පවතින ධනවාදී සමාජ ක්‍රමය පෙරලා දැමීමට ලෝකවාසී විවිධ සමාජ කොටස් විසින් විවිධ අත්හදා බැලීම් කරමින් සිටියි. මේ අර්ථයෙන් ශ්‍රී ලංකාවේද විවිධ වාමාංශික කොටස් ධනවාදය පෙරලා දැමීමට සිය ලිබිඩෝ ශක්තින් වැය කර ඇතත් දශමයකින්වත් මේ ජරාජීර්ණ සමාජ ක්‍රමයෙහි වෙනසක් සිදුව නැත.
සමාජය වෙනස් කිරීමේ හැකියාව ඇත්තන් වශයෙන් ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය විසින් දීප්තිගේ මැදිහත්වීමෙන් වසර 20ක සිට සමාජ ක්‍රමයට කල මැදිහත්වීම කුමක්දැයි යන්න ධනවාදයට එරෙහි වන්නන් අනිවාර්යයෙන්ම දැනගත යුතු යැයි අපි යෝජනා කරන්නෙමු. අප එලෙස පවසන්නේ මෙතෙක් ක්‍රියාත්මක වූ වාමාංශික පක්ෂ කිසිවක් මේ වන තෙක් කල මැදිහත්වීම් වලට වඩා දීප්ති විසින් ධනවාදී සමාජ ක්‍රමය කුමක්දැයි යන්න වටහා දීමට කල මැදිහත්වීම නිසා සමාජය වෙනස් කිරීමේ මූලික අනු නිෂ්පාදනය වී ඇති බැවිණි.

ලංකාවේ වාමාංශික පක්ෂ වල අතිමූලික දෝෂය වන්නේ ධනවාදය පෙරලා දැමීමට සමත් නිශ්චිත වැඩපිළිවෙලක් නොමැති වීමයි. ඔවුන් ලග තිබෙන සියලු වැඩපිළිවෙලවල් ක්‍රියාව අධිනිශ්චය වූ පැරණි ආකෘති යටතේ සිතියම්ගත කරන ලද ඒවාය. ජනතා විමුක්ති පෙරමුණේ සිට වී.කො.ස දක්වා වන පක්ෂ ඔබට යෝජනා කරමින් සිටින්නේ පවතින සමාජ ක්‍රමය වෙනස් කිරීමට නම්, ඔබ මේ ක්‍රමය පෙරලා අලුත් සමාජ ක්‍රමයක් ගොඩනැගීමට සටන් කල යුතු බවයි. ඔවුන්ගේ මෙම යෝජනාව කොතරම් අසාර්ථක දැයි විශ්වීය උදාහරණ කිහිපයකින් ඔබට වටහා දීමට මදක් මට අවසර දෙන්න.

ලොව ශ්‍රේෂ්ටථම විප්ලවය සිදු කල සෝවියට් සමුහාණ්ඩුවට විප්ලවය රැක ගැනීමට නොහැකි වුවා නොව එය ධනවාදී සමාජ ක්‍රමය විසින් අවශෝෂණය කරගත්තේය. චීනයේ සංස්කෘතික විප්ලවයට සිදු වුයේද එයයි. සමාජවාදය යනු රාජ්‍යන් විසින් ක්‍රියාත්මක කරන ධනවාදයේ තවත් ආකෘතියක් බව චීනයේ ආර්ථික වැඩපිළිවෙල දෙස මදක් ඔබ අවධානය යොමු කළහොත් අවබෝධ කරගත හැකිය. මෑතකදී සිදු වූ මුස්ලිම් රාජ්‍යයන්ගේ නැගිසිටීම් ගත්තද ඒවා පසු දිනම අසාර්ථක වුයේ ධනවාදය විසින් අවශෝෂණය කරගත් නිසාය. ඒ නිසා අපි දැනගත යුතු වන්නේ ධනවාදයට විකල්පව අප ගොඩනගන සියලු ක්‍රමයන් නැවත උකහා ගැනීමට ධනවාදයට හැකියාව ඇති බවයි.

Capital

දැන් අපි ලංකාව දෙසට අවධානය යොමු කරමු. මෙරට වාමාංශික පක්ෂවල මූලික උපාය මාර්ගය වන්නේ බිම් මට්ටමේ සිට සමාජය සංවිධානය කිරීම හෝ උද්ඝෝෂණ සංවිධානය කර ධනවාදී ආණ්ඩුවලින් යම් යම් අයිතීන් ඉල්ලා ගැනීමයි. මෙලෙස ඉල්ලා ගත් එකදු අයිතිවාසිකමක්වත් දීර්ඝ කාලීනව පැවතියේදැයි යන්න සිතා බලන්න. එම අයිතීන් කිසිවක් විශ්වීය අර්ථයෙන් ධනවාදයට දශමයකින්වත් බලපෑමක් එල්ල කිරීමට සමත් වූයේ නැත.
මෙවැනි පසුබිමක් තුල දීප්ති විසින් පහදා දුන්නේ එක තැන පල්වෙන ලංකාවේ වමේ සටන් ආකෘතිය වෙනස් කල යුතු බවයි. ක්‍රියාව අසමත් වන්නේ එයට නිශ්චිත න්‍යායක් නැති නිසා බව වටහා ගත් දීප්ති සටන් සගයන්ට යෝජනා කරන්නේ ධනවාදය පෙරලා දැමීමට නම් එය ක්‍රියාත්මක වන ආකාරය අප හොදින් වටහා ගත යුතු බවයි. මේ බව තේරුම් කිරීමට ඔහු විවිධ චින්තකයන් හරහා අලුත් න්‍යායක් ලංකාවට හදුන්වා දුන්නේය. දීප්තිගේ යෝජනාව වන්නේ ධනවාදය පෙරලා දැමීමට නම් ඔබ එයට හොදින් අවශෝෂණය විය යුතු බවයි. කාල් මාක්ස්ගේ කොමියුනිස්ට්වාදය යනු ධනවාදය තුලින් දුටු ෆැන්ටසියක් බව අද වන විට කිසිම කේන්ද්‍රයක් නැතිව ඕපපාතිකව ක්‍රියාත්මක වන ප්‍රාග්ධනය-capital- හරහා අප වටහා ගත යුතු බවයි. මේ බව වඩා හොදින් තේරුම් ගැනීමට අපට The Matrix Revolutions චිත්‍රපට තේමාව පිටුවහලක් සපයයි. මිනිසුන්ගෙන් සිය පැවැත්ම තහවුරු කරගෙන සිටින යන්ත්‍ර විසින් ලෝකය පාලනය කරන යුගයක යන්ත්‍ර විනාශ කර මිනිස් පැවැත්ම යලි තහවුරු කිරීමට සටන් කරන කණ්ඩායමක එක් පුද්ගලයකු වන නියෝ ( Keanu Reeves ) චිත්‍රපටය අවසාන භාගයේ සියලු යන්ත්‍ර මෙහෙයවන මව් යන්ත්‍රය හමුවට ගොස් තමාව අවශෝෂණය කරගන්නා ලෙස යන්ත්‍රයට දැනුම් දෙයි. යන්ත්‍රය විසින් නියෝව අවශෝෂණය කරගත් පසු එය ස්වයංව විනාශ වන අතර ඒ හරහා සියලු යන්ත්‍ර විනාශ වී නියෝගේ අභිලාශය ඉෂ්ට වෙයි. ඒ අනුව ගත් කල ධනවාදය යනු ද අපගෙන් බලය උකහා ගෙන අප හරහා සිය පැවැත්ම සාක්ෂාත් කරගෙන සිටින සමාජ ක්‍රමයකි. අප ඊට බලය ලබා දීම නතර කල වහා තවදුරටත් ධනවාදය යනුවෙන් සමාජ ක්‍රමයක් පැවතීමට ඉඩක් නොමැත. ඉතින් දීප්ති යෝජනා කරන්නේ මේ සරළ කාරණයයි.

ඔබ ධනවාදය නැමැති සර්පයාව විනාශ කිරීමට එම සර්පයාගේ හිස සොයමින් සිටින විට දීප්ති ඔබට පෙන්වා දෙන්නේ හිසක් නැතිව එම සර්පයා ඔබ මොබ යන බවයි. 

ඔබේ අදහස කියන්න...