1999 වර්ෂයේ තිරගත වූ The Matrix නම් චිත‍්‍රපටයේ කතා තේමාවට අනුව මිනිස් වර්ගයා වහල් බන්ධනයට ලක් කළ පරිගණක යන්ත‍්‍රයක් ඇත. ප‍්‍රධාන කොම්පියුටරයක වැඩසටහනක් කි‍්‍රයාත්මක සඳහා අවශ්‍ය ‘ශක්තිය’ ලබා ගැනීම සඳහා මිනිස් වර්ගයා භාවිත වන බවට වූ කතන්දරයක් මේට්රික්ස් චිත‍්‍රපටය තුළ දිග හැරෙයි. මිනිස් බැටරිවල මනෝලිංගික කි‍්‍රයාකාරිත්වයෙන් උත්පාදනය වන ශක්තිය මඟින් කොම්පියුටර යන්ත‍්‍ර කි‍්‍රයාත්මක වෙයි. මිනිසුන් යථාර්ථය තුළ තම තමන්ගේ රාජකාරිවල හොඳින් නිරතව සිටියදීම විශාල පරිගණකයක් ඔවුන්ව වහලුන් බවට පත් කර ඇත. මේ මෙට්රික්ස් හි ලෝකය තුළ මිනිසුන් තම ‘වහල්භාවය’ විමුක්තියක් ලෙස අවබෝධ කරගෙන සිටිති.

මිනිස් වර්ගයා වහල්භාවයට බැඳදමන ෆැන්ටසි වර්ග 2ක් ඇත. පළමුවැන්න වන්නේ මහා බලසම්පන්න ව්‍යුහ හෝ ආධිපත්‍යයෝ මිනිස් වර්ගයා වහලූන් බවට පත් කරගෙන සිටියි යන ප‍්‍රවාදයයි. කෙටියෙන් කිවහොත් කවදා හෝ අතීතයේ දවසක නිදහසේ සිටි මනුෂ්‍ය වර්ගයා දැන් අදෘශ්‍යමාන බලවේගයක් විසින් යටපත් කරනු ලැබ ඇත. මෙයින්ම ඇති වන අතුරු අදහස වන්නේ මේ මහා බලවේගය විනාශ කළ හැකි සුපිරි මිනිසෙක් අප අතරින්ම බිහි වේවි යන්නය. එකිනෙකට විෂම වුවත් හිට්ලර් සහ ස්ටාලින් නම් සුපිරි වීරයන් අපට අවශ්‍ය මේ නිසාය.

 සමාජය මෙහෙයවන ලක්ෂණ

දැන් අපි අපේ මූලික ප‍්‍රශ්නය වෙතට නාභිගත වෙමු. කොම්පියුටරයට ශක්තිය ලබා ගැනීමට වෙනත් විවිධ විකල්ප මාර්ග තිබිය දී (උදා – විද්‍යුතය) මිනිසාගේ ශක්තිය ඊට අවශ්‍ය වන්නේ මන්ද? මේ සඳහා පිළිතුරක් සෙවීමට අප සිංහල චිත‍්‍රපටයක් වන ‘බඹරු ඇවිත්’ (1978 අධ්‍යක්ෂණය – ධර්මසේන පතිරාජ) අවධානය යොමු කරමු. සුචරිත ගම්ලත් මහචාර්යවරයා මෙම චිත‍්‍රපටයට අදාළව ගොඩනඟන කතිකාව මෙලෙස සාරාංශගත කළ හැකිය.

 ”වික්ටර් ධීවර ගම්මානය ආක‍්‍රමණය කිරීමත් සමඟම මුදාහැරෙන රුදුරු විපත්ති මාලාව එම ගම්මානයේ වාසය කරන්නන්ට පෙනී යන්නේ අහම්බෙන්, ගහෙන් ගෙඩි එන්නාක් මෙනි. එසේ නමුදු අදෘශ්‍යමානව පසුබිමෙහි සැඟවී තිබෙන කිසියම් නියාම ධර්මයක් විසින් ඒ සියල්ල පාලනය කරනු ලබන බවක් ඔවුන්ට ඉවෙන් මෙන් හැඟී යයි. ඔවුන්ට ඉවෙන් මෙන් හැෙඟන මේ නියාම ධර්මය කුමක්ද?” (මේ අදෘශ්‍යමාන පරාරෝපිත බලවේගය කුමක්ද?)

 

දීර්ඝකාලීනව මෙන්ම කෙටිකාලීනව අප අත්විඳින තියුණු සමාජ – දේශපාලනික ප‍්‍රශ්නවලට හේතූන් අපගේ චින්තනයට බාහිරින් ලෝකයක ඇති බව පෙන්වීම මේ වන විට පුරුද්දකි. මෙම පුරුද්දට අනුව වාස්තවික බල රටාවක නිශ්චිත ලක්ෂණ විසින් සමාජය මෙහෙයවෙයි. මෙවැනි නිශ්චිත ලක්ෂණ සමූහයක් මෙලෙස ප‍්‍රසාරණය කළ හැකිය.

 

(A) ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අත පෙවීම්.

(B) CIA කුමන්ත‍්‍රණ සහ NGO කුමන්ත‍්‍රණ (බොහෝ විට මෙවැනි මතිභ‍්‍රම ‘දිවයින’ ඉරිදා සංග‍්‍රහය ඔබට පිළිගන්වයි)

(C) කොටි ත‍්‍රස්තයන්ගේ බළල් අතක්. (හෙළ උරුමය, බොදු බල සේනා යනාදි සංවිධානවල සිතීමේ පුරුද්ද මෙමඟින් අනාවරණය වෙයි)

(D) ළඟ ළඟ එන තෙවැනි ලෝක යුද්ධය

(E) වාමාංශික පක්ෂවල උපාය මාර්ගික සැලසුම්වල අතාර්කිකභාවය.

 

ඉහත අප දක්වා ඇති කරුණු මඟින් අපි දෛනිකව අත්විඳින කටුක සමාජ – දේශපාලනික අර්බුදවලට හේතුව එක අතකින් බාහිර කරන අතර, දෙවනුව එයට ආත්මීය ලක්ෂණ උරුම කිරීම ද ප‍්‍රකට ලක්ෂණයකි. ඒ අනුව සාමකාමීව විසඳා ගැනීමට තිබූ උතුරේ ගැටලුව මේ තරම් ප‍්‍රසාරණය වූයේ ප‍්‍රහාකරන්ගේ අභ්‍යන්තර කෲරකමක් හේතුවෙනි. ලෝක සමාජවාදී ව්‍යාපාරය අපගමනයකට ලක් වූයේ ස්ටාලින්ට කුඩා කාලයේ දී ඔහුගේ පියා තට්ටමට වේවැලකින් පහර දුන් නිසාය. ජේ. ආර්. ජයවර්ධන ආර්ථිකය විවෘත කරන ලද්දේ ස්ත‍්‍රී ලෝලියෙක් නිසාය. සමසමාජ පක්ෂයට රාජ්‍ය බලය ලබා ගැනීමට නොහැකි වූයේ එන්.එම්. පක්ෂ සාමාජිකාවන් ඇඳට ගත් නිසාය. විජේවීර 71 කැරැල්ල මෙහෙයවූයේ ලිංගික අවරෝධනයක් සහ යූඑන්පීය ඔහුගේ පියාට පහර දුන් නිසාය. මේ දක්වා සඳහන් කරන ලද ලැයිස්තුව මඟින් ප‍්‍රකාශ කරන ලද්දේ නිදහසින් පසු අපගේ චින්තනය සිතන්නට හුරු පුරුදු වී ඇති ආකාරයයි.

අප නැවතත් අපගේ උදාහරණය දෙසට හැරෙන්නේ නම් ‘බඹරු ඇවිත්’ චිත‍්‍රපටයේ පිළිබිඹු වන ධීවර ගම්මානයේ දෛවය තීන්දු කරන බලවේගය වන්නේ ප‍්‍රාග්ධනය යි. මෙම ප‍්‍රාග්ධනය රූපකාර්ථවත් කරන්නේ වික්ටර් නම් තරුණයාය. ඇන්ටා ප‍්‍රමුඛ ගැමියන් ප‍්‍රජාවක් ලෙස සමතුලිතව පවතින විට ඊට බාහිරින් එන වික්ටර් විසින් ගමට හුවමාරු වටිනාකම් සබඳතා එන්නත් කරනු ලබයි. එමඟින් ධීවර ගම්මානය අලුත් වටයකින් ප‍්‍රතිවිරෝධවලට ලක් වෙයි. මෙම අලූත් ධ‍්‍රැවීයකරණය මහාචාර්ය ගම්ලත් අලංකාර ලෙස පහත පරිදි විග‍්‍රහ කරයි. (ඇන්ටාට වඩා ධීවරයාට හොඳ මිලක් වික්ටර් ලබා දෙන බව ගම්ලත් නිරීක්ෂණය නොකරයි.)

 

බඹරු ඇවිත් ගිය උතුර

 ”ප‍්‍රාග්ධනයෙන් සන්නද්ධ වූ වික්ටර් දැවැන්ත පරිමාණයෙන් ධීවරයන් සූරා කෑමට වන් කල්හි ඔහුත් ගම්මානයත් සමඟි කළ නොහැකි බලවේග දෙකක් බවට පත් වෙයි. මේ බලවේග දෙක අතර විරසකය පෙන්වීමට අධ්‍යක්ෂවරයා අප අතරට වීරසේන නමින් වූ සුළු-ධනේශ්වර මනෝරාජික සමාජවාදියෙක් ගෙන එයි. ඔහු සිතන්නේ බුද්ධිය මෙහෙයවා මේ පරස්පර බලවේග දෙක සමඟි කළ හැකි බවයි. එය කළ නොහැකිය. මේ නිසා ඔහු මේ බලවේග දෙකෙන්ම කොන් වී, පිටස්තර වී, හුදෙකලාභාවයේ ගිලී මැකී යයි.

වික්ටර් වැඩ පටන් ගන්නේ හෙලන් සහ සිරිල් අතර පවත්නා අව්‍යාජ ආදරය තිරශ්චීන ආකාරයෙන් බිඳීමෙනි. වැල්ලෙහි ගෙවන දුක් දොම්නස්වලින් පිරි ඒකාකාරී ජීවිතයෙන් හෙම්බත් වන හෙලන් ‘වික්ටර්’ නම් පුරුෂ යානයෙහි නැඟී නගරයට සැපත් වී යස ඉසුරු ලැබුමට පතයි. හෙලන්ගේ මේ සුන්දර පැතුම නමැති කල දැක වළ ඉස ගන්නා වික්ටර් ඇයව රැවටිල්ලෙන් විනාශ කරයි. වංචාවට ගොදුරු වන ඇය තම සාම්ප‍්‍රදායික පෙම්වතා වන සිරිල්ව මඟහරියි. එයින් ජනිත වන වියෝවෙන් සිරිල් මිය යයි. මෙයින් ඇන්ටා මුදලාලි දණ්ඩෙන් පහර ලත් නාගයකු සේ කිපෙයි. සමාජ ගැටුම අවසන් වන්නේ ඝාතනාවලියකින් පසුවය”

චිත‍්‍රපටය විචාරයට ලක් කරන ගම්ලත් අතින් මඟහැරී යන නිරීක්ෂණයක් මෙලෙස ස්ථානගත කළ හැකිය. චිත‍්‍රපට කතාවට අනුව අවසානයේ ධීවර ගම්මානයෙන් වික්ටර්, නාවික හමුදාව සහ වීරසේන නම් සුළු-ධනේශ්වර චින්තකයා පිට වී යයි. ඒ වෙනුවට පොලීසිය ගමට අවතීර්ණ වෙයි. දැනට උතුරේ සමාජයෙන් ත‍්‍රිවිධ හමුදාව ඉවත් වී ඇති අතර සමාජ ප‍්‍රතිවිරෝධතා පාලනය කිරීමට පොලීසිය ආදේශ වී ඇත. පැරණි තාලයේ රැඩිකල් සහ විප්ලවවාදී ඊරොස් නායක බාලකුමාර් ද ඝාතනය වී ඇත. (දකුණේ සමාජයේ දී වීරසේනට CTB බසයක නැඟී ගමෙන් පිට විය හැකි අතර උතුරේ දී මෙම භූමිකාව ඝාතනයට ලක් වෙයි).

ඉහත තත්ත්වය කවි බසකින් ගම්ලත් පහත පරිදි අලංකරණය කරයි.

”වික්ටර් නගරය බලා පෙරළා යයි. එහෙත් හෙලන් කැටුව නොවේ. ‘හෙලන්’ පරක් තෙරක් නැති, ඉමක් කොනක් නොදිස්නා ගිනියම් වැලි කතර මැද තනි වෙයි. ඇයට පත් වූ දසාව පොදුවේ ගැමියන්ට පත් වූ දසාවේ සංකේතයකි. (මෙය ඉසප‍්‍රියාට අත් වූ ඉරණම මඟින් දෙමළ ජනයාට උරුම වූ දසාව සංකේතවත් කරයි – අවධාරණය මගේ) මෙතැන් පටන් අකාරුණික ස්වභාව ධර්මයේ පීඩනයට අතිරේකව ධනේශ්වරයේ ද ඔවුන්ගේ රාජ්‍ය යන්ත‍්‍රයේ ද පරපීඩනය ගැමියන් මත නිර්දය ලෙස යොදනු ඇත.

රටාවකින් තොරව අහම්බයෙන් සිදු වන සෙයක් පෙනී ගිය ක‍්‍රියාදාමය ප‍්‍රාග්ධනය විසින් හසුරුවනු ලබන විධිමත් ක‍්‍රියාදාමයක් බව මෙසේ විශද වෙයි.”

ගම්ලත්ගේ චිත‍්‍රපට විග‍්‍රහය තුළ ඇති මූලික දෝෂය කුමක්ද? Matrix නම් පරිගණකයට මිනිස් බැටරි අවශ්‍ය ඇයි? ඒ සඳහා පරිගණකයට මිනිස් බැටරියට වඩා යථාර්ථවාදී ශක්ති ප‍්‍රභවයන්  ඕනෑ තරම් ඇති බව අපි මීට පෙරත් සඳහන් කළෙමු. තත්ත්වය උඩුයටිකුරු වන්නේ Matrix පරිගණකය පැත්තේ සිට නොව මිනිස් බැටරි පැත්තේ සිට තත්ත්වය විග‍්‍රහ කරන විටය. මේ විග‍්‍රහය සඳහා සාම්ප‍්‍රදායික මානවවාදය කොහෙත්ම සුදුසු වන්නේ නැත. ආයුධ සන්නද්ධ ආයතනවල සේවය කරන අයගේ පැත්තෙන් ගත් විට ‘සමාජ ගැටුම්’ අනිවාර්යයෙන් සිදු විය යුතුය. නැත්නම් ඉතිහාසය තුළ ඔවුන්ට ජීවිකාව අහිමි වෙයි.

 යථාර්ථයේ වහලුන් නොවෙමු

Matrix 3

 

 Matrix පරිගණක වැඩසටහනට (මෙයට දැන් අලුතින් Facebook හෝ Twitter යන මෘදුකාංග දෙක ද ඇතුළත් කළ යුතුය) වඩ වඩා ප‍්‍රසාරණය වීමට මිනිස් විඳවීම් අවශ්‍යය. Matrix සහ වික්ටර් යනු මිනිසුන්ගේ අභ්‍යන්තරික විඳවීම් (මේවා විවිධ අශ්ලීල සහ විදග්ධ ෆැන්ටසි හරහා විද්‍යමාන වෙයි* ද්‍රව්‍යාත්මක කරන රූපකය. (Metaphors) අප අන්ධ වන්නේ මෙම රූපක ඊට හිමි පැවැත්මට අදාළ ඉන්ධන වාස්තවික තත්ත්වයක් හරහා ලබා ගන්නවා යැයි අනුමාන කරන තැනේදීය. නමුත් සත්‍ය තත්ත්වය වන්නේ මෙහි ප‍්‍රතිවිරුද්ධ පැත්තය. Facebook, Twitter, Google  වික්ටර් නම් ප‍්‍රාග්ධනයේ විවිධ නාමපද විශාලනය වන්නේ, සමාජ බලවේග වන්නේ මිනිස් ආත්මයේ විඳවීම් ආර්ථිකය හරහාය. අප අපගේ විඳවීම් Facebook මත ලිවීම නවතා දැමූ විගස Facebook මිය යයි. අප ප‍්‍රාග්ධනය ගැන පරිකල්පනය කිරීම නවතා දැමූ වහාම ‘ප‍්‍රාග්ධනය’ මිය යයි. එයට ශක්තිය දෙන්නේ අපගේ මානසික ශක්තියයි. Matrix සහ වික්ටර් වෙතට ආරෝපණය කරන අපගේ මානසික ශක්තිය වඩ වඩා පුළුල් කරන විට අප අවට ඇති සමාජ යථාර්ථය වඩ වඩා ‘තත්‍ය-සමාන’ (Virtualization) වෙයි. එනම් අප අවට ඇති සමාජ යථාර්ථය වඩ වඩා තත්‍ය සමාන වන්නේ අපගේ මානසික ශක්තිය උරාගෙන මිස බාහිර බලවේග හරහා නොවේ. මෙම සත්‍යය අප විසින් වඩ වඩා හෙළා දකින්නට දකින්නට පසු සිදු වන්නේ අප මෙම තත්‍ය-සමාන යථාර්ථයේ (එනම් Facebook, Matrix, වික්ටර්) අකර්මණ්‍ය, උදාසීන ගොදුරු බවට පත් වීම පමණි. මෙම තත්ත්වය විපරිතභාවය නම් කාසියේ දෙපැත්තයි. එහි එක පැත්තක් යථාර්ථය තත්‍ය සමාන කරයි. අනෙක් පැත්ත එම තත්‍ය සමාන යථාර්ථයේ වහලූන් බවට අපව පත් කරයි. අපට බාහිරින් පවතින ප‍්‍රාග්ධනයේ විවිධ රූපකවලට අපගේ විනෝදය ලබා දීම ප‍්‍රතික්ෂේප කළ වහාම එම රූපක ද අතුරුදන් වෙයි. ඒ අනුව විවේචනය විය යුත්තේ Matrix  හෝ වික්ටර් නොවේ. විචාරය විය යුත්තේ වික්ටර්ට හුළං ගසන හෙලන්ගේ වේදනාත්මක සතුටයි. ‘හඳුනා ගත්තොත් ඔබ මා’ මෙසේ නිවැරැදි විය යුතුය. අනෙකා මගේ කැඩපතයි. මා හට සංගතභාවය ලබා දෙන මෙම ආත්මරාගී කැඩපත පළමුව විනාශ කළ යුතුය.     

 දීප්ති කුමාර ගුණරත්න

ඔබේ අදහස කියන්න...