මෙහිදී  දෘෂ්ටිවාදී අර්ථයෙන් බැලීමේ දී එය ආර්ය ගණයේ භාෂා පවුලට අයත් උරුමයක් ලෙස ද, ඉන්දීය සම්භවයකට කියන නෑකම පෙන්වීම ද, ඉතිහාස ආඛ්‍යානයන්ගෙන් සිංහල ජන වර්ගයට අයත් අනන්‍යතාව තහවුරු කිරීම ද යන දෘෂ්ටිවාදයන් සියල්ලෙහි පදනම් කාරකය වන්නේ බුදු දහම හා සම්බන්ධිත සිංහල අනන්‍යතාව මතු කිරීම ය. මේ මත පදනම් භාෂා පරිණාමය හේතුවෙන් දෘෂ්ටිවාදය මත සිදුවන වර්ධනය හා පරිණාමීය ඉතිහාසය තුල භාෂාවට අනන්‍ය සුවීශේෂත්වයක් සමාජ චින්තනයේ  හා චර්යාවන්ගෙන් ප්‍රකාශනය වන්නේ ය.”


සමාජවාදය සඳහා අවකාශයක් ඇතැයි කියා ද, එය අත්පත් කර ගත හැකි යැයි ද කියා විශ්වාස තබන්නා වූ පිරිස ඉතා කුඩා ය. එය අප රටට පමණක් නොව ලෝකයටම පොදු වන්නේය. කුඩා පිරිස හමුවේ ඇති අභියෝගය වන්නේ ඔවුන්ගේ විශ්වාසය සමාජ විශ්වාසයක් බවට පත් කරනුයේ කෙසේ ද යන්න ය. අප ජීවත් වන ක්‍රමය රඳා පවත්න්නේ සෘජු හා ව්‍යුහාත්මක වශයෙන් මර්ධනීය රාජ්‍යයක් මත ආරක්ෂිත වූ ධනවාදය හා බැඳුණු ව්‍යුහයන් නම්, එය වෙනස් කිරීමට පෙර නොවූ විරූ ක්‍රමවේදයන් භාවිතයට ගත යුතු වේ. පවත්නා භාවිතාවන් අසමත් හෝ ප්‍රමාණවත් නො වන්නේ නම්, ඒ මතම පිහිටීම සම්ප්‍රධායට අයිති වෙමින් සාමාන්‍යකරණය වීම වෙනුවට නව මාවත් වෙත ගමන් කිරීම ප්‍රගතිශීලිත්වයේ කාර්යයි. ඒ සඳහා අභ්‍යාස කළ යුතු බොහෝ දෑ අතරට භාෂාව පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් යැයි හිතෙන කාරණා කිහිපයක් මෙම ලිපිය මගින් සාකච්ඡා කෙරේ.


භාෂාව හා සමාජ චින්තනය


මූලිකව භාෂාව හඳුනා ගැනීමේ දී “භාෂාව” යැයි පවසන කල ඊට අයත් වන ප්‍රධාන මෙවළම් දෙකක් වන ලේඛනය (writing) හා කථනය (speaking) ඇතුළත් වන්නේය. මෙම ද්විත්වය විසින් භාෂාවක සෙසු අංග දෙක වන කියවීම (reading) හා ඇසීම (listening)  සඳහා අධාර වන්නේ ය. මෙකී අංග හතර විසින් නිර්මාණය කරන්නා වූ වැදගත්ම මෙවළම වන්නේ අපගේ සිතීම හෙවත් චින්තනය ය. මේ තුලින් දේවල් පරිකල්පනය කිරීමට හා සංජානනය කර ගැනීමට ඇති හැකියාව භාෂාව විසින් ගෙන දෙයි. සමාජයක ආර්ථික නිෂ්පාදන මාදිලිය වන්නා වූ අධෝ ව්‍යුහය විසින් භාෂාවට අවැසි පරිසරය නිර්මාණය කරන විට උපරි ව්‍යුහයට අයත් වන්නා වූ ආගම, නීතිය, දර්ශනය, අධ්‍යාපනය, කලාව සාහිත්‍යය හා නූතන යුගයේ දී වැදගත් කාර්යයක් සපුරන ජනමාධ්‍යය යනා දී අංග තුලින් එම ද්‍රව්‍යයන් පෙදනම් කර ගෙන සංකල්ප බිහි කරන්නේ ය. මේ ද්විත්වය අතර ඇති අන්තර් ක්‍රියාකාරිත්වයෙන් මිනිසාගේ ජීවන සංස්කෘතිය බිහි වන්නේ ය. ඒ තුල භාෂාව විශාල මැදිහත් වීමක් කරමින් මානව චින්තනය නැතිනම් සමාජ චින්තනය නිර්මාණය කරන්නේය. සමාජයක සංස්කෘතිය හා චින්තනය ගොඩ නැගීම පිණිස භාෂාව වාහක කාර්යයක් ඉටු කරනු ලැබුව ද, සංස්කෘතියක හෝ චින්තනයක ශුද්ධ වූ අයිතිය භාෂාවට පමණක් හිමි කර ගැනීමට නො හැකි ය. මේ අනුව සිංහල භාෂාව කතා කරන ජනයාගේ චින්තනය සිංහල චින්තනය යැයි පැවසීම කොතරම් දුරට වලංගු වන්නේ ද යන්න භාවිතාව තුල සිතිය යුතු වන්නේ ය.

භාෂාව පදනම් කරගනිමින් චින්තනයකට ගමන් කිරීම හෝ වර්ගය පදනම්ව චින්තනයකට ගමන් කිරීමට උත්සාහ කිරීමේ අවසානය වර්ගවාදයකට පැමිණම හා සුපිරි බව කරා යෑමට කරන සංසන්දනයක් වන නිසා අවසානය වන්නේ තවත් භාෂාවක් හා වර්ගයක් පහත් කිරීම ය. මෙහි ප්‍රථිපලය වන්නේ භාෂාව පදනම් කර ගනිමින් මිනිස් බව බෙදීම හා එයට මඟ පාදන්නා වූ ගැටුමකට අවතීර්ණ වීම ය. මෙයට නිදසුන් අප ඉතිහාසය තුල පෙන්නුම් කරයි. සිංහල බස මුල් කරගත්, ලංකාව භූමිය කරගත් ජාතික චින්තනය නමින් ගෙන යන මතවාදී ව්‍යාපෘතියට ජාතික චින්තනය යැයි සංකල්ප අර්ථයෙන් කිව නො හැකි ය. එය හරි නම් සිංහල චින්තනය විය යුතු ය. සිංහල ලෙස බසකුත් එය  වහරන ජනතාවකුත් පමණක් සිටීම තුල, ජාතියක් ( Nation) ලෙස  රටට පොදු චින්තනයක් හෝ දර්ශනයක් ඇති විය නො හැකි ය. නමුත් ඇති වී ඇත්තේ රට යන්න ද, ජාතිය යන්න ද, සිංහලට ඌනපූර්ණය වී, එහි දර්ශනය හා දෘෂ්ටිවාදය ලෙස බෞද්ධ දර්ශනය පැමිණ ය. බෞද්ධ දර්ශනය ද නැවත සිංහල බසට ඌණපූරුණය වී සිංහල බෞද්ධ දර්ශනය බවට පත්ව දෘෂ්ටිගත වී ඇත. මේ නිසා රටක සමාජ සංස්කෘතියක ප්‍රගමනය පිණිස භාෂාව කරන බලපෑම, භාෂාව භාවිතයේ දී තීන්දු කරනු ලබන්නේ එයින් ප්‍රකාශිත දෘෂ්ටිවාදය තුලිණි. අනෙක් අතට පදනම වශයෙන් දෙමළ භාෂාව හින්දු දර්ශනය හා එම දෘෂ්ටිවාදය මත පදනම් වීම ද, එම දෘෂ්ටිය හා දර්ශනය (එය පිළි නො ගත්තේ වුවත්) රටෙහි සමාජ නිෂ්පාදනය හා සංස්කෘතිය තුල පරිණාමය වී සමාජගත වීමේ ඵලයක් ලෙස, සිංහල බෞද්ධ දෘෂ්ටිවාදයට එය ද සමාජ භාවිතාවෙන්  කාන්දු වී ඇත. එය වෙන් කරනු ලැබුව ද එකට පැවැතීම යථාර්ථයේ කොටසක් වී ඇතත්, මෙම සංකලනය හා වර්ධනය පිළිගැනීමට නො හැකිකම රටක් ජාතියක් ලෙස ඊට අවැසි සිතීම විභේදනය කර ඇති අන්දම ඉතිහාසය පුරාවට ගමන් කරමින් ඇත. යටත් විජිතකරණයෙන් පසුව පැමිණි ක්‍රිස්තියානි ආගම හා දර්ශනය ද, යටත් විජිත ධනවාදය ද නිසා ඇති වූ වෙනස් කම් මූලිකව අධෝ ව්‍යුහය වෙනස් කරමින් උපරි ව්‍යුහයට කරන ලද බලපෑමේ ඵලය වන්නේ සිංහල භාෂාවට මුසු වූ බටහිර සංස්කෘතියේ අංග සිංහල භාෂාවේ චින්තනමය අංගයක් බවට පත් වීම යි. පශ්චාත් යටත් විජිත සමාජය යන්න එම බල පෑම අනෙකුත් අංගයන්ට මෙන්ම භාෂාවට ද ඇතුලත් වී ඇත්තේ වෙන් කළ නො හැකි සංස්කෘතිකාංගයක් ලෙසිනි.


භාෂාව යනු කුමක් ද


භාෂාව කුමක් ද යන නිර්වනයට විවිධාකාරයේ අර්ථකතනයන්  ඊට  අදාල අධ්‍යයනයන් තුල ඉදිරිපත් කර ඇත. මානසිකමය අංගයක් (mental organ) වශයෙන්, ඥාණමය හැකියාවක් (cognitive ability) ලෙස, සිතෙහි ඇති තත්ත්වයක් ලෙස (state of mind), සංඥා ක්‍රමයක් ලෙස ( a system of signs), සංඛ්‍යාත්මක ක්‍රියාවලියක් ලෙස (computational procedure) සංනිවේදනය කිරීමේ අර්ථ ඇතිව (as means of communication), නැතහොත් අත්දැකීම් විස්තර කිරීමේ විදියක් යනා දී හා තව බොහෝ දෑ වෙති. එවැනි සියලු නිදසුන් භාෂාවේ විශේෂිත වපසරියක් හසුකර ගත්ත ද කිසිවක් සම්පූර්ණ නො වන්නේය. මීට අතිරේකව, ව්‍යුහවාදය (structuralism),  කෘත්‍යවාදය (functionalism), භාෂාව පිළිබඳ ව්‍යාකරණ අධ්‍යයනයන් (generativism) සහ ඥාණනීයවාදය (cognitivism) යන්න සමඟ භාෂාව ඉදිරියට ගෙන යන ලද ප්‍රවේශයන් ඇත්තේ වුවද ඒ අර්ථයන්ගෙන් පවා ගැලපීම් කළ නොහැකි ය.[1] එසේ නම් අප භාවිත කරන සිංහල භාෂාව යනු කුමක් ද යනුවෙන් කරන්නා වූ  අර්ථ දැක්වීම්වලින් ද මෙම ගැටලුව අප සතු වන්නේ ය.  සිංහල භාෂාවේ ඉතිහාසය හා විකාශනය හා භාෂාවේ දර්ශනය කෙසේ ගොඩ නැගී ඇත් ද? එම දර්ශනය සමාජ සංස්කෘතිය තුල කරනු ලබන බලපෑම කෙබඳු ද යන්න සිංහල භාෂාව පදනම් වූ සමාජ සංස්කෘතියේ ශබ්ධ හා අර්ථ සංජානනයන් සමඟ සමාජ චින්තනය ක්‍රියා කරන අයුරු තේරුම් ගත යුතු වන්නෙමු.

උදය ආර්. තෙන්නකෝන්

ඔබේ අදහස කියන්න...