පසුගිය සති දෙකක කාලය ඇතුළත අපට එකිනෙකට පටහැනි සිදුවීම් තුනක් සම්මුඛ විය. කාලානුරූපව අපි ඒවා පහත පරිදි පෙළ ගස්වමු.
1) පැරණි ‘මාතොට’ සඟරාවට ලිපි සැපයූ ලේඛකයන් විසින්ම ජාතිකවාදී කතිකාව මඟින් පෝෂණය වූ කේන්ද්‍රයක් මුල් කරගෙන පසුගිය දිනෙක ‘කාලි’ නමින් සඟරාවක් ප්‍රකාශයට පත්කරන ලද්දේය. එහි දී මුඛ්‍ය දේශනයක් කරමින් අතුරලියේ රතන හාමුදුරුවන් මේ යුගයේ මුඛ්‍ය දේශපාලන තේමාව පරිසරය සමඟ සුසංවාදී වී නිසල අාධ්‍යාත්මික ජීවිතයකට යාම බව ප්‍රකාශ කළේය. සඟරාවේ අන්තර්ගත මාතෘකාවන් ද තහවුරු කළේ සංහිඳියාවය. ‘මාතොට’ සඟරාවට හිමි නියම නම ‘කාලි’ බව එහි රචකයන්ගේ අදහසයි.[2016]
2)මේ සතිය මුල දී ‘වෝටර්ස් එජ්’ හෝටල් සංකීර්ණයේ දී පැවති මෙගා-නගර ව්‍යාපෘතිය විධිමත්ව පැහැදිළි කරමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ අනාගතය රඳා පවතින්නේ නාගරික ශිෂ්ටාචාරයක තිරසාර වර්ධනය මත බවයි. විදග්ධ ලෙස තම කතාව හසුරුවමින් ඔහු අවධාරණය කළේ අපද්‍රව්‍ය නැති, ට්‍රැෆික් තදබදය නැති, යාචකයන් නැති, අපරාධකරුවන් නැති, සිරගෙවල් නැති ‘ධනවාදී සමාජයක්’ ගැනය. ඔහුට අනුව මෙම ව්‍යාපෘතියේ අනාගතය මඟින් නූතන ශ්‍රී ලංකාව මුහුණ දෙන බොහෝ සමාජ ප්‍රශ්න විසඳෙනු ඇත.
සිදු වෙමින් යන දේශගුණික විපර්යාසයට අනුව අනාගත ශ්‍රී ලංකාවේ වන්නිය ආශ්‍රිත ප්‍රදේශවල උෂ්ණත්වය අංශක 3 කින් ඉහළ යනු ඇති බවට අනාවැකියක් ද ඔහු පළ කළේය. එම නිගමනයට අනුව යුතෝපියාවක් වන ‘තමිල් ඊළම’ තුළ දෙමළ ජනතාවට ජීවත් වීමට නොහැකිය. ඒ දැඩි රස්නය නිසාය.
3)JDSවෙබ් අඩවියේ පසුගිය සතියේ දී අපූර්ව සම්මුඛ සාකච්ඡාවක් පළ විය. රෝහිත භාෂණ සමඟ සංවාදයට සහභාගි වී තිබුණේ යුද්ධයේ අවසාන කාලය පුරාම වන්නියේ දෙමළ ජනයා සමඟ ජීවත් වෙමින්, ඔවුන් සමඟ දෛනිකව ගමන් කරමින් ඒ ගැන ටැමිල් නෙට් වෙබ් අඩවියට තොරතුරු වාර්තා කළ වාර්තාකරුවකු වූ අප්පුතුරෛ ලෝකීසන්ය. යුද්ධය ඉතා දරුණු ලෙස සිවිල් ජනයා තළා පෙළා දමමින්, දෙමළ ප්‍රජාවගේ සංගතභාවය ඉලක්ක කරමින් සිදු කළ මහා විනාශය ඔහු එම සංවාදය තුළ මැනවින් විග්‍රහ කර තිබුණි. රාජ්‍යයට එරෙහි වන ප්‍රජාවක් විනාශ කරන අයුරු එම සංවාදය කියවීමෙන් වටහාගත හැකිය. යුද්ධයක දී මිනිසුන් විනාශ කිරීමට වඩා ප්‍රජාවක් විනාශ කිරීම භයානකය. මේ ක්‍රමය ලොවට හඳුන්වා දුන්නේ ඇමෙරිකන් යුද හමුදාවයි. එය මුලින්ම අත්හදා බැලූවේ ලතින් ඇමෙරිකාවේය.
රතන හාමුදුරුවෝ තම දේශනය තුළ දී කෘමිනාශක, වල්නාශක වගකීමකින් තොරව යොදාගැනීම නිසා කුඹුරු ආශ්‍රිත පරිසරයේ දී මිය යන ගෙම්බන්, ගැරඬින්, විවිධ මාළුන් ගැන මහත් කම්පාවෙන් කතා කළේය. අනෙක් අතට චම්පික ඇමැතිවරයා තම සාරගර්භ දේශනය තුළ දී වාර්ගික ගැටලූවට ඉදිරිපත් කළ යුතු විසඳුම අමතක කළේය.
80 දශකයේ දී එකම දේශපාලන ප්‍රවාහයකින් (එනම් ජවිපෙ දේශපාලනය) මතු වූ රතන, චම්පික, භාෂණ මේ වන විට විවිධ මට්ටමින් පසමිතුරන් බවට පත් වී ඇත. අනෙක් පසෙන් ජවිපෙ දේශපාලනයට දාර්ශනික සහ ප්‍රායෝගික විකල්පයක් ලෙස මතු වූ X දේශපාලනයේ 90 දශකයේ කණ්ඩාංක ජාතිකවාදී ආකෘතියක් තුළට ඇතුළු වී ඇත. සෝෂියර්, බාත්ස්, ඇල්තූෂර්, ග්‍රාම්ස්චි, ලැකාන්, ඩෙරීඩා යනාදී දාර්ශනිකයන් ‘චින්තනය’ ජාතිකවාදී මූලයන්ගෙන් නිදහස් කළ පුද්ගලයන්ය. බෲස් ලී යනු සටන් කලාව චීන ජාතික සංස්කෘතියෙන් නිදහස් කර සටන් කලාවට නිදහස් ආරක් ලබා දුන් පුද්ගලයාය. ‘ජිට් කුනේ ඩු’ සටන් කලාව නම් ඔහුගේ මුඛ්‍ය කෘතියේ අදහස එයයි. අනෙක් අතට සටන් කලාව නර්තනයක් බවට පත් කර සටන් කලාව නම් අදහස ‘හිස්’ කරන ලද්දේ ද බෲස් ලී ය.
පශ්චාත්-මාක්ස්වාදය නම් දාර්ශනික චින්තනයට අනුව සංඝටකවලට එහිම වූ ගුණයක් නැත. ඒවාට ඇත්තේ භාජනයේ හැඩයයි. 90 දශකයේ X සංඝටකවලට පැවති අර්ථය දැන් රතන හාමුදුරුවන්ගේ අර්ථයට පැමිණ ඇත. ප්‍රජාතන්ත්‍රවාදය පසමිතුරුභාව මඟහරියි. එතැන දී ‘කාලි’ සඟරාවේ තේමාව ප්‍රජාතන්ත්‍රවාදීය. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය විසින්ම ප්‍රජාතන්ත්‍රවාදී නොවන අනෙකාව ද නම් කරනු ලැබේ. රතන, චම්පික සහ කාලි සඟරාවේ අර්ථය බිඳින ප්‍රජාතන්ත්‍රවාදී නොවන අනෙකා අප්පුතුරෛ ලෝකීස් සහ රෝහිත භාෂණය. අප හාවුන්ගේ කන් දෙක අත ගෑවාට බල්ලන් හාවුන්ගේ අල්ලන්නේ බෙල්ලය. 2004 ට පෙර සිටි හාවුන් කිසිවකු ඉන්පසු ඔබට දකින්නට නොලැබෙන්නේ මේ නිසාය. අද ඔබ එතැන දකින්නේ සිංහයන් පවා දඩයම් කරන රොඩේෂියන් රිච්බැක්ය.
Rodasian 2

ඔබේ අදහස කියන්න...