මෙයට අවුරුදු විස්සකට ප්‍රථම මගේ පියා හදිසියේ මියගියේ වයස හැට එකක්ව තිබියදීය. ඔහුගේ ව්‍යාධිය මුලදී හඳුනා නොගත් වෛද්‍යවරු ඔහුට ප්‍රතිකාර කළේ වෙනත් ලෙඩ වලටය. මෙකල ද ලන්ඩනයේ වාසය කළ මම  ඔහුට ප්‍රතිකාර කිරීමට නොයෙකුත් පෞද්ගලික රෝහල් වල චැනල් කිරීම් කිරීමට පවුලේ අය මෙහෙයවුයෙමි. එසේම බොහෝ රෝග පරීක්ෂණද කළෙමු.  නමුත් රෝගය ගැන හරි අදහසක් නොතිබුණි.

 වරක් හදිසියේ අසනීපවී පුංචි  බොරැල්ලේ රජයේ මහා රෝහලට ගිය විට එහි සිටි දක්ෂ වෛද්‍යවරයෙකු  මගේ පියාගේ රෝගය හෙමක්‍රොමටෝසිස්   hemochromatosis  නැමති රුධිරයේ යකඩ ලවණය  වැඩි වීමේ රෝගය බවට හදුනා ගත්තේය. මෙය බොහෝ විට සංජානිය ආබාධ හෙවත් පරම්පරාවෙන් සෑදෙන රෝගයක් ලෙස හැඳින්වේ.  ඔහු ප්ලාස්මා පාරවිලනයභාවිතා  කරමින් පියාට වෙදකම් කල අතර අපට මුදල් වියදම් වුයේ එම බෝතලයක් ලේ බැංකුවෙන් ගැනීමට පමණි. එසේම පියාටද සෑහෙන සුවයක් ලැබුණි.

 

ඒ දක්ෂ අවංක දොස්තර මහතා කිසියම් ප්‍රශ්නයක් ඇතිවීම නිසා වෙනත් රටකට ගිය බව ආරංචි විය. ඉන්පසු රජයේ රෝහලේ අනිකුත් වෛද්‍යවරු මගේ පියාට එම පාරවිලනය කිරීම හා ඔහු නියම කළ බෙහෙත් දීම ප්‍රතික්ෂේප කළහ.  එසේම ඔවුන් නැවතත් ඔහුට ඇත්තේ හෙපටයිටිස් සී වැනි රෝගයකි වරෙක කී  අතර මත්පැන් බීම නිසා සිරෝසිස් හැදී ඇති බව කියමින් හෙදියන් පවා අකරුණාවෙන් කතා කළහ.

මේ නිසා ප්‍රසිද්ධ වෛද්‍ය විශේෂන්ඥයකු චැනල් කර නැවතත් පුද්ගලික රෝහලකට පියා  රැගෙන  පරීක්ෂණ කර නිමකර එම විශේෂන්ඥ වෛද්‍යවරයා සේවය කරන රජයේ රෝහලටම ඇතුලත් කරන ලදී. (මෙය ලංකාවේ ක්‍රමයයි)  ඔහු මගේ පියා ගේ ව්‍යාධිය අර පෙරකී වෛද්‍යවරයා කියූ පරිදිම  හෙමක්‍රොමටෝසිස් යයි අනුමත කල අතර ප්ලාස්මා පාරවිලනයට  ප්‍රථම  තවට්ය්හ් පරීක්ෂණ කිරීම අවශ්‍ය බව කියමින් අර රුධිර පරීක්ෂණ ආදී සියල්ලම නැවත කරන ලදී. අපේ පවුලේ අය ආයාචනා කලද ඔහු ප්ලාස්මා ප්‍රතිකාරය ලබා දුන්නේ  නැත. 

මපියා  දිනෙන් දින දුබල වුනු අතර එක දිනක් වෛද්‍ය සිසුන් සමුහයකට මගේ පියා පෙන්වමින් ඔහු කියා ඇත්තේ “මෙයා වැඩි කල් ඉන්නේ නැහැ. මේ ලෙඩේට බෙහෙත් කරන්න අමාරුයි.  මුහුදු මට්ටමින් ඉතා උඩ  ජිවත් වෙන්න ඔක්සිජන් වැඩි ප්‍රමානයක් පෙනහළු වලට ගැනීමට රුධිරයේ යකඩ වැඩියෙන් තිබුනත්, මුදු මට්ටමේ ජිවත් වනවිට එම  අවශ්‍යතාවය නැතිවී යන නිසා එම ලවණය අක්මාවේ තැන්පති වී පසු කලෙක සිරෝසිස් වලට පෙරලෙන  බවත්  කියා තිබේ. “ එසේ කියා බලාපොරොත්තු තබා ගත නොහැකි රෝගියකු වශයෙන් හඳුන්වා දී තිබේ. සේලයින් දී තිබුනත් හොඳ සිහියෙන් සිටි පියා ඔහු බැලීමට පැමිණි ඖෂධවේදිනියක වන මගේ සොයුරියට මේ බව කඳුළු ගලමින් කියා තිබේ. සොයුරිය මට කිවේ ලංකාවේ ඇතැම්  දොස්තරවරුන්ගේ උඩඟු බව [class] නිසාම කිසිවක් කිව නොහැකි බවයි.

මා කළේ එම රෝහලේ දුරකථනය සොයාගෙන මා එංගලන්තයෙන් කියා ඉංග්‍රීසියෙන් ඔවුන් ඇමතීමයි. ලංකාවේ එයට කිසියම් ගරුත්වයක් ඇතිබව අත්දැකීමෙන් දනිමි. එම වෛද්‍යවරයා වාට්ටු පරික්ෂා කර අවසාන වන වෙලාව හොයාගෙන ඔහුට කතා කල මම මේ ගැන චෝදනා කළෙමි. මගේ පියා  මිය යන්නට ආසන්නව සිටිය හෝ නැතා  ඔහු ඉදිරියේ එසේ කීමට කොතරම් ලොක්කෙක් වුවත්  මෙම වෛද්‍යවරයාට ඇති අයිතිය කුමක් දැයි විමසුවෙමි. ඔහු කීවේ මපියා නිදාගෙන  සිටී යයි සිතා  එසේ කී බවයි. ඔහු එයට කණගාටු වන බවත් පැවසීය. මා  එංගලන්තයේ සිටින බව දැන ගත් ඔහු පියා ඉක්මනින් ගමන් කිරමට හැකිවන ලෙස සෑහෙන දුරට සනීප කර දෙන බවත් එංගලන්තයේ ඔහු දන්නා වෛද්‍යවරයෙකුට යොමු කර අක්මාව  බද්ධ කිරීමට අවස්ථාවක් සලසා දෙන බවටත් පොරොන්දු විය .

එසේ නම් වෙද  සිසුන්ට එසේ කීයේ ඇයිදැයි ඇසු  විට තමන් කළේ ඉගෙන ගන්නා අයට කරුණක් පැහැදිලි කල බව පමණක් යයි ඔහු පැවසුවේය.

නමුත් ඉන් සතියකට පමණ පසු මගේ පියාගේ ඇඳ ට යාබද ඇඳට ඉන්ෆ්ලුවන්සා සහිත රෝගියකු ගෙනෙන ලදී. (හෝ උවමනාවෙන් මාරු කරන ලදී). දුබල  අක්මාව නිසා සිරුරේ ප්‍රතිශක්තිය දුර්වලව තුබූ මගේ පියා  නිවුමෝනියාව සෑදී අප හැර ගියේය. මගේ සොයුරිය මේ ගැන ප්‍රශ්න කල විට උක්ත වෛද්‍යවරයා කණගාටුව ප්‍රකාශ කර තිබුණි.

නැවත නැවතත්  පරීක්ෂණ කරමින් මුදල් අයකරමින් ඔහු කල විගඩම කුමක්  දැයි ප්‍රශ්න කල විට මා හඳුනන වෛද්‍යවරියක කීවේ මේ බොහෝ මහාචාර්ය හෝ විශේෂන්ඥ වෙදදුරන්ගේ ළමුන් එක්කෝ විදේශ රටක (පිඑම්සිය රජයට පවරා  ගෙනය)  ඉගෙන ගන්නා  බැවින් ඔවුන්ගේ වියදම් පියවීමට මෙසේ කටයුතු කරන බවය. ඇගේ අදහස වූයේ  එය සාමාන්‍ය  දෙයක් බව යයි මට සිතුනි.

ඉන්පසු අපට වෛද්‍යවරුන් මෙන්ම සමස්ත රෝහල් පද්ධතිය කෙරෙහිම ඇති වූයේ කළ කිරීමකි.

තවත් වරෙක ලංකාවට පැමිණි විටෙක  මගේ දරුවා අසනීප ගතියක් හා උණ ගතියක්  පෙන්නුම් කළෙන්  මීගමුවේ පෞද්ගලික රෝහලකට (විශාල දිස්පෙන්සරියක් වැනි)  ගියෙමි.  එහිදී වෛද්‍යවරිය අති විශාල පෙති වර්ග සමුහයක් දුන්නාය. ඒ සියල්ලට රුපියල් දහසකට වඩා වියදම් විය. (පවුම් වලින් එතරම් මුදලක් නොවූවත් පැරසිටිමෝල් ද ඒ අතර විය  ) නමුත් ඒ බෙහෙත් සියල්ලම මගේ බිරිඳ විසින් කුණු කුඩයට දමන ලදී. වඩා  හොඳ වාතාශ්‍රය සහිත තැනකට ගිය විට දරුවා ඉබේම ප්‍රකෘති තත්වයට පත් විය. 

මෙසේ අනවශ්‍ය බෙහෙත් දෙන්නේ ඇයිදැයි ඇසූ විට මගේ යහළු දොස්තර මහතෙකු කිවේ එසේ කුමන හෝ බෙහතක් නොදුන්නොත් වෙදා හොඳ නැති යයි ලංකාවේ මිනිසුන් මැසිවිලි නගන බවය. බෙහෙත් පෙති දෙන තරමට දොස්තර හොඳ යයි ඔවුන් වර්ණනා  කරන බවද කීය. කොටින්ම ඔහු තුල  වූයේ ලංකාවේ අසනීප වී පිළියම් ගැනීමට එන ජනතාව ගැන අවන්ඥා සහගත හැඟීමකි යයි මට සිතුනි.

මේ නිසා බොහෝ විට මට සිතුනේ පෞද්ගලික රෝහල් තිබීම හොඳ  යයි කියාය. නමුත් මගේ මව හදිසියේ අසනීප වූ විටෙක හා තවත් ඥාතියකු අසනීප වූ විටෙක ද ඔවුන් පෞද්ගලික තැනකින් බෙහෙත්  ගත්තත් හදිසියට ගියේ එහිවූ ප්‍රාදේශීය  රෝහලටයි. එහිදී ඔවුන් සුවවී නිවසටද පැමිණියහ. එනිසා රටේ ජනතාවට එංගලන්තයේ NHS මෙන් නොමිලේ ප්‍රතිකාර දෙන රෝහල් පද්ධතියක්  අනිවාර්යයෙන්ම තිබිය යුතු යයි සිතමි.

මේ අදහස සනාථ කරන තවත් සිද්ධියක් පසුගිය දෙසැම්බරයේ සිදුවිය. ඒ මගේ ළඟම ඥාතියෙකුට හෘදයාබාධයක් හදිසියේ සෑදීමයි. ඔහු සිටි දුර ප්‍රමාණය අනුව කොළඹ රජයේ රෝහල ට හෝ වෙනත් පෞද්ගලික රෝහලකට ගෙනයාමට වෙලාවක් නොතිබුණු අතර ඔහුගේ යහළුවන් ඒ අසල මිනිත්තු පහක දුරින් පිහිටි උක්ත ප්‍රාදේශීය රෝහලට ඔහු ඇතුලත් කළහ. ඔහුට සෙලවීමටවත් නොදුන් වෛද්‍යවරු  සහ හෙදියන් දින දෙකක් ම  රෝගියා  ළඟම සිට ප්‍රතිකාර  කළහ. මා  එහි යන විට ඥාතියා තරම  සුවයක් ලබා සිටියත් රෝගී තත්වය ගැන දැන ගැනීමට පවුලේ අයට නොහැකි විය.  එයට හේතුව ශ්‍රී  ලංකාවේ වෛද්‍යවරුන් හෝ හෙදියන් රෝගයන් ගැන කිසිම  කරුණක් නොකීමයි. ඔවුන් (පවුලේ අය) ඇසීමටද බයය.

මා වෛද්‍යවරුන් හමුව ඒ ගැන විමසීම් කර තත්වය දැන  ගතිමි. ඔවුහු කාරුණිකව තත්වය පැහැදිලි කළහ. පසුව මගේ මිතුරෙකුගේ ගේ වෛද්‍යවරියක් වන බිරිඳක් ද පැමිණ තොරතුරු අසා දැනගත්තාය. මා  එහිදී පැහැදිලිවම දුටුවේ තරමක් තදින් කටයුතු කලද එම තරුණ වෛද්‍යවරුන් හා හෙදියන්ද කරුණාවන්ත බවය. වාට්ටුව පිරිසිදුය. ඔවුන් නිතර උද්යෝගයෙන් වැඩ කරති. එතරම්ම  ප්‍රමාණයක් ලෙඩුන් ද සිටිති. ඔවුන්ගේ කාර්යය ලෙහෙසි පහසු නොවේ. නමුත් ඔවුන් හැකි පමණ තම උපරිමයෙන් කටයුතු කරමින් ලෙඩුන්ගේ ජිවිත බේරා  දෙති. එතනට පැමිණෙන   ඉතා දිළිඳු ලෙඩුන්ට ද සමසේ ප්‍රතිකාර කරති. දොස්තරවරුන්ට එතෙක් තිබු මගේ අකමැත්ත යම් තරමකට පහව ගියේ මේ නිසාය.

එසේම සෞඛ්‍ය  අමාත්‍ය රාජිත  සේනාරත්න මහතා විසින් හෘදරෝග සැත්කම් සඳහා නොමිලේ  ස්ටෙන්ට් ආදිය ලබා දුන්නද වෙද්‍යවරු කොම්පැනි වලින් මිලදී ගන්නට කියා බල කරන බව  රාවය පුවත්පතේ පළවී තිබුණි. ඔවුන්ට ඒ සඳහා කොමිෂන් ලැබේ යයිද මෙය ජාවාරමක් යයිද කියා තිබේ.  මම එය මගේ ෆේස්බුක් බිත්තියේ ද බෙදා ගතිමි.

නමුත් සොයා බැලුවිට පෞද්ගලික රෝහල් වල හා ශ්‍රී ජයවර්ධන පුර වැනි භාගයක් රජයට අයිති රෝහල් වල ස්ටෙන්ට් දැමීමට ලක්ෂ තුනක් පමණ අය කරන බවත් ස්ටෙන්ට් දෙකකට ලක්ෂ හයක් පමණ යන බවත් දැන ගතිමි. නමුත් හදිසි ලෙඩුන් සියල්ලන්ටම මහා රෝහලේ නොමිලේ ස්ටෙන්ට් ලබා දෙති. කොටින්ම  අර කතාව සත්‍යයක් නොවේ යයි රෝගීන් කිහිප දෙනෙකුම  අපේ ඥාතීන්ට පවසා තිබුණි. එකම ප්‍රශ්නය දිනකට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව අති විශාල නිසා බොහෝ අයටබලා සිටින්නට සිදුවී තිබීමයි. එතරම් හදිසි නැති රෝගීන් ට දින නියම  වන්නේ පරක්කු වීය. එවැනි අය සමහරවිට අර ස්ටේන්ට් විකුණන සමාගම් වල අය සමග කතා කර ඔවුන් සමග පෞද්ගලික රෝහලකට ගොස් ඒවා කර ගනිති.  බොහෝ  විට සිදු වන්නේ එයයි.

 

බොහෝ මධ්‍යම පන්තික හා පහල මධ්‍යම පන්තික රෝගීන් මහා රෝහලට පැමිණ සුවය ලබා යති.

මේ නිදහස් සෞඛ්‍ය සේවය රැක ගත යුත්තේ ඒ නිසාය.  නිදහස් සෞඛ්‍ය සේවය රැක ගැනීමට නම් එහි සේවය කිරීමට  අවශ්‍ය  වෛද්‍යවරු ද නිදහස් අධ්‍යාපනයෙන්ම බිහි විය යුතුය.

මේ නිසාත් සයිටම් පිලිබඳ  විරෝධය දක්වන මිතුරන් මෙන්ම  සහයෝගය දක්වන මිතුරන්ද ඇති නිසා මේ පිළිබඳව මිතුරු වෛද්‍යවරු  කිහිප දෙනෙකු ගෙන් අදහස් විමසීමි.

– සයිටම් එකට   විරෝධය දක්වන වෛද්‍යවරු 

සයිටම් හි ප්‍රමිතිය ඉතා අවුල්ය. ඔවුන්ට හරියට උගන්වන්නේ නැත. ගුරුවරු දක්ෂ හෝ එතරම් උගත් අය  නොවේ. ප්‍රයෝගික පුහුණුව නැත. සයිටම් සිසුන්  සමග වැඩ කර තිබේ. ඔවුන්ට වඩා  විදේශ වලින් පැමිණි අය ඇඩ්වාන්ස් වැඩිය.  

සයිටම් එකේ හෑන්ඩ්ස් ඔන් ප්‍රක්ටිස් නැත. එහි  උගන්වන්නේ ඇක්ට් 16 වත් සමත් නැති විදේශ  වල උගත් අයයි. එවැනි අය ඉන්ටර්න් නොකර තමන්ගේ සිසුන්ට සායනික පුහුණුව ලබා දෙන්නේ කෙසේද? ඒ ගුරුවරුන්ද ඇක්ට් 16 සමත්විය යුතුය. (ඇක්ට් 16 යනු වෛද්‍ය සභාව විසින් විදේශවල සිට එන වෛද්‍යවරුන් සඳහා පවත් වන විභාගයයි) 

දේශීය සිසුන් එම් සී කියු කරන අතර ඇක්ට් සික්ස්ටින් ඒ හා සමානය. ඊට අමතරව විදේශ වලින් එන  සිසුන් (වෛද්‍යවරුන්) තවත් ප්‍රශ්න පත්‍ර තුනක් කරති.  

එනිසා සයිටම් සිසුන් අනිවාර්යයෙන්ම එම් සි කියූ කල යුතුය. එසේ කර මෙරිට් ලිස්ට් එකක ට යා යුතුය. සයිටම් එක වසා දමනවා නම් වඩා හොඳය.

– සයිටම් එකට  අනුකම්පාව  දක්වන වෛද්‍යවරු 

මම දන්නා දොස්තර කෙනෙක් ගේ ළමයෙක් කොතලාවල ඩිෆෙන්ස් එකේ ඉගෙන ගන්නවා. එයාගේ අපොස ප්‍රතිඵල හොඳයි. නමුත් කලම්බු යන්න බැරිවුනා. ඉතින් කොතලාවල එකට යන්න හොඳනම් සයිටම් බැරි ඇයි ?

මම: ප්‍රමිතිය නැති නිසා නේද? 

ඉතින් ප්‍රමිතිය  හැදුවාම ඉවරනේ. ආණ්ඩුවෙන් බල කරලා. ආණ්ඩුවට ඕක කරන්න පුළුවන්නේ. 

මම දන්නා දුප්පත් ළමයෙක් ඉන්නවා. එයාගේ උසස් පෙළ ප්‍රතිඵල ඉතා හොඳයි. නමුත් දිස්ත්‍රික් බේසිස් නිසා කොළඹින් යන්න බැරි වුණා. අම්මල තාත්තල දුප්පත්. ඒ ළමයගේ එංගලන්තේ ඉන්න නෑදෑයෙක් මුදල් එවනවා ඉගෙන ගන්න . ඒ ළමයට පව් නැත්ද? 

මම: එක ළමයෙක් නිසා මුළු අධ්‍යාපන  ක්‍රමයක්ම විනාශ වෙන්න ඕනෙද?

නැහැ. නමුත් තව ළමයි හුඟක් ඉන්නවා අපි වගේ මධ්‍යම පන්තික අයගේ. පිටරටවල නෑදෑයෝ ඉන්න අයගේ.  ඇමතිගේ ළමයත් ඇති. 

මම: එතකොට අපොස අසමත් කට්ටිය?

එහෙම අය ඉන්නවා නම් ඉවත් කරන්න ඕනේ? තුන් දෙනෙක් විතර ඉන්නව කියල තමා ආරංචිය. එඑහෙම නම් ඒ අය හොයල ඉවත් කෙරුවම ඉවරයි.  හරි දැන් ඔයා  කියන්නේ සෝවියට් දේශයට ආපු හැමෝම උසස් පෙළ පාස්ද ? විජේවීර ගියේ උසස් පෙළින්ද?

මම: ආණ්ඩුවෙන් යැව්ව (UGC එකෙන්)   හැමෝම වගේ උසස් පෙළ සමත්. විජේවීර හිටිය කාලේ උසස් පෙළ විභාගේ තිබුනද? නැත්නම් ඒ දවස් වල ගන්න ඇත්තේ සාමාන්‍ය පෙළින්  වෙන්නඇති.

 No automatic alt text available.

හරි ගිය ආණ්ඩුව කාලේ තමා මිලියන හයසීයක් වියදම් කරලා ණයක්  දුන්නේ. මේක පිහිටෙව්වේ. ඔව් ඒ ගොල්ල (සයිටම් අධිකාරය)  බොරු කිව්වා රුසියාවේ විශ්ව විද්‍යාලයකින් උපාධිය දෙනවා කියලා.  නමුත් දැන් තිබෙන තත්වයේ හැටියට ප්‍රමිතිය නැත්නම් ඒක හදල මේ වෛද්‍ය විද්‍යාලයට ඉඩ දෙන්නේ ඕනේ. ලංකාවේ  දොස්තර හිඟයක් තිබෙනවා. දැන් විශ්ව විද්‍යාලම  කීයක්  තියෙනවද? ඒත් මදි. අපොස සමතුන් වැඩියි. ඇයි මොකද වෙන්නේ  තව කෙනෙකුට චාන්ස් එකක් දුන්නම? 

අනික ඔයා ඉන්න එංගලන්තේම කොච්චර  දොස්තරලට වේකන්සි තියනවද? ඇයි ඒවාට යවන්න  බැරි?

මට මගේ අදහසක් කීමට නොහැකි තරමට මේ දෙප්ර්ශවයම නිවැරදි යයි සිතේ.

මෙහදී මගේ ඇතැම් යහළුවන්ගේ දෙබිඩි බවද ප්‍රශ්නයකි. සයිටම් එක අහෝසි කරන්නට කියන ඔවුන්ගේ දුවා  දරුවන් පෞද්ගලික ටියුෂන් පන්ති වලට යන බව දනිමි. ඔවුන් හොඳ පාසල් සොයා දරුවන් ඇතුළු කල බවද දනිමි.  සමහරුන්ට දරුවන් යවන්නට වෙන්නේද ගෙවන විශ්ව විද්‍යාල වලටය. තවත් දරුවන් පිරිසකට එවැනි අවස්ථාවක් අහිමි කිරීම සාධාරණද? 

මගේ දරුවන් ටියුෂන් යන්නේ නැත.  අපොස උසස් පෙළ කරන විට මම ටියුෂන් නොගිය මුත් අවසන් වසරේ යහළුවන්ගේ පෙරැත්තයට  බණ්ඩාරගේ රිවිෂන් ක්ලාස් එකකට ගියෙමි.  බැංකු පේලි දමා දාඩිය දාගෙන  දේශනය අහන්  හිටි,  ටියුට් ලැබුණු ඒ පන්තියෙන් වුනු සෙතක් නැත. 

හෝඩියේ පන්තියේ සිටම ටියුෂන් ගොස් විභාග පාස්  කරන සංස්කෘතියක් ඇති රටක එක පෞද්ගලික වෙද  විදුහලක් වැසීමට කීමේ තේරුමක් තිබේද? කන්නන්ගර මහතා  අපට ලබා දුන් නිදහස් අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ  වැනසී ගොස් නැතිද?

ත්‍රීමා විතාන දිවි දී රැකගත් අයිතිය තවමත් තිබේද? ත්‍රිමා ගේ දෙමාපියන්ට දරුවෙකු නැතිවීමත් ඔවුන් අසරණ වීමත් හැර ශ්‍රී ලකාවේ විප්ලවයක් සිදු වුනිද? අධ්‍යාපනය පෞද්ගලිකරණය වී නැත්ද?

වාමාංශික අදහස් දක්වන්නන් අතරින් මේ පිලිබඳ හොඳම විවරණය දීප්ති විසින් ලබා දී ඇති සිතමි.

“අපොස උසුස් පෙළ විභාගය පිලිබඳ සුජාත භාවය අහෝසි වී යනු ඇත. ඒ කියන්නේ වෙනත් රටවල තිබෙන ලෙස ලන්ඩන් ඒ ලෙවල් වැනි ඒවා වල  තිබෙන ක්‍රමයටම විභාග දෙපාර්තමේන්තුවේ බලපෑම මේ නඩු  තීන්දුව නිසා නැතිවී යනු ඇත. ස්ටේට් යුනිවර්සිටි වලට දුප්පත් ළමයි පමණක් ඇතුළු වනු ඇත.  ඉදිරි කාලය තුල ගුණාත්මක වෛද්‍යවරයා සහ ප්‍රමාණාත්මක වෛද්‍යවරයා යනුවෙන් දෙපිරිසක් ඇතිවීමට නියමිතයි.

ඒ අනුව පහළ  පන්තියේ හා ඉහළ  පන්තියේ වෛද්‍යවරු දෙපිරිසක් ඇති වීමට නියමිතය. 

විශ්ව විද්‍යාල අතාර්කික වීමට නියමිතය.  (මේවා දැනටම  සිදුවී තිබේ) UGC එකේ පැවතීමේ අවශ්‍ය තාවයක් නැතිව යනු ඇත. මානව ශාස්ත්‍ර පීඨ වල (සමාජ විද්‍යාව,, දේශපාලන විද්‍යාව  ආදී ) සුජාත භාවය නැතිවනු ඇත.  

යහපත් පැත්ත නම්  බණ්ඩාරනායක දර්ශනය ඉගෙන ගැනීමට ඔක්ස්ෆර්ඩ් ගියා  මෙන් ඉහළ  පන්තිය තමන්ගේ අධ්‍යාත්මික පෝෂණය සඳහා මානව ශාස්ත්‍ර ඉගෙනීමට විදේශ වලට  යනු ඇත.  

(මා ඉතාම කැමති කොටස) ලංකාවට නිදහස ලැබූ පසු කන්නගර ගේ නිදහස් අධ්‍යාපනය නිසා යම්කිසි උන්නතිකාමයක් පහල පන්ති වලට තිබුණි.  එනම් තමාගේ දක්ෂතාවය  හෝ කුසලතාවය මත සමාජ ඉණිමගේ ඉහළට යාමේ හැකියාව තිබීමයි. ඔවුන් ඉහළට ගොස් කළේ කුමක්ද? ඔවුන් ශ්‍රී ලංකාව  විනාශ කරන ලදී.  ශ්‍රී ලංකාවේ ද්වි භාෂා කතා කරන උගතුන් නැති වී ගොස් සිංහල පමණක් කතා කරන, ජාතිවාදයට නැඹුරුවී  රට විනාශ කරන ලද පරපුර මේ කන්නන්ගර නිසා බිහිවූ අයයි. 

මේ නඩු තීන්දුව නිසා ඒ අයගේ අනාගතය අඳුරු වේ.  (හදිසියේම ඉතාමත් අතාර්කික  ලෙස ගිය ආණ්ඩුවේ කොටසක් සයිටම් විරෝධයට එක්වීම මෙයින් මැනවින් පැහැදිලි වේ) 

දීප්ති කුමාර ගුණරත්න ගේ අදහසට මෙතනින් සවන්  දෙන්න 

මගේ අදහස 

බ්‍රිතාන්‍යය , ඇමෙරිකාව ආදී රටවල් කිහිපයක් හැර යුරෝපයේ  පොහොසත් රටවල් උසස් අධ්‍යාපනය නොමිලේ ලබා දෙයි. ඔවුන් සලකන්නේ එය අයිතියක් වශයෙනි. 

එසේ නම් ප්‍රශ්නය වන්නේ අධ්‍යාපන විකිණීමට  එකඟ වෙනවා ද නැත්ද යන්නය? එසේ නැතුව සයිටම් එකට විරුද්ධ වෙනවා ද නැත්ද යන්න නොවේ? මෙහිදී ජවිපෙ, පෙසප ප්‍රමුඛ  වාමාංශික පක්ෂ කරන්නේ බොරුවක් යයි මට සිතේ. රජයේ වෛද්‍ය සංගමයට   ඇති ප්‍රමිතිය පිලිබඳ ප්‍රශ්නය සයිටම් වැසීම දක්වා මිස අනිකුත් පෞද්ගලික විශ්ව විද්‍යාල වැසීම  දක්වා ගෙන නොගොස්, ටියුෂන් කඩ වලට නොයා පාසලින් පමණක් ඉගෙන ගන්නා සුන් ඇති,  රටේ අධ්‍යාපනය  සම්පුර්ණයෙන්ම  නිදහස් කිරීමක්  දක්වා ගෙන නොගොස්  අතර මැදි විසඳුමක් සෙවීම කෙළවර වන්නේ තවත් දීර්ඝ විශ්ව විද්‍යාල වැසීමකින්ද? 

මගේ ප්‍රශ්නය දීප්ති කියන අන්දමට මෙවන්වූ වාමාංශික ව්‍යාපාරයක් හා පෙළ ගැසෙන්නේ කෙසේද යන්නය?  

 Ajith Dharmakeerthi 
 

ඔබේ අදහස කියන්න...