මේ ලිපියට ලියන ලද හැඳින්වීම – බංගලි ගමයා ගේ   සෝවියට් නංගි 
ජෙහාන් ලෙනින් ගැන කතා කරන විට සමහරු වරදවා වටහා ගත්තේ ලෙනින් ද “අර” කූඹි ජෙහාන් ලෙසටය. මම ජෙහාන් යෙදුම  භාවිතා කරන්නේ එයින් කියන්නට යන්නේ කුමක් ගැනද යන්න වෙනත් යෙදුම් නොමැතිවම ඉබේම වාගේ පැහැදිලි වන නිසාය.

රැසියන් පැරණි ග්‍රීෂ්ම, වසන්ත සමයට  නිවසක් (දාචා එකක්)

මා දැන  සිටි සිසුන් දෙදෙනෙක් (ඔවුන්ගේ නම් ගම් මේ කතාවට අවශ්‍ය නැත)  සමග දීමා යන නමින්  රුසියානුවෙකු යහළු වී සිටියේය. ඒ වෙළඳම් කිරීමටය. ඔහු විදේශික  සිසුන් බටහිරින් ගෙනා භාණ්ඩ විකුණා දී  ලාභයක්  ගන්නා අයෙකි. ඉංජිනේරුවකු වූ ඔහුට  මොස්කව් වල  ටගන්ස්කයා පෙදෙසේ ක්වර්තිරා හෙවත් තට්ටු නිවසක් ද කුස්මින්කි නම් පෙදෙසෙන් එහාට වන්නට පද් මොස්කව් හෙවත් මොස්කව් නගර සීමාවෙන් පිටත (මහා මොස්කව් ප්‍රදේශයේම ) දාචා එකක් ද තිබුණි. දාචා යනු ග්‍රීෂ්ම නිවාසය. ඒවායේ එළවලු වගා කිරීමට ඉඩකඩද, (sauna) සෞනා හෙවත් ඇඟ  උණුසුම් කර ගැනීමට ගල් අඟුරු වලින් රත් කරන කාමරයක්ද බොහෝ විට තිබේ. රුසියානුවෝ සෞනා ඇතුලේ සිටින්නේ නිරුවතිනි. බොහෝ විට තුවායක් එහි ඇති බංකුවල එලා ගනිති. මෙය යුරෝපයේ සෞනා වල ද එසේය. නමුත් එංගලන්තයේ පිහිනුම් සඳහා අඳින ඇඳුමක් හැඳ සිටිය යුතුය . (වික්ටෝරියානු සදාචාරය)

රුසියානු දාචා වක නවීන සෞනා එකක්

ඇතැම් රුසියානුවන් ගේ සැන්දෑ සාද  වලට තරුණයන් තරුණියන්, ගැහැනුන් මිනිසුන් එක සමානව ගෙන්වීම සිරිතකි. නැතිනම් ඇතැම් අයට යහළුවෙක් හෝ යෙහෙලියක් නැතිවන නිසාය. මේ වර්ගයේ සාද  ගැන අදහසක් ලැබෙන්නට ඇතැයි  සිතමි.  මේවායේ වොඩ්කා හා කල්බසා (සොසේජස් වර්ගයක්) ද නොයෙකුත් සලාද වර්ගද හොඳට කෑමට තිබේ. (කඩ වල කෑම නොතිබුනාට)

දීමා නිතර කියන යෙදුමක් තිබේ. “සොත්සලිස්මා ඒත, ත්වයියා ෂෙනා මයියා , අ මයියා ෂෙනා ත්වයියා “යනුවෙනි. “සමාජවාදය යනු උඹේ බිරිඳ මගේ, මගේ බිරිඳ උඹේ “(socialism is, your wife is mine , my wife is yours). මා කියන සිසුන් දෙදෙනාට දීමා ගේ බිරිඳ තට්ටු නිවාසයේ දී  වරක් මුණගැසී තිබුණු අතර  ඇය රූමත් කාන්තාවක් බව සහතිකවම කීහ. රැකියාව කලේ බුහල්තෙර් හෙවත් බැංකු නිලධාරිනියක්  ලෙසටය.
හැබැයි අර දීමා  නිතර කියන යෙදුම නිවසේදී ක්‍රියාත්මක වූයේ නැත. සමහර විට මා කියන  සිසුන් දෙදෙනා කසාද නොබැඳ සිටි නිසා වෙන්නට පුළුවන්.

වරක් ඔවුන් ගෙනා වටිනා භාණ්ඩ වගයක් විකිණීමෙන් දෙගොල්ලන්ටම මහත් ලාභයක් ලැබී තිබුණි. ඉමහත් ප්‍රීතියට ට පත් දීමා ඔවුන්ට දාචා එකේ සැන්දෑවක්   ගත කිරීමට ආරාධනා කළේය.

බෝතලයකුත් රැගෙන එහෙ ගිය අපේ යහළුවන් දෙදෙනාට හමුවූයේ දිමා හා  ඔහුගේ බිරිඳත් තවත් සුරූපී රුසියානු ලඳුන් දෙදෙනෙකුත් ය. සිසුන් දෙදෙනා දීමාට යටි හිතින් ස්තුතී වන්ත වෙමින් සිටියදී  කට්ටිය කෑමට, බිමට, නැටීමට පටන් ගත්  අතර ඉන්පසු දාචාවේ ඇති සෞනා එකට ගිනි තැපීමට ගියහ.  මේ සෞනා වල සිට එක වරටම එළියේ ඇති ශීතල ජලය පිරි ටැංකියකට පැනීම රුසියානුන් ගේ සිරිතය. සිරුර ලෙඩ නොහැදී හොඳට පදම්  වන්නේ එවිටය.

තමන් දෙදෙනාට පෑදුනු රූමත් වාසනා  දෙක සමග වොඩ්කා  බොමින් කතා  කරමින් සෞනාව ඇතුලේ ගිනි තැප්පේ අපේ සිසුන් දෙදෙනාය. සිසුන් දෙදෙනා විස්මයට පත් කරමින්, වතුරට පැන්න දීමා ඉන්පසු කලේ නැවත පැමිණ රූමත් කෙල්ලන් දෙදෙනා සමග කාමරයක ට යාමයි. සිසුන් දෙදෙනා දීමා ගේ බිරිඳගේ තනි රකින්නට සෞනාවේ ඉතිරි විය. නිවසේ කෑම කාමරයට  ගොස් වොඩ්කා විදුරු තුනක් රැගෙන  පැමිණි දීමා ගේ බිරිය වැඩි වෙලා යාමට ප්‍රථම සිසුන් දෙදෙනා අතර දිගා වූවාය . දීමා නිතර කියන සමාජවාදී කතාව හෙවත් දීමා ගේ ගේම් එක ඔවුන්ට තේරුම් ගියේ එවිටය.

හැබැයි ඉන් පසුවවත් ඔවුන් ඒ ගැන මැසිවිලි නම් නොකීහ.

ලෙනින් ගේ පෙම්වතිය ඉනෙස්සා අර්මන්ඩ්

ලෙනින් හා ඔහුගේ බිරිඳ කෘප්ස්කයා ගේ සිය විවාහ ජිවිතයේ  දේශපාලන  ක්‍රියා ප්‍රමුඛ කොට සැළකු  අතර   ළමුන් සැදීම ප්‍රමුඛ කොට සිතා නැති  බවක් පෙනී යයි. ලෙනින්ට ඉනෙස්සා ෆෙදොරෝවිනා ආමන්ඩ් නමැති ප්‍රංශ පෙම්වතියක් සිටි අතර 1919 කාලයේ කෘප්ස්කයා ට අමතරව ඇය බෝල්ෂෙවික් පක්ෂයේ ඉතා බලවත් තැනැත්තියක් වූවාය.

ලෙනින් ගේ බිරිඳ නද්යෙශ්දා කෘප්ස්කයා

කෘප්ස්කයා හා ඉනෙස්සා අතර විරෝධයන් තිබුනද ඔවුන් තිදෙනා අතර සම්බන්ධතාවය දැඩි එකක් විය.  පැරිස් නුවර උපන් ඇය තරුණ වියේ සිට විප්ලවවාදී දේශපාලනයට යොමුවුනු අතර සෝවියට් රජය පිහිටුවීමේ කාර්යයේ ඉමහත් වැඩ කොටසක් කල කෙනෙකි. ස්ටාලින් විසින් පසුව ඉතිහාසයෙන් මකා  දමන ලද ඇය  තරුණ වියේදීම කොලරාව සැදී  1920 වසරේදී මිය ගියාය.

ට්‍රොට්ස්කි ගේ මෙක්සිකන් පෙම්වතිය ෆ්රීඩා

ලියොන් ට්‍රොට්ස්කි ට පෙම්වතියන් කිහිප දෙනෙකුන්ම සිටි අතර ඔහු සෝවියට් දේශයෙන් පිටුවහල්  කරන විට නතාලියා නම් රුසියානු කාන්තාවක්  සමග එකට දිවි ගෙවීය. මෙක්සිකෝ හිදී ඔහු ෆ්රිඩා  කාලෝ (Frida Kahlo) නමැති චිත්‍ර ශිල්පිනියක්  සමහ ආදර  සම්බන්ධයක් පවත්වා ගත්තේ නතාලියා ට මුලින් එය සඟවමිනි .

ලෙනින් හා ට්‍රොට්ස්කි ගේ  මුලිකත්වයෙන් පිහිටවූ ළඳරු සෝවියට් සමුහාණ්ඩු වේ විවාහ නිතිය සාර්  රුසියාවේ තිබු රුසියානු ඔර්තොඩොක්ස් ආගමේ නීතියට  වඩා ලිහිල් එකක් විය.

ඔවුන් විවාහය පිලිබඳ  නියෝග දෙකක් නිකුත් කළහ. දික්කසාද නිතිය  ගැන  1917 දෙසැම්බර් 19 දාය. සිවිල් හෙවත් සාමාන්‍ය, (සාමාජිය)මහජන   විවාහයත් දරුවන් පිලිබඳ නියෝගත්  1917 දෙසැම්බර් 20 දාය. ආගමික විවාහ සම්පුර්ණයෙන්ම තහනම් කරන ලදී.

ප්‍රධාන නීතියක් වූයේ ලියා පදිංචි නොකරන ලද විවාහයකින්  තොරව උපදින දරුවන්ට විවාහයකින් උපදින දරුවනට ඇති අයිතීන් ම දීමයි. තව දුරටත් අවජාතක දරුවන් සෝවියට් දේශයේ නැත. මව නම්කරන ඕනෑම අයෙක් පියා විය.

දික්කසාදය දුන්නේද මේ සිවිල් නීතිය මගිනි. එය ඉතා පහසු විය.  දෙදෙනාගේ කැමැත්තෙන් හෝ එක් සහකරුවෙකු ගේ කැමැත්තෙන් දික්කසාදය දෙන ලදී. දික්කසාදයට හේතු දැක්වීමක් (ground for divorce ) අවශ්‍ය  වූයේද නැත. ගැහැනුන්ට වයස 16 දීත් පිරිමින්ට වයස 18දීත් විවාහ විය හැකි විය. දරුවන් සෑදීම අපහසු නම් ගබ්සා කිරීම් වලට අවසර  දෙන ලදී.

නීතිය කවරක් වුවත් ට්‍රොට්ස්කි හා සිනෝවියෙව් ආදීන් කටයුතු කලේ ධනවාදී ක්‍රමයේ පවුල නමැති ආර්ථික ඒකකය අහෝසි කර කොමියුන ආර්ථිකයක් ගොඩ නැංවීමටය. ධනවාදී සමාජ ක්‍රමයේ පවුල නමැති ආර්ථික ඒකකයත්, ආදායම  උපයන සැමියාත්  දරුවන් බලා  ගන්නා මවත් වැදගත් විය.  සෝවියට් ආර්ථිකයට සැමියා සහ බිරිඳ දෙදෙනාම වැඩ කිරීම අත්‍යවශ්‍ය විය. එනිසා ගැහැනුන්ට සම තැන දීමද අත්‍යවශ්‍ය විය.

සෝවියට් බලධාරීන් විසින් බොහෝ මාළිගා  හා ධනවත් නිවාස රජය සතු කරන ලද අතර මේවායේ කාමරවල නිවාස  නැති කම්කරුවන්, සොල්දාදුවන් ආදීන්  පදිංචි කරන ලදී. මේවා අදටත් මොස්කව් හා ශාන්ත පිතර්බුර්ගයේ තිබෙන අතර එක මුළුතැන් ගෙයක්, පොදු වැසිකිලි හා නාන කාමර පෙලකින් සමන්විත එක තට්ටුවක  පවුල් කිහිපයක් ජිවත් වෙති.

මුල් අවධියේ ළමයින් බලා ගැනීම එකපාලිකාවකට පැවරුන අතර අනිත් සියල්ලෝම රැකියා සඳහා පිටව ගියහ. පසුව ළමයින් සඳහා වෙනම පෙර පාසැල්  පිහිටවන ලදී.

සැමියා හා බිරිඳ, පෙම්වතා  හා පෙම්වතිය වශයෙන් එකට ජීවත්වීමට අනුබල දෙන ලදී. (living together). පක්ෂයට අවශ්‍ය  විටෙක එක අයෙකු ඈත පළාතකට  යැවුහ හොත් පවුලක් කඩා ඉහිරෙන්නේ නැත. ළමයින් බලා ගැනීමට පෙර පාසල් තිබීමත් නැත්නම් ජිවත්වන කොමියුනයෙන් ලැබෙන  සහයත්, එසේම අවජාතක ළමයින් වශයෙන් කොටසක් නොමැති වීමත් නිසා ගබ්සාවට නීතියෙන් අවසර තිබුනද එසේ කිරීමට තරුණියකට අවශ්‍ය  වුයේ ද  නැත.

මේ තත්වය 1926 වනතුරු පැවති අතර 1922 දී පක්ෂයේ ලේකම් තනතුරට පත් ස්ටාලින් ට්‍රොස්කි ව සියලු තනතුරු වලින් අස් කර රටින් ද  පිටුවහල් කරන ලදී. සිනොවියෙව් , කාමනෙව් ආදීන් ද්‍රෝහීන් ලෙස නම් කර අත් අඩංගුවට ගෙන පසුව මරා දැමිණි. විවාහ නීතියද වෙනස් වුනි. සෝවියට් සංස්කෘතික අමාත්‍යංශයක් 1936 දී පිහිටුවන ලදී. ගබ්සාවද තහනම් විය.

ස්ටාලින්ගේ රාජ්‍ය ධනවාදය පවත්වාගෙන යාම  සඳහා පවුල නමැති ආර්ථික ඒකකයේ වැදගත්කම නැවත  සනිටුහන් කරන ලද අතර විවාහ සහ දික්කසාද නීතිද වෙනස් කරන ලදී.
-ලිපිය දිග වැඩි වෙන හෙයින් ජෙහාන් ට්‍රොට්ස්කි ගේ සැලසුම් ඊළඟ ලිපියෙන්.
-මතු සම්බන්ධයි
ප.ලි. – දීමා සහ බිරිඳ දැන් ජිවත් වන්නේ ඇමෙරිකා  එක්සත් ජනපදයේය.

Ajith Dharmakeerthi

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. පුද්ගලයන් අතින් මෙවැනි ලිපි ලියවෙන්නේ ඇයි?
    පහත ලිපිය කියවන්න
    අහිමි වූ පිලිගැනීම-සමන් වික්‍රමාරච්චි
    මෙය 2017 පෙබරවාරි 6 වෙනිදා ත්‍රිමාන හි පලවී තිබුනි.

Comments are closed.