කැත්ලින් ජාතක කතාකරුවාගේ වැඩ වසම් දෘෂ්ටියට ගොදුරුවේ

කාරණයට කෙළින්ම ප්‍රවිෂ්ට ව‍න්නේ නම් කැත්ලින් ජයවර්ධන මෙහි එන ගුවන් විදුලි නාට්‍ය පිටපත් රචනා කරන්නේ බුදු දහම හුවා දැක්වීමට ය. ඇය මෙහිලා ලියන දීර්ඝ හැඳින්වීමත් සෑම නාට්‍ය පිටපතකට ම පූර්විකාවක් ලෙස තබන සටහන් වලිනුත් පෙනී යන්නේ වර්තමාන මිනිසාගේ ගැටලු බුදු දහම තුළ ද සාකච්ඡා වී තිබෙන බව සහ බුදු දහම ඇසුරින් ඒවා විශ්ලේෂණය කළ හැකි බව ඇය විශ්වාස කරන බවයි.

නිදර්ශනයක් ලෙස ගතහොත් මෙහි එන නාග දරනය නමැති නාට්‍යයේ පෙළ රචනා වන්නේ ජාතක පොතේ 64 වන ජාතක කතාව වන දුරාජාන ජාතකය ඇසුරින් බව ඇය එළිදරව් කරයි. එමතුදු නොව එම ජාතක කතාව සම්භාව්‍ය නව කතාවක් සිනමා නිර්මාණයක් සඳහා අපූර්ව වස්තු බීජයක් සපයන බව ද ඇගේ කල්පනාවය.

ඇත්ත. ජාතක කතා ඒවා ලියවුණ සන්දර්භයෙන් උදුරා නැවත කියවීමක දී සමකාලීන න්‍යායික ප්‍රවාදයන් අනුශීලනය වන ආකාරය පැහැදිලි කිරීමට පිළිවන් තමයි. එහෙත් ජාතක කතා කරුවාගේ වැඩවසම් දෘෂ්ටිය විවේචනය කිරීමට ඇති ඉඩ කඩ ඉන් ඇහිරෙන්නේ නැත. නිදර්ශනයක් නම් ජාතක කතාකරුවා ද ස්ත්‍රිය කවරෙක් ද? යනුවෙන් ෆ්‍රොයිඩ්යානු පන්නයේ රැඩිකල් ප්‍රශ්න කිරීමක් කරන බව ඇත්තය. එහෙත් එයට දෙන වැඩවසම් (පිරිමි) පිළිතුරු ප්‍රතිගාමීය.

ජාතක කතා කරුවා වාර්තා කරන පරිදි තම භාර්යාවගේ හැසිරීම් ස්වභාවයන් වටහා ගත නොහැකිව බුදුන් වහන්සේ වෙත යන උපාසකයාට ලැබෙන උවදෙස මෙසේ ය.

“උපාසකය, මාගමුන් ගේ ස්වභාවය නම් දැන ගත නොහැක්කේ ය.”

බාගවිට ෆ්‍රොයිඩ් ස්ත්‍රිය ගැන කියූ දේ අසන ඔබට ජාතක කතාකරුවා කලින් ම ෆ්‍රොයිඩ් කියවා තිබිණිදැයි සිතෙන්නට බැරි නැත. ස්ත්‍රිය පිළිබඳ ෆ්‍රොයිඩියානු කියවීම මෙපරිදිය.

“මේ වන තෙක් පිළිතුරු ලැබී නැති, තිස් වසරක් තිස්සේ ස්ත්‍රීත්වය පිළිබඳ ගවේෂණය කළ මට ද පිළිතුරු සොයා ගත නොහැකි වන මහා ප්‍රශ්නය නම් ගැහැණියට අවශ්‍ය කුමක් ද? යන්නය.”

කැත්ලින් තම ගුවන් විදුලි නාට්‍යයේ සංවාදකයින් දෙදෙනා වෙත සපයන දෙබස් තුළ විඩාපත් වන්නේ ජාතක කතාකරුවා ස්ත්‍රිය පිළිබඳ දරනා ස්ථාවරය සහ ෆ්‍රොයිඩියානු දෘෂ්ටිය අතර පවතින පරතරයයි. එනම් ඔවුන් දෙදෙනාගේ සංවාදයට කේන්ද්‍රීය වන්නේ එම පරතරය බවය. එය අප නම් කළ යුත්තේ කෙසේ ද?

ජාතක කතාකරුවා පරසක්වල ගසන්නේ ස්ත්‍රීන්ගේ ස්වභාවය පිරිමින්ට දැන ගත නොහැකි බවය. මෙම ස්වභාවය පිළිබඳ කාරණය, එනම් ස්ත්‍රීන් ස්වභාවයෙන් ම දුස්සීල වංචාකාරි පවිටු සත්ව කොටසක් ලෙස ජාතක කතාව තුළ අධි නිශ්චය වේ. ජාතක කතාකරුවාට ස්ත්‍රිය හැඟවුම්කාරකයක් (signifier) නොව හැඟවුමකි (signified). එනම් ඇගේ ස්වභාවයම (මාගමුන් ගේ ස්වභාවය) වන්නේ දුරාචාරි බවය.

එහෙත් ස්ත්‍රියට අවශ්‍ය කුමක් ද? (what does woman want?) යන ප්‍රශ්නයට පිළිතුරක් ෆ්‍රොයිඩ් වෙත නොතිබිණි. මෙම ෆ්‍රොයිඩියානු පිළිවිසීම යළි යළිත් වර නගන්නේ ස්ත්‍රිය කවරෙක් ද? යන්නය. ෆ්‍රොයිඩ් එයට පිළිතුරු සැපයීම මග හරී.

ස්ත්‍රිය යනු රෝග ලක්ෂණයක් ලෙස (as a symptom) නැතහොත් පැහැදිලිව කිවහොත් ස්ත්‍රිය යනු පුරුෂයකුගේ රෝග ලක්ෂණයක් බව ප්‍රකාශ කළේ ලැකාන්ය. එනම් ස්ත්‍රිය පුරුෂයින්ගේ මානසික ආර්ථිකයට (psychic economy) කඩා වදින්නේ ෆැන්ටසි වස්තුවක් නැතහොත් ඔවුන්ගේ ආශාවේ හේතුව (Cause of desire) ලෙස බවයි. ඒ අනුව මිනිසාගේ පැවැත්මේ කේන්ද්‍රීය කාරණය ආශාවයි (desire). ඉහත කී පරිදි කැත්ලින්ගේ නාග දරණය නම් ගුවන් විදුලිනාට්‍යයේ පාත්‍රයින්ගේ කතා බහ භ්‍රමණය වන පරතරය අපි ආශාව ලෙස නම් කරන්නෙමු.

ලැකානියානු සූත්‍රගත කිරීම් අනුව මිනිසාගේ ආශාව යනු අනෙකා ගේ ආශාවය. අප ඉටු කරන්නේ අනෙකාගේ ආශාව බව කැත්ලින් ගේ මං නොදන්න මං නාට්‍යයේ පෙළ තුළ පවා කියවෙයි. ඉන් පැහැදිලි වන්නේ මම යනු අනෙකා ගේ (other) නිර්මාණයක් බවය. සමාජය යනු එම සංකේතික අනෙකාය. (Symbolic other) පන්ති සමාජය පිළිබඳ මාක්සියානු කියවීම මනෝ විශ්ලේෂණයට හසුවන්නේ එතැනිනි.

ලැකාන්ට අනුව මිනිස් ආශාව පිළිබඳ වියවුල නම් එය අනෙකා කෙරෙ වන ආශාව, අනෙකා විසින් ආශා කරනු ලැබීමට ඇති ආශාව සහ වෙසෙසින් ම අනෙකා ආශා කරන දේ උදෙසා ආශා කිරම ආදී වශයෙන් වර නැගීමය. ඒ අනුව ඊර්ෂ්‍යාව සහ නොරිස්සුම මිනිස් ආශාව ගොඩ නගන සංරචකයන් ය. අප මෙහි ලා ආශාව යනුවෙන් සඳහන් කරන්නේ සවිඥානික ආශාව නොවේ. එනම් කෙනෙකු තුළ යම් කෑමක් බීමක් සඳහා වන ආශාව බඳු කිසිවක් නොවන බව ය. ඒ වු කලී අවිඥානික ආශාවය. එනම් යම් ලිංගික හැසිරීමකින් හෝ ක්‍රියාවකින් එළිදරව් වන කෙනෙකුගේ අවිඥානය තුළ රහෝගතව පවතින අවරෝධික (repressed) ආශාවය.

මෙහිදී කිව යුතු දේ නම් නාග දරණය නාට්‍යයේ එන අසංග සහ තීක්ෂණ දෙදෙනා තො‍රතෝංචියක් නැතිව කතා කරමින් තම ගැටලු සඳහා බෞද්ධ මනෝ විද්‍යාව කැඳවන මුත් ස්ත්‍රියගේ ආශාව පිළිබඳ ගැටලුව එම ආකාරයෙන් ම නොවිසිඳී පවතින බවය. බුදුන් කල උපාසකයාගේ බිරිඳ හෝ වර්තමානයේ ඊශාගේ හෝ අවිඥානික ආශාව කුමක් ද? යන්නට පිළිතුරක් බෞද්ධ මනෝ විද්‍යාවට නැත.

නිවසින් පිටත්ව යාමට සූදානම් වන අසංග සහ ඊශා අතර වන දෙබස අප කියවිය යුත්තේ බිරිඳක් තම පුරුෂයා රැවටීමට ගන්නා උත්සාහයක් ලෙස නොවේ. ජාතක කතා කරුවා සේම නාට්‍යකාරියද, ප්‍රශ්නය ඒක පාර්ශවීය පුරුෂමය පැහැදිලි කිරීමක් ලෙස පමණක් ඉදිරිපත් කරයි. ස්ත්‍රියගේ කතාව මෙහි හිදසක් නැතහොත් අඩුවක් (lack) ලෙස පවතී. ජාතක කතාව නැවත කියවිය යුතුව තිබුණේ තම හිදැස ඇසුරු කොට ගනිමිනි. එසේ වී නම් ඊශාගේ සැබෑ ප්‍රශ්නය කුමක්දැයි වටහා ගත හැකි වනු ඇත.

සැබවින් ම ඇය අසන්නේ මා ඔබට කවරෙක් ද? යන්න ය. එය ඇගේ අනන්‍යතාවය පිළිබඳ නගන හිස්ටරික ප්‍රශ්නයකි. ඇය සඳහන් කරන කැරමල් පුඩිම එක් අතෙකින් අර්චන වස්තුවක් (Fetish) ලෙසත් අනෙක් අතට ඔවුන්ගේ චර්යාවන් මෙහෙයවන හැඟවුම්කාරකයක් (Signifier) ලෙසත් කියවිය හැක්කේ එවිටය. තීක්ෂණ සහ අසංග පමණක් නොව නාට්‍යකාරියද ජාතක කතාකරුවාගේ වැඩවසම් දෘෂ්ටියට ගොදුරු වේ. අසංග මුහුණ දෙන ඛේදවාචකය එයයි.

එසේය. මෙහි එන අනෙක් සියලු නාට්‍ය පිළිබඳ එබඳු කතාබහක නියැළෙන්නට මම කැමැත්තෙමි. ඒවාහි පෙළ එබඳු කතාබහකට පොලඹවන සුළුය. එහෙත් මේ තීරුවේ වපසරිය මා සීමා කරයි.

ඔබේ අදහස කියන්න...