දෘශ්‍යමානය නිවට ලෙස අනුකරණය කරමින් සිටින පුඟුලන් රාජපක්ෂගේ කුලී හමුදාව දැක ඇස් නිලංකාර කරගෙන සිටිති. මේ අතරේම වාමවාදීහු තම ගණ ගෝත‍්‍ර සමාජය තුළම සැඟවෙමින් ‘විප්ලවය’ සම්බන්ධව අමන මතවාදය පතුරවමින් සිටිති. අංශක 5 ක් වත් නැවත තමත් කළ දේවල් දෙස හැරී බැලිය නොහැකි මෙම වාම තක්කඩි අලූත් මතයක් පතුරුවති. මේ අය අපගෙන් මෙසේ අසති. ‘විප්ලවය කරන්නේ පොත් කියවීමෙන් හෝ පොත් ලිවීමෙන්ද?’ ‘අධිරාජ්‍යවාදය – ධනවාදයේ ඉහළම අවධිය’ යන කෘතියට සිංහල පෙරවදනක් සපයන ටී. අන්ද්‍රාදි මෙසේ පවසයි.
”ලෝක යුද්ධය එහි ඉහළම අවස්ථාවට පැමිණි විටත්, විප්ලවයේ ගිනි දැල් රුසියාව සහ මුළු යුරෝපය පුරා බුර බුරා නැෙඟද්දීත්, මාක්ස්වාදයෙන් ශික්ෂණය ලැබූ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විප්ලවවාදියකු වූ ලෙනින්, එසේ වීම නිසාම බෝම්බය සොයා නොගියේය; ලෙනින් පුස්තකාල වෙත ගියේය. කියෙව්වේය. ඒවාත් බෝම්බ සෑදීම පිළිබඳ පොත් නොවේ. ඒ අධිරාජ්‍යවාදයේ මූලික ලක්ෂණ පිළිබඳ කරුණු අඩංගු පොත්ය. අධිරාජ්‍යවාදය ගැන ලිවීමට පෙරාතුව ඔහු කළ පර්යේෂණයේ පරිමාණය. ‘අධිරාජ්‍යවාදය පිළිබඳ සටහන් පොත්’ නමැති ග‍්‍රන්ථයෙන් පෙනී යයි. එහි මුද්‍රිත පිටු ගණන 740 කි.”
– අධිරාජ්‍යවාදය; ධනවාදයේ ඉහළම අවධිය, පරිවර්තකගේ පෙරවදන, ටී. අන්ද්‍රාදි –
21 වැනි සියවසේ ප‍්‍රථම කාර්තුවේ ජීවත් වන අප හට ලෙනින් 20 වැනි සියවස මුල අවබෝධ කරගත් අධිරාජ්‍යවාදය පිළිබඳ ගැටලූව නැවත මුණගැසී ඇත.
‘අධිරාජ්‍යවාදය’ පිළිබඳ ගැටලූව අරබයා ලෙනින් න්‍යායගත කරන මූලික ප‍්‍රවාද 2 ක් ඇත.
(1) අධිරාජ්‍යවාදය යනු ආර්ථික තලයේ දී ධනවාදී නිදහස් තරගය වෙනුවට ඒකාධිකාරය ඇති වීමය. (අධිරාජ්‍යවාදය යනු ධනවාදයේ ඒකාධිකාරී අවධියයි*
(2) අධිරාජ්‍යවාදය විකේන්ද්‍රීයකරණයකි. එහි කේන්ද්‍රය ඇත්තේ ක‍්‍රියාවලියෙන් පිටතය. උදාහරණයක් ලෙස ගතහොත් දෙවැනි ලෝක යුද්ධය අවසාන වන විට ධනවාදයේ ලෝක කේන්ද්‍රය සහ උපරි-ව්‍යුහය (සංස්කෘතිය සහ ශිෂ්ටාචාරය) බි‍්‍රතාන්‍යයෙන් ඇමරිකාවට මාරු විය.
අධිරාජ්‍යවාදය යනු හුදෙක් රටවල් ඈඳා ගැනීම ලෙස පහළ මැද පන්තිකයෝ විශ්වාස කරති. අධිරාජ්‍යවාදය යනු එහි මූලිකම ලක්ෂණයක් එහි ප‍්‍රතිවිරුද්ධ අන්තය දක්වා වර්ධනය වීමයි. නිදහස් තරගයට ඉඩ දීම යනු ධනවාදයේ ස්ත්‍රෝත‍්‍රයකි. නමුත් අධිරාජ්‍යවාදය යනු මෙහි ප‍්‍රතිවිරුද්ධ අර්ථයයි. එනම් නිදහස් තරගයට ඉඩ නොදී ඒකාධිකාරයන්ට ඉඩ දීමයි. ලංකාව උදාහරණයකට ගන්නේ නම් යහපාලනය යනු නිදහස් තරගයට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඉඩ දීමයි. රාජපක්ෂ පෙනී සිටින්නේ ඒකාධිකාරයට (ආර්ථික තලයේ) සහ අත්තනෝමතිකත්වයටය. (උපරි-ව්‍යුහය තලයේ ජාතිවාදය සහ දේශපේ‍්‍රමය – මෙය සෞන්දර්ය තලයේ දී සොඳුරු ආඥාදායකත්වයක් ලෙසින් ප‍්‍රකාශ වෙයි.) දැන් ප‍්‍රශ්නය වන්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ ඉතිරි වාමාංශික පතුරු කරන්නේ කුමක්ද යන්නය. ඇත්තටම තමන් කරන්නේ කුමක්ද කියා ඔවුන්වත් දන්නේ නැත. මෙහි වාසිය ගරා ගන්නේ මධ්‍යම-පන්තික වෘත්තිකයන්ය. ඔවුන් වනාහි දේශපාලනික අවස්ථාවාදීන්ය. ‘සයිටම්’ ගැටලූව යනු මෙම දේශපාලන අවස්ථාවාදීන්ට කඬේ යාමකි.
,,
ලෝක දේශපාලනය තුළ දක්නට ලැබෙන මූලික ලක්ෂණය වන්නේ සීතල-යුද්ධයට පසුව දේශපාලනිකව ලෝකය නැවත සකස් වීමකි. එබැවින් 2001 වර්ෂයේ ඇමරිකාවට එරෙහිව කරන ලද අල්ක්වේඩා ප‍්‍රහාරයත් සමඟ උපරි-ව්‍යුහය තලයේ පැවති ඇමරිකානු හෙජමොනිය අහවර විය. දැන් ලෝක හෙජමොනිය වෙනුවෙන් ඇමරිකාව සමඟ චීනය, රුසියාව සහ ජර්මනිය තරග කරයි. මින් චීනය සහ ජර්මනිය ආර්ථික තලයේ හෙජමොනික වන මුත් දේශපාලන සහ මිලිටරි තලයේ (යුද්ධය) උදාසීනය. මේ උදාසීන භූමිකාව එන්නේ ඔවුන් ලැබූ ඉතිහාස පාඩම් නිසාය. ‘සිරියාව’ සහ ‘උතුරු කොරියාව’ කේන්ද්‍ර කොටගෙන ඇති වී ඇති ලෝක යුද්ධයේ කේන්ද්‍රය ඒ අනුව අහම්බයක් නොවේ. දැන් අලූත් ගැටලූව වන්නේ ‘අධිරාජ්‍යවාදය යනු ධනවාදයේ ඉහළම අවධිය’ යන ලෙනින්ගේ ප‍්‍රවාදය නූතනත්වය පරදා ජයගෙන ඇති ගෝලීයකරණය තුළ යළි අර්ථකථනය කරන්නේ කෙසේද යන්නය.
පළමුවෙන් ප‍්‍රකාශ කළ යුත්තේ අධිරාජ්‍යවාදයට වෙනස්ව ගෝලීයකරණය අධ්‍යාත්මිකය යන්නය. මේ අදහස අතිශය විවාද සම්පන්නය. නමුත් ගෝලීයකරණයේ උපරි-ව්‍යුහය පැහැදිලි කිරීමේ දී මෙම සාධකය තීරණාත්මකය. නූතන ධනවාදය තුළ මිනිසුන් ජාතිකත්වය අවසන් ප‍්‍රාණ වායුව ලෙස සලකන්නේත්. පුරුෂයන් ස්ත‍්‍රිය කැඩපතක් ලෙස හඳුනා ගැනීමත් අයත් වන්නේ පාරභෞතික ක්ෂේත‍්‍රයටය. මෙම පාරභෞතික ක්ෂේත‍්‍රය දේශපාලනය දක්වා දිගු කළ විට නව මානයන් දෙකක් විද්‍යමාන වෙයි. එක පැත්තකින් පසු-නූතන ධනවාදය තුළ මිනිසාට මානසික රෝගී විකල්පයක් හැර වෙනත් තෝරා ගැනීමක් නැත. අනෙක් පැත්තෙන් දේශපාලකයන් ලෙස ‘සමාජ විරෝධීන්’ හැර වෙනත් තෝරා ගැනීමක් නැත. නූතන ධනවාදය තුළ මහින්ද රාජපක්ෂ හෝ ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගැලවුම්කරුවන් ලෙස දැකීම අහම්බයක් නොවේ.
Russia's Prime Minister Putin swims in a lake in southern Siberia's Tuva region
,,,
ගෝලීය තලයේ අපට දක්නට ලැබෙන නිරීක්ෂණ කිහිපයක් හරහා අලූත් හැරවුම් ලක්ෂයක් වටහාගත හැකිය.
A රුසියානු හැකර්වරුන් විසින් ඇමරිකාවේ සහ ප‍්‍රංශයේ මැතිවරණ ප‍්‍රතිඵලවලට බලපෑම් කිරීම.
B ඔබාමාගේ සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළ පරාජයට පත් වීම.
C ඇමරිකාව විසින් කැනඩාවෙන් ආනයනය කරන දැව සඳහා තීරු බදු හඳුන්වා දීම.
D පසුගිය දා බි‍්‍රතාන්‍යයේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් ජෙරම් කෝබීන් නායකත්වය සපයන කම්කරු පක්ෂය පරාජයට පත් වීම.
දෘශ්‍යමානය තුළ අපට පෙනෙන්නට තිබෙන්නේ එන්න එන්නම වාමාංශය පරාජය වෙමින් ‘අද්භූත මිනිසුන්’ [ Monsters] දේශපාලන සටනින් ජය ගන්නා බවයි. වාමාංශිකයන් සතු අවිඥානක දැනුමක් අප මෙතන දී විසංයෝජනය කළ යුතුය. ඔවුන් තවදුරටත් සිතන්නේ දුගීන් සහ අවවරප‍්‍රසාදිත ජන කොටස් පොහොසත් පන්තිය ප‍්‍රතික්ෂේප කරනු ඇත යන්නය. නමුත් ඇත්තටම සිදු වෙමින් යන්නේ දුප්පත් මිනිසුන් ඩොනල්ඞ් ට‍්‍රම්ප් වැනි අශ්ලීල ධනපතියන් සමඟ අනන්‍ය වන බවය. අනන්‍යතාව සහ අනන්‍යකරණය අතර වෙනස මෙහිදී වැදගත්ය. දුප්පතුන් අද පවතින ධනවාදය තුළ ෆැන්ටසිකරණය කරමින් සිටින්නේ ඔවුන්ටද හෙට දවසේ ට‍්‍රම්ප් හෝ දිලිත් ජයවීර වැනි ධනපතියකු විය හැකි බවයි. ඡුන්දයේ දී ඔවුන් චරිත හේරත්ට වඩා අනන්‍ය වන්නේ රත්තරන්ටය. අනන්‍යතාව සහ අනන්‍යකරණය අතර මෙම වෙනස කම්කරු පක්ෂයේ නායකයා හෝ ජවිපෙ නායකයා තවම වටහාගෙන නැත. ‘සයිටම්’ ප‍්‍රශ්නයේ දී දුප්පතුන් අනන්‍යකරණය වන්නේ අනාගත වත්පොහොසත්කම් සහිත දරුවෙක් තම විස්තෘත පවුල තුළ රජ කරවන්නටය. මේ හේතුව නිසා නව ලෝක රටාව තුළ බුද්ධිමතුන්ට හෙජමොනික බලයක් නොමැත. ඒ තැන දැන් අල්ලාගෙන සිටින්නේ වෘත්තික මාසික වැටුප් ලබන මැදපන්තික නිලධාරී තට්ටුවකි.

ඔබේ අදහස කියන්න...