධන රාජ්‍යයේ වරප්‍රසාද භුක්ති විඳින නිකමාය (Dole-cheat). හිට්ලර්වාදයේ සතුරා වූයේ යුදෙව්වාය. මෙම සතුරන් ජනප්‍රියවාදී යුතෝපියාවන් පරිපූර්ණ වීමට ඉඩ නොදෙන බාහිර සතුරා ය. X  කණ්ඩායමේ ( නව සමාජ ව්‍යාපාරයක් ලෙස) සතුරන්, බණ්ඩාර නම් පුද්ගලයකු නිර්වචනය කළේ මෙසේය.

              “පැරණි X  කණ්ඩායම තමන්ගේ සතුරන් ලෙස හඳුනා ගත්තේ පළමුව ගැමියන්, දෙවනුව ස්ත්‍රීන් සහ තෙවනුව මානසික රෝගීන් ලෙසිනි”. 

                ඉහත පුද්ගලයාට අනුව, නාසිවාදය, තැචර්වාදය, x කණ්ඩායම වැනි සියලු දෙනාට පොදු තර්කනයක් සතුරා සම්බන්ධයෙන් ඇත.මෙම අති සරල කිරීම න්‍යායික වශයෙන් ජය ගන්නේ කෙසේද? සමකාලීන ඇමරිකාව තුළ ‘සතුරා’ ලෙස හඳුනාගන්නේ, නීති විරෝධී සංක්‍රමණිකයාය. ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට ආවේ, ස්වදේශික වැඩකරන පන්තිය මෙම සංක්‍රමණිකයන්ට එරෙහිව පෙළ ගැස්වීමෙනි. ගැටලුව වන්නේ, සියලුම ජනප්‍රියවාදයන්ට ‘සතුරා’ සම්බන්ධයෙන් ඇත්තේ පොදු තර්කනයක් ද (ෆැන්ටසිය) යන්නයි. ඒ අනුව, අපට ජනප්‍රියවාදයන් සම්බන්ධයෙන් සුසමාදර්ශී මොහොතක් උදා වෙයි.

             තැචර්වාදයට හිමි ආවේණික සතුරා වූයේ, නිකන් කා බී සිටින නිකමා වුවත් තැචර් විසින් ඔවුන්ව සමාජයට බාහිරින් තැබුවේ හෝ ඝාතනය කළේ නැත. x කණ්ඩායමේ නායකත්වයට ගැමියන් ගැන, හිස්ටරික ස්ත්‍රීන් ගැන, විපරිතයන් ගැන විචාරයක් තිබූ මුත්, ඔහු ඔවුන්ව ඝාතනය කරන්නට ගියේ නැත. මේ සියලු දෙනාව ඔහු , බණ්ඩාර නම් ගැමියා ද ඇතුළත්ව සංවිධානය තුළම රඳවා ගත්තේය. [ජවිපෙ 89යේදී , තම සතුරන් ඝාතනය කළේය (සිවිල් ජනයා).]ඒ නිසා, එය බණ්ඩාරගේම ෆැන්ටසියක් පක්ෂ නායකයාට ආදේශ කිරීමකි. එබැවින්, ජනප්‍රියවාදී සමස්තකරණයන් සිදුවන්නේ, අප සිතන තරම් සරල ආකාරයකට නොවේ. සමභාව්‍ය ජනප්‍රියවාදයන් තුළ, සමාජ දේහයක් ලෙස ‘මහජනතාව’ පවතින අතර ඔවුන්ගේ සතුරා ද එම දේහය තුළ සහපැවැත්මක් ලෙස පවතී. එනම්, මාක්ස්ගේ ලුම්පන්-නිර්ධනයා මෙනි. සමාජයේ පරපෝෂිතයන් ලෙසින් ඔවුන්ටද පැවැත්මක් ඇත. මින් අදහස් වන්නේ, සතුරා යනු, ආත්මයේම අභ්‍යන්තර තර්කනයක් මිස ඔහුට බාහිර සාරයක් නැති බවයි. එබැවින්, ජනප්‍රියවාදයන්ගේ සතුරන් සඳහා අලුත් වර්ගීකරණයක් අවශ්‍ය වේ. මෙහි ඇති උත්ප්‍රාසය වන්නේ, ජනප්‍රියවාදය එක්තරා අන්දමකට සතුරා සමඟ නිදා ගැනීමට යෝජනා කරන නිසාය.

             ජනතාව සමස්තකරණය කිරීමට මානසිකව තටමන විට, බාහිර සතුරෙක් නොමැතිව එම සමස්තකරණයට තාර්කිකභාවයක් ගොනු වන්නේ නැත. ලැක්ලෝ වැනි චින්තකයකු මෙම තත්වය පැහැදිලි කිරීමට දාර්ශනික තර්කයක් ඉදිරිපත් කරයි. ඔහුට අනුව, පිටත සහ ඇතුළත -inside and outside-යනුවෙන් චින්තනය වර්ග කිරීමේදී, අභ්‍යන්තරයේම යම් ශේෂයක් බහිෂ්කරණය විය යුතුය. එනම්, ‘ස්වයං බාධාව’ බාහිරට දමා බාහිර සතුරා නිර්මාණය කරගත යුතුය. එසේ නොකරන්නේ නම්, ජනප්‍රියවාදයට සාන්දෘෂ්ටික පැවැත්මක් නොමැත. ‘සමාජය’ පරිපූර්ණ වීමට එය වැසිය යුතුය. එසේ වැසීමට යමක් ඉන් ඉවත් කළ යුතුය. 

              අප කලින් ද සාකච්ඡා කළ පරිදි, නායකයා ජනතාවට ‘නමක්’ යෝජනා කරන විට, එම සිදුවීම අරභයා ජනයාගේ අහම-ego- ඛණ්ඩනය වෙයි.  නායකයන් තම ජනයාට ‘නම්’ යෝජනා කරන විට, ජනයා ඒ හරහා භෞතීෂ්ම වන්නේ හෝ එය සහමුලින්ම හෙළා දකින්නේ නැත. ජනයා එම ‘නම’ සමඟ නිදහස් (නරුම?) පරතරයක් පවත්වා ගෙන යයි. මෙම පරතරය නිසා, ජනතාව සහ නායකයා අතර “ඔබට අවශ්‍ය කුමක්ද?” යන ආමන්ත්‍රණය හරහා හිස්ටරික තත්වයක් පැන නඟියි. එනම්, ඔබ කියන ‘මම’ බවට ‘මා’ පත්විය යුත්තේ මන්ද? මෙය හිස්ටෙරිකයා තමන්ගෙන්ම අසන ප්‍රශ්නය යි.

              ජනතාව සහ නායකයා ඔවුන්ට ලබාදෙන අනන්‍යකරණය හරහා ඇති වන ප්‍රහේලිකාමය අවකාශය නිසා, ලැක්ලෝ නොසිතූ පරිදි සියලුම ජනප්‍රියවාදයන් සාධාරණ තර්කයන් උපයුක්ත කර ගන්නේ නැත. එනම්, ජනප්‍රියවාදයන් උප-ප්‍රභේද බවට පත්වෙයි. උදාහරණයක් ලෙස ගතහොත්, සමහර ජනප්‍රියවාදයන් විපරිතය (Pervert). විපරිත යනු, බාහිර නීතිය නොදන්නා නිසා විවිධ ලිංගික ජවනිකා සමාජ අවකාශය තුළ වේදිකාගත කොට, ඒ හරහා නීති අභ්‍යන්තරීයකරණය කර ගැනීමට දරන අසාර්ථක උත්සාහයකි. සමාජවාදය තුළ පැවති සුභසාධන රාජ්‍යයේ ව්‍යුහය විපරිත ය. එය උත්සාහ කළේ, කිසිවකු සමාජයෙන් පිටමං නොකොට සමාජය පරිපූර්ණ කිරීමටයි. නමුත්, එය කළ නොහැකි දෙයකි. කිසිවෙකු පිටමන් නොකර සමාජය යනුවෙන් දෙයක් සංස්කරණය කිරීමට නොහැකිය. මෙය දැන දැනම තත්වය ප්‍රතික්ෂේප කර, එයම කරන්නට යන රෙජීමය විපරිත එකකි. මෙම සන්දර්භය නිසා, අර්නෙස්ටෝ ලැක්ලෝ විසින් සූත්‍රගත කළ සරල සහ-සම්බන්ධය, එනම් පවතින රාමුව සහ ජනප්‍රිය සමස්තකරණය අතර ආතතිය ඒකාංගික නැත. එයට වෙනස් ස්වරූප යෝජනා කළ හැකිය. ජනප්‍රියවාදී සමස්තකරණයන් දෙකක් මූලික වශයෙන් සඳහන් කළ හැකිය.

(A) නියුරෝසික ජනප්‍රියවාදය– මෙහිදී, ජනයා සහ ඔවුන්ගේ සතුරා යන සහසම්බන්ධ ප්‍රතිපක්ෂය බිහි වන මුත්, ‘සතුරා’ ප්‍රහේලිකාවක්, ස්ත්‍රීයක් ලෙසින් අස්ථානගත වෙයි. එනම්, සතුරා විනාශ කිරීම වෙනුවට අර්ථකථනය කිරීමට පෙළඹෙයි.

(B) විපරිත ජනප්‍රියවාදය– මෙහිදී, ජනයාගේ සතුරාව ද සමාජය ඇතුළත රඳවා ගැනීමට උත්සාහ කරයි. එය, කරන්නට බැරි වැඩක් බව පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි. තමන්ගේ වියදමින් අනුන්ව සතුටු කිරීම මෙහි නිෂ්ටාවයි.

            ‘ජනප්‍රියවාදය’ න්‍යායගත කිරීමේදී, අර්නෙස්ටෝ ලැක්ලෝ නම් දේශපාලන දාර්ශනිකයාගේ දෝෂය වන්නේ, ‘ජනතාව’ සහ ‘නායකයා’ අතර ලුබ්ධිමය බන්ධනය, අනෙකා තුළ වූ නාමකරණය කළ නොහැකි වස්තුවට-object a- පමණක් අධිනිශ්චය කර ජනප්‍රියවාදයට සාධාරණ න්‍යායික අඩංගුවක් යෝජනා කිරීමයි. එනම්, දේශපාලනය විනෝද සාධකයක් ලෙස ව්‍යක්තව නොගැනීම තුළ,ඔහු දේශපාලනය පරස්පරභාවයන් රහිත තැනකට ඌනනය කරයි. එහි මූලය ඇත්තේ, ඔහුගේ මනෝ විශ්ලේෂණය පිළිබඳ දැනුමේ ඌණ සංවර්ධනය තුළයි. බණ්ඩාර නම් සරලමතිකයා x කණ්ඩායම ෆැසිස්ට්වාදයට ඌනනය කරද්දී, ඔහුගේ නොදැනුම පිළිබඳ මූලය අප දන්නේ නැත. ( ඇත්ත වශයෙන්ම, x කණ්ඩායම යනු, New Social Movement එකක් වන අතර එය ග්‍රස්ථික ලුබ්ධි ආර්ථිකයක් යෝජනා කරයි).

                 ජනප්‍රියවාදය පිළිබඳ අපගේ න්‍යායික සූත්‍රය යම් තාර්කික අන්තයකට රැගෙන යන්නේ නම්, මහේක්ෂ දේශපාලනයත්, ක්ෂුද්‍ර දේශපාලනයත් අතර පොදු න්‍යාය ගොඩනැඟෙන්නේ මනෝ විශ්ලේෂණය හරහා ය. සමාජීය සහ මානසික යනු , කුලක දෙකක් හෝ දෙබෙදුමක් නොවේ. මනස සහ සමාජ න්‍යායන් අපට බාහිරින් ඇති සමාජ යථාර්ථය දෙකට පලන්නේ, එකම ව්‍යුහාත්මක ආකාරයකටයි. තවත් සරලව කිවහොත්, සමාජීය යථාර්ථයේත්, මානසික යථාර්ථයේත් මූලය එකම තැනකින් අවසන් වෙයි. එනම්, ආත්මය යි (subject).

End

Party Team

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. /නැත. X දේශපාලනය තුළ 96-2004 දක්වා සැබැවින්ම දර දිය ඇදි කිසිවකු , 2004 ට පසුව ජනප්‍රිය වූයේ නැත. එසේ වූයේ, X දේශපාලනය 2004 ට පසුව නිර්වචනය වූයේ මාධ්‍ය අතපෙවීම් හරහා නිසාය. ජනප්‍රිය වහරින් කියන්නේ නම්, 2004 ට පෙර ළිඳ කැපූ අය අහකට විසි වී ගොස්, ළිඳෙන් නාන්නට පටන් ගත්තේ වෙනත් පිරිසකි// බුකිය පුරා විසිරිලා ඉන්නවා හිටපු x කණ්ඩායමේ කියන අය . මළ වදයක්. අර හපුගොඩ “මගේ ලෝකයෙන් ” කියල තියනව වගේ x එක්ක ගෑවිච්ච උන් හිතන් ඉන්නවා ජිජැක් ගැන හැම දෙයක්ම කියවන්නේ නැතුවම උන් දන්නවා කියල. ජිජැක් ආර්ථික විද්‍යාව ගැන කතා කරන්නේ නැහැ කියල. ලක්ලව් , ලැකන් කියන්නේ බටහිර වාම ව්‍යාපාරය ප්‍රතික්ෂේප කරපු අය කියල. මට හිතෙන්නේ මුන් පාරේ යන ගමන් මුත්‍රා බරක් හැදිලා x උන් එකතු වෙන ලැට් එකට මුත්‍රා කරලා යන්න ආපු ගමන් අත්හරින පතර අහුලා ගත්ත දේවල් කතා කරන නරුමයෝ සෙට් එකක් කියල. උන් නොදන්න දෙයක් නැහැ

Comments are closed.