හිස්කම [ Real as impossible]දැනෙන්නේ මිනිසකු නික්ම ගිය විට ය. ඔහු නික්ම නොයන තාක් සතුට භූමියෙහි ගැවසේ. එවිට සතුටෙහි අනෙක් අන්තය දුක නොව හිස්කම යැයි කිව හැකිය.

ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රභාත් වීරරත්න සහෝදරයා නික්ම ගියේ ඊයේ සතුට රැඳි භූමියෙහි අද වන විට හිස්කම ඉතිරි කරමිනි. ප්‍රභාත් අවසන් වශයෙන් සේවය කළේ ‘සත්හඬ’ පුවත්පතෙහි සම කර්තෘවරයා වශයෙනි. ප්‍රභාත් මෙවර ‘සත්හඬ’ පුවත්පතෙහි වැඩ අවසන් කළ සිකුරාදා (07) සන්ධ්‍යාවේ සත්හඬ පරිගණක අංශයට යාබද විවෘත ශාලාවේදී සගයන් කිහිපදෙනකු සමඟ දොඩමළු වෙමින් සිටියේ ය. හෙතෙම උපහාස කතා කියන්නට සේ ම අහන්නට ද රිසියේ ය. සාද කතාවලදී හෙතෙම සතුට ප්‍රකාශ කරන්නේ හඬ නඟා සිනාසෙමිනි. ඇත්තටම සතුට රැඳුණු බිමෙහි හිස්කම බලවත් විදිහට දැනෙන්නට පටන්ගෙන තිබෙන්නේ සුන්දර මිනිසකු කිසිසේත්ම විශ්වාස කළ නොහැකි මොහොතක අපෙන් සමුගෙන තිබෙන නිසා ය.

ජූලි 07 වැනි දා සත්හඬ කාර්යාලයේ දී මොන හේතුවකට හෝ ප්‍රභාත් මට ඔහුගේ අතීත විත්තිය කෙටියෙන් කීවේ ය. ඒ ඔහු ජනමාධ්‍යවේදියකු ලෙස වැඩ කරන්නට පටන් ගත් අවධියත් ක්‍රමයෙන් එය විස්තාරණය වූ ආකාරයත් පිළිබඳව ය.
“ඒ ලෙවල් කරපු ගමන්ම මට ලියන පිස්සුව හැදුනනෙ. ලියන්න දේවල් හොයන්න මම එහෙ මෙහෙ ඇවිදලා බඩගින්නෙ ගෙදර එනවා. ඒ අසූ අටේ විතර. අම්මලා තාත්තලා හිතුවෙ මම ජේවීපි එකේ වැඩවලට යනවා කියලයි. විදුසරේ, ලංකාදීපෙ ලිපි පළ වෙන්න පටන් ගත්තට පස්සෙ ගෙදර අය ජේවීපි සැකය අයින් කර ගත්තා”
ප්‍රභාත්ගෙ ලිපියක් මුලින් ම පළ වූයේ ලංකාදීපයෙහි ය. උසස්පෙළට ජීව විද්‍යාව කළ ඔහු 1988 දී පමණ මුලින් ම ලියා තිබුණේ විද්‍යාත්මක විෂය කරුණක් පිළිබඳ ව ය. පාසල් යන කාලයේ ම දවසක් හෙතෙම ලංකාදීපයට ලිපියක් යැවුවේ ය. එම සතියේ ම ඉරිදා ලංකාදීපයෙහි එය පළ වූ බවක් ඔහු නොදැන සිටියේ ය. ආනන්දයේ ම ඔහු සමඟ ඉගෙන ගත් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයකු වූ චානුක වත්තේගම ඒ කාලය වන විටත් තරමක් ප්‍රකට ලේඛකයෙකි. ඔහු පාසලේ දී හමු වී ප්‍රභාත්ට කියා තිබුණේ ඉරිදා ලංකාදීපයේ ඔයාගෙ ලිපිය හොඳයි කියා ය. ප්‍රභාත් පාසල ඇරුණු ගමන් දිව ගොස් ලංකාදීපයක් මිල දී ගත්තේ ය.
චානුක එවකට විදුසර කර්තෘ අනුර සිරිවර්ධනට ප්‍රභාත්ට මුණගැස්වීමෙන් අනතුරුව අනුරගේ උපදෙස් මත ලිවීම ප්‍රගුණ කළ සැටිත් අප හමු වූ අවසන් සන්ධ්‍යාවේදී ප්‍රභාත් තෘප්තිමත් හැඟීමෙන් යුතුව කීවේ ය. ඉන්පසු හෙතෙම දිවයිනට සම්බන්ධ වූයේ ය. එහි දී ඔහුගේ ලිවීමට ගුරු වූයේ ප්‍රවීණ මාධ්‍යවේදී චන්ද්‍රසිරි දොඩංගොඩ ය. දයාසේන ගුණසිංහ නම් වූ විශිෂ්ඨ කතුවරයාගේ ඇසුර ලබන්නටත් ප්‍රභාත්ට වාසනාව හිමි විය.
ඊටත් පසු අවධියක ප්‍රභාත් දක්නට ලැබුනේ ලක්බිම කාර්යාලයෙහි ය. කිත්සිරි නිමල් ශාන්තගේ ප්‍රධාන කර්තෘත්වයෙන් යුතුව කමල් ලියනආරච්චි, සම්පත් දේශප්‍රිය, බුද්ධික වීරසිංහ වැනි සහෘදයන් සමඟ පත්තරකාර කල දවස ගෙවූ හැටි ප්‍රභාත් 07 වැනි දා සන්ධ්‍යාවේ මා සමඟ කීවේ ය.
පසු කලෙක කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය ලේකම් ලෙස ප්‍රභාත්ට වැඩ කරන්න ලැබුණි. සත්හඬ පුවත්පතට සම්බන්ධ වී තිබුණේ මීට වසර දෙකකට පමණ පෙර ය.
ප්‍රභාත් ජනමාධ්‍යවේදියකු ලෙස වසර 29කට ආසන්න කාලයක් කටයුතු කළේ ය. එම කාලය තුළ ඔහු විශේෂාංග රචනය, දේශපාලන සංවාද, විෂයෙහි මනා පරිචයක් දැක්වූයේ ය. ප්‍රවෘත්ති සාකච්ඡා වාර්තා කිරීමේ දී ඉහළ කැපවීමක් ප්‍රදර්ශනය කළේ ය. සත්හඬ පුවත්පතේ වැඩ කළ මෙම කාල වකවානුව තුළත් ඔහු කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාව වාර්තා කරන අපගේ නියෝජිතයා වූවේ ය. ජනමාධ්‍යයෙහි සියලු අංශ තුළ කැපී පෙනෙන කාර්යභාරයක් කළ හේ කෘතහස්ත ජනමාධ්‍යවේදියකු ලෙස ඉහළ ම සමාජ අවධානයක් දිනා ගත්තේ ය.
“අපි ඉස්සර ඇවිදලා කට්ට කාලා ලියුවට දැන් මේ වෘත්තියට එන අය මේ වැඬේට මහන්සි වෙන්නෙ නෑ මචං”
අප අවසන් වරට හමු වූ සැන්දෑවේ දී කෙටියෙන් සියල්ල කී ඔහු, ඉතින් කියන්නකො විමලෙගෙ කතාව කියා මගෙන් ඉල්ලීමක් කළේ ය. ඒකත් ටිකක් දිග කතාවක් පස්සෙ දවසක කියන්නම් කියා මම කීවෙමි.
ඒ කතාව කියන්නට දැන් ප්‍රභාත් කෙනෙක් නැත. සතුට තිබුණු තැනට හිස්කම ආවේ එහෙම ය. ප්‍රභාත් ඔබට සුබ ගමන්!

විමලනාත් වීරරත්න
සත්හඬ කාර්යමණ්ඩලය වෙනුවෙන්.

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

Comments are closed.