20 වැනි සියවසේ ජීවත් වූ ස්ත්‍රීවාදීන් පුරුෂ හිතවාදී සමාජ- ක්‍රමය වෙනස් කිරීමට කරන ලද අරගලය මුලික අවධි තුනකට බෙදිය හැක.

A) ස්ත්‍රීන් විසින් පොදු සංකේත පිළිවෙළ තුළ සමාන අයිතින් ඉල්ලා සිටිය යුගය. මෙම අවධිය ලිබරල් ස්ත්‍රීවාදී යුගයයි. උදා – සම වැටුප්, සම අධ්‍යාපනය, සම අයිතිවාසිකම් ඉල්ලීම.

B) වෙනස අවධාරණය කරනු වස් ස්ත්‍රීන් විසින් පොදු අවකාශය පුරුෂ එකක් ලෙස සලකා එය ප්‍රතික්ෂේප කිරීම උදා ; රැඩිකල් ස්ත්‍රීවාදය, ගෙදර වැඩ – දරුවන් හදා වඩා ගැනීම, ලිංගික තෘප්තිය යනාදියෙහි පුරුෂ විඥණගත බල රටාව ප්‍රතික්ෂේප කිරීම.

C) සමාජය තුළ තහවුරු වී ඇති ස්ත්‍රී – පුරුෂ භේදය යන්නම පාරභෞතික ක්ෂෙත්‍රයක් ලෙස සලකා එය විභාග කිරීම. උදා – දර්ශනික ස්ත්‍රීවාදය; ස්ත්‍රියට සාරයක් නැත, ස්ත්‍රියගේ සාරය යනු පුරුෂ ෆැන්ටසියකි යන අස්ථාන හරහා සමාජය තුළ ස්ත්‍රී ජීවිතය විචාරය කිරීම.

ඉහත අප වගුගත කළ ස්ත්‍රීවාදී අරගලයේ පළමු පියවර දෙක තුළ ස්ත්‍රීන් සටන් කළේ ධනවාදය/ සමාජවාදය යන ද්විඝටනය තුළය. “අද යුගය” වන විට ඉහත බෙදුම අහොසි වී ගොස් ස්ත්‍රීය පිළිබඳ ගැටළුව වෙළෙඳපොළ යථාර්ථායට ඇතුලත් වී ඇත. රැඩිකල් සහ ලිබරල් ස්ත්‍රීවාදයේ බොහෝ ඉල්ලීම් ප්‍රාග්ධනය විසින් තත්කාලීනව පිළිගෙන ඇත.

උදාහරණයක් වශයෙන් ඇගළුම් කර්මාන්තයට අදාල පිඩීත ස්ත්‍රීයගේ ශ්‍රමය සූරාකෑමට අදාලව ලිබරල් සහ රැඩිකල් ඉල්ලීම් වලට සවන් දිමට කේන්ද්‍රයේ සමාගම් වලට බලකෙරී ඇත. එය සමජ විගණනය හරහා සිදුවෙයි. ඔබේ භාණ්ඩ යුරෝපයේ සහ ඇමරිකාවේ අලෙවි කිරීමට අවශ්‍ය නම් මෙන්න මේ කම්කරු අයිතිවාසිකම් ඔබ රැකිය යුතුය. මෙම නව තත්ත්වය නිසා නිදහස් වෙළඳ කළාපයේ ප්‍රශ්න වලට ලිබරල් සහ රැඩිකල් විසඳුම් ලබා දුන් යුගය අහවර වී ඇත. ශ්‍රමය සහ ප්‍රග්ධනය අතර පැවති ගැටුම වෙනස් අකෘතියකට පත්කළේ ජාතික රාජ්‍යය නොවේ. එය කරනු ලැබුවේ කේන්ද්‍රයේ රටවල රැඩිකල් ස්ත්‍රීවාදි ඉල්ලීම් විසිනි. මේ සන්දර්භය තුළ ස්ත්‍රී ශ්‍රමය වෙළෙඳපොළ හරහා ශෘංගාරකරණය වීම තිවෘ විය. අතීතයේ වෙළඳකලාපයේ ස්ත්‍රී ශරීරය සමාජීකෘත කරේ සංගීත සංදර්ශන නම්, අද එය කරන්නේ Olay සමාගමයි.

තවමත් ස්ත්‍රී ශ්‍රමය සහ ප්‍රාග්ධනය අතර ප්‍රතිරෝධය ශ්‍රමයේ පැත්තෙන් සමාජීයව විසඳ නැත. ලිබරල් සහ රැඩිකල් ස්ත්‍රීවාදය ධනවාදය විසින් සම්පුර්ණයෙන් අවශෝෂණය කරගෙන ඇත. ඒවාට සමාජය තුළ පැවති අරගලකාරී විභවයන්ද ශූන්ය වී ඇත. මේ වන විට ස්ත්‍රියට ඉදිරි දර්ශනය කර ගත හැක්කේ දාර්ශනික ස්ත්‍රීවාදයයි. එමඟින් කෙරෙන්නේ සමාජ යථාර්ථයේ කොටසක් ලෙස ස්ථාපිතව ඇති ස්ත්‍රි- පුරුෂ භේදය යන්නම පුරුෂයන්ගේ පාරභෞතික ක්ෂෙත්‍රයක් ලෙසින් වටහා ගැනීමයි. මහමග ගමන් කරන විට නොහඳුනන පුරුශයෙක් ඔබ දෙස බැලු විට ඔබ ස්ත්‍රීයක් නම් බොහෝ විට ඔබ වහාම අහක බලයි. ඔබ ස්ත්‍රීයක් වන්නේ ඔබ අහක බලන විටයි.

Sri Lanka Mirror

ඔබේ අදහස කියන්න...