සන්ධානය යනු යම්කිසි ඉලක්කයක් වෙනුවෙන් සාදා ගන්නා කෙටි කාලීන එකඟතාවයකි. ඉලක්කය සම්පූර්ණ වීමෙන් පසු සන්ධානය අහෝසි වනු ඇත. උදාහරණයක් ලෙස 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග සමඟ වික්ටර් අයිවන් ප්‍රමුඛ සිවිල් සමාජය ඇතිකරගත් සන්ධානය මාස තුනක් ඇතුළත කැඩී ගියේ ය. 2005 දී මහින්ද රාජපක්ෂ, ටිල්වින් සිල්වා හා ජනතා විමුක්ති පෙරමුණ ඇතිකරගත් සන්ධානය වසර කිහිපයකින් පක්ෂයෙන් පළුවක්ද අහිමි කරමින් අහෝසි විය. 2015 දී ජනාධිපතිතුමා හා අගමැතිතුමා සමඟ සිවිල් සමාජය සාදා ගත් සන්ධානය මාස දෙකකින් මහබැංකු සිදුවීමත් සමඟ අහෝසි විය. ඉහත සඳහන් පරිදි සන්ධාන සම්බන්ධව අපගේ අත්දැකීම එසේ ය.

එහෙත් කිසිවෙකුත් නොවිමසන ප්‍රශ්නය වන්නේ සන්ධානවල ස්වභාවය එය නම් නැවතත් සන්ධාන සදන්නේ උමතුවකින් ද යන්නයි. 1994 දී චන්ද්‍රිකා වික්ටර් අයිවන් සන්ධානය අවසන් වීමට සනත් ගුණතිලක නම් සාධකය හේතු විය. 2005 දී ජනතා විමුක්ති පෙරමුණ හා මහින්ද රාජපක්ෂ අතර සන්ධානය අහෝසි වීමට සන්ධානය සම්බන්ධීකරණය කරමින් සිටි විමල් වීරවංශ නැමැති සාධකය හේතු විය. 2015 දී වර්තමාන ආණ්ඩුව හා සාධාරණ සමාජයක් සඳහා වූ සංවිධානය සමඟ සන්ධානය අහෝසි වීමට ගජමිතුරන් නැමැති සාධකය හේතු විය. අප අවබෝධ කරගත යුතු කරුණ වන්නේ සන්ධාන අහෝසි වීමට හේතුවන සාධකය මෙයැයි කියා කලින් නිගමනය කිරීමට තවම අපට විද්‍යාවක් නොමැති බවයි. සන්ධාන අහෝසි විමට බලපාන සාධක බොහෝ විට දේශපාලනික කරුණු නොව ඇතැම් විට ඒවා පෙම්වතා හෝ පෙම්වතියගේ, ලිංගික සහකරුගේ, ලිංගික ශ්‍රමිකයන් සපයන්නෙකුගේ, විදේශ අයෝජන තැරැව්කරුවෙකුගේ, ගජමිතුරෙකුගේ හෝ පවුලේ ඥාතියෙකුගේ මැදිහත් වීම විය හැක. එහෙයින් මෙවරද සන්ධාන සඳහා වූ ඉරණම ඉතිහාසයේ දී අත්විදි ඉරණනම වනු ඇත.

එම නිසා අප කළ යුත්තේ සන්ධාන වෙනුවට “එක්සත් දේශපාලන පෙරමුණ” ක අවශ්‍යතාවය තේරුම් ගැනීමයි. එක්සත් පෙරමුණක් යනු යම් කිසි දේශපාලන අරමුණක් හෝ අරමුණු ඉටුකරගැනීම වෙනුවෙන් ඇතිකර ගන්නා ගිවිසුමකි. එහි දී පැහැදිලිව සඳහන් කරගත යුතු කරුණ වන්නේ එම දේශපාලන ව්‍යාපෘතිය සඳහා කවුරුන් සම්බන්ධ කරගන්නේ ද , නොගන්නේ ද යන්නය. පාර්ශවකරුවන් නියෝජනය කරන දේශපාලන වගකීම් හා කාර්යභාරයන් මොනවාද යන්න හා එම ඒකඟතාවයන් වෙනුවෙන් සියළුම පාර්ශවයන් සහයෝගය දීම හා ඉවසා සිටීම එකඟතාවයන් කවරක්ද යන්නයි.  එවැනි එක්සත් පෙරමුණකට එකඟවන හා ගිවිසුම් ගත වන පාර්ශවකරුවන්ට පමණයි දේශපාලන ඉලක්කයන් ජයග්‍රහණය කළ හැක්කේ.

ප්‍රධාන පාර්ශවයන් සමඟ සන්ධාන ගත වන අනෙක් පාර්ශවකරුවන් සිහියෙන් යුතුව මතක තබාගත යුතු කරුණ වන්නේ බලය ගන්නා තුරු පැය විසි හතර පුරා ඔබට විවෘතව පවතින ගේට්ටු හා දොරවල් බලය ලබාගෙන පළමු පැයේ දී වැසී යනු ඇති බවයි. ඒ ගේට්ටු මුර කිරීමට  STF එක පැමිණෙනු ඇත. ඉන් පසු ඔබට ඇතුළු වීමට ගේට්ටුවට ලබා දෙන නම් ලැයිස්තුවේ ඔබේ නම තිබිය යුතුය. එසේ නැතිනම් ඇතුළුවිය නොහැක. ලංකාවේ සන්ධානගත වූ පාර්ශවකරුවන්ට අත්වූ ඉරණම එයයි. මෙය අවබෝධ කර නොගෙන නැවතත් කවරෙකු හෝ සන්ධාන සඳහා යන්නේ ද ඔවුන්ට ද සිදුවන්නේ තවත් චෞර රැජිණ වැනි පොතක් ලිවීමට හෝ සෝභිත හාමුදුරුවන්ට වූවා සේ මාධ්‍ය ඉදිරියේ නාහෙන් හැඬීම පමණයි. නැතිනම් ජනතා විමුක්ති පෙරමුණට සිදු වූවා සේ පක්ෂයෙන් පළුවක් අහිමිවීමය.

තවදුරටත් සන්ධාන පිළිබඳ විශ්වාස තබන සිවිල් සමාජය හෝ පාර්ශව කරුවන් හා පොහොට්ටුවට ඡන්දය දීමට තීරණය කර ඇති දකුණේ ඈත ගමක පාරම්පරික වාමාංශික පවුලක සාමාජිකයෙකු අතර වෙනසක් අප දකින්නේ නැත. යම් පුද්ගලයෙකු ඔහු වාමංශිකයෙකු යැයි සිතා ගෝඨාභයට ඡන්දය දීමට තීරණය කළද, ගෝඨාභය වාමාංශිකයෙක් ද කියා සිතීමට හෝ ප්‍රශ්න කිරීමට දැනුමක් ඔහුට නැත. එසේම රනිල් සමඟ සන්ධාන ගතවන ගාමිණී වියන්ගොඩට ද රනිල් ප්‍රගතිශීලී කියා සිතීමට හෝ ප්‍රශ්න කිරීමට දැනුමක් නැත. එහෙත් ඉහත සඳහන් කළ ග්‍රාමීය වාමාංශික පුද්ගලයා වෙළඳපොළට ගොස් තමන්ට අවශ්‍ය දේ තේරීමේ දී එය නිවැරදිව තේරීමට හා ප්‍රශ්න කිරීමට දැනුමක් ඇත. එහෙත් ගෝඨාභය පිළිබඳව ප්‍රශ්න කිරීමට නොයන්නේ ඔහු ද ගෝඨාභයගේ ක්‍රියාකලාපයට එකඟ බැවිනි. එය එසේම ගාමිණී වියන්ගොඩටද වලංගුය. ඔහු රනිල් ප්‍රගතිශීලී ද කියා ප්‍රශ්න නොකරන්නේ ඔහු ද රනිල්ගේ ක්‍රියාකලාපයට එකඟ බැවිනි.

දිගින් දිගටම සන්ධාන පිළිබඳ නපුරු අත්දැකීම් ඇති ජනතා විමුක්ති පෙරමුණ ද නැවතත් සන්ධානයකට යන්නේ ඇයි?. ජනතා විමුක්ති පෙරමුණ කෙසේ වෙතත් ඔවුන් සමඟ සන්ධාන ගත වී ඇති වෘත්තිකයන් හා විද්වතුන් පිළිබඳව අපට නම් හොඳ තක්සේරුවක් ඇත. මේ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණට අවබෝධයක් නැත. නැතිනම් ගාමිණී වියන්ගොඩ, ග්‍රාමීය වාමාංශිකයා මෙන් එම වෘත්තිකයන්ගේ හා විද්වතුන්ගේ අතීත ක්‍රියාකලාප වලට ජනතා විමුක්ති පෙරමුණ ද එකඟද?.

තවදුරටත් මැතිවරණ සඳහා සන්ධාන යනු වෙසක් එකට හන්දියක් හන්දියක් ගානේ දමන දන්සල්, තොරණ් වැනි දෙයකි. එක්කෝ පුරුද්දට කරන වැඩක් නැතිනම් අනිත් අයත් කරන නිසා කරන වැඩක්. එමඟින් කිසිදු දේශපාලන ඉලක්කයක් ජයග්‍රහණය කළ නොහැක.

පාර්ශව කිහිපයක් සමඟ සන්ධාන ගැසීමෙන් කළ හැක්කේ ඈත සිටින පාක්ෂිකයාට තම පෙරමුණ පුළුල් එකක් යැයි මානසික පගාවක් ලබා දී කරන රැවටීමක් පමණයි. මෙවර සන්ධාන හදන අයත් සන්ධාන වැළඳ ගන්නා අයත්  රැවටීමක් පමණයි.

සමාජයේ අලුත් පරිවර්තනයක් සිදුකිරීමට ජ.වි.පෙ වැනි පක්ෂයකටද සන්ධාන වලින් එහා ගිය අලුත් පෙරමුණකට යාමට තරම් ඔවුන්ගේ දැනුම අලුත් නොවන්නේ මන්ද?. එසේ නම් සාම්ප්‍රදායික ඔවුන් ට අලුත් වැඩක් කිරීමට හැකිද?. මෙවර කවරෙකුට හෝ තම දේශපාලන ඉලක්කයන් ජයග්‍රහණය කිරීමට සැබෑ අවශ්‍යතාවක් ඇති නම් තේරිය යුත්තේ එක්සත් දේශපාලන පෙරමුණකි. එවැනි අලුත් පරිවර්තනයකට අනාගතයේ ජයග්‍රහණය අත් වනු ඇත. සන්ධාන තවදුරටත් වලංගු නැත.

Hirushi’s [‘ge’] 2′ end Identity.

ඔබේ අදහස කියන්න...