අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ හිටපු ජවිපෙ සාමාජිකයෙකු සහ හිටපු පෙරටුගාමී සමාජවාදීන්ගේ සාමාජිකයෙකු විසින් අපගේ සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර වෙනස පහදන ලද්දේ මෙලෙස ය.

 

1. X කණ්ඩායම කියන්නේ, න්‍යායික දේවල්වල අන්තවාදයට ගිය පිරිසකි.

 

2. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ, මං වගේ මිනිස්සුන්ගේ ජීවිතය කා දැමූ, ප්‍රායෝගික දේවල් වලට ඇබ්බැහි වූ පිරිසකි.

 

අපි දැන්, අලුත් මාවතක් සොයන්නට ඕනේ.

 

                90 දශකය මැද දී, X  දේශපාලනයේ මූලික සිද්ධාන්ත ගොඩනගන අවධියක දී, බ්‍රිතාන්‍යයේ ”ඇන්තනී ගිඩ්ස්ස්” නම් සමාජ විද්‍යාඥයා විසින් සමාජවාදයටත් නැති ධනවාදයටත් නැති ‘තෙවන මාර්ගයක්’ (Third Way) ගවේෂණය කරමින් සිටින ලදී. ටෝනි බ්ලෙයාර් විසින් බ්‍රිතාන්‍යයේ වෘත්තීය සමිති මත පදනම් වූ නව කම්කරු පක්ෂය ගොඩ නැඟුවේ, ඉහත න්‍යාය මත පදනම් වෙමිනි. නමුත්, කාලයක් ගතවන විට දී, මෙම තෙවැනි මාවත දියවෙමින් ධනවාදී සමාජ ක්‍රමය යළි සකස් වුණි. එම නිසා, මේ ලෝකයේ පවතින්නේ, ධනවාදය සහ ඊට විකල්ප පමණි. නමුත්, නික් බීම්ස් විසින් 1998 වර්ෂයේ දී ඉදිරිපත් කළ භූගෝලීයකරණය පොතෙහි මෙලෙස සඳහන් වෙයි.

 

        “ මෙහි දී අපට දක්නට ලැබෙන්නේ, ධනවාදී නිෂ්පාදන ආකාරයේ බිඳ වැටීමකි. එය, හුදෙක්ම කිසියම් ආකාරයකින් සමස්ත පද්ධතිය ඇන හිටුවන ලද වාණිජ හෝ ව්‍යාපාරික අර්බුදයක් නොවේ. ඊට විපරීතව, ධනවාදයේ බිඳ වැටීම මගින් ප්‍රකාශ වන්නේ, භූගෝලීය පරිමාවකින් ප්‍රාග්ධනයේ වියරු සහගත ක්‍රියාකාරීත්වයකි”.

 

                ඉහත වියරු ක්‍රියාවේ ඵලය කුමක්ද?

 

           “ එක් ධ්‍රැවයක ධනය රාශිභූත වීමේ කොන්දේසිය අනෙක් ධ්‍රැවයෙහි දරිද්‍රතාවය, කාලකණ්ණිකම සහ අසරණකම රාගී වීමේ කොන්දේසිය බවට පත් වෙයි.”

 

            ඉහත තත්වය ලංකාවට අදාළ කළහොත්…..

 

              “ මේ වර්ෂයට අදාළව, ජෝන් කීල්ස් සමාගමේ බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් බිලියන 39 ක් පමණ වෙයි. අනෙක් අතට, වැඩ කරන ජනයාගෙන් 60% කට පමණ ස්ථිර ආදායමක් නැත. නමුත්, අනෙක් අතට, බදු ආදායම්වල පරපුට්ටන් වන රජයේ සේවකයන් මිලියන 1.4 ට වැඩි ගෙවීම සඳහා රාජ්‍යයට මාසිකව මුදල් අච්චු ගැසීමට සිදු වෙයි.”

 

              නික් බීම්ස් තවදුරටත් මෙසේ ප්‍රකාශ කරයි.

 

              “ ජාතික රාජ්‍යය යනු, භූගෝල විද්‍යාත්මක නොව දේශපාලනමය සැකැස්මකි. ධනවාදී ක්‍රමය සිය උවමනාවන් සහ අයිතීන් සඳහා සටන් කිරීමට නිර්මාණය කරගත් දේශපාලන ව්‍යුහයකි. ශ්‍රමය ලබා දෙන මිනිස්සු නිශ්චිත ස්ථානයක ජීවත් වෙති. එතෙක්, ඔවුන්ගේ අරගලයන් හී පරාසය තීරණය වන්නේ, භූගෝලයෙන් නොව සමාජ ප්‍රශ්නයන්ගෙනි.”

 

            මාක්ස්ගේ වචන නූතන යුගයට ගැළපෙන අයුරින් පරිවර්තනය කර, සමකාලීන තත්වය පහත පරිදි විග්‍රහ කළ හැකි ය.

 

               “ වත්මන් කාලය දක්වා ඉතිහාසය තුළ තනි තනි පුද්ගලයන්, තමන්ගේ ක්‍රියාකාරකම් ලෝක ඓතිහාසික ක්‍රියාකාරකම් බවට පුළුල් කර ගනිමින් තමන්ට ආගන්තුක වූ ජීවිතය ඩිජිටල්කරණය වීමේ හරය එනම්, පන්ති දේශපාලනය වෙනුවට අනන්‍යතා දේශපාලනය තෝරා ගැනීම (නැතහොත්, කොර්නෙල් සරසවියේ ගේට්ටු පින්තූර දමමින් යක්කල ගැමියෙකුගේ වියරු සිනහව ප්‍රශ්න කරන පිරිමි ලෝකය ආගන්තුක කරගත් අවලස්සන දෘෂ්ටිකෝණය මත සිටගෙන) අවසන් වශයෙන්, වෙළෙඳපොළ පශ්චාත්-නූතන තත්ත්වයට පත් වූ බලයක් යටතේ, Facebook සමාගමේ වහලෙක් බවට පත්වීම සහතික වශයෙන්ම අනුභූතික කරුණකි. (ජර්මන් දෘෂ්ටිවාදය).”

 

            නිෂ්පාදනය සහ ප්‍රතිනිෂ්පාදනය ගෝලීයකරණය වන තතු යටතේ, ‘ධනවාදය’ යනුවෙන් සමාජ-ක්‍රමයක් පැවතීමට ඉඩක් නැත. ඊනියා මැද පාන්තික තත්වාරක්ෂකයින් බෙරිහන් දෙන ආකාරයේ System එකක් ලෝකයේ කිසි රටක දැන් නැත. බොරිස් ජොන්සන් සහ ජෝ බයිඩන් එහි උන්මූල ප්‍රකාශකයන් ය.

            නික් බීම්ස්, ලංකාවේ ට්‍රොට්ස්කිවාදී පණ්ඩිතයන් නොදුටු දෙයක් දැක ඇත. (අපි, මෙම තත්ත්වය මහාචාර්ය ගම්ලත් ජීවතුන් අතර සිටියදීම දුටුවෙමු) ට්‍රොට්ස්කිවාදය ගැනම ඔහුගේ ප්‍රවාදය පහත පරිදි ය.

                “ ට්‍රොට්ස්කිගේ චරිතාපදානය ලියූ ඩොයිෂර් මෙලෙස ට්‍රොට්ස්කිවාදය ගැනම සම්පිණ්ඩණය කරයි. ඔහුගේ මූලික තේමාව මෙසේ ය. පශ්වාත්-ලෝක යුද සමය තුළ, එනම් සීතල යුද සමය තුළ ට්‍රොට්ස්කිගේ ‘සම්භාව්‍ය මාක්ස්වාදයට’ තැනක් නො වීය. ට්‍රොට්ස්කිගේ පරාජයන්ගෙන් මූර්තිමත් කෙරුණේ, ධර්මතාවයක් ලෙස ද ව්‍යාපාරයක් ලෙස ද සම්භාව්‍ය මාක්ස්වාදය පැටලී තිබෙන මූලික අකරතැබ්බය යි. එනම්, විප්ලවවාදී වර්ධනය පිළිබඳ මාක්ස්වාදී දැක්ම ද පන්ති අරගලය සහ විප්ලවයේ තාත්වික ගමන් මාවත ද අතර පැවැති අසංගතභාවය සහ වෙන් වීමයි”.

 

            ට්‍රොට්ස්කිවාදයේ ඉහත අසංගතභාවය අපි විසින් 90 දශකය මැද දී, ‘පශ්චාත්-නූතනවාදය’ ප්‍රවාදය හරහා ඔප්පු කර පෙන්වූයෙමු. අප එසේ කරන ලද්දේ, ලෙනින්වාදයේ මූලික සූක්ෂමතාවය ආරක්ෂා කරමිනි. අපගේ ප්‍රවාදය මෙලෙස කෙටි කළ හැකි ය.

 

           “ තවදුරටත්, ධනවාදය යනුවෙන් සංගත සහ පරිමිත ක්‍රමයක් නො පවතින නිසා, වාස්තවික න්‍යායන්ගෙන් තොරව ආත්මීයත්වය පිළිබඳ භෞතික න්‍යායක් නිපදවීම අනාගත සියලු පීඩිතයන්ගේ දාර්ශනික ගැටලුවයි.”

 

            තීරණාත්මක ලෙස, අප සහ ලංකාවේ අනෙකුත් වාමාංශික සහ ප්‍රගතිශීලී ව්‍යාපාර අතර වෙනස බිහි වන්නේ, අප වාස්තවිකත්වයේ ප්‍රබන්ධ මානය ආත්මීය ගොඩනැංවීමක් බව සොයා ගැනීම නිසා ය. අපගේ මෙම ප්‍රවාදය ලෙනින්වාදය සපථ කරනවා මිස නිශේධනය කරන්නේ නැත. ඔහුගේ විප්ලවය පිලිබඳ න්‍යාය ආත්මීය එකක් මිස වාස්තවික එකක් නොවේ. රුසියන් විප්ලවයට නායකත්වය දුන්නේ, බහුතරය සහිත පිරිස නොව න්‍යායිකව ශික්ෂිත කුඩා කණ්ඩායමකි. මෙම කරුණ, සමන් පුෂ්පකුමාර සුළුකොට තකන්නෙකි. විප්ලවීය වර්ධනයන්වල අවසානය තීන්දු වන්නේ, ප්‍රමාණයෙන් නොව ගුණයෙනි.

            අපගේ ඉහත ප්‍රවාද සත්‍යය නම්, ලංකාවේ System එක change කිරීමට නො හැකි ය. මන්ද, එවැන්නක් යථාර්ථයේ නැති නිසා ය. නව පරම්පරාව ඉහත අවබෝධයෙන් තොරව ක්‍රියා කරන්නේ, ඔවුන්ට ඉතිහාසය සහ ධනවාදය පිළිබඳව සංවේදීතාවයක් නොමැති නිසා ය. එම නිසා, ඔවුන්ගේ පරාජය නියත කරුණකි.

            අනෙක් අතට, මාවතක මිනිසුන් සමූහයක් රැස් වූ විට දී, ඒ වටා තම දේශපාලන සංවිධානයේ අනාගතය තීන්දු කිරීම අප සමාජ-විද්‍යාව ඇතුලේ වටහා ගත යුත්තේ කෙසේ ද? සමාජ න්‍යාය ගැන ප්‍රාමාණික උගතෙකු  වන මයිකල් වෝල්සර් 1989 දී සමාජවාදය අවසන් වූ පසු, ප්‍රාග් නගරයේ වීදිවල පෙළපාලි යන ජහමනයා දෙස රූපවාහිනියෙන් නරඹමින් මෙලෙස පරිකල්පනය කරන ලදි.

 

                “ මම කොහොමද මහපාරේ මේ ඇවිද යන උද්ඝෝෂකයන් අතරට පැන, ඔවුන්ගේ භාෂා ක්‍රීඩාවට සහ බල සබඳතා විනි විදින්නේ? මගේ ජීවිතය තුළ මට දුරින් සහ අමුත්තක්ව පවතින සංස්කෘතියක් උද්ඝෝෂකයන් නියෝජනය කරයි. ඒ ගැන, මට කිසිම අත්දැකීමකුත් නැත. ඒ වුණත්, මමත් කැමැතියි ඔවුන් අතරට ගොස් ඔවුන්ගේ උණුසුමට එකතු වෙන්න. එතකොට, මටත් පුළුවන් ඔවුන්ගේ සංඥාම රැගෙන යන්න.”

The “freedom” of capitalism is a bullshit freedom and that’s why we enjoy it so much.

            වෝල්සර් වැනි තාර්කික මිනිසෙකුට අවශ්‍ය වන්නේ, මහපාරේ ගමන් කරන ජහමනයාගේ සංඥා සමඟ තදාත්මික වීමට ය. පසුගිය දිනෙක, මහාචාර්ය උයන්ගොඩ ගෝල්ෆේස් උද්ඝෝෂකයන් සමඟ තදාත්මික වීමට උත්සාහ කරන ලදී. ඇකඩමික අත්දැකීම සහ ජහමනයාගේ අත්දැකීම අතර පෑස්සිය නොහැකි පරතරය පුරවා දැමීමට ෆැන්ටසිකරණය කිරීම සමාජවාදයේ බිඳ වැටීමට පසුව සුලභ ප්‍රපංචයකි. එහි සරලාර්ථය වන්නේ, මිනිසුන් පාලනය විය යුත්තේ විද්‍යාත්මක සංකල්ප වලින් නොව යන්නයි. වෝල්සර් සහ උයන්ගොඩගේ සටන් පාඨය වන්නේ, අපිත් ‘උණුසුම් මිනිසුන්’ (I want to become human) යන ප්‍රවාදය යි. මෙය, ඉතා පැහැදිලිව මධ්‍යම පන්තික සිහිනයකි. මේ මහපාරේ ගමන් කරන ජහමනයා සහ ඔවුන් අතර ඇති අනන්‍යකරණය, පන්ති දුරස්ථභාවයක ඵලයක් මිස යථාර්ථයේ ස්වභාවය නොවේ. නමුත්, අපි කලින් කතා කළ යථාර්ථය ආත්මීයකරණය කිරීම ද මෙතනදීත් විකල්පයක් වනු ඇත.

            ටිල්වින් සිල්වාගේ ‘ජනතා විමුක්ති පෙරමුණ’ සහ කුමාර් ගුණරත්නම්ගේ ලැයිස්තු පක්ෂය වන පෙරටුගාමී සමාජවාදීන් ද, වෝල්සර් සහ උයන්ගොඩ ගිය පාරේම යමින් සිටිති. මෙහි ව්‍යුහාත්මක සමානාත්වය කුමක් ද?

            කෙතරම් පරිහානියට පසුව පත් වූවත් ‘සමසමාජ පක්ෂය’ නියෝජනය කරන ලද්දේ, කොළඹ කම්කරු පන්තිය යි. නමුත්, ජවිපෙ විසින් නියෝජනය කරන්නේ, සේවා ආර්ථිකයේ නියෝජිතයන් වන රාජ්‍ය සේවකයන් ය. මේ රාජ්‍ය සේවකයන් මිලියන 1.4 රටේ බදු ආදායමෙන් විශාල පංගුවක්, ප්‍රතිලාභ වලින් තොරව නාස්ති කරයි. අනෙක් අතට, කුමාර් විසින් පවතින මර්ධිත යථාර්ථය නිෂ්පාදනය කරන ”විෂම චක්‍රය’ හරහා ප්‍රති නිෂ්පාදනය කරන අ.පො.ස උසස් පෙළ විභාගය සුජාත කරන අතර අනෙක් පසින්, උසස් අධ්‍යාපනයේ ඌණ-සංවර්ධනය සහතික කරන විශ්වවිද්‍යාල ගුරුවරුන්ගේ පන්ති උවමනාවන් ඉෂ්ට කර එහි සිසුන්ගෙන් සුළුතරයක් මඟින් ශිෂ්‍ය දේශපාලන ආකෘතියක් නිපදවා ඇත. මීට අමතරව, ජවිපෙ සහ පෙරටුගාමීන් නොදැනුවත්ව ලංකාවේ යටත්විජිත අධිකරණ ආකෘතිය සහ දේශපාලනයට කතෝලික පල්ලියේ අත ගැසීම ආරක්ෂා කරයි. 

            රට තුළ නැති ‘සමාජ-ක්‍රමයක්’ (= ධනවාදය) විනාශ කිරීමට ‘දේශපාලනය’ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ දක්වා ඌණනය කිරීමට අප ඉහත කී සියලුම දේශපාලන බලවේග එකඟ වී ඇත. ලංකාවේ ව්‍යාපාරිකයන් 10 දෙනෙකු පමණ රාජ්‍ය ව්‍යුහය සමඟ ගැට ගැසී ඇති වාණිජ ව්‍යාපාර සමූහයක් හරහා ‘පොදු ධනය’ මංකොල්ල කයි. මෙය, ක්‍රීෂාන් බාලාන්ද්‍රගේ සිට දිලිත් ජයවීර දක්වා දිගු වෙයි. කිසිවෙකු, මෙම ‘දේශපාලන-ආර්ථික’ ව්‍යුහය හඳුනාගෙන නැත. මේ සූරා කෑමේ ව්‍යුහයට ව්‍යවස්ථාවේ ඇති සම්බන්ධය මමීගේ සහ ජලනීගේ පොඩි පිරිමි ළමයා වන සජිත් ප්‍රේමදාස අපට කියා දිය යුතු ය.

            අපට, වසර 25 ක අපගේ න්‍යායික සහ දාර්ශනික අරගලය පියවර තුනකින් ලකුණු කළ හැකි ය.

 

1.තිරසාර අධිෂ්ඨානයක් තිබූ පලියට සමාජය වෙනස් කළ නො හැකි ය. (95-2004 යුගයේ දී අපගේ අසාර්ථකත්වය)

 

2. තිරසාර අධිෂ්ඨානයට විජේවීර සහ ප්‍රභාකරන් විසින් උපාය-උපක්‍රමික මානයක් එක් කරන ලදී. එය අවසන් වූයේ, ඔවුන් දෙදෙනාගේම හිසට උණ්ඩයක් ඇතුළු වීම මඟිනි.

 

3. මිනිසාට අවිඥාණයක් ඇත. අපගේ ව්‍යාපාරයේ අනාගත සාර්ථකත්වයට මඟ වැටී ඇත්තේ, මෙම මානය දිගේ ය. එකම දේ යළි යළිත් පුනරාවර්තනය වන්නේ, අපට අවිඥාණයක් ඇති බව නො පිළිගැනීම සන්දර්භ කොටගෙනය.

 

            දැන්, අප රට තුළ ‘අර්බුදයක්’ මතුව ඇත. එවිට, මේ අර්බුදය විශ්ලේෂණය කිරීම සඳහා ‘න්‍යායක්’ අවශ්‍යය. නැතිනම් සිදු වන්නේ, ‘අර්බුදය’ මත පරායත්ත වී එයින් ගසා කෑමට ය. අපට අර්බුදය විශ්ලේෂණය කිරීමට අවශ්‍ය නම්, ‘න්‍යායක්’ අවශ්‍යය. සරලව කිවහොත්, මාක්ස්, ෆ්‍රොයිඩ් අවශ්‍යය. එවිට, අපට ‘අර්බුදය’ පිළිබඳව ස්වාධීන අදහස් ප්‍රකාශ කිරීමට හැකි ය. උදාහරණයක් වශයෙන්, රනිල් වික්‍රමසිංහ විසින් විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමැති කළ වහාම, සාලිය පීරිස්ගේ හඬ මාධ්‍යවලින් අතුරුදහන් වී යන ලදී. ජනාධිපති යනු, ජනතාවගේ පරමාධිපත්‍ය බලය ප්‍රකාශ වීමක් බව ලංකාවේ කතෝලික පල්ලියටත් අමතක වී ඇත. විද්‍යාව (යමක් ක්‍රමවත්ව අධ්‍යයනය කිරීම) අපට අවශ්‍ය වන්නේ, අපගේ මූලධර්ම සකසා ගැනීමට මිස වාචාල කීමට ආධාර වීමට නොවේ.

            මනෝවිශ්ලේෂණය අවශ්‍ය වන්නේ, අහම කේන්ද්‍රීය මනෝවිද්‍යාව මගින් සංස්ලේෂණය කරන ධනාත්මක මිනිසාව විශ්ලේෂණය කර විසංයෝජනය කිරීමට ය. Gall Face අරගල භූමියේ සිටි ලිබරල් පන්නයට හැඩ ගැසුණු ස්ත්‍රියක්, අප සමඟ අරගලයේ ධනාත්මක පැත්ත ගැන කතා කරන ලදී. ඇය සතු වත්කම් ප්‍රමාණය නිසා ඇය බාහිර සංකේත නීතියෙන් නිදහස් ය. එවිට, ඇයව පාලනය කර ගැනීමට ඇයට අවිඥාණක නීතියක් අවශ්‍යය. එය, ඇයට රැගෙන ආවේ අන්තරේ පාදඩයන් විසිනි. ඉන් අයෙක් මෙසේ කියා ඇත: ‘තෝ ආයෙත් මෙතනට ආවොත් පොල්ලකින් ඔලුවට ගහනවා’. මේ, අයව පාලනය වන්නට එළියෙන් ඇතුළට පැමිණි සුපිරි-අහමේ නීතිය එයයි. අප කියන්නේ, අන්තරේ වැරදියි කියා නොවේ. ඔවුන් ඔවුන්ගේ යුතුකම ඉෂ්ට කර ඇත. සමකාලීන ලිබරල්වාදියාට පිටුපස දොරටුවෙන් අවශ්‍ය කරන්නේ, අශ්ලීල අභ්‍යන්තර නියෝගයක් ය. ‘බොබී පේරු’ මාදිළියෙන් එය ඇය වෙතට ආවේ, පාදඩ පන්තියේ පිරිමියෙකුගේ මුවෙනි. මෙතැන දී, අවිඥාණය = සමාජ බලවේග.

WILD AT HEART, Laura Dern, Willem Dafoe, 1990

            මම ඉහත උදාහරණය පුනරාවර්තනය කරමි. ගල්කිස්ස ප්‍රදේශයේ ඊනියා වැදගත් පොහොසත් පවුලක, ජීව විද්‍යාත්මකව තරුණ ස්ත්‍රියක් නූතන ලිබරල් නිදහස අනන්තයටම රස විඳියි. ඇයට බාහිරින් පවතින සංකේත නීතිය ඇයට අදාළ වන්නේ, නැති තරම් ය. ඇය ගුරුත්වාකර්ෂණ බලයෙන් නිදහස් වී කිරිල්ලියක් මෙන් අහසේ පියාඹයි. බාහිර සංකේත නීතිය මිය යන නිසාම ඇයගේ ආශාව ද මිය යයි. එය, ඇයට පුනර්ජනනය කිරීමට අභ්‍යන්තරය (ආත්මමූලිකත්වය) අණ කරයි. එවිට, ඇයට අහම්බයකින් ගෝල්ෆේස් අරගලකරුවන් හමු වෙයි. ස්වේච්ඡාවෙන්ම ඇය ඊට සහභාගි වී අතින් වියදම් කරගෙන ඊට උදව් කරයි. ඇය, ලිබරල් කිරිල්ලියකි. ඇගේ නිෂ්ටාව, අන්‍යෝන්‍ය අවබෝධය (Mutual Recognition) යි.

ඇය, මට මෙසේ පවසන ලදී: ‘අන්තරේ අය හරි හොඳයි. අරගලය පළමු මොහොතේ ආරක්ෂා කළේ, ඔවුන්. ඔවුන් සුන්දරයි.’ මම නිහඬ වීමි. දින දින කාලය ගත විය. ඇය, අන්තරේ ගැන යම් යම් පරස්පරතා ප්‍රකාශ කරන ලදී. අවසානයේ, ඇයට අන්තරයට සම්බන්ධ වෙනත් පිරිසක් මෙසේ ප්‍රකාශ කර ඇත: ‘බැල්ලී, තෝ ආයෙත් මෙතැනට ආවොත් පොල්ලකින් ගහලා තෝවයි මිනිහවයි දෙන්නවම එළවනවා.’ කුඩා කල දී, වැඩිහිටි කාන්තාවක් අතින් ලිංගික වරදකට යොමු වූ පුද්ගලයෙකු ඉහත බැණ වැදීම කර ඇත. ඔහු දැන්, සමාජවාදීයෙකි. ඉහත ලිබරල් ස්ත්‍රියට බාහිර නීතිය අහිමි වූ නිසා, එය ඇතුලෙන් පැමිණියේ අශ්ලීල අඳුරු නීතියක් ලෙසිනි. එම අණ නිසා, මේ මධ්‍යම පන්තික ස්ත්‍රිය සන්සුන් විය. ඇය තවමත් කියන්නේ, අන්තරේ කොල්ලන් රොබින් කුරුල්ලන් බවයි. අහම නැතිව විනෝද වන සමාජයක, සමාජ නීතිය අභ්‍යන්තර නීතිය බවට පරිවර්තනය වන්නේ, ආධිපත්‍යයේ ප්‍රචණ්ඩම ස්වරූපයෙනි. නූතන සමාජයේ, සමාජවාදී දෘෂ්ටිවාදයේ අශ්ලීලත්වය නව සමාජ බලවේගයක් වී ඇත. එය ද විමුක්තියකි. 

Freedom is not simply the ability to do whatever you want because your desire is socially mediated (desire is the desire of the Other, desire is Other-centric). True freedom is freedom from the Other (authority).

Deepthi kumara Gunarathne

Samabima Party.

අප සමග එකතු වන්න! 

=======================

Anushka- 0703232113

Nuwan – 0715324110.

Mihiran – 0774950204

 

ඔබේ අදහස කියන්න...