පසුගිය දිනෙක ඩයනා ගමගේ විසින් පාර්ලිමේන්තුවේ 20 වැනි සංශෝධනයට තමන් සහාය දැක්වීම පිළිබඳව ඇගේම ආත්මීය ස්ථාවරය ප්‍රකාශ කිරීමට ඉතිහාස කතාවක් ඈඳා ගන්නා ලදි. ඇය මෙසේ කීවාය. “මම මේ තීන්දුව ගත්තේ ඇයි කියලා ඔබලාට තේරුම් කරන්න නිදර්ශනයක් දෙන්නම්. ඒ තමයි මම සීසර්ට ආදරේ නොකරනවා නෙවෙයි. නමුත් මම ‘වඩා ආදරෙයි’ රෝමයට’’. සරලව කිවහොත්, ඩයනා දේශපාලනයේ සදාචාර මූලධර්ම වලට වඩා රටට ආදරෙයි. අති සරල කළහොත් ඇය රහසින් කියන්නේ, “ජලනි මම ඔයාට ආදරේ නැතිව නොවෙයි. නමුත් මම ගෝඨාභයට ඊට වඩා ආදරේයි”.

                         ඩයනාට වඩා බුද්ධිමත් පිරිමින් උත්සාහ කරන ලද්දේ, ඩයනාගේ උපුටා දැක්වීමේ දෝෂ පෙන්වා ඇයව හාස්‍යයට ලක් කිරීමට ය. සීසර් ඝාතනය කරන ලද්දේ, මාක් ඇන්ටනී නොව බෲටස් බව ඔවුන් පෙන්වා දෙන ලදී. නමුත්, ඓතිහාසික කරුණු සහ ෂේක්ස්පියර්ගේ නාට්‍යමය ප්‍රබන්ධය අතර බහුතර දෙනා වැනෙන බවක් පෙනෙයි.  ඓතිහාසික කරුණු වලට අනුව සීසර්ව ඝාතනය කළේ බෲටස් නොව ඩෙසිමස් ය. කෙසේ වෙතත්, මගේ අදහස වන්නේ ඩයනා විසින් මතු කරන ‘සාධකය’ වරද නිවැරදි කිරීමට එහා යන ගැඹුරක් සහිත කතාවක් බවයි. ගැටලුවේ ගැඹුර ඇත්තේ, ඇගේ ආශාව තුළ ය. මේ ආශාව ඇය උපුටන්නේ, පිරිමියෙකු මැදිහත් කරගෙන ය.

Desire is the desire of the Other’s desire, meaning that desire is the object of another’s desire and that desire is also desire for recognition.

                “මම සීසර්ට වඩා රෝමයට ආදරය කරමි” යන ඩයනාගේ ආප්තය හරහා එක්වරම මාගේ මතකයට ආවේ, 2004 වර්ෂය අවසානයේ ‘X  සංවිධානය’ තුළ කරන ලද කුමන්ත්‍රණයේ දී ප්‍රභා මනුරත්න විසින් ද මේ වාක්‍යයම ප්‍රකාශ කරන ලද බවයි. එහි දී ඇය ද පවසන ලද්දේ, “මම සීසර්ට (දීප්තිට) වඩා රෝමයට ආදරය කරමි”. ඩයනාට වෙනස්ව ප්‍රභා පෙනී සිටින ලද්දේ, සිංහල-බෞද්ධ රටකට නොව සමාජවාදය වෙනුවෙනි.

අපි පළමුව ප්‍රභා මනුරත්න විසින් ඉටු කළ විප්ලවීය කාර්යය සලකා බලමු.

ඇය සංවිධානයට ඒමට පෙර සංවිධානයේ මූලික පිරිමි චරිත ටික ජීවත් වූයේ, අයියලා මල්ලිලා සේ ය. ඔවුන් ජීවත් වූයේ, ලංකාව දේශපාලනයෙන් ලස්සන කිරීමටය. මාක්ස්වාදයේ අලුත් න්‍යායන් වනපොත් කරමින් සිටි ඔවුහු ලස්සන පිරිමින් වූහ. රටේ වාමාංශයට ඊළඟ විකල්පය ලබාදීමට සිටියේ, මේ පිරිමි රංචුවයි. ප්‍රභා මනුරත්න මේ සියල්ල විනාශ කරන ලද්දේ, වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළදී ය. ඇගේ කැරැල්ල නිසා මේ එකට හිටි පිරිමින් එකිනෙකා කා කොටා ගන්නා ලද අතර තමන්ගේ ජීවිතයේ සියල්ල පාවා දුන්නේ ය. මෙයාසුට ප්‍රථම ඔවුන් පෙන්වා දුන්නේ, වස්තුව සහ ආත්මය අතර කිසිදු සම්බන්ධයක් නැති බවයි. ලෝකයේ ගස්, වැල්, තරු, අහස යන මේ ඕනෑම දෙයකට පරම පැවැත්මක් පැවතිය හැකි මුත් මිනිස් සබඳතා නම් සැක කටයුතු ය. තඹුත්තේගම යෝධයා පවා අපගේ යුගයේ දී පුරාවෘත්තයකි. 

                       සංවිධානයේ පිරිමින් කිහිපදෙනෙක් ප්‍රභා මනුරත්නව ‘ඇන්ටිගනී’ දක්වා උත්කර්ෂයට නංවන ලද අතර නාට්‍යය අවසන් වන විට, ලංකාවේ අනාගත වාමාංශයට පැවති එකම විභවතාවය ද සිඳී ගියේ ය. 

                            ප්‍රභා මනුරත්නගේ විප්ලවීය ක්‍රියාව වූයේ, සංවිධානය ඒකාධිපති ප්‍රවණතාවයක් පැත්තට යෑම වැළැක්වීම පමණක්ද? බොහෝ දෙනා එසේ සිතූ නමුත් මා එසේ සිතුවේ නැත. ඇය නූතන ධනවාදය තුළ පිරිමින් කරන දේශපාලනයේ අලුත්ම මානයක් ද අපට ප්‍රකාශමාන කරන ලදී.

                            සංවිධානයේ දෙකඩ වී ඉන් ප්‍රමුඛ පිරිමින් පිරිසක් පිටතට ගිය බව බහුතර දෙනා දනිති. නමුත් ‘සංවිධානය’ තුළ 99-2004 වර්ෂය දක්වා සැබැවින්ම ශ්‍රමය හෙලූ පිරිසක් සිටි බව ද අවිවාදිතය. එය ඓතිහාසික වශයෙන් ද සත්‍ය කරුණකි. නමුත් සංවිධානයෙන් වෙන් වී එළියට ගිය ”සමහර” අය මාධ්‍ය අවකාශ හරහා අලුත් නාට්‍යයක් පෙන්වීමට පටන් ගත්තේය. ප්‍රභා මනුරත්න විසින් අපට සත්‍යය පෙන්වන ලද්දේ, මේ නාට්‍යය හරහා ය. බොරුකාරයන් වීරයන් වූ හැටි දන්නේ ඇය මිස අප නොවේ.

                            අපි උදාහරණයක් ගමු. සුමිත් චාමින්ද යනු, 99-2004 කාලය තුළ සංවිධානයේ භෞතික සංවර්ධනය වෙනුවෙන් අඩුවෙන්ම වැඩ කළ පුද්ගලයෙකි. ඊට අමතරව, සංවිධානයේ මූලික න්‍යෂ්ටියේ දැනුමට අනුව ඔහු ඉතාම පුද්ගලවාදියෙකි. ඊට අමතරව, ‘ලන්ඩන්’ සඟරාව බෙදා හරින ලද, කියන දේ පමණක් ලියූ පුද්ගලයෙකු ද පිපිරීමෙන් පසුව ‘ලන්ඩන්’ සඟරාවේ ප්‍රධාන කතුවරයා වශයෙන් අභිෂේක විය. ඉතාම සරලව සහ කෙටියෙන් කිවහොත්, සංවිධානයේ පිපිරීමට පෙර සිටි ”වැඩකාරයන්” අතුරුදහන් වූ අතර ඒ දක්වා උදාසීනව සහ අක්‍රීය ලෙස සිටි පිරිස මාධ්‍ය ආකෘතීන් හරහා (මුල් කාලයේ පුවත්පත් සහ පසුව නව මාධ්‍ය හරහා) අධි ක්‍රියාකාරිකයන් (Hyperactive) බව මාධ්‍යකරුවන් සහ මාධ්‍ය මඟින් උලුප්පා දමන ලදී. ප්‍රභා මනුරත්නගේ සැබෑ විප්ලවවාදී ක්‍රියාව වූයේ, 2004 වර්ෂයේ සිට ඉදිරියට එන දේශපාලනය ‘අන්තර්අක්‍රීය’ (Interpassive) දේශපාලනයක් බව තහවුරු කිරීමයි. ‍ප්‍රභා අපට පෙන්වා දුන්නේ, ‘අධික ක්‍රියාකාරකම්’ දේශපාලනිකව පෙන්වන අය ධනවාදී දේශපාලනයේ ම කොටසක් බවයි. ඔවුන් ‘අප’ වෙනුවෙන් දේශපාලනය කරන අය මිස ඔවුන් වෙනුවෙන් දේශපාලනය කරන අය නොවේ. මෙම තත්වය මඟින් නිරූපණය වන්නේ, නූතන නරුමවාදයකි.

                     ඉහත ඓතිහාසික පරිවර්තනය ගැන න්‍යායික අවබෝධයක් ඔබට දැන් තිබේ නම්, ප්‍රභා විසින් අපට පෙන්වා දෙන්නේ ‘ප්‍රායෝගිකත්වය’ (Practice) නම් සංකල්පයේ අභ්‍යන්තරික පසමිතුරුභාවයකි. ටෙනිසන් කුරේ සහ ප්‍රෙඩී සිල්වා අතර හාස්‍යය ආකෘතියේ ඛණ්ඩනයක් ඇත. ප්‍රෙඩීගේ විහිළුවලට ‘අප’ සිනහා විය යුතු අතර ටෙනිසන්ගේ විහිළුවලට අප වෙනුවෙන් ‘ඔහුම’ සිනහා වෙයි. ප්‍රේඩීගේ හිනා වලට අප බඩ අල්ලාගෙන හිනා විය යුතු අතර ටෙනිසන්ගේ විහිළුවලට අප වෙනුවෙන් ‘ඔහු’ තමන්ගේම බඩ අල්ලාගෙන සිනහා වෙයි. දෙවැනි සිනහව අන්තර්අක්‍රීය සිනහාවකි. ඇත්තටම, අප එතන දී අක්‍රියාකාරී ය. ප්‍රභා මනුරත්න ‘මාධ්‍ය’ වෙතට නිකුත් කරන ලද්දේ, අන්තර්අක්‍රීය වාමාංශික දේශපාලනයකි.[inter-passive leftist politics]

                            ප්‍රභා මනුරත්න තම ක්‍රියාකාරිත්වය මඟින් අපට පෙන්වා දෙන්නේ, 2004ට පෙර පැවති X කණ්ඩායමේ නායකත්ව මණ්ඩලය යනු ‘අන්තර්අක්‍රීයව’ දේශපාලනය කළ පිරිසක්ය යන්නයි. නායකත්ව මණ්ඩලය තම ක්‍රියාකාරීත්වය මට පැවරූ අතර මා විසින් එය ප්‍රභාට පවරන ලදී. අන්තිමට, ක්‍රියාකාරීව කිසිවෙකු දේශපාලනය නොකළ අතර ‘දේශපාලනය’ අන්‍යයන්ට පවරා ඇත. කිසිවෙකු සැබවින් දේශපාලනය නොකරත්, එය වෙන දූතයෙකුට පැවරුවත් තමන්ට දැනෙන්නේ තමන් එසේ කළා ය යන හැඟීමකි. සීසර්ගේ මෙම අන්තර්අක්‍රීයතාවය මුලින්ම දැන ගන්නේ, ක්ලියෝපැට්රා මිස සෙනෙට් මණ්ඩලය නොවේ.

                           ශිරාල් ලක්තිලක සහ රුවන් ෆර්ඩිනඩ්ස් යනු ද තමන්ගේ ‘දේශපාලනය’ අන් අයට පවරන දේශපාලකයන් දෙදෙනෙකි. ඔවුන් කිසිවිටෙක තමන්ටම ‘බලය’ ලබා ගැනීමට සෘජු නැත. ඔවුන් වෙහෙස වන්නේ, වෙනත් අය රජ කරවීමට ය.

                             2019 වර්ෂයේ ජනාධිපතිවරණය සිදු වන විට ශිරාල් අධික ලෙස වෙහෙසුණේ ය. විවිධ සම්බන්ධීකරණ කමිටු සාදන ලදී. ඔහු මේ සියල්ල කරන ලද්දේ, ‘තමන්’ වෙනුවෙන් නොව ‘සජිත්’ වෙනුවෙනි. හාස්‍යය වන්නේ, සජිත් තමන්ගේ දේශපාලනය ගැන අවසාන තීන්දු ගැනීමේ බලය පවරා තිබුණේ ජලනිට වීම ය. වෙනත් ආකාරයකින් කියන්නේ නම්, ශිරාල්ගේ දේශපාලනය ‘අන්තර්අක්‍රීය’ වනවා පමණක් නොව අවසාන වශයෙන් සජිත්ගේ දේශපාලනය ද අන්තර්අක්‍රීය දේශපාලනය (Interpassive Politics) කි. ‘අවසන් තීන්දුව’ ගැනීමේ දැඩි වෙහෙස හෝ අවදානම ඔවුන් ජලනිට භාර දී තිබුණේය. ඇය ඔවුන්ගේ අම්මා ය. 

                        ප්‍රභා මනුරත්න, ජලනි ප්‍රේමදාස, ඩයනා ගමගේ වැනි විමුක්තිය දෙසට අපව යොමු කරන ස්ත්‍රීන් Social Media නිසා හට ගන්නා නව ආකෘතියක අන්තර්අක්‍රීය දේශපාලන ප්‍රවර්ගයක් අපට හඳුන්වා දෙයි. Social Media තුළ ‘බරසාර’ ලෙස දේශපාලනය කරන අය සමඟ අප කිසිවිටෙක අනන්‍ය වන්නේ නැත. අප සමාජ මාධ්‍යවල දී කරන්නේ, අපගේ ‘සහභාගිත්වය’ වෙනත් කෙනෙකුට පවරා ඔහු හෝ ඇය මඟින් විනෝද වීමයි. ඒ අර්ථයෙන් ගත් විට, සමාජ මාධ්‍ය මඟින් සිදු කරන්නේ අප වෙනුවෙන් දේශපාලනයක් මැවීම හෝ ප්‍රබන්ධ කිරීම මිස යථාර්ථයක් නිපදවීම නොවේ. මේ හේතුව නිසා, සමාජ මාධ්‍ය තුළ ඇත්තේ ක්ලෝනකරණය වූ දේශපාලනයකි. නූතන මිනිස් ජීවිතය වෙළඳපොළ ගොඩනඟනා සේ අපගේ දේශපාලනය ද සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ අධික්‍රියාකාරීත්වයකට නතු වෙයි. මේ තත්වය මාධ්‍යවල වසඟයක් මිස යථාර්ථ දේශපාලනයේ හැටි නොවේ. නිරෝධායනය සඳහා වෛද්‍යවරුන්ට හොඳ හෝටල් ලබා දෙන අතර උපස්ථායකයන්ට ලැබෙන්නේ ටකරං මඩු ය. මින් අදහස් වන්නේ, යථාර්ථය මිය ගොස් නැති බවයි.

                           ‘සමාජ මාධ්‍ය’ යුගයක දී දේශපාලනයට ඇත්ත වශයෙන්ම සහභාගී වන අය නැතහොත් ”අන්තර්ක්‍රියාකාරී වන්නන් ”(Interaction) විරල වන අතර (දේශපාලන පක්ෂ දිය වී යන්නේ මේ සාධකය නිසා ය.) ඒ වෙනුවට ජනනය වන්නේ ”අන්තර්අක්‍රියාකාරීන් ය”. මේ අය අන්තර්ජාලය හරහා අධික්‍රියාකාරී වන මුත් සැබැවින්ම සිටින්නේ, පුටුවක් හෝ ඇඳක් මත අක්‍රියාකාරීව ය. මේ අක්‍රියාකාරීකම කලක් යන විට හුදෙකලාවකට පුරුදු වීමක් සහ ඇබ්බැහි වීමකි. Joggersලාට අප වශී වන්නේ, මේ ඇබ්බැහියෙන් තවත් දෙයකට ඇබ්බැහි වීමට ය.

                                ප්‍රභා මනුරත්න විසින් X  කණ්ඩායමේ අන්තර්අක්‍රීය දේශපාලනයේ විෂම චක්‍රය විනාශ කරන ලද අතර එහි අනපේක්ෂිත ඵලයක් ලෙස මාධ්‍ය මත පැරණි X සාමාජිකයන් කිහිපදෙනෙකු අන්තර්අක්‍රීය දේශපාලනයක් බිහි කරන ලදී. ඔවුන් තමන් කරන දේශපාලනය අන්‍යයන්ට පවරන අතර ඉන් ඔවුන්ම විනෝද වෙයි. සමාජ මාධ්‍ය ඇසුරු කරන අය සහ ජවිපෙ සමහර නායකයන් ද මේ අන්තර්අක්‍රීය දේශපාලනයට වශී වී ඇත. රූපවාහිනි විහිළු වැඩසටහන්වල දී අප වෙනුවෙන් හිනා වීම ද වැඩසටහනේ අන්තර්ගතය තුළ පටිගත කර ඇති නිසා අපට තිබෙන්නේ සැටිය මත වාඩි වී හුදෙකලාව එය නැරඹීම පමණි. නූතන ධනවාදී දේශපාලනය යනු ද අපගේ සහභාගීත්වයෙන් තොරව ස්වයංක්‍රීයව ධාවනය වන live stream එකකි. එය අපගෙන් තොරව ධාවනය වන මුත් එම දේශපාලනයට අපත් සහභාගි වනවා නේද යනුවෙන් හැඟීමක් අපට ඇති වෙයි. මෙය දෘෂ්ටිවාදයකින් තොරව ධනවාදයට හෝ වෙනත් ඕනෑම දේශපාලන ආකෘතියකට අපගේ ඇබ්බැහි (Addiction) වීමකි. අන්තර්අක්‍රීය දේශපාලනය යනු, විනෝදය අනෙකාට පැවරීමකි.

                            ‘ඩයනා ගමගේ’ යනු, සජිත් ප්‍රේමදාසගේ සහ ශිරාල් ලක්තිලකගේ අන්තර්අක්‍රීය දේශපාලනයට බෝම්බයකින් පහර දෙන ලද විප්ලවීය කාන්තාවකි. ඔවුන් අපගේ ඇස් අප හිතනවාට වඩා ඇර ඇත. ඇය අපට කියන්නේ ‘අපගේ දේශපාලනය’ අන්‍යයන්ට වීසි කර ගෙවන මේ ඇබ්බැහි ජීවිතය භයානක බවයි. ඔවුන් ඇන්ටිගනීලා නොවේ. ඔවුන් පිරිමින්ගේ අධිකතර ඇබ්බැහියකින් ඔවුන්ව ගලවා ගැනීමට දෙවියන් විසින් එවන ලද දේවදූතියන් ය. දැන්වත් ඇහැරෙන්න! ජලනිට තමන්ගේ දේශපාලනය පවරන්නේ නැතිව තමන්ම තීන්දු ගන්න! ප්‍රභා මනුරත්න නම් දේව දූතිකාව මගේ ග්‍රස්ථික මායාවෙන් මාව ගැල වූ විගස විප්ලවයට මගේ දෑස් විවර විය. 

 Deepthi Kumara Gunarathne

ඔබේ අදහස කියන්න...