හැඳින්වීම-

අපගේ දේශපාලනය සහ අශෝක හඳගමගේ කලාත්මක සහ සෞන්දර්ය භාවිතය පිළිබඳ ‘ප්‍රතිවිරෝධය’ දශක දෙකක් පමණ දික්ගැස්සෙමින් ආ එකකි. මෙම ප්‍රතිවිරෝධය නිසාම, අප අතර ඇත්තේ අනන්‍යතාවයක් නොව පරතරයකි. [Gap]අනෙක් අතට, මෙම පරතරය නිෂ්පාදනීය එකක් වන අතරම සමහර අංශවලින් නිශේධනාත්මක ප්‍රවණතා බිහි කර ඇත.

          හඳගමගේ සිනමා කෘති සම්බන්ධයෙන් ලංකාවේ පවතින්නේ, සමකාලීන විචාරයන් ය. එම නිසාම, ඒවා ඉතිහාසකරණයට ලක් වී නැත. මෙම සමකාලීන විචාරක- විචාරිකාවන්ට අනුව, හඳගමගේ කෘති සමකාලීනත්වය [Contemporary] තුළ අධිනිශ්චය වී ඇත්තේ නෛසර්ගික කරුණු මත ය. මෙම බොහොමයක් කෘති, බහුතරයකට අනුව ඕපපාතික ය. ඒවාට ඉතිහාස සම්බන්ධයක් නැති අතර ඒවායේ අන්තර්ගතයන්ට ‘සමස්තය’ පිළිබඳව අදහසක් ද නැත.

        අශෝක හඳගම වනාහි, ලංකාවේ 20 වන සියවසේ අග බිහි වූ යථාර්ථවාදයේ විරුද්ධාභාසයකි. හඳගම තම මුල්කාලීන නාට්‍ය නිර්මාණය කරන විට දී, ලංකාවේ අධිපති සහ ප්‍රගතිශීලී විචාර ආස්ථානය වූයේ තාර්කික යථාර්ථවාදය යි.[Logical Realism] එහි මුඛ්‍ය ප්‍රකාශකයන් වූයේ, මහාචාර්ය ගම්ලත් සහ මහාචාර්ය පියසීලි ය. 

        ශ්‍රී ලංකාවේ 20 වන සියවසේ අග වන විට දී මාක්ස්වාදයේ අධිපති ප්‍රකාශන මාදිලිය වූයේ, ට්‍රොට්ස්කිවාදය යි. මෙම ට්‍රොට්ස්කිවාදී විචාරක න්‍යායේ අච්චුවට අනුව සකස් වූ සිනමා කෘති බිහි කරන ලද්දේ, වසන්ත ඔබේසේකර, ධර්මසේන පතිරාජ, ධර්මසිරි බණ්ඩාරනායක විසිනි. යථාර්ථය නිවැරදිව නිරූපණය කිරීම, මෙම කෘතිවල මුඛ්‍ය පරමාර්ථය යි. ඉහත නිර්මාණකරුවන්ව නුතනවාදී සම්ප්‍රදාය හරහා විචාරය කිරීම ට්‍රොට්ස්කිවාදීන් අතින් සිදු නොවීය. බුද්ධිමය වශයෙන් යථාර්ථවාදය යනු, අප අවට ඇති සමාජ කලාලය තාර්කික ව්‍යුහයකට රැගෙන ඒමයි. බල්සාක් හෝ මාර්ටින් වික්‍රමසිංහ වැනි ලේඛකයන් විසින් තමන් අධ්‍යයනය කළ ‘සමාජ යථාර්ථය’ හැකිතාක් තාර්කික අන්තයකට රැගෙන එන ලදී. නමුත්, නූතනවාදයේ තිසීසය වූයේ, නිර්මාණකරුවා කෙතරම් යථාර්ථය ගැන තර්ක කළත් ඔහුට/ ඇයට මඟ හැරෙන ශේෂයක් යථාර්ථය තුළ දී ඉතුරු වන බවයි.

            උදාහරණයක් ලෙස, ෆ්‍රෙඩ්රික් ජෙම්සන් විසින් එමිල් සෝලා සහ සැමුවෙල් බෙකට් සසඳමින් මෙසේ කිය යි. කිසිදු තර්කයකින් තොරව, සෝලා විසින් ආකර කම්කරුවන්ගේ දුක්ඛිත ජීවිතය නිරූපණය කරයි. නමුත්, බෙකට් නිරූපණය කරන්නේ, අගනගරයක කරත්තයක් මත මිය යමින් සිටින පුද්ගලයෙකු තම ජීවිතය අවලෝකනය කරන ආකාරය පිළිබඳවයි. ට්‍රොට්ස්කිවාදී දෘෂ්ටිකෝණයකින් නරඹන්නෙකුට, මෙම ආස්ථාන මාරුව කම්පාවක් ඇති කරන මුත්, ජෙම්සන් පහදන්නේ අපට බෙකට් වඩා සප්‍රයෝජන බවයි. 

              ඉහත අප පෙන්වා දුන් යථාර්ථවාදය සහ නූතනවාදය අතර ඛණ්ඩනය මඟින් සපථ විය යුත්තේ, සෝලා හෝ වික්‍රමසිංහ තුළ නැති සත්‍යයක් සැමුවෙල් බෙකට්ගේ කෘති තුළින් අපට හමුවන බවයි. කලා කෘතියක අන්තර්ගතය (කතාව, චරිත, ඓතිහාසික පසුබිම) සහ ආකෘතිය (භාෂා ශෛලිය, වචන, ව්‍යුහය) අතර විවාදය නැවතත් පෙරබිමට පැමිණීමක් නූතනවාදය තුළින් දකින්නට ලැබේ. ‘යථාර්ථය’ වඩ වඩා සබුද්ධික තර්කනයට යටත් වීම වෙනුවට නූතනත්වය තුළ දී මතු වන්නේ, යථාර්ථය පිළිබඳ අපගේ අගතීන් විශ්ලේෂණය වීමයි. ඒ අර්ථයෙන්, යථාර්ථවාදය තුළ නිරූපිත බුර්ෂුවා මැද පාන්තික පුද්ගලයා ඒකාත්මික ය. නමුත්, නූතනවාදය තුළ  නිරූපිත පුද්ගලයා උභයාවේගී ය. මනෝවිශ්ලේෂණය විද්‍යාවක් වශයෙන් අපට අවශ්‍ය වන්නේ, ඉහත උභයාවේගී (ක්‍රියාව සහ සිතුවිල්ල අතර ඇති පරස්පරය – මාක්ස්වාදයේ දාර්ශනික ගැටලුව) පුද්ගලයා විශ්ලේෂණය කිරීම සඳහා ය.

        20 වන සියවසේ අග දී, ලංකාවේ යථාර්ථය ආර්ථිකය නිර්බාධීකරණයට ලක් වීම නිසා වෙනස් විය. එම ‘වෙනස’ සාම්ප්‍රදායික සිංහල ස්ටාලින්වාදීන් සහ සාර්වත්‍රික ට්‍රොට්ස්කිවාදීන් විසින් අවලෝකනය කරනු ලැබුවේ, නිශේධනාත්මක ප්‍රපංචයක් ලෙසිනි. එනම්, ‘විවෘත ආර්ථිකය’, ‘ධර්මිෂ්ඨ සමාජය’ නම් ගර්හිත නාම වලිනි. නමුත්, 1989 දී ලංකාව තුළ ‘සමාජවාදය’ නම් ප්‍රපංචය පරාජය වූයේ, ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ පරාජයෙනි. බහුතර දේශපාලන විචාරකයන් මෙම පරාජය ගැන මෙනෙහි කරනු ලැබුවේ, ‘බාහිර බාධාවක්’ ලෙසිනි. එම නිසා, 89 ට පසුවත් ලංකාවේ වාම දේශපාලනය තුළ ජවිපෙ ‘අන්තර්ගතය’ මිය ගියත්, එහි ‘ආකෘතිය’ ඉතුරු විය.

        19 වන සියවසේ යථාර්ථවාදයේ මූලික ලක්ෂණය වන්නේ, හැකි තරම් ‘යථාර්ථය’ කැඩපතක් ලෙසින් සැලකීමයි. 80 දශකයේ අග සිට 21 වැනි සියවස මුල දක්වා ගම්ලත්ගේ විචාරයන් සැලකූ විට මේ තත්වය විශද වෙයි. නමුත්, 20 වැනි සියවසේ දෙවැනි දශකය වන විට දී, තාක්ෂණ ධනවාදයේ වර්ධනයත් සමඟ ‘කැඩපතට’ තිරය (Screen) ආදේශ විය. විමර්ශකය වෙනුවට සිමියුලේ ක්‍රමය ආදේශ විය. මෙම ආකෘතික වෙනස නිසා, සමාජය විසින් ගොඩනංවන පුද්ගලයෙකු ලෙස ‘චරිත’ දැකීම වෙනුවට ‘චරිත’ විසින් ගොඩනංවන ‘සමාජය’ යන අදහස අධිකාරී විය. මුහුණු පොත යනු, මෙහි අධිපති ප්‍රකාශනය යි.

        21 වැනි සියවස උදාවත් සමඟ ‘Titanic’ නම් චිත්‍රපටය ලංකාවට පැමිණියේ, පන්ති අගතීන් ඉක්මවා ගිය ප්‍රේම කතාවක් ලෙසිනි. අපගේ සංවිධානයේ දෘෂ්ටියට අනුව ද Titanic යනු, කම්කරුවෙකු සහ මැද පාන්තික ස්ත්‍රියක් අතර බිහි විය හැකි අපන්තික ප්‍රේම වෘත්තාන්තයකි. එක් අතකින්, එය Titanic යථාර්ථවාදයේ අප කරවටක් ගිලූණු ආකාරය යි. නමුත්, 2004 පමණ වන විට දී, ස්ලාවෝජ් ජිජැක් වැනි මනෝ විශ්ලේෂණය අනුදත් මාක්ස්වාදියෙකු අපට පෙන්වා දුන්නේ, Titanic චිත්‍රපටයේ අවසානය ‘නැවත කියවන්න !’ යන සටන් පාඨය යි.

        ටයිටැනික් අවසානය තදින් නිරීක්ෂණය කරන විට දී (විද්‍යාවේ ප්‍රථම පියවර) පෙනී යන්නේ, මැදපාන්තික රෝස් විසින් මිදී ගිය අත්ලාන්තික් සාගරයට ජැක්ව අතහැර නිව්යෝර්ක් නගරයට සේන්දු වන බවයි. රෝස්ගේ පැත්තෙන්, ඇය ඉතාම තාත්වික කාන්තාවකි. මේ මෑතක දී, Facebook කමෙන්ටුවක් හරහා මනෝරි කලුගම්පිටිය විසින් සුදර්ශන ගුණවර්ධන අතහැර දැමීම ද තාත්වික ය. යථාර්ථවාදී මිනිසා වියැකෙමින් නුතනවාදී මිනිසා මතුපිටට අත දිගු කරමින් සිටියි.

        ලංකාවේ සිටින දේශපාලනයට සංවේදී ඕනෑම කෙනෙකු දන්නා පරිදි, ‘අපේ පවුල’ (මා සහ බිරිඳ) නැති නම් X දේශපාලනයේ ඓතිහාසික නිමිත්ත පහළ වන්නේ නැත. උදාහරණයක් ලෙස, සුදර්ශන ගුණවර්ධන වසර 2010 ට පසු අමතක කර හෝ අතහැර දැමුවේ, මා සහ මගේ බිරිඳව ය. ඔහු සිතුවේ, ටයිටැනික් යනු විශිෂ්ට ප්‍රේම වෘතාන්තයක් කියා ය. නමුත්, මනෝරි ඔහුට පෙන්වා දුන්නේ, මේ විශිෂ්ට ප්‍රේම වෘත්තාන්තයට යටින් ඇති ‘ක්ෂතිමය ෆැන්ටසිය’ යි. යථාර්ථය යනු, දෙපැත්තක් ඇති කාසියකි. එහි එක් පැත්තක, සොදුරු මිහිරි කතන්දරයක් ඇත. එහි අනෙක් පස හාරා බැලූ විට දී ඇත්තේ, අමිහිරි, අශ්ලීල, නිර්-මිනිස්, ක්ෂතිමය කතන්දරයකි. යථාර්ථයට ඇලුණු මිනිසුන් පෙන්වන්නේ, මිහිරි පැත්ත පමණි.

        1999 වසරේ අප කියවූ Titanic ප්‍රේම වෘත්තාන්තය, 2022 නම් සමකාලීන යථාර්ථය තුළ සිට ආපස්සට කියවීමේ දී අපට හිමි වන්නේ, කටුක ඇත්තකි. අපි දැන්, ඩිල්ෂාන් සහෝදරයා මෙලෙසින් උපුටමු.

              “ යමක් හට ගැනීමට පෙර හෝ යමක් හට ගෙන නැති තැනක එය ඇතැයි යැයි සමපේක්ෂණය කිරීම, අප හිතනවාට වඩා රැඩිකල් ස්ථාවරයකි. පසුආවර්තනය [retroactive] නම් ක්‍රියාවට පෙර යමක් ඇතැයි යැයි සිතීම පාරභෞතික ක්ෂේත්‍රයකි. මෙම පසුආවර්තන අනුජානනයට පෙර එය ඇතැයි සිතීම නම් චින්තන ක්‍රියාවලියට දීප්තිගෙන් උගත් අප කියන්නේ, ‘ෆැන්ටසිය’ [Fantasy] කියා ය. ෆැන්ටසියේ එක් කාර්යභාරයක් වන්නේ, ආත්මීය ආස්ථානයක් වෙත එළඹීමට පෙර ‘තිබූ තත්ත්වය’ එම ආත්මීය ස්ථාවරය තිබුණේ යැයි සිතා, එය ඇති වූ ගමන් මඟ විස්තර කිරීමයි. (යමක ‘අහිමි වීමත්’ අහිමි වීම කතන්දරයක් යන්න ය.) නැතහොත්, එයට ආඛ්‍යානයක් සැපයීමයි. උදාහරණයක් ලෙස, දුටුගැමුණු රජුගේ කාලයේ පැවති මානව හිමිකම් කතා කිරීම, බුදුන් දෙසූ දහම තුළ විසංයෝජනය දැකීම, ‘ආශාව’ තෘෂ්ණාව මඟින් අර්ථකතනය කිරීම, අතීතයේ පැවති වාරි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ කතා, බුදුන් තුළින් හේගල්ව දැකීම, සුද්දන් පැමිණීමට පෙර පැවති නිදහස් චින්තනය.

           ඉහත මුළු ක්‍රියාවලියටම, එනම් ආත්මයට පෙර පැවති තත්වය, ලෝකය, චින්තනය; ආත්මය[Subject] තිබුණාක් මෙන් ආඛ්‍යානගත කිරීමට මනෝවිශ්ලේෂණය දෙන නම වන්නේ, ෆැන්ටසිය යි”.

 

        ඉහත විග්‍රහයට අනුව, මා විසින් ලංකාවේ වාම විචාරක සංස්කෘතියට දායාද කළ දියුණුම න්‍යායික ආයුධය වන්නේ, ‘ෆැන්ටසිය’ යන්නයි. නමුත්, මා අසල ගැවසුණා යැයි මොර දෙන දේශපාලන අපතයන් නො දන්නේ ද මෙම ෆැන්ටසිය නම් සංකල්පයේ පිපුරුම් ලක්ෂය යි.

        උදාහරණයක් ලෙස, 2010 දී සුදර්ශන තම බිරිඳගේ ඒකාකාරී විෂාදයෙන් ගැලවීම සඳහා ‘මනෝරි’ තෝරා ගනියි. එය, ෆැන්ටසි ආඛ්‍යානයකි. මේ ෆැන්ටසි ආඛ්‍යානයට අනුව, යථාර්ථයේ එක් මොහොතකට පසුව ‘මනෝරි ආඛ්‍යානය’ යනු, තමන්ගෙන් බාහිරව ස්වායත්තව පවතින වාස්තවික යථාර්ථයකි. මෙහිදී, සුදර්ශනට අමතක වී යන්නේ, මේ වාස්තවික ආඛ්‍යානය ගොඩ නඟන්නේ තම ආත්මය[subject] විසින් මිස මනෝරි නොවන බවයි. යථාර්ථය යනු, තමන්ගේ අවිඥාණක ආශාව නම් යථෙන් ගැලවීමට තනන ප්‍රබන්ධය යි. එය, විමුක්තියක් නොව පලා යාමකි. පුටින් අනුගමනය කර සත්‍යය මෙසේ පැවසිය හැකි ය. “සුදර්ශන ඇතුළු X හි හිටපු නඩය වඩේ කමින් මේසයක් මත තෙපලන්නේ  X දේශපාලනයේ අවසානය නම්, එහි අවසානය යනු ඔවුන්ගේ ද අවසානය යි” (පුටින්ට අනුව රුසියාවේ අවසානය දකින්නන් ඔවුන්ගේ අවසානය ද මතකයට ගත යුතු ය) ඩිල්ෂාන් කියන පරිදි, සුදර්ශන අමතක කරන ලද්දේ, යථාර්ථයට හිමි ෆැන්ටසි මානය යි.

         අශෝක හඳගමගේ සිනමා කෘති හරහා 21 වැනි සියවසේ අපට හමුවන යථාර්ථවාදය සහ නූතනවාදය සතු නොවූ සංරචකය කුමක්ද? ව්‍යුහය යනු, සංඝටක අතර ඇති සම්බන්ධය පමණක් නොවේ. ව්‍යුහය යනු, දෘෂ්‍යමාණය සහ සාරය අතර දයලෙක්තික සම්බන්ධය යි. සරලව කිවහොත්, ‘යමක් නැති තැන’ යමක් ඇත ලෙසින් විකරණය වෙයි. එනම්, යථාර්ථය යන්න තල දෙකක් අතර අන්තර් ක්‍රියාකාරීත්වය කි. උදාහරණයක් ලෙස, ‘සයිකෝ’ චිත්‍රපටයේ ආඛ්‍යානය තුළ දී අපි ‘නෝමන් බේට්ස්’ ලෙසින් දකින්නේ, අහිංසක මිනිසෙකි. නමුත්, ඔහු ඉතා සූක්ෂම මිනීමරුවෙකු බව අපට පසුආවර්තිතව වැටහෙයි. එසේ වන්නේ, නෝමන්ගේ සයිකෝසියාවට අප වහ වැටෙන නිසා ය. අප නිසා ‘සයිකෝ’ චිත්‍රපටයේ සරල යථාර්ථය ද්විගුණ වෙයි. ව්‍යුහය යනු, මේ තල දෙක අතර හිදැස අවිඥාණක වීමයි.

        යථාර්ථවාදය සහ නූතනවාදය සංස්කෘතිකවාදයකට ගෙන ඒමට අප සූදානම් නම්, යථාර්ථවාදය යනු, පුද්ගලයාට වඩා යථාර්ථය ප්‍රාථමික කිරීමයි. නමුත්, නූතනවාදය තුළ දී පුද්ගලයාට සහ පුද්ගලවාදයට සමාජයට වඩා ස්ථානයක් හිමි වෙයි. ගැටලුව වන්නේ, 20 වන සියවසේ අග ලංකාවේ පැවති යථාර්ථවාදයෙන් සහ මධ්‍යම පන්තියේ නුතනවාදී ජීවිතයෙන් හඳගමගේ නිර්මාණ ඛණ්ඩනය වූ තැන පෙන්වීමයි. ලංකාවේ විචාරකයන් අසමත් වී ඇත්තේ ද මෙම මංසන්ධියේ දී ය. අශෝක හදගමට පවා තම කෘතිවලට අදාළ ඓතිහාසික ඛණ්ඩනය ගැන ඇත්තේ, අවුලකි.

       මෙම ඛණ්ඩනය සමාජ විද්‍යාත්මකව හෝ පරමාදර්ශවාදයක ගිලී ගොස් පැහැදීමට නො හැකි ය. මාග්‍රට් තැචර් ‘සමාජය යනුවෙන් දෙයක් නැත, පවතින්නේ පවුල පමණි’ යනුවෙන් ගොතන ප්‍රබන්ධය මෙතැන දී ප්‍රාථමික ය. උදාහරණයක් ලෙස, 20 වැනි සියවස ගෙවී යන අන්තයක දී නිර්මාණය වූ ‘සින්තටික් සිහින’ ටෙලි නාටකය සතු ආකෘතික ලක්ෂණ සලකා බලමු. මෙය විශ්වවිද්‍යාල කතාවක් නොවන්නේ, එහි අන්තර්ගතය අශ්ලීලත්වයෙන් පිරී ගොස් ඇති නිසා ය. කතා න්‍යෂ්ටිය බුද්ධිය නොව අනුරාගය යි. කෘතියේ කතාව තුළ අපට හමු වන මහාචාර්යවරයා, එකවර කතාවේ අපට හමුවන මව සහ දුව සමග ප්‍රේමයට ආවඩන්නෙකි. මෙමගින් නිරූපණය වන්නේ, කලා කෘති තුල අන්තර්ගත වන දරිද්‍රතාවයෙන් පෙළෙන ගම පමණක් නොවේ. ෆැන්ටසියේ එක මානයක් ලෙස, ගමේ කටුක යථාර්ථය අපට හඳගම පෙන්වයි. අනිත් පසින්, ෆැන්ටසියේ දෙවන කතන්දරය ලෙස අශ්ලීල මනෝලිංගික කතා සමූහයක්ද නිපදවයි. මෙය, ලංකාවේ යථාර්ථවාදයට පෙන්වීමට නො හැකි වූ ශේෂයකි. ඒ අනුව, යථාර්ථවාදය ගමෙහි පෙන්වන දුක්ඛිත ජීවිතයට යටින් එහි ආධාරකය ලෙස අශ්ලීල ලුබ්ධි-ආර්ථිකය ද පෙන්වයි. කෘතියේ අර්ථයට ගත නොහැකි නිර්- අර්ථයක් ද කෘතිය ප්‍රකාශ කරයි. සාම්ප්‍රදායික ලාංකික යථාර්ථවාදීන්ගේ සමච්චලයට හඳගම ලක් වන්නේ, මෙම මානයෙනි. ඔවුන්ට අනුව, හඳගම ඉදිරිපත් කරන අශ්ලීල අතිරික්තය ගමට අයිති දෙයක් නොව හඳගමගේ මනෝභ්‍රාන්තියකි. ජවිපෙ නඩත්තු කරන පක්ෂ විනය යට ඇති අශ්ලීල අන්තර්ගතය ද මෙයම ය.

         අප විසින් ඉහත, හඳගම ලංකාවේ යථාර්ථවාදයෙන් සහ මධ්‍යම පන්තික නූතනවාදයෙන් කැඩෙන ආත්මීය ස්ථානය නැතහොත් ‘අශ්ලීල විනෝදය’ පිළිබඳව ඔබට විදාරණය කර පෙන්වූයෙමු.   

         ඊළඟට අවශ්‍ය වන්නේ, හඳගමගේ සමස්ත කෘති අරභයා ඒකාබද්ධ න්‍යායක් ගොඩනැගීමයි. යථාර්ථවාදීන්ට හමු නොවූ නව-ප්‍රපංචයක් අපට මෙහි දී හමු වෙයි. ගම්ලත් හෝ පියසීලිගේ කෘති තුළ ‘සදාචාරය’ නම් ගැටලුව දේශපාලන එකක් බව වටහා ගෙන ඇත. පසුගිය දශක එකහමාරක පමණ කාලය තුළ දී, ලංකාවේ සමාජ-ආර්ථික විචාරය තුළ දේශපාලනයට වඩා ඉස්මත්තට පැමිණෙන්නේ සදාචාරය යි. දේශපාලන භූමිය තුළ මෙය සාකච්ඡා වන්නේ, හොරකම, වංචාව සහ දූෂණය ලෙසිනි. අනෙක් අතට, කලා කෘතිවල දී ද කෘතියට වඩා එහි නිර්මාතෘ මතු වී ඔහුගේ/ ඇයගේ සදාචාර දර්ශනය ඉස්මත්තට පැමිණීමක් දෘශ්‍යමාන වෙයි.

      අප ජීවත්වන යුගයේ දී, කෘතියක් රස විඳීම වෙනුවට ඒ ගැන විචාරය කිරීම ප්‍රාථමික වී ඇත. සමාජයේ බුද්ධිමය පරිහානිය නිසා, සාමාන්‍ය ජනයාට පවා බුද්ධිමතුන් ලෙසින් හැසිරීමට බල කෙරී ඇත. 80 දශකයේ අජිත් තිලකසේනගේ උදෘතය වූ “මට කියන්නට දෙයක් නැත; ඇත්තේ කියන්නට විලාශයක් පමණි” යන්න සැමදෙනාගේ ආගමික භක්තිය වී ඇත. 

      අප මේ සමකාලීනත්වයේ ගුරුත්ව බලයෙන් මිදී පරකාලීන විග්‍රහයක් හඳගමගේ කෘති උදෙසා නිපදවන්නේ කෙසේද? අපි දැන්, ඒ දෙසට හැරෙමු. 

Deepthi kumara Gunarathne

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

https://forms.gle/tC36JnAV3s6wBAND6

=======================

මේ වන විට, පක්ෂයේ ප්‍රධාන කාර්යාලය මාළඹේ පිහිටා ඇති අතර ඒ සඳහා ස්ථාවර දුරකතන අංකයක් ඇත. ව්‍යාපාරික කටයුතු හරහා අපට සම්බන්ධ වීමට කැමති අය සහ ආයෝජන අවස්ථා හොයන අය අනුෂ්ක[අධ්‍යාපනය සහ මනෝවිශ්ලේෂණයද ඇතුලත්ව]අමතන්න. විදේශ රටවල සිටින ජනයා මිහිරාන්ගේ අංකයට අමතන්න. ”විමසීම්” සඳහා බුද්ධිකගේ අංකයට කතා කරන්න. ප්‍රචාරක කටයුතු සහ ප්‍රචාරක සංකල්ප සඳහා නුවන්ගේ අංකයට කතා කරන්න. 

Anushka- 0703232113

Nuwan – 0715324110.

Mihiran – 0774950204

  

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. අසන්ධිමිත්තා දක්වා හඳගමගේ සිනමාව ගැන අලුත් ලියවිලි පළ කළ දීප්ති ඇන්ටික් කඩය හා ඇල්බොරාදා ගැන ලියා නැත. සමබිම පක්ෂය පිහිටවූයේ ද, ඇන්ටික් කඩයේ මංගල දර්ශනය තිබුණේ ම එකම දිනයකය. කුමක් හෝ විශේෂයක් නිසා දීප්ති හඳගම ගැන නොලියා සිටියි. මහ බැංකුවේදී හඳගමට ලබා දී තිබුණු කාර් එක ගැන පවා ලිපියක් ලියූ දීප්ති, විශ්වවිද්‍යාල අවධියෙන් පසු හඳගම කළ නාට්‍යය ගැන නොලියා සිටියේය. දැන් ඔහු කතා කරනවා වෙනුවට ඇල්බොරාදා ගැන කතා කරන්නට සමන් වික්‍රමාරච්චිට අවස්ථාව දී ඇත.

    හඳගමගේ සිනමාවේ ප්‍රබල විචාරකයා දීප්තියි. තමාට දීප්තිගේ කියවීම් කෙතරම් බලපෑවේ ද යන්න හඳගම නොසඟවා කියයි. දීප්ති වරදවා වටහාගෙන ලියා ඇත්තේ Audi A4 රථය හා රිතිකා හා හෙළ උරුමය ගාවා දීප්ති ලියා තිබූ ලිපි දෙක බව හැර වෙනත් විවේචනයක් හඳගම දීප්තිට කරනවා මා අසා නැත. ඒ තරමට දීප්ති හඳගමගේ කලාවට බලපෑ පුද්ගලයෙකි.

    මේ තතු උඩ හඳගමගේ කලාවේ හැරවුම් ගැන නොලියා සිටීමට දීප්තිට අයිතියක් නැත. පක්ෂයේ ඇතැම් සහෝදරවරු කියන්නා වාගේ “එයා දැන් වෙන පාරක යන්නෙ… පොර ට්‍රැක් පැනල…” වගේ කතා කියා පාඨකයා සෑහීමට පත් කරන්නට දීප්තිට නොහැකිය. ඒ තරමට හඳගමියානු කලාව අරබයා දීප්තිගේ විවේචනය වැදගත්ය. (මේ පාර එරික් ඉලයප්ආරච්චිත් තාම ලියල තියනව දැක්කෙ නෑ….)

    අනෙකුත් දේශපාලන වැඩ අතර එය ලියන ලෙස ඉල්ලා සිටිමි!

Comments are closed.