මිනිසුන් ඒකාන්ත වශයෙන්ම තමාට පමණක් අභ්‍යන්තරික යැයි සලකන ප්‍රපංච පවා පරයෙකුගේ උගුලක ඵලයක් නම් මිනිසාගේ ලිංගික ආශාව, විවාහය, ප්‍රේමය පවා ප්‍රබන්ධ ලෙස සැලකිය නොහැකිද? මිනිසෙක් තම ප්‍රේමවන්තිය තෝරා ගන්නේ ස්වාර්ථයක් ලෙස මිස පරාර්ථයක් ලෙස නොවේ. නමුත් ඇල්ෆ්‍රඩ් හිච්කොක් විසින් නිර්මාණය කළ Vertigo (1958) නම් චිත්‍රපටය අපට යෝජනා කරන්නේ ඔබගේ අතිපුද්ගලික රහස් තෝරා ගැනීමක් පවා වෙනත් පුද්ගලයකුගේ උපක්‍රමික අදහසක් වීමට විභවතාවයක් ඇත යන්නය.

Vertigo නොහොත් ‘හිස කැරකැවිල්ල’ නම් චිත්‍රපටය දැනට සැලකෙන්නේ ලෝකයේ හොඳම චිත්‍රපටය ලෙසිනි. මෙම චිත්‍රපටය හොඳම චිත්‍රපටය වී ඇත්තේ එම ස්වඅර්ථය එහි ස්වඅර්ථය සහ ස්වාත්මය අතර අපෝහකය (ගැටුම, විනිවිඳීම, පරිවර්තනය) කදිමට නිරූපණය කරන නිසාය.

අපි දැන් වර්ටිගෝ චිත්‍රපටයේ කතා වස්තුවට අවධානය යොමු කරමු.

ජෝන් ස්කොටී ෆර්ගසන් පොලිස් සේවයෙන් විශ්‍රාම ගන්නේ උස් ස්ථානවලට ගිය විට ඇති වන අනියත බිය නිසාය. (Acrophobia – උස් තැන්වලට ඇති බිය) ඉන්පසු තම පෙම්වතිය සමග එක් වී ස්කොටී උත්සාහ කරන්නේ මෙම අනියත බියෙන් අත්මිදෙන්නේ කෙසේද කියාය. මේ අතරදී තම හිතවතකු වන ගැවින් එල්ස්ටර් විසින් ස්කොටීට අමුතුම රාජකාරියක් පවරයි. ගැවින්ට අනුව ඔහුගේ බිරිඳ වන මැඩලීන්ට අවතාරයක් වැහී ඇත. එනිසා ඇය ගැන කවුරු හෝ පරීක්ෂාවෙන් සිටිය යුතුය. ගැවින් ස්කොටීට යෝජනා කරන්නේ තම බිරිඳ යන එන තැන් ගැන සෝදිසියෙන් සිට එය තමන්ට වාර්තා කරන ලෙසයි. මෙම රාජකාරිය පුද්ගලික රහස් පරීක්ෂකයකුගේ කටයුත්තකි. තරමක අඩමාන සිතුවිල්ලකට පසුව ස්කොටී තම හිතවතාගේ ආරාධනය පිළිගනියි. ස්ත්‍රියක් පසුපස හඹා යාම අපූර්ව රාජකාරියක් නොවේද?

ඉන්පසු ස්කොටී තම රාජකාරියට නැවතත් එකතු වෙයි. ඔහු මැඩලීන් පසුපස හඹා යයි. ඇය යන-එන තැන්වලට ඇයට රහසින් ගමන් කරයි. එක්තරා අවස්ථාවක ඇය කලාගාරයකට ගොස් චිත්‍රයක් දෙස (Portrait of Carlotta) බලා සිටියි. ගැවින්ගේ අදහසට අනුව චිත්‍රයේ පෙනී සිටින කාර්ලෝටා යනු මැඩලීන්ගේ මිත්තණියයි. දිනක් මැඩලීන් පසුපස ස්කොටී හඹා යද්දී ඇය සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර ඇති විශාල පාළම යටින් රිංගා ගොස් ෆැසිපික් සාගරයට පැන සියදිවි නසා ගැනීමට උත්සාහ කරයි. වහාම ජලයට පනින ස්කොටී මැඩලීන්ව ගලවා ගන්නා අතර ඇයව උණුසුම් කිරීම සඳහා නිවසට රැගෙන යයි. දෙදෙනා අතර සමීපත්වයක් ගොඩනැගෙන අතර ස්කොටීට දුරකථන ඇමතුමක් ලැබෙන අතරවාරයේ මැඩලීන් අතුරුදන් වෙයි.

ඊළඟ දිනයේදී ද ‘ස්කොටී’ මැඩලීන්ව හඹා යන අතර එදිනද ඇය ඔහුගේ නිවසට ගමන් අතර ඇයව ගලවා ගැනීම ස්කොටීට ස්තුති කරයි. නැවතත් මැඩලීන් සියදිවි හානි කර ගැනීමට උත්සාහ කරනු ඇතැයි සිතන ස්කොටී ඇයව දවස පුරා රැක බලා ගැනීමට තීරණය කරයි. එදිනද දෙදෙනා නගරයට ගමන් කරන අතර පසුව මුහුදු වෙරළට නැවත ගමන් කිරීමට තීරණය කරයි. එහිදී මැඩලීන් තමන්ව පෙළන නපුරු සිහින ගැන පාපොච්චාරණයක් කරයි. ඉන්පසු දෙදෙනා වැලඳගෙන සිපගන්නා අතර අසළ ඇති දේවස්ථානයකට ගමන් කිරීමට තීරණය කරයි. එතැනදී දෙදෙනාම එකිනෙකාට තම ආදරය ප්‍රකාශ කර ගනිති. නමුත් හදිසියේම මැඩලීන් දේවස්ථානයේ ඝණ්ඨාර කුළුන දෙසට ගමන් කර පඩිපෙළ දිගේ ඉහළට ගමන් කරයි. උස් තැන්වලට ගිය විට හිසේ කැරකැවිල්ල නිසා අතරමැදි ස්ථානයක ස්කොටීට රැඳෙන්නට සිදු වන අතර මැඩලීන් ඝණ්ඨාර කුළුණෙන් බිමට වැටී මිය යයි.

මරණ පරීක්ෂණයේදී මැඩලීන්ගේ මරණය සියදිවි නසා ගැනීමක් ලෙසින් වාර්තා වන අතර මෙහි විපාකයක් ලෙස ස්කොටීගේ මානසික තත්ත්වයද බිංදුවට පහළ බසියි. මැඩලීන්ගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වන ස්කොටී ඒ ගැන දැඩි ලෙස පසුතැවිලි වෙයි. කලක් ගිලන්ව ආරෝග්‍යශාලාවක ප්‍රතිකාර ලබන ස්කොටී පසුව සුවපත් වී ඉන් පිට වෙයි. නමුත් විවිධ මනෝභ්‍රාන්තීන් ඔහුට අත්විඳීමට සිදු වෙයි. ඉන් මිදීමට ඔහු නගරයේ මැඩලීන් සංචාරය කළ ස්ථාන යළි නැරඹීමට යයි. අහම්බයකින් ඔහුට මැඩලීන් මෙන් රූපයක් ඇති කාන්තාවක් අභිමුඛ වන අතර ඔහු වහාම ඇය පසුපස හඹා යයි. ඇඳුම් – පැලඳුම් නිසි ආරය නොතිබුණත් මෙම අලුත් කාන්තාව තුළින් ස්කොටී සමරූපයක් අත්විඳියි. පසුව ඔහු ඇයව ජූඩී බාර්ටන් නමින් හඳුනා ගන්නා අතර ඇය සමග මිත්‍ර වෙයි. තරමක පෙරැත්තකින් පසුව ජූඩි විසින් ස්කොටී සමග රාත්‍රි ආහාර වේලක් ගැනීමට කැමැත්ත ප්‍රකාශ කරයි.

රාත්‍රී ආහාරයට පසුව ස්කොටී එතැනින් ඉවත්ව යන අතර ජූඩීට අතීතාවලෝකනයක් සිහිපත් වෙයි. මැඩලීන් යනුවෙන් ස්කොටී අනන්‍ය වන ස්ත්‍රිය යනු ගැවින්ගේ බිරිඳ නොවන බව ඇය දන්නා බව අපට හැඟෙයි. සැබැවින්ම සිදු වූ දෙය පිළිබඳව ජූඩි විසින් ලිපියක් ලියන අතර ඊට අනුව මැඩලීන් ලෙස ස්කොටීව හමු වූයේ තමා බවත්, ගැවින්ගේ සැබෑ බිරිඳව ඔහු මරා දමා අර එදා දවසේ ඝණ්ඨාර කුළුණෙන් පහතට දැමූ බවත් ඇය පාපොච්චාරණය කරයි. ගැවින් එහිදී ප්‍රයෝජනයට ගන්නේ ඉහළ ස්ථානවලට ගියවිට ස්කොටීට ඇති වන හිසේ කැරකැවිල්ලෙනි. මේ හේතුව නිසා ඔහු සිතන්නේ තමා සමග කුළුණට නැඟ ගිය මැඩලීන් හිස විකාර වීම නිසා සියදිවි නසා ගත් බවය. ජූඩි විසින් මේ සියලු විස්තර අඩංගු කොට ස්කොටීට දීමට ලිපියක් ලියන මුත් එය ස්කොටීට ලබා නොදී ඉරා දැමීමට තීරණයකරයි. ඇගේ මේ ලිපියේ අඩංගුව ස්කොටීට දැන ගැනීමට නොලැබුණත් එය ප්‍රේක්ෂකයන්ට මේ හේතුව නිසා දැන ගැනීමට ලැබේ. ජූඩීට අවශ්‍ය වන්නේ ස්කොටීට ආලය කිරීමටය.

මේ අතර ස්කොටීගේ මානසික ලෝකය මැඩලීන්ගේ මතකයන්ගෙන් පිරී යන අතර ඔහුට සිහින ලෝකය සහ යථාර්ථය අතර බෙදුම් රේඛාව මැකී යයි. පළමුව අකමැත්තෙන් වුවත් ක්‍රම ක්‍රමයෙන් ස්කොටීගේ අභිමතාර්ථය අනුව ජූඩී ක්‍රමයෙන් මැඩලීන්ගේ ප්‍රතිරූපය බවට අනුවර්තනය වෙයි. මැඩලීන්ගේ ගති ලක්ෂණ පරිණත ලෙස ජූඩී අනුකරණය කරන්නට පටන් ගන්නා නිසාම ස්කොටී සහ ජූඩී අතර සම්බන්ධය ද වඩා තහවුරු වෙයි. නමුත් එක්තරා දිනක සාදයකට යාමට ලැහැස්ති වී ස්කොටී ඉදිරියට එන ජූඩිගේ බෙල්ලට දමා ඇති මාලය නිසා ඔහු වික්ෂිප්ත වෙයි. ඔහුට සියල්ල ප්‍රත්‍යක්ෂ වෙයි. ජූඩී මේ දමාගෙන සිටින මාලය ඇත්තටම මැඩලීන් දමා සිටි මාලයයි. තත්ත්වය වහා වෙනස් වන අතර රාත්‍රි භෝජනය පසෙක දමන ස්කොටී විසින් ජූඩීට දේවස්ථානය (කලින් මැඩලීන් සමග ගිය) වෙතට යන්නට ආරාධනය කරයි.

දේවස්ථානය තුළ දී ස්කොටී තමා වටහා ගත් කටුක සත්‍යය, එනම් මැඩලීන් සහ ජූඩී යනු පුද්ගලයන් දෙදෙනෙකු නොව තනි පුද්ගලයෙක් බව ප්‍රකාශ කරයි. කලින් සිදු වු සිදුවීම යළි පුනරාවර්තනය කරන්නට ස්කොටීට අවශ්‍ය කරන අතර ඒ සඳහා ආරාධනයක් ලෙස ජූඩීට ඝණ්ඨාර කුළුණ උඩට නගින්නටත්, සියල්ල පාපොච්චාරණය කරන්නටත් ඉල්ලා සිටියි. ඒ අනුව ජූඩී විසින් සැබැවින්ම සිදු වූ දෙය අනාවරණය කරයි. ගැවින් එල්ස්ටර්ට අවශ්‍ය වී ඇත්තේ නීතියෙන් සැඟව මැඩලීන් මරා දැමීමටය. ඒ සඳහා ඔහු ව්‍යාපෘතියක් සකස් කරයි. පළමුව ඔහු තම මිතුරා වන ස්කොටීගේ මානසික රෝගයෙන් ප්‍රයෝජන ගනියි. දෙවනුව පහළ පන්තියේ සාමාජිකාවක් වන ජූඩීව ‘මැඩලීන්’ මෙන් වේෂ නිරූපණය කරයි. ඔහුගේ වාසනාවට ව්‍යාපෘතිය සාර්ථක වන අතර මැඩලීන්ගෙන් ඔහු නිදහස් වෙයි. මෙම නිදහස් කථනයට පසු ස්කොටී විසින් ජූඩීට කුළුණ මුදුනකට නගින්නට අණ කරන අතර ඇය එසේ කරයි. ඇය මහත් වේදනාවෙන් පවසන්නේ ඇය ස්කොටීට මහත් සේ ආදරය කරන බවයි. ඉන්පසු ඔවුන් දෙදෙනා දේවස්ථාන කුළුණ මත මහත් ප්‍රහර්ශයකින් යුතුව වැළඳ ගන්නා අතර ඔවුන් වෙතට එන පුද්ගලයකු නිසා (දේවස්ථානයේ පූජකවරියක් මේ අවස්ථාවේදී ඝණ්ඨාරය නාද කිරීමට එයි) ජූඩි තරමක් පසුපසට ගමන් කරයි. එකෙණෙහිම ඇය කුළුණෙන් බිමට ඇද වැටෙයි. පූජකවරිය විසින් නාද කරන ලද ඝණ්ඨාරයේ ශබ්දය අපට ටික වේලාවක් ඇසෙයි.

Vertigo නොහොත් ‘භ්‍රමණය’ නම් මෙම චිත්‍රපටයේ කතා වස්තුව දැනට සැලකෙන්නේ චිත්‍රපටයක් සඳහා තනන ලද හොඳම කතන්දරය ලෙසය. ඇමරිකානු ධනවාදයේ අග්‍රඵලය වන අස්මීමානය සඳහා වඩාත්ම සුදුසු ප්‍රකාශනය වර්ටිගෝ ආකෘතිය (Vertigo Form) ලෙසින් විභාග කළ හැක. හුවමාරු වටිනාකම් අධිනිශ්චය වූ ධනවාදී නූතනත්වය තුළ පිරිමි ආශාවේ ෆැන්ටසි මානය සකස් වී ඇත්තේ මිය ගිය ස්ත්‍රියකට ආශා කිරීමටය. (Necrophilia – ශවකාමය නැතහොත් මළ මිනී ලැදියා) මිනිසාගේ ගැඹුරුම අධ්‍යාත්මික මානයක් වන ‘ආදරයට’ (Love) පැවැත්මේ මානය හිමි වන්නේ ප්‍රබන්ධමය තලයක් තුළ මිස යථාර්ථයේ දී නොවේ. ස්කොටීගේ ආශාව පරිකල්පනීය මුළාවක් වන විට ජූඩිගේ ආශාව සංකේතීය ආදරයක් බවට පරිවර්තනය වෙයි. දැන් අපට හඳගමගේ විවාහය නැරඹීම සඳහා අට්ටාලයක් ඇත.

දීප්ති කුමාර ගුණරත්න

Lankanewsweb

ඔබේ අදහස කියන්න...