‘සමාජවාදය’ නම් සංකල්පය ශ්‍රී ලංකාවෙන් අතුරුදහන් වීමට පෙර සමාජවාදය යටතේ ස්ත්‍රියගේ භූමිකාව පිළිබඳ කුතුහලයක් බොහෝ දෙනාට පැවතිණි. ධනවාදය යටතේ ‘ස්ත්‍රිය’ සහ ඇගේ ශරීරය පාරිභෝගික භාණ්ඩයක් නැතහොත් හුවමාරු වටිනාකම් ලෝකයට ඇතුල් වීමක් අපේක්ෂිත ය. අනෙක් අතට, සරලමතික මනසට අනුව සමාජවාදය යටතේ ස්ත්‍රිය යනු පොදු භාණ්ඩයකි. නැතහොත් බහු-භාර්යා සේවනය සමාජවාදයේ ලිංගික නිෂ්ඨාවයි. මේ ලංකාවේ මිනිස්සු සමාජවාදය යටතේ ස්ත්‍රීන්ට හිමි වන සමාජ තත්ත්වය පිළිබඳව කරන ලද සමපේක්ෂණය යි. අනෙක් අතට, ශ්‍රී ලංකාවේ පීඩිත ජනයා මක්සිම් ගෝර්කිගේ ‘අම්මා’ කෘතිය තුළින් කියවූයේ මවක් වැනි ධෛර්යක් ඇති ස්ත්‍රියක් ගැන ය. දැන්, එම අදහස් කොතැනක පවතිනවා දැයි දන්නා කෙනෙක් නැත.

                              අජිත් ධර්මකීර්තිගේ ‘ප්‍රථම ප්‍රේමය  ඔබ නොවේ’ නම් කෘතිය ගැන ඔහුගේම පැමිණිල්ලක් ඇත. මේ පොත ලංකාවේ ජනප්‍රිය නොවුණේ හෝ ප්‍රමාණාත්මක මට්ටමකට පාඨකයන් අතරට නොගියේ මන්ද යන කාරණා ඔහුගේ පැමිණිල්ල තුළ අන්තර්ගත ය. ලංකාවේ සාහිත්‍ය අධිනිශ්චය 80 දශකයෙන් පසුව අතුරුදහන් විය. එපමණක් නොව, සිනමාවට සිදු වූයේ ද එය යි.

                                   සමකාලීන යුගයේ දී ‘යුගයේ හැඩය’ කියා දීමට සාහිත්‍යය නම් ශානරය ගැලපෙන්නේ නැත. එසේත් නැත්නම්, සාහිත්‍යය නැවත කියවන ව්‍යාපාරයක් අවශ්‍ය ය. සැමුවෙල් බෙකට් නම් සාහිත්‍යකරුවා මේ උත්සාහය තම ‘Watt’ නම් කෘතිය තුළ අත්හදා බලන ලදී. බෙකට්ගේ චින්තනයට අනුව, අද දින වන විට සියලු දෙනාගේ ජීවිත අත්දැකීම්වලින් පොහොසත් ය. එවිට, ගොර්කිගේ අත්දැකීම් හෝ චෙකොව්ගේ අත්දැකීම් කියවීමට කෙනෙකුට මේ කාලයේ ඉස්පාසුවක් නැත. කොටින්ම, සෑම පුද්ගලයෙක් ම තම තමන්ගේ අත්දැකීම් වලින් රෝග ලක්ෂණාත්මක මට්ටමට මුසපත් වී ඇත. එබැවින්, ඔවුන් එරික් හෝ අමරකීර්ති හෝ ශාන්ති දිසානායක කියවන්නේ නැත. ඔවුන් සමන් වික්‍රමාරච්චි කියවයි. ඒ මන්ද ?

                              අලුතින් ලියන නවකතාවලින් මිනිසුන් කියවන්නේ, ‘ආකෘති හරඹයක්’ (මේ අවවහර ‘ආකෘතිය’ සඳහා යෙදුවේ ගුණසිරි සිල්වා ය) ඇති නවකතා පමණි. විදර්ශන පොත් සාප්පුව ආකෘතික හරඹ කරන විදේශීය ලේඛකයන්ගේ කෘතීන් සිංහලට පරිවර්තනය කරන්නේ අහම්බයකින් නොවේ. නූතන නවකතාව ‘ආකෘතීන් අතිරික්තයක්’ (Excess of Forms) නිපදවන්නේ මන්ද? මෙම නූතන ආකෘතික නවකතා තදින් උත්සාහ කරන්නේ, ජීවිතය ආකෘතියක් තුළට දමා ගැනීමට යි. 

                                  නූතන නවකතාකරුවා තමා අවට සමාජ යථාර්ථය පළා යෑමේ ප්‍රපංචයක් (අත්දැකීමක්) ලෙස සලකා බලන්නේ නම් ඔහු/ඇය උත්සහ කරන්නේ, ජීවිතය ආකෘතියක් බවට පරිවර්තනය කිරීමටත් පසුව යළි එම ආකෘතිය ජීවිතයක් බවට පරිවර්තනය කිරීමටත් (To bring life into a form and bring its form into life) ය. මේ අර්ථයෙන්  ගත්විට, සමකාලින නවකතාව උත්සාහ කරන්නේ, ගෝර්කි හෝ ප්ලෝබෙයා හෝ ඩිකන්ස් මෙන් ජීවිතය විස්තර කිරීමට නොව ජීවිතය ආකෘතිකරණය කිරීමට අවශ්‍ය තාක්ෂණය සහ උපායවේදය ගවේශණය කිරීමට ය.

                           සමකාලීන මිනිසාගේ පොදුභාවය තැනී ඇත්තේ පරිභෝජනය සහ වසඟය හරහා ය. එබැවින්, ඔවුන් සියලු දෙනා අන්තර්ගතානාත්මක ලෙස ‘සමානයන්’ ය. මිනිස් ජීවිතයේ ‘අන්තර්ගතයන්’ (Contents) ලිවීම සමකාලීන යුගයේ අප්‍රසන්න අත්දැකීමකි. Facebook යනු, මෙවැනි අන්තර්ගතයත්ගෙන් පිරී ගිය ඔක්කාරජනක තොටුපොළකි. නමුත් ලේඛකයා සතු ප්‍රබලතම අභියෝගය වන්නේ, කතාන්දරවලට මුල්තැන දීම නොව ඒවා ඉක්මවා යන ආකෘතික උපායන් සොයා ගැනීමයි. ශාන්ති දිසානායකගේ කතා කලාව හොඳ වුවත් ඇගේ කතාව කියන ‘ආකෘතිය’ නූතනවාදී නැත. එසේ නම්, අපට නුතනවාදී විය හැක්කේ කෙසේ ද?

                             මේ සඳහා ප්‍රබල ඉඟියක් පසුගිය සතියේ දී ඩිල්ෂාන් සහෝදරයා මතු කරන ලදී. ඔහු මෙසේ කීවේය.

          “ හිච්කොක්ගේ ‘Birds’ නම් නවකතාවේ කුරුල්ලන් පැමිණියේ නැත්නම් එය ඉතාම නීරස මධ්‍යම පන්තික පවුලක මව සහ පුතා අතර අනවරත ගැටුමක් වෙන්න තිබුණා ”. 

 

                                ඔහු මතු කරන ලද්දේ ජිජැකියානු අදහසක් වුවත් ඊට මොහොතකට පසුව ඔහුගේ ම අදහසක් පළ කරන ලදී. එය ඉතා අපූර්ව ය.

               “ ධනවාදී ප්‍රතිවිරෝධය පෙන්නන්න 19 වන සියවසේ පැවතිච්ච හොඳම කලා මාධ්‍ය සාහිත්‍යයයි.  (දර්ශනය/කාව්‍යය කියන්නේ මේ අර්ථයෙන් අක්ෂරයේ භෞතිකය සනාථ කිරීමයි.) නමුත්, 20 වැනි සියවසේ දී ධනවාදී ප්‍රතිවිරෝධයන් පෙන්වන හොඳම කලා මාධ්‍යය වූයේ සිනමාවයි. සිනමාව කියන්නේ ලිංගිකත්වය ආකෘතිගත කරපු හොඳම කලාවයි. උදාහරණයක් වශයෙන් ඩේවිඩ් ලින්ච් සහ ක්‍රිසටෝෆ් කිසලොව්ස්කිගේ කෘති විශ්ලේෂණය කරන්න. ලිංගික පසමිතුරුතාවයන් ගැන අපිට ඊට වඩා කියන්න දෙයක් නැහැ. 21 වැනි සියවසේ දී වීඩියෝ ක්‍රීඩා සහ මාලා ටෙලිනාටක-Tele Series- විසින් අපට ධනවාදයේ ආත්මීය රංගනය ගැන අලුත් උපක්‍රමිකයන් අනාවරණය කරනවා.  උදා:- ‘කූඹියෝ’ සහ ‘තණමල්විල කොල්ලෙක්’ වැනි මාලා නාටක අපිට මොකක්ද කියන්නේ? ” 

                                     අජිත් ධර්මකීර්ති ඇතුළත්ව සමකාලීන ප්‍රබන්ධකරුවන් අවබෝධ කරගෙන නැති ප්‍රවාදයන් දෙකක් තිබේ.

 

  1.  යථාර්ථය යනු ප්‍රබන්ධයක් යන්න.

  2.  ආකෘතියට වැඩි අවධානයක් යොමු කළ විට අන්තර්ගතය සහ ආකෘතිය අතර ආතතිය හරහා ‘අමතර දෙයක්’, අමතර විනෝදයක් නිෂ්පාදනය කළ හැකි බව.

 

                           අපි උදාහරණයකට ‘Birds’ චිත්‍රපටය ගමු. එහි අන්තර්ගතය වන්නේ, මවගේ සුපිරි අහම (මව තම පුතාගේ අලුත් පෙම්වතිය සෙල්ලක්කාර යැයි කල්පනා කිරීම) සහ පුතාගේ ලිංගික ආශාව අතර පරස්පරය යි. සාම්ප්‍රදායික කතා කලාව යනු, මෙම විරුද්ධාභාසය අන්තර්ගතය හරහා කීමයි. නමුත් නූතනවාදී කලාව (Modern Art) යනු, මෙම බලවේග දෙක අතර ගැටුම අනවරත බව පෙන්නා එහි යථමය (Real) මානය භෞතික පෘෂ්ඨයක් හරහා විද්‍යාමාන කිරීමයි.  පුත්‍රයාගේ ආත්ම මූලිකත්වය  (සංකේත ලෝකයේ Gap එක – මවගේ සුපිරි අහම සහ පුතාගේ ආශාව අතර පරතරය) කුරුල්ලන් හරහා පෙන් වූ විට තිරය මත ඔහුගේ පැල්ලම ද විද්‍යාමාන වෙයි. භෞතිකය යනු, සංකේතනයේ නොහැකියාව කුරුල්ලන් හරහා වියහැකිභාවයේ කොන්දේසියක් කිරීමයි. 

 

  • අදට ලිවීමට ඇති කාලය අවසන්, ඉතිරිය සඳුදාට

              Deepthi           

ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.

       

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. අපි යථාර්තය කියල නිරුපනය ප්‍රබන්ධයක් නෙමෙයිද, මොකද යථාර්තය ඒ මොහෙතෙමේ වෙලා ඉවරයි. ඊට පස්සේ පට යථාර්තය කියල හිතෙනේ දේ තමා අපි ලියන්නේ.

  2. අපි යථාර්තය කියල නිරූපණය කරන්නෙම ප්‍රබන්ධයක් නෙමෙයිද? මොකද යථාර්තය ඒ මොහෙතෙම වෙලා ඉවරයි. ඒක එක මොහොතකට පස්සේ අයිති අතීතයට ඊට පස්සේ අපට යථාර්තය කියල හිතෙන දේ තමා අපි ලියන්නේ. ඒක සමහරුන්ට මායාවක්, සමහරුන්ට හීනයක් තව සමහරුනුට අතීත කාමයක් නොස්ටල්ජියාවක් වෙන්න පුළුවන්.නමුත් එකම දේ , එකම දේ වෙච්ච දේවල් අපට වෙනස් කරන්න බැරිකම , ඉදිරියට වෙනවා කියල හිතෙන දේවල් වෙනස් කරන්න පුළුවන් වෙයි. වෙච්ච දේවල් වෙනස් කරන්න බැහැ හරියට කොපමණ විවේචනය කලත් 2004 වුන දේ දීප්තිට වෙනස් කරන්න බැහැ වගේ තමයි. ඒකත් එක්ක ජිවත් වෙන්න වෙනව. ලියන්නාටත් එහෙමයි.

Comments are closed.