ඇත්තටම පසමිතුරුතාවය (Antagonism) යනු කුමක්ද? අප මාක්ස්වාදීන් නම් මෙය මුලින්ම විසඳා ගත යුතු ප්‍රශ්නයකි. ප්‍රථමයෙන්, ව්‍යුහවාදය උගත් අපි යමක අනන්‍යතාවය නිර්ණය වන්නේ එය නොවන දෙය දැන ගැනීමෙන් බව දනිමු. එනම් පැන්සලක් පැන්සලක් වන්නේ එය පෑනක් නොවන නිසාවෙනි, රාජ්‍ය රාජ්‍යයක් වන්නේ එය ආගමික සංස්ථාපිතයක් හෝ සමිති සමාගමක් නොවන නිසාවෙනි. ඒ ආකාරයෙන් අප පසමිතුරුතාවය යන්න අර්ථ දැක්වීමට එය නොවන දෙය තේරුම් ගෙන සිටිමු.

ප්‍රථමයෙන් පසමිතුරුතාවය (Antagonism) යනු වෙනසක් (Difference) නොවේ. මේ දෙක සංකල්ප දෙකකි. වෙනසක් යනු එකම තලයක දෙපැත්ත දෙආකාරයකට බෙදා ගැනීමකි. එම නිසා වෙනස යනු බෙදීමකි (division). එමෙන්ම එය තමන් වෙනස් වන තම අනේකත්වය (Other) මත රඳා පවතී. වෙනස් වන ද්විත්වයක් එකිනෙකාගේ අනන්‍යතාවය ස්ථාපනය කර ගනියි. එකක අනන්‍යතාවය අනෙක මත මත තීරණය වේ. උදාහරණයක් ලෙස ගත හොත් සජිත් හා ගෝඨාභය අතර ඇත්තේ එවන් වෙනසකි. ශ්‍රී ලංකාව ධනවාදීව ආණ්ඩුකරණය කිරීම නම් එකම තලයේ (same register) එකක් කොළ පාට ලෙස බෙදී ඇති අතර අනෙක නිල් පාට ලෙස බෙදී ඇත. මෙය වෙනසකි. පසමිතුරුතාවයක් නොවේ. තවද, ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමීන් ද ජනප්‍රියවාදීව වාමාංශිකත්වය ක්‍රියාවේ යෙදීම නම් එකම තලයේ පාර්ලිමේන්තුවාදීන් හා උද්ගෝෂණකරුවන් ලෙස බෙදී ඇත. මෙයද වෙනසක් පමණි. ඊටත් අමතරව යෝජිත විවාහ හා තමන් රිසි සේ තෝරාගත් කෙනා කසාද බැඳීම යනුද නිදි වැදීම සඳහා පමණක්, ආදරය සම්මුඛ වීමකින් තොරව විවාහ වීම නැමැති එකම තලයේ ඇති වෙනස් කමක් පමණි. ඉන් එක උදාහරණයක් ගතහොත් ප්‍රජාතන්ත්‍රවාදය යනුම එකම එළඹුමකින් (ධනවාදී ආකෘතියකින්) ඊට පාලනය කිරීම නැමැති එකම තලයේ වෙනස් ප්‍රතිපත්ති සහිත විවිධ පක්ෂ අතර වන වෙනස්භාවයේ දේශපාලනය කි. ආර්නස්ටෝ ලැක්ලෝ ට අනුව මෙය පසමිතුරුතා (Antagonism) වාදශීලී (Agonistic) පරිශ්‍රයකට ගෙන ඒමකි. නමුත් කෙනෙක් ප්‍රජාතාත්ත්‍රික සම්මුතීන්ම නොපිලිගන්නේ නම්? ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළේ ඇති වෙනසක් නොව එම තලයම ප්‍රතික්ෂේප කරමින් ඉන් පිට, ප්‍රජාතාන්ත්‍රික නොවන (Non – Agonistic) භාවිතාවක් යෝජනා කරයි නම්? පසමිතුරුතාවය යනු කුමක්ද?.

ඉහත ප්‍රශ්නය තේරුම් ගැනීමට අප ක්ලෝඩ් ලෙවි ස්ට්‍රවුස් (Claude Levi Strauss) නම් ප්‍රංශ ජාතික ව්‍යුහවාදී චින්තකයාගේ අනර්ඝ විශ්ලේෂණයක් පාදක කර ගනිමු. ලෙවී ස්ට්‍රවුස් විසින් ඇමසන් ගඟ අද්දර ජීවත් වූ එක්තරා ගෝත්‍ර ගම්මානයකට ගොස් එහි වැසියන්ට තම ගමේ සිතියම අඳින ලෙස දැනුම් දී තිබුණි. මෙය ඔහු විසින් කරන ලද ව්‍යුහවාදී අධ්‍යයනයකි. එම දැනුම් දීමට අනුව එම ගම් වැසියන් අඳින ලද සිතියම් අධ්‍යයනය කරන විට නිරීක්ෂණය කර තිබුණේ ගමේ එක් පිරිසක් සිතියම එක් ආකාරයකටද , තවත් පිරිසක් තවත් ආකාරයකට ද ඇඳ තිබූ බවයි. එම වැසියන් විසින් අඳින ලද සිතියම් යුගලය පහත දැක්වේ. (Excerpt from “Do Dual Organizations exist?” by  (Claude Levi Strauss).

****************************************************************

දැන් මෙය විශාල ගැටළුවකි. එනම් එකම ගමේ විසූ දෙපිරිසක් තම ගමේ සිතියම නිශ්චිතව හඳුනා ගත හැකි ආකාරයට දෙආකාරයකට ඇන්දේ ඇයි ද යන්නයි. එසේ එකම ගම දෙපිරිසකට දෙආකාරයකට පෙනෙන්නේ කෙසේද?. මෙම ප්‍රශ්නය විසඳීම සඳහා ඇති දුර්වලම මාර්ගය වන්නේ හේතුවාදී සංගමය මෙන් එම ගම්මානයට ඉහළින් හෙලිකොප්ටරයකින් ගොස් හෝ සැටලයිට් පින්තූරයක් ගෙන ගමේ නිවැරදිම සිතියම සොයා ගැනීමයි. එය හරියට මා වෙත ආදරණීය ලෙසත්, මගේ මිතුරෙකුට ගොම ගොඩක් ලෙසත් දිස් වන මගේ බිරිඳගේ සත්‍යම ස්වරූපය Scan කර සොයා ගැනීම වැනිය. Scan ක බිරිඳ මස් ගොබයක් පමණි. එවිට සත්‍ය (Truth) කුමක්ද? මායා වලින් ගැලවී හරිම සත්‍ය සොයා ගන්නේ කෙසේද? නිවැරදිම සිතියම කුමක්ද? මෙය ලෙහා ගනිමු.

ඔබට පෙනෙන පරිදි ඉහත සිතියම් දෙකෙහි හඳුනා ගත හැකි වෙනසක් ඇත . ලෙවී ස්ට්‍රවුස්ගේ විශ්ලේෂණය වූයේ (අනර්ඝ ව්‍යුහවාදියෙකු ලෙස). දකුණු පස සිතියම සමානුපාතිකව යම් සුමට සුසංවාදී සමඟි, අවිරෝධී (harmonious) ආකල්පයක් ඇතිව ඇඳ ඇත. A හා B යනුවෙන් ගමේ නායකයන්ගේ හා ආගමික ස්ථානයක පිහිටීමක්, ඒවා වටා සෙසු වැසියන්ගේ නිවසේ පිහිටන ලෙසත් සිතියම ඇඳ ඇත. වම් පස සිතියම ඊට වෙනස්ය. එහි හරි මැද තියුණු ඉරකින් ගම දෙකට වෙන් කොට ඇත. ඉන් එක් පසක (වම් පස) නොයෙකුත් ගෝත්‍රය තුළ ඇති ඉහළ ගෝත්‍රකයන්ගේ නිවෙස් (warrior clan -රණශූර වංශය, Buffalo clan – මී හරක් අයිතිකරුවන්, upper phratry- ඉහළ කුල) පිහිටා ඇති අතර ඉන් අනෙක් පසෙහි පහළ කුල වල ගෝත්‍රකයන්ගේ නිවෙස් පිහිටා ඇත. එබැවින් වම් පස ඇති සිතියම සුසංවාදී හා සුමට නොවේ. එය තියුණු ලෙස බෙදී ඇත. එනම් වම් පස සිතියම තුළ පැහැදිලි ඛණ්ඩනයක් සහිත වෙනසක් (Difference) සළකුණු කොට ඇත. එම ඛණ්ඩනය දකුණු පස සිතියම ඇන්ද වූවන් අතර නැත. මෙම සිතියම් ද්විත්වය ‘වෙනස හා පසමිතුරුතාවය’ තේරුම් ගැනීමට මනා පිටිවහලකි. වම් පස සිතියම තුළ වෙනසක් (Difference) සළකුණු කොට ඇත. එය කෙටියෙන් කිවහොත් ඉහළ හා පහළ කුළ (දේපළ අයිතිය අනුව ගත් කළ) ලෙසයි. එනම් වම් පස සිතියම ඇන්ද ගෝත්‍රිකයන් තම ගම ඉහළ දේපළ හිමියන් හා පහළ දේපළ අහිමි අය ලෙස බෙදී ඇති බව පසක් කරයි. දකුණු පස සිතියම ඇඳී ගෝත්‍රිකයන් එසේ තම ගම  බෙදී ඇති බව ප්‍රත්‍යක්ෂ නොකරන ”එය” සුසංවාදීව දකින කණ්ඩායමකි. එවිට පසමිතුරුතාවය ඇත්තේ කොහේද?.

පිළිතුර: එම සිතියම් දෙක අතර ඇති බෙදුම් කණ්ඩනයෙහිය, එහි පරතරය තුළය. එනම් පසමිතුරුතාවය යනු එකම ගම දෙකට බෙඳීමක් නොව, එම ගම “ගම” නම් නිශ්චිත ස්ථීර අනන්‍යතාවයක් සහිත ඒකත්වයක් වීමට ඉඩ නොදෙන නොහැකියාවකි (Impossibility). පසමිතුරුතාවය නිසා එකම දේ දෙආකාරයකට දෙපිරිසකට දිස් වනවා යැයි කීමට වඩා, එම ගම යනුම අසම්පූර්ණ, අසංස්ථිතික ප්‍රපංචයක් බව පසක් වේ. එනම් පසමිතුරුභාවයක් සහිත ඉහත ගමේ යථාර්ථය විසින්, එම ගමට “ගම” වීමට ඉඩක් නොදේ. එවිට පසමිතුරුතාවය යනු එකම ගම දිස්වන දෙවිදියක් පමණක් නොවේ. එසේ එය Y නම් ගම (එහි සාර්වත්‍රික අනන්‍යතාවය) අසම්පූර්ණ, එසේ සාර්වත්‍රික නොවන බව මා පසක් කරවන ක්‍රියාවලියකි. එබැවින් ඉහත සිතියම් දෙකෙහි සත්‍ය යනු එම සිතියම් දෙකටම පොදු සාධක නොවේ. නමුත් එසේ එම ගමට ඇත්තේ එක් සාර්වත්‍රික (පොදු,පිළිගත්) සුසංවාදී අනන්‍යතාවයක් යන්න උල්ලංඝනය කරවන එකම තලයක වෙනසක් නොව තවත් තලයක් උද්දීපනය කරන තත්වයකි. එවිට නියම සාර්වත්‍රිකභාවය (Universal) යනු යම් සම්මුති සංකල්පයක් (උදා: ඉහත ගම පිළිබඳ පිළිගැනෙන යැයි සලකන සුසංවාදී අනන්‍යතාවය) එසේ සම්පූර්ණ වීමට ඉඩ නොදෙන බාධාවයි. නිශේදනයයි. සාර්වත්‍රික වන්නේ මෙම නිශේදනයේ බලයයි. සියල්ලට පොදු වන්නේ මෙම පොදු වීමට දරන උත්සාහය සෑම විටම වැලැක්වීමයි. (negation as universal). එම නිසා සෑම විටම පොදු බව නිශේදනයකි.

මේ ආකාරයෙන් ගත් විට සත්‍ය (Truth) යනු කුමක්ද? පිළිතුර: ඉහත සිතියම් දෙක අතර ඇති පරතරයයි, නැතිනම් ගමට “ගම” නම් ඒකත්වය වීමට ඉඩ නොදී එය ද්විගුණ කරන (දකුණට අමතරව වමේ සිතියම බිහි කිරීමට උර දෙන) පසමිතුරුතාවයයයි. සත්‍ය ඉහත යථ යි (Real). මෙහිදී යථාර්ථය යනු පෙර සඳහන් කළ හෙලිකොප්ටර් පින්තූරයයි. ඉන් කිසිදු ථලක් නොමැත. යථ යනු ගමට “ගම” වීමට නොදෙන අභ්‍යන්තර බාධාවයි. සත්‍ය වන්නේ මෙම පැල්ම ඇති කරන ස්වභාවයයි. ලෙවී ස්ටුවුස්ට අනුව ඉහත සිතියම් දෙකක් ජනනය වූයේ එම ගෝත්‍රය ප්‍රථම වරට පන්ති සහිත සමාජයකට එළඹීම නිසාය. එවිට සිතියම් දෙක යනු පන්ති සහිත සුසංවාදී නොවන යථ වෙත දක්වන ප්‍රතිචාර දෙකකි. පැහැදිලි ලෙස දකුණු පස සිතියම ඇඳ ඇත්තේ දේපළ හිමිකාරීත්වය දරණ සාමාජිකයන් වන අතර වම් පස සිතියම ඇඳ ඇත්තේ පීඩිත පන්තිය විසින් ය. එවිට යම් සමාජ තීරුවක්, පන්තියක් (Class) බවට පත්වන්නේ එම සමාජ ක්‍රමය සංවිධානය කරන බලවේගයට (ධනවාදය නම් යථව) දක්වන ප්‍රතිචාරය/ ස්වබාවය උඩය. අනෙක් පසෙන් වැදගත් කාරණයක් වන්නේ ඉහත සිතියම් දෙකම ඇඳි අය තම අනෙක් පන්තිය ද තම සිතියම තුළම පිහිටුවා ඇත. එසේ අනෙකා සිතියම ද තුළ නැත්තේ නාසිවාදීන් තුළය. ධනවාදීන් ඊට වඩා හොඳය. ඔවුන්ගේ සිතියමෙහි තම අනෙකා තමන්ට දිස් වන ආකාරයද දෙවිදියකට පිහිටුවා ඇත. වැදගත් වන්නේ සෑම විටම තම අනෙකාට සුසංවාදීව ස්ථාපිත කරනු ලබන්නේ (Confucius දහම මෙන්) පීඩක තීරුවය. අනෙකා එදිරිවාදීව ස්ථාපිත කරනු ලබන්නේ පීඩිත තීරුවය. දැන් අප වටහා ගත යුත්තේ මෙය ව්‍යුහමය (සමාජය සමාජයක් ලෙස ව්‍යුහගත වීමට) ලක්ෂණයක් බවයි. අනෙක් අතට අප විශ්ලේෂණය කරන යථාර්ථයද අසම්පූර්ණ එකක් බවට (එය එයම නොවන බව X#X) අපට ඉඟියක් ලැබෙන්නේද ඉහත ලෙසම නිශේදනාත්මක අක්ෂය වෙත අවදානය යොමු කිරීමෙන් පමණකි.

“In any Social Conflict a ‘neutral position (හෙලිකොප්ටර් පින්තූරය) is always and necessarily the position of the ruling class. it seems ‘neutral become it has anchored the status of the the status of the ‘dominant’ ideology which always strikes as a self-evident. The criterion of objectivity in such a case is thus not neutrality, but the capacity of theory to occupy a singular, specific, point of view within the Situation (ඉහත වම් සිතියම තුළින් ගම දෙස බැලීම මෙන්). In this sense, the objectivity is linked here to the very capacity of being ‘partial or ‘partisan’. As Althusser  puts It: whom dealing with a conflicted reality (which is the case for both Marxism and psychoanalysis )  one cannot see everything from everywhere, some positions dissimulate this conflict, and some reveal it (ඉහත සිතියම් දෙක මෙන්), ‘One can thus every discover the essence  of thus conflictual reality by occupying certain positions , and not others, in this very conflict.”

(ඇලෙන්කා සුපන්චිව් – Alenka Zupancic විසින් රචිත “What is Sex?” නම් කෘතියෙන් උපුටා ගන්නා ලදී.)

ඉහත උපුටනය ඉතා වැදගත් එකකි. එහි එන සරල අදහස මෙසේයි: ගැටුම්කාරී යථාර්ථයක් මධ්‍යස්ථව තේරුම් ගන්නවා යනුවෙන් දෙයක් නොමැත(හෙලිකොප්ටර් පින්තූරය මෙන්). ඇත්තේ එක් පාර්ශවයක් තෝරාගෙන ඒ තුළින් සමස්ථය දැක්මයි. තෝරා නොගත් පාර්ශවය සමස්ථයෙහි නිශේදනාත්මක පොදුභාවය අපට පෙන්වන්නේ නැත. පෙන්වන්නේ එහි දැකුම්කළු සුසංවාදයක් බව පමණි. සුපැන්චිත් කියන ආකාරයටම මාක්ස්වාදය (පන්ති අරගලය) හා මනෝවිශ්ලේෂණය (අවිඥානික ව්‍යුහය හා පුද්ගල විඥානික අනන්‍යතාවය අතර අරගලය) යනු එවන් ගැටුම්කාරී යථාර්ථයන් එක් පාර්ශවයක් තෝරා ගෙන (වැඩකරන පන්තිය, අවිඥානික ආශාව) ඒ තුළින් සමස්ථය තේරුම් ගෙන එය වෙනස් කිරීමට (කොමියුනිස්ට්වාදය, මානසික සුවය) වැර දරන ප්‍රභලම අවි දෙකකි. ඒ අතර පාලම ද එයයි.

දැන් අප පසමිතුරුතාවලට කුමක් කළ යුතුද?. මගේ අදහසට අනුව පසමිතුරුතාවලට දැක්විය හැකි ප්‍රතිචාර ත්‍රිත්වයක් ඇත. ප්‍රථමයෙන් ඒවා ජයගැනීමට (Overcome) වෙහෙසිය හැකිය. පසමිතුරුතා ජය ගැනීම යනු ඉහත දකුණු පස සිතියම මෙන් සමාජය බර අවි බැරි නම් ගෑස් කාමර යොදා සමාජය “සමාජය” ලෙස සුසංවාදී වීමට ඉඩ නොදෙන නිශේදනය/ සතුරා / තම්බියා එම සිතියමෙන් මැකීමයි. ඒවා බලෙන් මැකූ විට සමාජය හරිම ලස්සනය. සමහර වාමාංශික ගරිල්ලන්ද සිතා සිටින්නේ මෙය කිරීමටය. ඔවුන් හිට්ලර් හා ස්ටාලින්ගේ පුතාලාය. අඩුම වශයෙන් නූතන ධනවාදයවත් එසේ පසමිතුරුතා මකන්නේ නැත. මාර්ක් සකර්බර්ග් සමලිංගිකයන් වෙනුවෙන් හඬන ආකාරය දුටු විට මෙය පසක් වේ. ඔහු ඇත්තටම හඬනවාද විය හැකිය.

බොහෝ ප්‍රගතිශීලී වාමාංශිකයිනුත් ඉහත විකල්පයට අමතරව ඇත්තේ පසමිතුරුතා එසේ නොමකා එසේම තබා ගැනීම (Not Overcome) බව සිතයි. සැබැවින්ම ආකල්පය ප්‍රජාතාන්ත්‍රික ධනවාදයේම සංස්ථාපිත ලක්ෂණයකි. පෙර ලැක්ලාව් ද න්‍යාය ගත කළ ආකාරයට සමාජයට එම පසමිතුරුතා ලෙස නොගෙන ඒවා එසේ තබා ගෙන ඒවා වල අවශ්‍යතාවය පෙන්වා දෙමින් යම් ලිබරල් ආකල්පයක් දැරිය හැක. ධනවාදයේ මුල් අවධීන් වලද දැනටත් පරිවාරයේ, ප්‍රදේශ තුළද පසමිතුරුතා මැකීම සිදු වේ. එහෙත් ඩිජිටල් යථාර්ථයක් තුළ පසමිතුරුතා ද Virtual කළ හැක. පසමිතුරුතාවයම Market  කළ හැක. එතරම්ම ධනවාදය ඉදිරිගාමීය. උදාහරණයක් ලෙස පසුගාමී මුස්ලිම් රටක සමලිංගිකයන්ට හිරිහැර කරයි නම් (පසමිතුරුතාවක් ලෙස තම ලිංගිකත්වය අසංස්ථිතික බව සැලකීම) සමලිංගිකයන්ට Digital Campaign (Facebook ඔස්සේ) කිරීමටත් ඒ ඔස්සේ ලබන තුටු පඩුරු වලින් විශාල බල්ලන් හා ශරීර ආරක්ෂකයන් හා විශාල තාප්ප සහිතව ගෙයක් ගෙන ජීවත් වීමටත් නැතිනම් කැනඩාවට යාමටත්, පසුගාමී මුස්ලිම් පිරිමින්ගේ සමලිංගික ෆැන්ටසිය තරණය කිරීමට කදිම සමලිංගික Pornography ද ධනවාදය දී ඇත. මෙය වෙළඳපොළ විසින් අදිසි හස්තයකින් මෙන් ලොව පවතින කිසිදු ආණ්ඩුවකට වඩා කාර්යක්ෂමව සිදු කරයි. මෙය පසමිතුරුතාවය ජය නොගෙන එය තොරොම්බල් කරමින් කටේ දමා සූප්පුද කිරීමකි. ධනවාදයම එසේ කරයි නම් අප කුමක් කරම් ද?.

තුන්වන විකල්පයක් ද ඇත: Non-Overcome (not either overcome or not overcome). එනම් තලයම (registry) මාරු කිරීමකි. නැතහොත් පසමිතුරුතා ජය ගැනීම (Overcome) හෝ ජය නොගෙන සිටීම (Not Overcome) නම් ප්‍රශ්නය නම් විකල්ප තලයම ප්‍රතික්ෂේප කිරීමකි. මෙම තුන්වන දෘෂ්ඨිකෝණයේ සිට බලන විට පසමිතුරුතාවය නරකක් නැත (ජය ගැනීමට): හොඳක් නැත (ජය නොගැනීමට). එය අප පිළිගත යුතු පැවැත්මේම කොටසකි. (It is an Ontological fact) ආදරය ඇත්තේ මෙම තුන්වන ස්ථානයේය. ටොඩ් මැගෝවන් (Todd MacGowan) සඳහන් කරන ලෙසට ලිංගික පසමිතුරුතාවය ආදරය නැමැති නව තලය (New registry) මඟින් ප්‍රතිපූර්ණය (supplement) කරනු ලබන්නේ ආදරය සෘජු ඉලක්කයක් කර ගනිමිනි. ඔහුට අනුව මෙය කදිමට ඔප්පු කරන චිත්‍රපටයකි ”The Eternal Sunshine of the Spotless Mind” . චිත්‍රපටයට අනුව ආදරය විසින් කාලය අත්හිටුවා අවකාශයක් බවට පෙරලයි. ආදර යුවල තුළ සෑම විටම ඇත්තේ පරස්පරය. චිත්‍රපටය පෙන්වන්නේ ආදරය ඇතිවීමට, ආදරය නම් දිව්‍යමය පාලම මඟින් දෙදෙනා එක් කිරීමට පදනම වන්නේ පෑස්සිය නොහැකි ලිංගික පසමිතුරුතාවය බවයි. ඉතා ලස්සනට චිත්‍රපටය තුළ ආදර යුවල සීතල අයිස් මත වැතිර තරු බලන විට චිත්‍රපටකරුවා ඔවුන් අතර වන පසමිතුරුතාවය සලකුණු කිරීමට අයිස් පරය මත තියුණු දෙදරුම් කඩනයක් ද පෙන්නුම් කරයි. ආදරය මෙන් දෙදරුම් කෑ අයිස් පර නොදෙදරුන අයිස් වලට වඩා බර ඔරොත්තු දෙන්නේ නොදෙදරුන අයිස් පර යට ජලය තිබිය හැකි බැවිනි. එසේම ආදරය ජනිත වීමට පසමිතුරුතාවයන් තොරව නොහෙැක. පසමිතුරුතාවය මකා ආදරය කිරීම නොහැක. ඒ ආකාරයෙන්ම පසමිතුරුතා සූප්පු කර කර එය ඉරි ගසා මගේ කොටස හා ඔබේ කොටස මෙන් වෙන් කළද නොහැක. එවිට එය ආදරය නොවේ. සැබෑ ආදරයේදී සිදුවන්නේ පසමිතුරුතාවය විසින් ජනිත කළ දෙය එහිම අන්තයක් (Love as and end in-itself) ලෙස පිහිටුවීමයි. එනම් ආදර සම්මුති වීමකින් පසු යුවල විසින් තම ආදරය පිහිටවූ පසමිතුරුතාවය නොමකා (මැකූ පසු ආදරය නොමැත, පසමිතුරුතාවය ආදරය ජනිතවීමට පූර්ව කොන්දේසියකි). ආදරය වෙනත් තලයකට ඔසවා තැබීමකි. ආදර යුවල සිතන්නේ ආදරය මඟින් වර්ණ ගැන්වූ තම ජීවිතය ගැනයි. ඉන් පසු පසමිතුරුතාවයම වෙනස් ආකාරයකට දිස් වීමට පටන් ගනී (In spite to Because of). ආදරය විසින් පසමිතුරුතාවය වෙත ඇත්තේ උපේක්ෂා සහගත (indifferent) ආකල්පයකි. මන්ද එක්තරා ආකාරයකින් ආදරය විසින් පසමිතුරුතාවය (ගැටුම් සහගත යථාර්ථයක්) ගැටුම් රහිත ලෙස නොව, ගැටුම් ඇත්තටම සිදුවුවද ආදරය ඉදිරියේ ඒවා විසඳිය යුතු ද්විතික බවට පත්වේ. ගැටුම් ද ආදරය ඔස්සේ වර්ණ ගැන්වේ. ඊට එරෙහිව ආදරය සාම මණ්ඩලයක් යන්න නොවේ. ඊට එරෙහිව පසමිතුරුතාවයවත් ගැටුම් සාධාරණීකරණය කිරීමට හේතුවක් නොවන බව එහි රැඩිකල් අර්ථයයි. ආදරය යනු එවිට පසමිතුරුතාවයම දෘෂ්‍යමාන වන නව ආකෘතියකි. මාක්ස්වාදයට එවිට ආදරය එන්නත් කළ යුතු ද?

ඩිල්ෂාන් ප්‍රනාන්දු.

ඔබේ අදහස කියන්න...