අප විසින් හදුන්වාදෙනු ලැබූ නව දේශපාලන සංවාදය පක්ෂ ව්‍යුහයට බාහිරින් සිටින ඇතැම් පිරිස් විසින්ද ඔවුන්ගේ සංවාදයක් ලෙස ඉදිරියට රැගෙන යාමට උත්සහ කරයි. එවැනි පුද්ගලයන් කවුද යන වග මේ දක්වා අපගේ ලිපි කියවූ ඔබ හොදින්ම  දන්නා බවට සැකයක් නැත. මේ මොහොතේ ඔවුන් සහ අප අතර ඇති මුලධාර්මික වෙනස කුමක්ද යන්න විධිමත්ව පැහැදිලි කිරීම අත්‍යවශ්‍ය වේ.

අලුත් දේශපාලනයක් ගොඩනැගීමට දේශපාලනයට පිවිසෙන කෙනෙකු ඇතුළු වන්නේ ඇමසන් වනාන්තරය වැනි නිශ්චිත මාර්ගයක් හෝ අඩි සලකුණක් හෝ නොමැති භුමියකටය . හේගල් සිට ජිජැක් දක්වා වූ චින්තකයන්ගේ දර්ශනයන් හරහා ඔහු/ඇය වනාන්තරයේ එහා කොටසක ඇති නව ජනාවාසය සොයාගත යුතුය. මෙම චින්තකයන්ගේ දැනුම එනම් ඔවුන් ලියු පොත පත පරිශීලනය කිරීම, ඔවුන්ව උපුටා දක්වමින් ලිපි ලිවීම ආදිය පක්ෂයෙන් බාහිර කෙනෙකුට වුවද සිදුකල හැක. ඒ නිසා ඉහත සදහන් කල පක්ෂ ව්‍යුහයට බාහිරින් සංවාද කරන පිරිස බිහි වී ඇත. ඔවුන්ද ඇමසන් වනාන්තරය හරහා ගොස් නව ජනාවාසයක් සොයා ගැනීම  ගැන කතා කරයි. නමුත් වනාන්තරයේ හමුවන බාධක විවිධ දාර්ශනිකයන්ගේ මාර්ගයෙන් ජයගැනීමට උත්සහ කලද අදාළ ස්ථානයට යා හැක්කේ එහි සිතියම කුමක්දැයි දන්නා පාර්ශවයට පමණි. අප පක්ෂය විසින් ලාංකීය දේශපාලන ඉතිහාසයේ සිදුකල නව සොයා ගැනීම (invention) වන්නේ මෙම සිතියම නිසි ලෙස සලකුණු කිරීමයි. පක්ෂයෙන් පිටත කෙනෙකු කුමන දාර්ශනිකයා උපුටා දැක්වුද ඔවුන් වනාන්තරයේ එක තැන කැරකෙමින් සිටින බව සිතියම කුමක්දැයි දන්නා අපට පෙනී යන්නකි. උදාහරණයකට  අප අර්නස්ටෝ ලැක්ලාව් සමග නිව්ටන් ගුණසිංහ සම  නොකරන්නේ ඔවුන් දෙදෙනා එක්තරා දාර්ශනික විතැන්වීමකට පසු සහ පෙර ස්ථානයන්ගේ සිටින දෙදෙනෙකු වන බැවිනි. වනාන්තරයේ පසුකර ආ එක්තරා  ස්ථානයක් සහ අලුත් ස්ථානයක් අතර වෙනස අපගේ සිතියමේ සලකුණු වී ඇති නිසා නැවත අඩිය පිටුපසට තබමින් එකතැන කැරකීම අප විසින් සිදුකරන්නේ නැත. 

අර්නස්ටෝ ලැක්ලාව් විසින් ගෙන එන මුලික සංකල්පයක්  වන්නේ ‘සමාජය යනුවෙන් ප්‍රපංචයක් නොපවතී’ (Society does not exist)  යන්නයි.ඉන් අදහස් වන්නේ සමාජය තර්ක බුද්ධියෙන් පමණක් ඥාණනය කල නොහැකි බවයි. මිනී පෙට්ටි සාප්පුවක් ලගින් යන විට ඇතිවන භය නිසා කෙනෙක් ඉතිපිසෝ ගාථාව කියමින් ගමන් කරන අතර , තවත් කෙනෙක් විද්‍යාත්මක පසුබිම දැන කිසිවක් නොකියා ගමන් කරයි . සමාජ විද්‍යාව යනු සමාජය තාර්කික සවිඥානිකත්වයක් මගින් පැහැදිලි කිරීමට ගන්නා උත්සාහයක් නිසා මෙම පළමු කොටස ගැන කතා කිරීම එය විසින් බැහැර කරයි. සමාජ විද්‍යාව සිටගන්නේ විද්‍යාත්මක පැහැදිලි කිරීම පැත්තේය. නමුත්  ලැක්ලාව්ගේ සොයාගැනීමත් සමග  සමාජ විද්‍යාවේ පදනම දෙදරා යයි. සමාජය යනුවෙන් දෙයක් නොපවතින නිසා සමාජ විද්‍යාඥයින්ට සමාජය යනුවෙන් දෙයක් ෆැන්ටසිකරණය කිරීමට සිදුවේ. නිව්ටන් ගුණසිංහ යනු සමාජ විද්‍යාඥයෙකි. 1956 න් පසු ලංකාවේ ඇති වූ දේශපාලන ඛණ්ඩනය විග්‍රහ කරමින් ‘1956 ශ්‍රී ලංකාවේ දේශපාලන විපර්යාසය’ යන මැයෙන් 1991 දී ‘මාවත’ සගරාවට ඔහු ලිපි දෙකක්  ලියයි. මෙම ලිපි තුල නිව්ටන් උත්සහ කරන්නේ තර්ක බුද්ධියෙන් 1956 න් පසු බිහිවන සමාජය කුමක්ද යන්න අවබෝධ කරවීමයි. දැන් අප ඔහුගේ විග්‍රහයෙන් ඉදිරිපත් කරන කරුණු  කෙටියෙන් උපුටා දක්වමු.

 56 දී බණ්ඩාරනායක බලයට පැමිණීමත් සමග දේශපාලන අනුග්‍රහය මත රජයේ රැකියා ලබා දීම ආරම්භ වෙයි. ලංකාවේ ග්‍රාමීය සුළු දේපල හිමි ජනයා රජයේ රැකියා සදහා කොලබට පැමිණීමත් සමග නාගරික කම්කරු පංතියේ සංයුතිය වෙනස් වී යයි. වමේ පක්ෂ වලට සම්බන්ධ වෘත්තීය සමිති නාගරික කම්කරු පංතියේ සහ පාලක පක්ෂ මගින් බිහි කල වෘත්තීය සමිති මෙම ග්‍රාමීය සුළු දේපල හිමි පංතියේ සංයුතියෙන් යුතුව ගොඩනැගෙයි . තවද නව පාලනය විසින් යල්පැන ගිය නිෂ්පාදන සබදතා ඉවත් කරනු වෙනුවට ඒවා පෝෂණය කිරීම සිදු කරයි. එනම් එංගලන්තයේ මෙන් ගැමියන් ඉඩම් වලින් පන්නා දමා එම ඉඩම් මහා පරිමාණ කෘෂි ඉඩම් බවට පත් කිරීම වෙනුවට බණ්ඩාරනායක පාලනය ගැමි කෘෂිකර්මාන්තය  ව්‍යාප්ත කිරීමත් පෝෂණය කිරීමත් සිදු කරයි. බණ්ඩාරනායක ගේ විශේෂත්වයක් ලෙස නිව්ටන් හදුනා ගන්නේ ඔහු තම පවුලට සම්බන්ධ අය  සමග පමණක් තිබු දේශපාලන සම්බන්ධය විවිධ කුල සහ  පංති නියෝජනය කල අය සමග  සන්ධානයක් දක්වා වර්ධනය කිරීමයි. නමුත් එහිදී ඔහු උතුරේ සහ කදුකරයේ ද්‍රවිඩ ප්‍රජාව නොසලකා හරී. බණ්ඩාරනායකගෙන් පසු පාලන තන්ත්‍රය වෙනස් වන විට ඒ සදහා ඥාතීත්වය සහ දේශපාලනික වශයෙන් බලවත් පවුල් පරම්පරා වලින් පැවත ඒම සමාජ සැකසුමේ දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයකි. එය ලංකාවට පමණක් නොව දකුණු ආසියාවටම පොදු කාරණයකි.

එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකයෙකු වූ බණ්ඩාරනායක තමාට අගමැතිකම ලබා ගැනීමට අවස්තාවක් එම පක්ෂය තුල නොමැති බව දැන නව පක්ෂය ගොඩනගා ගනී. සග, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගය පිළිබද මතය ගොඩනගමින්  ලංකාවේ සුළු ධනේශ්වරයේ කැමැත්ත දිනා ගැනීමට ඔහු සමත් වෙයි. සේනානායකලා ,කොතලාවලලා පාරම්පරික බෞද්ධ වුවත් බණ්ඩාරනායක පාරම්පරිකව රෙපරමාදු ඇන්ගලිකානු වේ. නමුත් බෞද්ධ ආගම වැළද ගන්නා ඔහු සිංහල බෞද්ධ අවශ්‍යතා වෙනුවෙන් උද්ගෝෂණය කිරීමෙන් තම පුද්ගල ආධිපත්‍ය සිංහල බෞද්ධ ජනයා අතර පිහිටුවා ගනී.

සමාජ සහ දේශපාලන ඉතිහාසය නොදත් දන්ත වෛද්‍යවරයෙකු වන ගුණදාස අමරසේකර සහ ගණිත ඇදුරෙකු වන නලින්ද සිල්වා විසින් ගොඩනගමින් තිබෙන ජාතික චින්තනය යනු 1956 -77 වකවානුව තුල ධනේශ්වර කොටස් විසින් තමන් නොසිතු ධනස්කන්ධයක් උපයා ගන්නා දුටු ග්‍රාමීය සුළු ධනේශ්වරයේ ඇතැම් කොටස් වල ශෝකාලාපයකි. වාමාංශය නාගරික ප්‍රදේශ වල හැර ග්‍රාමීය ප්‍රදේශ වල පමණක් ප්‍රචලිත වූ බව කියන මෙම දන්ත වෛද්‍යවරයාගේ සහ ගණිත ඇදුරාගේ මතය සම්පුර්ණයෙන්ම වැරදිය. ඔවුන්ගේ නොගබුරු පුවත්පත් ලිපි හුදෙක් ජාතිවාදී මතවාදයේ ප්‍රකාශනයකි. හුදෙක් ඒවා රෝග ලක්ෂණ මිස රෝග විනිශ්චයන් හෝ පිළියමක් නොවේ.

සමාජය යනුවෙන් දෙයක් නොපවතී යැයි මාග්‍රට් තැචර් ද ප්‍රකාශ කළේය . ඇයගේ නව නව ලිබරල්වාදී අදහසට  අනුව  පුද්ගලයකුට පරිභෝජනය කිරීමට නොහැකි නම් ඒ ඔහුගේ වරදක් මිසක සමාජයේ හෝ රජයේ වරදක් නොවේ. නමුත් මෙතැනදී ලැක්ලාව් ගේ සංකල්පය මතු කිරීම වැදගත් වේ. කොටස් වශයෙන් බෙදී ගිය ක්‍රියාවලියක සමස්ථයක් ලෙස පවතී යැයි සිතන සමාජය නම් සංකල්පය ප්‍රතික්ෂේප කල යුතු බව ලැක්ලාව් ගේ මතයයි. වෙනස්කම් සහ පසමිතුරුතාවයන් හිලෑ කිරීමට උත්සහ කරන විවිධාකාර සමාජ ආකෘති අසමත් වීමෙන් අවසන් වෙයි. සමාජය යනුවෙන් වූ සුවිශේෂී අවකාශයක් නැත. සමාජයට එහිම වූ සාරයක් නොපවතී. ගැටුම්, බලවේග, බලය, උද්ගෝෂණ , අරගල, තරගකාරීත්වය ,විරෝධතා සියල්ල ඇති වේ. සමාජ ආකෘතිය විසින් මේවා මර්ධනය කිරීමට, මකා දැමීමට හෝ පිළිගැනීමට ලක් කරන්නේ මේවා සමස්තයේ බිහිවන පැල්මක් ලෙස සලකමින්ය. නමුත් මෙම ක්‍රියාවලි සමස්තයේ  විවිධාකාර සහ පසමිතුරු කොටස් අතර අවිනිශ්චිත සබදතා වේ.

ඉහත අදහසට අනුව නිව්ටන් ගුණසිංහ විසින් 1956 න් පසු බිහිවූ සමාජය ලෙස සලකන්නේ එක් පැත්තකින් ධනේශ්වර පංතිය සහ සුළු ධනේශ්වර කොටස් අතර  පසමිතුරු සමාජයයි. මෙම පසමිතුරුතාවය කළමනාකරණය කිරීමට බණ්ඩාරනායක සමත් වෙයි. තවත් පැත්තකින් කුලය , ජාතිය,ආගම,රැකියාව  සහ  පවුල් පසුබිම් ආදිය මත පදනම් වූ විවිධාකාර කොටස් අතර සම්බන්ධතාවය මගින් බිහිවන විවිධ ක්‍රියාවලි විසින් 1956 පසු සමාජ ආකෘතිය ගොඩනගන බව ඔහු උපකල්පනය කරයි. මෙම අවිනිශ්චිත සබදතා පිළිබද කරුණුමය විග්‍රහයක් හැර සමාජය යනුවෙන් දෙයක් පවතින අවකාශයක් හෝ සාරයක් පිළිබදව ඔහු සදහන් නොකරයි. එමෙන්ම පසමිතුරුතාවය ගැන සදහන් කලද සමාජය පිළිබද සාකච්ජා කිරීමේදී එය යථක්  (real) ලෙස හදුනාගැනීම මගහැරී යයි.  මෙම අවිනිශ්චිත සබදතා මත පදනම්ව ගොඩනගන දේශපාලනයද අවිනිශ්චිතය. නිව්ටන්ගේ විග්‍රහයට අනුව බණ්ඩාරනායක බලයට පත්වන විට ඔහුට අවශ්‍ය කුමක්ද යන්න බණ්ඩාරනායක පවා නොදනී. තව පැත්තකින් මිනිස්සු තමන්ට අවශ්‍ය කුමක්දැයි නොදනී. ඊජිප්තු වැසියාගේ රහස ඊජිප්තු වැසියාවත් නොදනී යන කියමන මෙතැනදී මතු කල යුතුය. සිංහල ජනසමාජය පිලිබදව කොතරම් සමාජ විද්‍යාත්මක පර්යේෂණ සිදුකලද ඔවුන්ට හිමි සාරයක් ගවේෂණය කල නොහැක. සිංහල සමාජය යනුවෙක් දෙයක් නොපවතී. නමුත් නිව්ටන්  වැනි සමාජ විශ්ලේෂකයන්ට එවැනි සමාජයක් පිළිබද ෆැන්ටසිකරණය කරමින් විවිධාකාර  කරුණුමය වාර්තා පමණක් සැකසිය හැක. ඒවා සැබෑ දේශපාලන විශ්ලේෂණ නොවේ.

ෆුකෝගෙන් පසු දේශපාලන විශ්ලේෂණ සිදුකිරීම සදහා සමාජ විද්‍යාව යොදාගැනීම අර්බුදයකට ලක් වේ. සමාජ විද්‍යාවට දැන් ඇත්තේ  උපයෝගීතාවාදී   භාවිතාවකි. වෙළදපල තුල භාණ්ඩ විකුණා ගැනීම සමාජ විද්‍යාත්මක විශ්ලේෂණ සිදු කිරීම මගින් සාර්ථක කරගත හැක. නිෂ්පාදන භාණ්ඩ වලට ඇති ඉල්ලුම, ඒ ඒ ප්‍රදේශ වල ජීවත් වන ජන වර්ග අනුව එම ප්‍රදේශ වල අලෙවි කල හැකි භාණ්ඩ මොනවාද යන්න සොයා ගැනීම සදහා ව්‍යාපාරිකයන්ට සමාජ විශ්ලේෂකයන්ව අවශ්‍ය වේ.

තමන්ට අවශ්‍ය කුමක්ද යන්න අප හැර ලංකාවේ වෙනත් කිසිම  දේශපාලන පක්ෂයක් නොදන්නා බව සදහන් කල යුතුය. 2013 නොවැම්බර් 23 වැනි දින සංවාදයක් ආරම්භ කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය තම දේශපාලන න්‍යාය ගොඩනැගීමේ වැදගත් කම සදහන් කරන ලිපියක් ප්‍රකාශයට පත් කරයි. එහි සදහන් වන කරුණු සංශිප්තව මෙසේය.

ව්‍යාපාරයක් ලෙස අපගේ අතීත භාවිතාව තුල ක්‍රියාව අධිනිශ්චය වී තිබු අතර න්‍යායික නිරාකුලභාවයක් සදහා අවධානය යොමු වුයේ අඩුවෙනි. නව ලිබරල් ධනවාදී මොහොත තුල ලංකාවේ සහ ලෝකයේ වත්මන් සමාජ -දේශපාලන තත්වය අර්ථකථනය කරගැනීම වැදගත් වේ. ක්‍රමවිරෝධී ව්‍යවහාරයක් ගොඩනැගීම, ප්‍රතිසංස්කරණ සදහා පක්ෂය මැදිහත් වන්නේ කෙසේද යන්න සංවාද කිරීම කල යුතුය. දෘෂ්ටිවාදය යනු කුමක්ද යන්න සාකච්ජා කල යුතුය. දර්ශනය පිළිබද සංවාදයේදී මිනිස් විඥානයෙන් පරිභාහිර ලෝකයක් තිබේද ? මාක්ස් එවැන්නක් පවසා තිබේද? ලෝකයට එහිම වූ නියාමයන් තිබේද? දයලෙක්තිකය යනු කුමක්ද? යන්න සාකච්ජා කිරීම වැදගත් වේ.

ඉහත සංවාදය දිගටම ක්‍රියාත්මක වුයේ නම පුබුදුලා අද සයිටම් පස්සේ දුවන්නේ නැත. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ආරම්භයත් වත්මන් ක්‍රියාකාරිත්වයත් දෙස බලන විට නැවතත් අපට සිහියට එන්නේ ඊජිප්තු වැසියාගේ රහස පිළිබද කියමනයි. පුබුදුලා මේ දක්වා දේශපාලනය කරමින් සිටින්නේ තමන්ට අවශ්‍ය කුමක්ද යන්න නොදැනය. ඔවුන් සියලු දේ ප්‍රශ්න කරන්නේ එවැනි දෙයක් මාක්ස් පවසා තිබේද යන්න නිගමනය කිරීමටය (යමක් මාක්ස් කියූ නිසා නිවැරදි නම් විෂ්ණු දෙවියන් කියූ දෙයක් වැරදි විය නොහැක). මේ යනු ලංකික වාමාංශික  තර්ක බුද්ධියේ සීමාවයි.

ලැක්ලාව් මාක්ස්වාදයේ සීමාවන් සලකුණු කරමින් පවසන්නේ දේශපාලනය යනු සත්‍ය වැඩපිළිවෙලක් නොවන බවයි. එය මාර්ග උපදේශනයක්ද නොවේ. දේශපාලනය යනු බලයේ ව්‍යාපෘතියකි. එම සංකල්පයට අනුව දේශපාලනය තුල අප අත්දකින පසමිතුරු පාර්ශවයන් තමන්ගේ මතවාදය ඔස්සේ  වූ විවිධ බල ව්‍යාපෘතීන්හි  නියැලෙමින් සිටින අතර ජයග්‍රහණය කරන පාර්ශවය පාලක පංතිය බවටත්  අනෙකුත් පාර්ශව ඊට විරුද්ධ කොටස බවටත් පත් වේ. මෙම බල ක්‍රීඩාවේ ප්‍රතිඵලයක් ලෙස විරුද්ධ පාර්ශවයක් පාලක පංතිය පරාජය කරමින් බලයට පත් වේ. උදාහරණයකට මහින්ද රාජපක්ෂ කදවුර නියෝජනය කල සිංහල බෞද්ධ ජාතිකවාදය පරාජය කරමින් එහි අනෙකා වූ ප්‍රජාතන්ත්‍රවාදී කදවුර 2015 දී ජයග්‍රහණය කිරීම දැක්විය හැක. මාක්ස් පිළිබද සමකාලීන විශ්ලේෂණයක යෙදෙන සැල්වෝජ් ජිජැක් පවසන්නේ මීට ප්‍රතිවිරුද්ධ අදහසකි. මාක්ස්ගේ සංකල්ප සමකාලීනව භාවිතා කළහොත් අපට සත්‍ය හමුවේ. සත්‍ය යනු පාර්ශවීය දෙයකි. එනම් මාක්ස් විසින් පැහැදිලි කරන සත්‍ය පාක්ෂික  වන්නේ නිර්ධන පංතියට පමණි. එය ධනේශ්වර පංතියට විරුද්ධය. එක පංතියක් තවත් පංතියක් මගින් පීඩාවට පත්  කරන බව මාක්ස්වාදයෙන් ඉදිරිපත් කරන  සත්‍යයයි.

ලැක්ලාව්, ජිජැක් දේශපාලන දර්ශනය ගොඩනගන්නේ පංති දේශපාලනය අවසන් වූ යුගයකය. පංති දේශපාලනය පැවති යුගයේ නිර්ධන පංතිය තමන්ට අවශ්‍ය දේ කුමක්ද යන්න ස්ථිරවම දැන සිටියේය. සේවකයන්ගේ වැටුප් වැඩිකර ගැනීම, රැකියාවෙන් ඉවත් කල සේවකයෙකු නැවත සේවයේ පිහිටුවා ගැනීම ආදිය පංති දේශපාලනයේ දී අවශ්‍ය වූ දේවල් විය. එහිදී රැවටීමක් සිදු වුයේ නැත. නමුත් ගෝලීය ධනවාදය ආරම්භ වීමත් සමග පංති දේශපාලනය දිය වී යන අතර Che Vuoi? (what do you want?) යන ලැකානියානු ප්‍රශ්නය දේශපාලනයට ඇතුළු වේ.

විශ්ව විද්‍යාල ඇදුරෙකු ලෙස නිර්මාල් රංජිත් ලබා ගන්නා වැටුපට ඔහු සිදුකල යුතු අනිවාර්ය සේවයක් නැත. මේ නිසා නිර්මාල් නිදහසක් අත්විදියි. මෙය ව්‍යාජ නිදහසකි. එසේ වන්නේ නිර්මාල් වැඩ නොකර ලබන නිදහස යනු සතියේ දවස් පහේම මහන්සි වී වැඩ කරන පෞද්ගලික අංශයේ සේවකයෙකු සති අග තමන් කැමති දෙයක් කිරීම හරහා ලබන ආකෘතිමය නිදහසට වඩා වෙනස් වන බැවිනි. නිර්මාල් නඩත්තු වන්නේ මහන්සි වී වැඩ කරන ජනතාවගේ බදු වලිනි.නමුත් බදු ගෙවන ජනතාව නිර්මාල්ගේ කිසි වැදගත්කමක් නැති අදහස් ඉදිරියේ දෙකට නැමිය යුතුය.

වර්තමානයේ තමන්ට අවශ්‍ය දේ කුමක්ද යන්න කිසිවෙකුත් නොදන්නා නිසා කෙනෙකුට අවශ්‍ය දෙය කුමදැයි කියා දීමට තවත් කෙනෙක් ඉදිරිපත් වේ. මහින්ද රාජපක්ෂට අවශ්‍ය දේ සිංහල ජාතිය ගොඩනැගීම  යැයි කට්ටිය කියා දුන්නේය. මොනවා නැතත් රට කාගෙන හෝ ඉන්න පුළුවන් බව ඔවුන් මහින්ද රාජපක්ෂට ඉගැන්වීය. මෙසේ ගොඩනැගෙන දේශපාලනය යනු දෘෂ්ඨිවාදී දේශපාලනයයි. ධනවාදයයේ ගතිකත්වය තීරණය වන්නේ දෘෂ්ඨිවාදය මතය. පුබුදුලා  දෘෂ්ටිවාදය යනු කුමක්දැයි ඉගන ගැනීමට අවශ්‍ය  බව ප්‍රකාශ කලද ඔවුන්ට ඇත්තටම අවශ්‍ය  දෘෂ්ටිවාදය යනු කුමක්දැයි ඉගන ගැනීමට නොවේ. ඔවුන්ට අවශ්‍ය කුමක්දැයි යන ප්‍රශ්නය ඇසීමෙන් ඵලක් නැත. මන්ද ඔවුන්වත්  එය නොදන්නා බැවිනි. ඒ වෙනුවට හම්බන්තොට ලුණු ලේවාය සුරකීමේ සංවිධානය පුබුදු අමතා ‘ඔයාට ඕනේ ලුණු ලේවාය රැක ගැනීමට නේද’ යැයි ඇසු විට පුබුදු ‘ඔව්’ කියමින් ලුණු ලේවාය රැක ගැනීමට සටන් කිරීම ආරම්භ කරයි.

Anushka Ariyarathne

 

 

 

ඔබේ අදහස කියන්න...